පිළිකාව යනු වසරකදී ලොව පුරා දස ලක්ෂ ගණනකට මරු කැඳවන්නා වූ රෝගයකි. පාලනයකින් තොරව සෛල විභේදනය හා එම සෛල මගින් පටක ආක්‍රමණය කිරීම මෙහිදී සිදුවන අතර එය එක් රෝගයක් නොව රෝග ගණනාවකි. එසේම ලොව පුරා පිළිකා වර්ග සියයකට අධික ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර බොහෝ පිළිකා නම්කරනු ලබන්නේ ඒවා හටගන්නා ඉන්ද්‍රිය හා සෛල වර්ගය අනුවය. අපේ වෙදකමෙත් පිළිකාව සම්බන්ධයෙන් අවධානය යොමුකරන්නට සිතුවේ එය වර්තමාන පිළිලයක් මෙන් වර්ධනය වී යන රෝගී අවස්ථාවක් වන නිසාය. මේ පිළිබඳව අපව දැනුම්වත් කරන්නේ ආයුර්වේද වෛද්‍ය සුජීව විතානගේ මහතාය.
පිළිකාව කියන්නේ අද සමාජයේ ප්‍රබලම ප්‍රශ්නයක්. ලංකාව වගේ රටක් ගත්තම මේ වනවිට මෙම රෝගය වසංගතයක් බවට පත්වෙලා තියෙනවා. ඊට හේතුව තමයි ඉතා සීඝ්‍රයෙන් විවිධ ආකාරයේ පිළිකා පැතිරීයාමේ තත්ත්වයක් උදාවී තිබීම.
අපි අතීතයත් එක්ක සංසන්දනය කර බැලුවොත් අතීතයේදී මෙවැනි තත්ත්වයක් අත්දැක්කේ නෑ. සාමාන්‍යයෙන් 70 දශකයෙන් පසු කාලයේදී තමයි මේවා බොහොම වේගයෙන් සමාජය තුළ පැතිර යන්න ගත්තේ. ඉස්සර පිළිකා නොතිබුණා කියලා මෙයින් අදහස් කරන්නේ නෑ. නමුත් ඒ කාලෙ තිබුණේ සුළු වශයෙන්. අපි මුලින්ම බලන්න ඕනෙ මෙම තත්ත්වය එදා විදිහටම පවතින්නේ නැතිව ඇයි වර්තමානයේදී වැඩිවෙලා තියෙන්නේ කියන කාරණාව ගැනයි.
ආයුර්වේද මතානුකූලව ගත්තොත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ බොහොම පැහැදිලිව පිළිකා කියන නමින් නොවුණට මේ හා සමාන රෝගී අවස්ථා විග්‍රහ කරලා තියෙනවා. සාමාන්‍යයෙන් අපේ සිරුරේ Benign tumor හා Malignant කියලා ගෙඩි ආකාර දෙකක් තියෙනවා. Benign කියන්නේ පිළිකාමය නොවන දෙයක්. Malignant තත්ත්වයට යනවා කියන්නේ ඒක පිළිකාමය තත්ත්වයක්. මෙම ගෙඩි වර්ගවලින් එකක් ජීවිතය විනාශකරන තර්ජනාත්මක අවස්ථාවක් හා අනෙක තර්ජනයක් නොවන දෙයක් කියන එක තමයි සරලම විග්‍රහය. ඇත්තටම අපට හානිකර නොවන ගෙඩි ඕනෑතරම් අපේ සිරුරේ හමුවෙනවා. ඒ වගේම අපිට පීඩාකාර, හිංසනීය Malignant වර්ගයේ ඔය කියන පිළිකා තත්ත්වයනුත් අපට හමුවෙනවා.
අපේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ගත්තම මෙවැනි රෝග අවස්ථාවන් ඇතිවීමට හේතු සාධක කතාකරලා තියෙනවා. ඕනෑම රෝගයක මුල් අවස්ථාව, මැද අවස්ථාව, පශ්චාත් අවස්ථාව, අතුරු ආබාධ ආදිය ගැන විග්‍රහ කරනවානෙ. ඒ වගේ චරක සංහිතාව, සුශ්‍රැත සංහිතාව වැනි වසර 3500කට පමණ පෙර ලියැවුණු ග්‍රන්ථවලත් මෙවැනි රෝග සම්බන්ධයෙන් පෙන්වලා තියෙනවා. නමුත් ඒවා ඉතා බහුල ලෙස සාකච්ඡා කරපු ඒවා නොවේ. ඊට හේතුව තමයි ඒවා එම කාලය තුළ බහුලව දකින්නට නොලැබීම.
