ලෝකයේ වඩාත්ම නියමිත වේලාවට මෙහෙයුම් වැඩි වශයෙන් සිදුකළ ගුවන් සමාගම ලෙස (World’s Most Punctual Airline) නම් කරනු ලැබීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සමත්ව සිටී. මාස දොළහකට අඩු කාලයකදී දෙවැනි වතාවටත් ශ්‍රීලංකන් ගුවන් සේවය මෙම ජයග්‍රහණය අත්පත් කර ගැනීම විශේෂයකි. 2018 වසරේ සැප්තැම්බර් මාසයේදී 91.37% ප්‍රතිශතයක් වාර්තා කරමින් ලොව වැඩිවශයෙන් නියමිත වේලාවට මෙහෙයුම් සිදුකිරීමේ ගුවන් සේවය ලෙස ප්‍රථමවරට වාර්තා කර ඇති අතර 2019 මැයි මාසයේදී ගුවන් මෙහෙයුම් නිසි වේලාවට සිදුකළ ප්‍රතිශතය වූයේ 90.75%කි.
www.flghtstats.com අනුව ගුවන් යානා දත්ත විශ්ලේෂණය කරනු ලබන සමාගම විසින් නිරීක්ෂණය කරනු ලැබූ සියලුම ගුවන් සමාගම් අතරින් ශ්‍රීලංකන් ගුවන් සේවය කාණ්ඩ දෙකක් යටතේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන තිබේ. ඒ කාණ්ඩ දෙක වන්නේ “ගෝලීය ගුවන් සේවා” සහ “ප්‍රමුඛ ගුවන් සේවා”ය. උතුරු ඇමෙරිකාව, යුරෝපය, මැද පෙරදිග, ආසියාව, දකුණු ඇමෙරිකාව වැනි ලොව විශාලතම සහ ගෞරවනීය ගුවන් සේවා මම කාණ්ඩය යටතේ විශ්ලේෂණය කෙරිණි. මෙම ගුවන් සේවා, පිරිමැසුම් ගුවන්සේවා, ගෝලීය ගුවන් සේවා සහ ප්‍රධාන ගුවන් සේවා යන කාණ්ඩ යටතේ වර්ග කර ඇති අතර ඇතැම් ගුවන් සේවා මෙවැනි කාණ්ඩ කිහිපයකටම අයත් වී තිබේ.
මෙහිදී ශ්‍රීලංකන් ගුවන් සේවය “ගෝලීය ගුවන් සේවා” යටතේත් “ප්‍රමුඛ ගුවන් සේවා” යටතේත් ප්‍රථමයා වූ අතර ගෝලීය ගුවන් සේවය යටතේ දෙවැනි ස්ථානය හිමිකරගෙන ඇත්තේ බ්‍රසීලයේ “LATAM” නම් ගුවන් සමාගම විසිනි. මෙහි තුන්වැනි ස්ථානය දිනාගෙන ඇත්තේ ජපානයේ “AII Nippon” නම් ගුවන් සේවයයි.
“ප්‍රමුඛ ගුවන් සේවා” කාණ්ඩයේ දෙවැනි ස්ථානය ජපානයේ All Nippon ගුවන් සේවයේ ‘Go Air’ ගුවන් සේවය තුන්වන ස්ථානයක් හිමිකර ගෙන තිබේ.
