2019 ජුනි 15 වන සෙනසුරාදා

නෙළුම් කුලුනට වැදුණු අකුණේ පින්තූරය ගත් කැමරා බුවා

 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 479

අසුරු සැණින් අහස් ගැබ රටා ඇඳ ගුගුරා පුපුරා යන මේ කුළු මත ඇදි රිදී ඉරි ආලෝකයෙන් සිත්තම් කරන්නෙක් අපට හමුවිය. මෑතකදී කොළොම්පුර ආකාශ කුසුමට පාත් වූ අකුණක් සැණෙකින් සිය කැමරා ඇස මත ඔහු සිතුවම් කර ගත්තේය. රට පුරා බොහෝ දන දුටු සැණින් මවිත කරවූ මේ සේයාරුවේ හිමිකරු තිළිණ කළුතොටගේය. හේ විසි දෙහැවිරිදි වියේ පසුවන තරුණයෙකි. ඔහු ජායාරූප ශිල්පයට අත්පොත් තැබූවා පමණි. ඒ නමුදු හුදු අහම්බයක් නොවන දීර්ඝ කැපකිරීමක ප්‍රතිඵලයක් වන මේ සේයා රුවේ තතු විත්ති සොයා යනු රිසියෙන් අපි ඔහු හමුවූයෙමු.

එය කොළොම්පුර ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බටහිර කුලුනේ  විසිහත්වෙනි මහලේ දී සිදුවූ පිළිසඳරකි. අකුණු ජයාරූපයට නැගීම ලොව විවිධ තැන සිදුවන්නක් බව තිළිණ දැන ගත්තේ මීට දෑ අවුරුද්දකට පමණ පෙරය. මෙකී කාලයේ කැමරාවට සුරත හුරු කරමින් සිටි ඔහු සිය කැමරා ඇසට පළමු අකුණ කොටු කර ගත්තේ කොළඹ නිවුන් කුලුනු පාමුලදී අහම්බයකිනි. එතැන් පටන් අකුණු කෙරේ සිත් බැඳි මේ තරුණයා මේ කුළු අතරින් විජ්ජු ලතා සෙවීම සිය විනෝදාංශය කරගත්තේය. අප පිළිසඳරේ‍යෙදි ප්‍රාසාදයේ විසිහත්වැනි මහල ඊට කදිම තිත්පොළක් විය. සැබෑව නම් ඒ ඔහුගේ රාජකාරි ස්ථානයයි.

තිළිණගේ අලුත් විනෝදාංශය දැනගත් මාපියන් කෙරෙහි උපන්නේ තැති ගැන්මකි. දිවි දෙවැනි කොට අකුණු සොයා යාමට බොහෝ වැට කඩුලු බැඳිණි. එහෙත් ඒ වනවිටත් මේ කටයුත්තට ඔහු ආත්මීය ලෙස බැඳී සිටියේය. පසුව එලැඹි කාලය ඊට පිළියම් සැපයීය. තමන් ආරක්ෂාකාරීව මෙම කටයුත්ත කරන බව ඔප්පු කිරීමට තිළිණ සමත් විය. ආදරණීය පියා ද ඔහුගේ සහයට අකුණු සොයා යන්නට පැමිණියේ ඒ අනුවය. ඒ කෙසේ වෙතත් ජායාරූපයක් වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්නට සූදානම් වන වෘත්තීය ජායාරූප ශිල්පියකුගේ මූලික ගුණාංග මේ තරුණයා සතු විය. අනතුරු කිහිපයකට ද ඔහු මුහුණ පෑවේය. ගාලු කොටුවේ ජායාරූපයක් ගන්නට ගොස් උස් තැනකින් බිම ඇද වැටුණු ඔහු කලක් රෝහල් ගත වී සිටියේය. තවත් වරක  කැලණි පාලම අසලදී අකුණක් සිත්තම් කරන්නට ගොස් මීටර් කිහිපයක් දුරට විසි වී අතපය තුවාල කරගත්තේය. මහ වනයේදී සිය කැමරා උපාංග අලි ඇතුන්ට පුදා අාවේ වනජීවී ජයාරූපකරණයට ඔහු තුළ වන ප්‍රේමය නිසාය. 