පිළිකා බහුල වෙන්නේ ඇයි?
වර්තමානයේ පිළිකා බහුල වීමට මූලිකම හේතුව විදිහට මම දකින්නේ කාර්මික විප්ලවයයි. කාර්මික විප්ලවයත් සමඟ ස්වභාව ධර්මය සමඟ අපට තිබුණ ළබැඳියාව ගිලිහිලා ගිහින් තියෙනවා. අපි ස්වභාව ධර්මයට පිටුපාලා ගමනක් යනවා. මේක තුළ පරිසරය විනාශ වෙනවා. අපි යාන්ත්‍රික වෙලා. මිනිසාගේ සිතුම් පැතුම් ඉඳලම උඩු යටිකුරැ වෙලා. ආහාර රටාව වෙනස් වෙලා. ජීවන රටාව වෙනස් වෙලා. මේ සමස්ත ක්‍රියාවලියම බලපාලා තියෙනවා අපි රෝගීන් බවට පත්වීමට. ඒ රෝගවලදීත් යම් යම් රෝග විශාල වශයෙන්ම සමාජයේ පැතිරෙන්නටත් මේ ක්‍රියාවලිය තමයි බලපාලා තියෙන්නේ. ඇත්තම කියනවා නම් මානවයාගේ ක්‍රියාකාරීත්වය තමයි මේ සඳහා මූලික හේතුව.
පිළිකා කාරක සිරුරට එකතු කරගන්නේ අපිමයි අපගේ ආහාර රටාව ගත්තම අපි අද බහුල වශයෙන්ම පිළිකා කාරක අපේ සිරුරට එකතු කරගන්නවා. අතීතයේ එවැනි දේ තිබුණත් ඒ සුළු වශයෙන්. පරිසර සාධක ගත්තම අපි දන්නවා අපි අද මේ ඉන්න පරිසරය මොනතරම් දූෂිත තත්ත්වයකද තියෙන්නේ කියලා. පරිසරයේ අපිට ආශ්වාස කරන්න තියෙන වාතයත් වහවෙලා තියෙනවා. අපි කන බොන දේ වහවෙලා. අතපත ගාන ටික වහවෙලා තියෙනවා. ගන්න වතුර ටික වහවෙලා තියෙනවා. අපි විසින් දූෂණය වෙලා. වර්තමානයේ එවැනි පිළිකා කාරක විශාල ප්‍රමාණයක් අපේ ශරීරයට එකතු කර ගන්නවා.
තාක්ෂණික දියුණුව, තාක්ෂණික මෙවලම්, තාක්ෂණික ක්‍රියාකාරකම් සියල්ල අද වෙද්දි අපිට මේ තත්ත්වය ඇති කරනවා. ඉතින් ඒක නිසා අපි මුලින්ම අවධානය යොමුකළ යුත්තේ මෙවැනි කාරණා වළක්වා ගන්නේ කොහොමද කියන එක ගැනයි. අද ලෝක සෞඛ්‍ය සංවිධානය හා බලධාරීන්ගේ මූලික අවධානය යොමුවෙලා තියෙන්නෙත් මේ ඇතිවෙලා තියෙන ව්‍යසනයෙන් ගොඩ එන්නේ කොහොමද කියන එක පිළිබඳවයි. මෙයින් ගොඩ එන්න නම් ඒ සඳහා හේතුසාධක වන කාරණාවලින් ඉවත් වෙන්න ඕනෙ. උදාහරණයක් විදිහට ඕසෝන් ස්ථරයේ සිදුරක් නිර්මාණය වීම හරහා පෘථිවිය වෙත ගමන් කරන පාරජම්බුල කිරණවලින් චර්ම පිළිකා ඇතිවීමේ අවධානම තියෙනවා කියලා හඳුනාගෙන තියෙනවා. එමෙන්ම කෘෂි කර්මාන්තයේදී භාවිත කෙරෙන රසායන ද්‍රව්‍ය හරහාද, ඇතැම් යාන්ත්‍රික ද්‍රව්‍ය නිෂ්පාදනයේදී ඉවත්වන රසායන හරහාද, පිළිකා ඇතිවන බවට හඳුනාගෙන තියෙනවා. ඉතින් පිළිකාවෙන් මිදෙන්න නම් මෙවැනි තත්ත්ව ඇතිවීම වළක්වා ගන්න ඕනෙ.