“ගුවන් සේවය නියමිත වේලාවට පැමිණීම සහ නියමිත වේලාවට පිටත්වීමෙන් ගනුදෙනුකරුවන් ගොඩාක් සතුටු වෙනවා. ඒ පිළිබඳව ඔවුන් අපිට ප්‍රශංසා කරනවා. මේ ප්‍රශංසා ලැබීමටත්, මේ ජයග්‍රහණ අප ගුවන් සේවය ලබාගැනීම සඳහාත් අපේ කාර්ය මණ්ඩලය නිරන්තරයෙන් කැපවී ඔවුන්ගේ කාර්යභාරය නිසි පරිදි සිදුකරනවා. මෙම ජයග්‍රහණය වෙනුවෙන් ගුවන් සේවා කණ්ඩායම වෙත සුභපැතුම් එක් කරනවා.” යැයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කේන්ද්‍රස්ථානය වන කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ආරක්ෂාව ඉහළ නංවා ඇති අවස්ථාවක මෙම ජයග්‍රහණය හිමිවීම සැබැවින්ම විශේෂත්වයකි. පහුගිය කාලයේදී රට තුළ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයන් හමුවේ ඇතිවූ දුෂ්කර කාල වකවානුවක වුවද තම ගනුදෙනුකරුවන්ට විශිෂ්ට සේවාවන් සැපයීම තුළින් ජාතික ගුවන් සේවයේ අසාමාන්‍ය කැපවීම පැහැදිලිවම පෙන්නුම් කර ඇත. මෙය සැබැවින්ම මුළු මහත් ගුවන් සේවයේ සියලුම කාර්ය මණ්ඩලයේ කැපවීමෙන් ලැබූ ජයග්‍රහණයකි. ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් නිසි වේලාවට මෙහෙයුම් සිදුකිරීමේ කාර්ය සාධනයක් වාර්තා වී ඇත්තේ එහි සියලු දෙපාර්තමේන්තු සහ පුද්ගල කාර්ය මණ්ඩල සාමාජිකයන් වගකියනු ලබන විවිධ පැතිකඩයන්හි මෙහෙයුම් කාර්ය සාධනය ව්‍යුහගත ක්‍රියාවලියක් තුළින් අධීක්ෂණය සහ සම්බන්ධීකරණය කිරීමට කටයුතු කරනු ලබන හෙයිනි.
පසුගිය මාස දොළහ තුළදී ශ්‍රීලංකන් ගුවන් සමාගම නිරන්තරයෙන් ලොව වැඩි වශයෙන් නියමිත වේලාවට මෙහෙයුම් සිදුකළ ගුවන් සේවා අතරින් එකක් ලෙස වාර්තා විය. 2018 ජූනි මස සිට 2019 මැයි මස දක්වා ගුවන් ගමන් යානා පිටත්වීමේ සාමාන්‍ය ප්‍රතිශතය 86%ක් විය. එම කාලය තුළදී ගුවන් ගමන් යානා පැමිණීමේ සාමානය ප්‍රතිශතය 85%කි. මේ නිසා ගුවන් සේවා ප්‍රමාදයන් හේතුවෙන් වැයවන අමතර වියදම්ද අඩුකර ගැනීමට හැකියාව ලැබුණි.
වර්තමානයේදී ශ්‍රීලංකන් ගුවන් සේවය රටවල් හතළිස් අටක ගමනාන්ත එකසිය එකොළහක් වෙත ගුවන් මෙහෙයුම් සිදුකරන බව වාර්තා වේ. වන් වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජික ගුවන් සේවයක් ලෙස වන් වර්ල්ඩ් පාර්ශ්ව ගුවන් සේවා හරහා රටවල් එකසිය හැටක ගමනාන්ත දාහක් දක්වා පියාසර කිරීමේ පහසුකම ශ්‍රීලංකන් ගුවන් මගීන්ට හිමිවේ.
“World’s Most Punctual Airline” ලෙස පසුගියදා ලද ජයග්‍රහණයට අමතරව මීට පෙර ශ්‍රීලංකන් ගුවන් සේවය ලෝක සංචාරක සම්මාන උළෙලෙහි ඉන්දියානු සාගර කලාප වෙත පියාසර කරන ලොව ප්‍රමුඛතම ගුවන් සේවය (World’s Leading Airline to the Indian Ocean) ලෙස සම්මානයට පාත්‍ර වී ඇත. එමෙන්ම World travel Awards Asia and Australasia සම්මාන උළෙලේදී ඉන්දියානු සාගර කලාපය වෙත පියාසර කරන ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස ද සම්මානය හිමිකර ගෙන තිබේ.
► දිශානි ජයමාලි කරුණාරත්න