2019 ජුනි 15 වන සෙනසුරාදා

අමෙරිකාවෙන් ඉන්දියාවට පැමිණි සූපවේදියා

 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 47

චෙෆ් (සූපවේදියා) චිත්‍රපටය 2014දී අමෙරිකාවේ ප්‍රදර්ශනය කෙරුණු හාස්‍ය මුසු නාට්‍යමය කතාවකි. එහි තිර නාටකය ලියා සම නිෂ්පාදනයෙන් ද සහාය වී අධ්‍යක්ෂණය කර රංගනයෙන් ද එක්වන්නේ ජෝන් පාව්රිය. ප්‍රධාන චරිතය වන සූපවේදියාගේ චරිතය ද අධ්‍යක්ෂකවරයාම රඟපෑවේය.

අධ්‍යක්ෂකවරයාට මෙහි තිර පිටපත ලිවීමේදී අවශ්‍ය වී ඇත්තේ ආහාර මුල්කරගත් චිත්‍රපටයක් තැනීමටය. ඒ සඳහා ඔහු අවන්හල්වල නිරීක්ෂණය කරමින් තොරතුරු සොයාගත්තේය.

කැලිෆෝනියාවේ අවන්හලක ප්‍රධාන සූපවේදියා වන කාර්ල්ට අවශ්‍ය අලුත් ආහාර වට්ටෝරැ ඉදිරිපත් කරමින් පර් යේෂණ කිරීමටයි. නව රස හඳුන්වාදීමටයි. නමුත් අවන්හලේ හිමිකරුට අවශ්‍ය ඔහු සාම්ප්‍රදායික ආහාර වර්ගවලට හිරකර තැබීමටය. මෙහිදී ඇතිවන ගැටුම නිසා කාර්ල් කලකිරීමට පත්වේ.

ඔහුට තමන්ට අවශ්‍ය ආකාරයේ නව ආහාර වර්ග පිසීමට අවස්ථාවක් නැත. ඔහු මේ ගැන හිතවතුන් සමඟ සාකච්ඡා කරයි. රැකියාවෙන් ඉවත් වී තමන්ගේම සිහිනය ඉටුකර ගැනීමේ අභියෝගය බාරගනී. ඒ සඳහා ඔහුගේ මිතුරෙක් ද උදව් වේ. ඔහුගේ පුතා ද එකතු වේ.

මෙම කතාව ගලා යන්නේ හාස්‍යය මෙන්ම මානුෂිකත්වය ද මතුවන අයුරිනි. ඒ අතර ආහාර වට්ටෝරැ සැකසීම ඉදිරිපත් කරන්නේ නරඹන්නා තුළ අපූර්වත්වයක් ජනිත කරවමිනි. ඒ අතරම පවුලේ ගැටුම්, බලාපොරොත්තු බිඳවැටීම් ආදී යටි පෙළක් ද කතාවට එකතු කර ඇත.

අමෙරිකාවේ චෙෆ් චිත්‍රපටය ඉන්දියාවට අනුවර්තනය වන ආකාරයෙන් 2017දී අධ්‍යක්ෂණය කරන්නේ රාමා ක්‍රිෂ්ණ මෙනන් විසිනි. එහි ප්‍රධාන චරිතය රඟපාන්නේ සයිෆ් අලි ඛාන්ය. පද්මප්‍රිය ජානකී රාමන් චෙෆ්ගේ බිරිය ලෙස රඟපාන්නීය. ඉන්දියානු අධ්‍යක්ෂකවරයා තිරනාටකය ඉන්දියාවට ගැලපෙන ලෙස තරමක් වෙනස් කරයි.

රොෂාන් කාල්රා ඉවුම් පිහුම් ජීවිතය කරගත් තරැණයෙකි. ඔහු අමෙරිකාවේ අවන්හලක සේවය කරන අතර හටගත් ආරවුලක් නිසා රැකියාව අහිමි වේ.

ඊටපසු ඔහු තම මව්බිම වන ඉන්දියාවට යයි. එහිදී ඔහු පරණ ඩබල් ඩෙකර් බස් එකක් සකසා ජංගම අවන්හලක් තනා ගනී. එහි සේවයට ඔහුගේ ළමා වියේ පසුවන පුතා ද එයි. බිරියගේ විරුද්ධත්වය ද නොතකා පුතා ද රැගෙන ජංගම අවන්හලේ චාරිකාව යයි. එහිදී ලබන අත්දැකීම් මත බිරියගේ අමනාපය ද දුරු වී යළිත් ඔවුන් සමගියෙන් එක් වේ.

බටහිර කතාවක් දේශීයත්වයට ගලපා ගන්නා අන්දම ගැන කදිම උදාහරණයක් මෙම සිනමා කෘතියෙන් සැපයේ. දුෂ්කර චරිතයක් රඟපාන සයිෆ් අලි ඛාන් මෙන්ම ජානකී රාමන් ද අගනා රංගනයක් ඉදිරිපත් කරති. යම් පුද්ගලයකු එක අරමුණක එල්බ ගැනීමෙන් තම සිහිනය ඉටුකර ගත හැකි බව මෙම කතාව අපට පවසයි. ඉන්දියානු චිත්‍රපටයේ ගීත හතක් ද ඉදිරිපත් කර ඇත්තේ එය බොලිවුඩ් බවට පත්කර ගැනීමට බව පෙනේ.

- ප්‍රේක්ෂක

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00