පිළිකාවක පැතිරීම
අපේ ශරීරයේ සෑම අංගයකම පිළිකාවක් ඇතිවෙන්න පුළුවන්. අපිට පාලනය කරන්න බැරි විදිහට අපේම සිරුරේ තිබෙන සෛල ගොඩනැගීමයි මෙහිදී සිදුවන්නේ. පිළිකාවක් තියෙද්දී එය වැඩෙන්නට ශරීරයේ සෛල විශාල ප්‍රමාණයක් වැයවෙනවා. ඒක හරියට පිළිලයකට සමාන කරන්න පුළුවන්. පිළිලය මවු ශාකය ආක්‍රමණය කරනවා. ඉන්පසු එය විනාශ කරනවා. මෙවැනි දෙයක් තමයි පිළිකාවකදීත් සිදුවන්නේ.
පිළිකා සුවකරගත හැකිද?
පහසුවෙන් සුවකරගත හැකි පිළිකා සේම පහසුවෙන් සුවකරගත නොහැකි පිළිකා වර්ගද තියෙනවා. එය රඳා පවතින්නේ පිළිකාව කොයි තැනකද තියෙන්නේ කියන කාරණය මතයි. අපි ප්‍රතිකාර කරන්න පටන්ගන්නේ කොතැනින්ද? අපි හඳුනාගන්නේ කොතැනින්ද කියන එකත් මෙතනදී බලන්න ඕනෙ.
ඇත්තටම අපේ ක්ෂේත්‍රයට අනුව ගත්තම ඔබ ඕනෑතරම් දැකලා ඇති පුවත්පත් දැන්වීම් එහෙම තියෙනවා පිළිකා සුවකරන බවට. වෛද්‍යවරයෙකු වුණාම අපි දැනගන්න ඕනෙ මේ ක්ෂේත්‍රය හොඳින්ම ප්‍රගුණ කරන්නට. අපි යමක් කියනවා නම් ඒ කියන දේට බරක් තියෙන්න ඕනෙ. ඒ කියන දේ සත්‍ය වෙන්න ඕනෙ. නැත්නම් අහිංසක රෝගියෙක් තමයි පීඩා විඳින්නේ. රෝගියාගේ ජීවිතය තමයි කෙටිකර ගන්නේ.
පිළිකාව කියන දේ මූලිකව හඳුනා ගන්නට පුළුවන් වෙන්න ඕනෙ. ආයුර්වේදයේ පැහැදිලිව දක්වලා තියෙනවා මෙවැනි අවස්ථාවකදී රෝග ලක්ෂණ මොනවාද කියලා. අනෙක තාක්ෂණය දියුණු නිසා පිළිකාවෙහි පැතිරීම සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ලබාගන්න පුළුවන්. රෝගියාට ප්‍රතිකාර කිරීමේදී පිළිකාව කොතෙක් දුරට පැතිරිලා තියෙනවාද, මොන අවස්ථාවේද තියෙන්නේ කියන කාරණා ඉතා වැදගත්. මොකද පිළිකාව කියන එක එක තැනක තියෙන්නේ නෑ. ඒක දෙවැනි, තෙවැනි අවස්ථාවට පත්වෙනවා.
රෝගියාගේ බිය නැතිකළ යුතුයි
අනිත් එක තමයි මෙවැනි රෝගීන් වෙනුවෙන් බොහොම අනුකම්පාවෙන්, ආදරයෙන් අපි කටයුතු කරන්න ඕනෙ. මොකද මෙවැනි රෝගීන් අද සමාජයේ ඉතා බහුලයි. ඒ වගේම ඔවුන් යම් ජීවන බයකින් පෙළෙනවා. ඒක විශාල ප්‍රශ්නයක් රෝගියකුට ප්‍රතිකාර කිරීමේදී. ඔහුට මෙම රෝගය සුවවන බවට විශ්වාසයක් ඇතිකරන්න ඕනෙ. ඒ වගේම ආදරයෙන් ගෞරවයෙන් ප්‍රතිකාර ලබාදෙන්න ඕනෙ. ඔහුගේ චිත්ත ශක්තිය වර්ධනය කරන්න ඕනේ. රෝගියාට වැඩිකල් ජීවත්වීමට අවශ්‍ය ශාරීරික ශක්තිය මේ මගින් ලැබෙනවා. වෛද්‍යවරයා ඇතුළු රෝගියා වටේ සිටින සියලු දෙනාගේම දයාව කරුණාව වැදගත් වෙනවා රෝගියාගේ රෝග තත්ත්වය පාලනය කරන්නට.