වනජීවි ජායාරූපකරණය පිළිබඳ තිළිණ තුළ වන උනන්දුවද වෙසෙසින්ම මෙහි සටහන් කළයුත්තකි. විප්පත්තු පිළිබඳ වූ කතාබහ නිසාම එහි ගිය තිළිණ මේ ක්ෂේත්‍රයට ඇලුම් කරන්නට පටන්ගෙන ඇත. ඔහු විප්පත්තුවේදී ලබාගත් ජායාරූප කිහිපයක් ද පසුගිය කාලයේ සමාජ මාධ්‍යයේ අතිශය ප්‍රකට වූයේය. සමාජ මාධ්‍ය ගැන කියූ නිසා තවත් රහසක් හෙළිකර යුතුව ඇත. මුහුණ පොතේ කා අතරත් ප්‍රකට “වෙබ් බුවා” පිටුවේ හිමිකරු තිළිණ කළුතොටගේය. එය ඔහුගේ ජීවිතේ තව පැතිකඩකි.

දැන් අප ඔබට හෙළිකරන්නට සැරසෙන්නේ කොළොම්පුරයේ ආකාස කුසුම වන නෙළුම් කුලුන සැරසූ විජ්ජු ලතාවේ කතාවයි. මෙවන් ජායාරූපයක් ගත යුතුයැයි ඔහු තුළ සිතුවිලි උපන්නේ පසුගිය වසරේ ඔක්තෝබර්ය. ප්‍රංශයේ පැරිස් නුවර අයිෆල් කුලුනට ඉහළින් පුපුරා ගිය අකුණක ලෝක ප්‍රකට ජායාරෑපයක් ගැනීමට ජාත්‍යන්තර ජායාරූප ශිල්පියෙක් සමත්ව සිටියේය. මෙය දුටු වනම අපේ නෙළුම් කුලුන පිළිබඳ තිළිණට සිතක් පහළ විය. මේ සඳහා මාස ගණනාවක් බලා සිටීමට ඔහුට සිදුවිය. ඒ අතරේ බටහිර කුලුනේ සිට කොළඹ අහස විපරම් කරන මේ තරුණයා විස්මිතම අකුණුවල ජායාරූප කිහිපයක්ම ගැනීමට සමත් විය.

කොළොම්පුර අහසේ විවිධ දිශාවල අකුණු කෙටුවේය. විශේෂයෙන්ම වරාය අන්තය අකුණුවලට තෝතැන්නක් විය. ඉදිකිරීම් කටයුතු සඳහා භාවිත කරන යකඩ දොඹකරවලට අකුණු ඇදගන්නා අයුරු ඔහු දුවේය. නෙළුම් කුලුන අන්තයේ අකුණු දුටුවේ ඉඳහිටය. ඔහු සොයන අකුණ දින සති ගණනක් පමා විය. අවසානයේ මාස එකින් එක ගෙවී ගියේය. එහෙත් මේ බලාපොරොත්තු ඉවතලීමට ඔහු සූදානම් නොවූයේ ජායාරෑප ශිල්පියා සතු මනා ඉවසීම ප්‍රකට කරවමිනි. මේ කාලය තුළ නෙළුම් කුලුන හා අචල බැඳීමක් තිළිණට ගොඩනැගී තිබිණි. නෙළුම් කුලුන ආලෝකමත් කළ දා පළමු ජයාරූපය ගත්තේ ඔහුය. එය ද සමාජ මාධ්‍යයේ අතිශය ප්‍රකට විය. අවසානයේදී තිළිණ කළුතොටගේ බලා සිටි ඒ දිනය උදාවිය.