පිළිකා රෝගියා දුර්වල කරන්න එපා
පිළිකා රෝගියෙක් ළඟට ගොඩක් අය යන්නේ අනේ අපොයි කියාගෙන. ඒක නොකළ යුතු දෙයක්. ඒකෙන් සිද්ධ වෙන්නේ අපි තව තවත් ඒ රෝගියාට ජීවිත බය ඇති කරවන එකයි. සමහර වෛද්‍යවරුන් පවා රෝගීන්ට කියනවා ඔයාට තියෙන්නේ මේ වගේ තත්ත්වයක්, ඔයා තව ජීවත් වෙන්නේ මාස දෙකයි නැතිනම් තුනයි කියලා. එවැනි රෝගීන් මට බහුලව හමුවෙලා තියෙනවා. ඇත්තටම එතනදි වෛද්‍යවරයා පවසන දෙය සත්‍ය වෙන්න පුළුවන්. නමුත් එවැනි දේවලින් සිදුවන්නේ රෝගියා ඉච්ඡා භංගත්වයට පත්වෙන එකයි. මොනවා වුණත් කාටවත් තීරණය කරන්න බෑ තව කොච්චර කාලයක් ජීවත්වෙනවාද කියන එක ගැන. හෙට මැරෙනවා කියන මිනිස්සු අවුරුදු 20-30 ජීවත්වෙන වෙලාවල් තියෙනවා. කවදාවත් මැරෙන්නේ නෑ කියලා හිතන මිනිස්සු හෙට මැරෙන්නත් පුළුවන්.
මම ළඟට එන රෝගීන්ට වුණත් මට කියන්න බෑ නිට්ටාවට සුවපත් කරනවා කියලා. තියෙන වෛද්‍ය ක්‍රමය අනුව ඒ රෝගීන්ට උපරිමයෙන්ම සේවාව ලබාදෙනවා. අපිට විශ්වාසයි එක දවසක් හරි වැඩිපුර මේ රෝගීන් ජීවත්වෙනවා කියලා. අපි සායනික වශයෙනුත් තහවුරු කරලා තියෙනවා අපේ ආයුර්වේද ඖෂධවල පිළිකා නාශක ගුණය තියෙනවා කියලා.
පිළිකා රෝගියකුට ප්‍රතිකාර කිරීමේදී
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ පරමාර්ථය වන්නේ නිරෝගී පුද්ගලයා ආරක්ෂා කර ගැනීම හා රෝගී පුද්ගලයා එයින් මුදවා ගැනීමයි. සාමාන්‍යයෙන් පිළිකා රෝගියකු ගත්විට ඔහුට තියෙන්නේ මොන වර්ගයක පිළිකාවක්ද හා එහි බැරෑරුම්කම හඳුනාගෙන තමයි ප්‍රතිකාර කරන්න ඕනෙ. ඇතැම් රෝගීන් බටහිර ප්‍රතිකාර ලබාගන්න ගමන් අපි ළඟට එනවා. ඉතින් අපිත් ප්‍රතිකාර කරනවා. පිළිකාවක් වර්ධනය වීම බොහෝ අඩපණ කිරීම වගේම පැතිරීම වළක්වන්නත් ආයුර්වේද ප්‍රතිකාරවලට හැකියාව තියෙනවා. මෙහිදී වෛද්‍යවරයා තේරුම් ගත යුතු තවත් කාරණයක් තියෙනවා. ඒ තමයි අපි ළඟට එන රෝගියාගේ රෝගී අවස්ථාව අනුව ඔහුට සුදුසුම ප්‍රතිකාර ක්‍රමය මොකක්ද කියලා අවබෝධ කරගෙන රෝගියාව ඒ නිවැරදි වෛද්‍ය ක්‍රමය වෙත යොමුකළ යුතුයි. උදාහරණයක් විදිහට අපි වෙත එන රෝගියකුට වඩාත් සුදුසු වෙන්නේ ශල්‍ය සාධ්‍ය අවස්ථාව නම් අපි ඔහු ඒ වෙත යොමුකරන්න ඕනෙ. ඒක හොඳ වෛද්‍යවරයකුගේ ලක්ෂණයක්.
ඒ වගේම මම දන්න පිළිකා රෝගියෙක් හිටියා ඔහුට වෛද්‍යවරුන් කියලා තිබුණේ ඔහු තව ජීවත් වෙන්නේ මාස තුනයි කියලා. අපේ ප්‍රතිකාර ලබාගෙන දැන් අවුරුදු 14ක් වෙනවා. මාතර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන ඔහු තවත් බොහොම හොඳට ජීවත් වෙනවා. පිළිකාව නැතිවෙලා නෑ. නමුත් ඒක වර්ධනය නොවී තිබෙන නිසා ඔහු හොඳින් ජීවත්වෙනවා.
පිළිකාවක් ඇති නොවන්නට නම්
මේක ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේවත්, බටහිර වෛද්‍ය ක්‍රමයේවත් දේශීය වෛද්‍ය ක්‍රමයේවත් නෙමෙයි පොදුවේ බලපාලා තියෙන කාරණා ටිකක් තියෙනවා. මානව ක්‍රියාකාරකම් නිසා බලපාන හේතුවලට අමතරව වාත දූෂණය, ජල දූෂණ යන සියලු දෙයක්ම අද පිළිකා කාරක බවට පත්වෙලා තියෙනවා. අපි ඒ දේවල්වලින් වැළකෙන්නට ඕනෙ. අපි නිවැරදි ආහාර පුරුදුවලට යන්න ඕනෙ. අපි නිවැරදි ආහාර පුරුදුවලට යන්න ඕනෙ. ඒ වගේම පිරිසිදු ආහාර ලබාගැනීමට කටයුතු කරන්න ඕනෙ. රසායනික ද්‍රව්‍ය අන්තර්ගත ආහාරවලින් ඉවත් වෙන්න ඕනෙ. යාන්ත්‍රික ක්‍රමවලට අනුව ආහාර සැකසීම නිසාත් අද ආහාර පිළිකා කාරක බවට පත්වෙලා තියෙනවා. එවැනි දේවලින් අත්මිදෙන්න ඕනෙ. දැන් හොයාගෙන තියෙනවා ආහාර කරවුනායින් පසු අඟුරු වීම ඒකත් පිළිකා කාරකයක් කියලා. ශරීරයට එකතු කර ගන්නා යම් යම් රසායනික ඖෂධ වර්ගත් පිළිකා කාරක වෙනවා.
විකිරණශිලී ද්‍රව්‍ය බහුලවීමත් පිළිකාවට හේතුවක්
වර්තමානය වනවිට විකිරණශීලී ද්‍රව්‍ය බහුල වශයෙන් පරිසරයට මුදාහැරීම සිදුවෙලා තියෙනවා. ඒ සියල්ලම පිළිකා කාරක විදිහට බලපාල තියෙනවා.
හිත දූෂණය කරගන්න එපා
පවතින කාර්යබහුලතාවයත් සමඟ බොහෝ පිරිසක් ජීවත්වෙන්නේ දැඩි ආතතියකින්. මිනිස්සු ජීවිතය විඳිනවා නෙමෙයි විඳවනවා. මෙවැනි මානසික තත්ත්වයෙන් පෙළීම අපි වේගයෙන් රෝගවලට ලක්වෙන්නට හේතුවක්.
පරම්පරාවෙන් පරම්පරාවට එන පිළිකා
ඇතැම් පිළිකා වර්ග හට ගැනීම සිදුවන්නේ පරම්පරාවෙන් පරම්පරාවට එන ක්‍රියාකාරීත්වය අනුවයි. ගැබ්ගෙල පිළිකා, තයිරොයිඩ් පිළිකා වැනි ඒවා එලෙස එන පිළිකා තත්ත්වයන්.
සුවකිරීමට අපහසු පිළිකා
ඕනෑම පිළිකාවක් මුල් අවස්ථාවේ හඳුනා ගැනීමෙන් එය වළක්වා ගැනීමට ඇති හැකියාව වැඩියි. නමුත් ඇතැම් පිළිකා මුල් අවස්ථාවේ හඳුනා ගත්තද එය පිහිටන ස්ථානය අනුව එය ඉවත් කර ගැනීම අපහසු වනු ඇත. උදාහරණයක් ලෙස මොළයේ පිළිකාවක් යනු එවැනි සුවකර ගැනීමට දුෂ්කර වූ පිළිකා අවස්ථාවකි. එවැනි පිළිකා සඳහා ඖෂධ සාධ්‍ය මට්ටමෙන් යම් පිළියමක් කරගත හැකියි. හෘදය වස්තුවේ හා පෙනහලු ආදියේ පිළිකාත් සුවකිරීම තරමක් දුෂ්කරයි. කෙසේ වෙතත් මේ කුමන අවස්ථාවකදී වුණත් මුල් අවස්ථාවේ හඳුනා ගත්තොත් ඒවා පාලනය කිරීමේ මට්ටමට ගෙන ඒමට තරම් අද වෛද්‍ය ක්‍රමය දියුණුයි.