ඒ පසුගිය පෙබරවාරියේ දහනව වැනිදාය. ඒ රාත්‍රිෙය් වැසි අඳුරු අතරින් ඔහු බලා සිටියේ තවමත් මිය නොගිය නෙළුම් කුලුනේ අකුණුක බලාපොරොත්තු සමඟිනි. ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බටහිර කුලුනේ විසිහත්වැනි මහලේ කවුළුව අද්දරින් නෙත් යොමා සිටි තිළිණගේ බලාපොරොත්තු පොබයමින් තිබිණි. රාත්‍රී නවය පසු වී මිනිත්තු 30 ක් ගිය තැන ඒ ක්ෂණය උදා වූවේය. අකුණක් යනු ඇසිල්ලකින් මැකී යන්නකි. ජායාරූපයක් යනු ඇසිල්ලකින් ඇඳෙන ආලෝකයේ සිතුවමයි. ඔහු අත වූ කුඩා කැමරාව මත මේ ඇසිල්ල සටහන් විය. එය නෙළුම් කුලුනට අකුණක් ගසනවා ඔහු දුටු පළමු අවස්ථාවයි. එය මඟ නොහැරීම වාසනාවක් බව ඔහු අදටත් විශ්වාස කරන්නකි. තවදුරටත් මේ කැමරා තාක්ෂණයේ විස්මයක් ලෙසද ඔහු මෙය විස්තර කරයි. ඒ සියල්ල සත්‍ය වන නමුදු මෙය ඉවසීමේ ද කැපකිරීමේ ද හැකියාවේ ද උත්කෘෂ්ට ප්‍රතිඵලයක් බව කීම සාධරණය.

මෙම ජායාරෑප ගත් පුවත මුහුණුපොතේ දැමූව ද අදාළ ජායාරූප මුහුණුපොතට නොදැමීමට තිළිණ තීරණය කළේය. ඊට ඔහුට ප්‍රවීණයන්ගෙන් උපදෙස් ලැබුණි. ජායාරූප ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ලවා තමා ලබාගත් ඡායාරූප පරීක්ෂා කිරීමට ද ඔහු කටයුතු කර තිබේ. සිය කැමරා ආම්පන්න අහිමි වීම නිසා ජායාරූපකරණය පුහුණු වීමට ගත් කුඩා කැමරාවෙන් මේ ජායාරූප ගත් බව තිළිණ අපට කීය.

කාලය ගත වනවිට මේ ජායාරූප මුහුණුපොතට දැමිය යුතු යැයි නාඹර තරුණ සිත දිගින් දිගටම ඇවිටිලි කර තිබේ. මෙය මිනිසුන් දැකිය යුත්තක් බවත් තමන් යායුතු ඉදිරි ගමනට එය විශාල පිටුබලයක් වන බවත් ඔහුට සිතිණි. ඒ අනුව සම්පූර්ණ ජායාරූපයේ කොටසක් ජූනි මාසයේදී සිය මුහුණුපොත වෙත මුදා හැරීමට කටයුතු කළේය. එය එක්තරා කැළඹීමක් වූයේය. බොහෝ දෙනා එය බෙදාගත්හ. තවත් අය මෙය සත්‍යකින් තොර බවත් සංස්කරණය කරන ලද්දක් බවත් කියන්නට වූහ. තිළිණ නම් මේ යෞවනයා සතුව තම අවංකභාවය තහවුරු කරන්නට සාක්ෂි ඇති බව අපි දුටුවෙමු. විසි හත්වැනි මහලේ පිළිසඳර තවත් බොහෝ දුර ඇදුණි. එහි සියල්ල ලියා තැබීමට මෙහි ඉඩකඩ මදිය. කෙසේ වෙතත් මේ වසර දෙකක කාලය තුළ මේ යෞවන ආලෝක සිත්තරා ජාතික සහ ජාත්‍යන්තර ඇගයීම් කිහිපයකට ලක්ව සිටී. ඉදිරියේ මේ විස්මිත සේයාරූ ජාත්‍යන්තරට යනු ඇත. ඇතැම් විට මතුව ඇති බොහෝ ගැටලුවලට පිළිතුරු එදිනට ලැබෙනු ඇත. අප තිළිණගෙන් සමුගෙන  එන ගමනේ සිතට නැගි සිතුවිල්ල මේ සටහනින් නිම කරමු.

විජ්ජු ලතාවන්ට පෙම් කළ සීගිරි කසුප් රජ කළ නාරී රූ සිත්තම් කළ පරිද්දෙන් විජ්ජු ලතාවන්ට පෙම් කරන මේ යෞවනයා විජ්ජුලතා සජීවීකරණය කරමින් සිටී. ඉතින් මෙය ඉතිහාසයට එක් නොවේද?

► සටහන : චමිඳු නිසල් ද සිල්වා.