ඔබටත් පිළිකාවක් තිබිය හැකියි
අපි කාටවත්ම කියන්න බෑ අපිට පිළිකාවක් නෑ කියලා. අපිට එවැනි රෝගයක් හට ගැනීමේ සම්භාවිතාවයක් තියෙනවා ඒ ඒ කාලය ඇතුළත. කුඩා කළ සිට මහලු විය දක්වා යන වයස් පරාසය ඇතුළේ සමහර පිළිකා එක් එක් කාලවලදී අපට අනතුරු අඟවන අවස්ථා තියෙනවා. අපේ වයස එක්තරා සාධකයක් වෙනවා පිළිකා ඇතිවීම හා හඳුනාගැනීම කියන කාරණයේදී. පිළිකාවක් ශරීරයේ තියෙනවා නම් කෙනෙක් වේගයෙන් දුර්වල වෙනවා. මෙහිදී අපි වහාම සැලකිලිමත් වෙන්න ඕනෙ මෙවැනි අවස්ථාවකදී බාහිරව නැති වුණත් අභ්‍යන්තරිකව එවැනි රෝගයකින් පෙළෙනවාදැයි පරීක්ෂා කරවා ගන්නට. වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වීම මගින් එය පහසුවෙන්ම හඳුනාගන්න පුළුවන්.
පිළිකාවට ගුණ කෑම
පිළිකාවලට ගුණදායක ආහාර වර්ග ලෙස මඤ්ඤොක්කා හා කටු අනෝදා වැනි ආහාර ද්‍රව්‍ය අද වනවිට හඳුනාගෙන තියෙනවා. මඤ්ඤොක්කාවල අන්තර්ගත B17 නමැති සංඝටකය හරහා ආහාර මාර්ගයේ පිළිකා හටගැනීම මර්දනය කිරීමේ හැකියාව තියෙනවා. තවත් ආහාර ද්‍රව්‍ය කිහිපයකම මෙම සංඝටකය අන්තර්ගත වෙනවා. කටුපිලවලත් පිළිකා මර්දන හැකියාව තියෙනවා කියලා සනාථ කරගෙන තියෙනවා.
කොහොමත් අපි හැමවිටම උත්සාහ කළ යුත්තේ අලුත් එළවළු, අලුත් පළතුරු, අලුත් මාළු වර්ග නිතරම අපේ ආහාරයට එකතු කර ගැනීමටයි. මෙම ආහාර බොහෝ කල්තබාගන්නට පාවිච්චි කරනවා කියන්නේම ඒක පිළිකා කාරකයක්. ගොඩක් රටවල ආහාරය කියන්නේ මිනිස්සු පිරිසිදුවට ගන්නා දෙයක්. අපේ රටේ ආහාර සැකසෙන ආකාරය දිහා බැලුවාම ඒක ජීවත්වෙන්න දෙන ආහාරයක් නෙමෙයි. මැරෙන්න දෙන ආහාර වේලක්.
මානසික ශක්තිය
රෝගියෙකුට අවශ්‍ය ඖෂධ වර්ග ලබාදෙනවා වගේම ඔහුගේ මානසික ශක්තියත් විශාල වශයෙන් වර්ධනය කරන්න ඕනෑ. මෙම මානසික ශක්තිය රෝගියාගේ සුවවීම කෙරෙහි ඍජුවම බලපානවා. මානසික ශක්තිය නිසා පාලනයකින් තොරව වර්ධනය වන පිළිකා සෛල වර්ධනය වීම වළක්වන්න පුළුවන්. අපිට එහෙම රෝගීන් හමුවෙලා තියෙනවා. අද මැරෙනවා හෙට මැරෙනවා කියලා ඉඳලා දිගු කාලයක් ජීවත්වෙන එබැවින් මානසික ශක්තිය දියුණු කර ගැනීම ඉතාම වැදගත්.
හේමමාලා කුමාරි රාජකරුණා