ත්‍රිකුණාමලය සංචාරක පාරාදීසයක්. නරඹන්න තැන් බොහොමයි. ඒ අතරින් සුන්දරම තැනක් තමයි “පරවි දූපත“. දෙමළ භාෂාවෙන් කිව්වොත් “පරාමලේ“. නිලාවැලි වෙරළ තීරයේ ඉඳලා කිලෝමීටර් එකහමාරක් විතර ඈතින් තියෙන මේ දුපත පිහිටලා තියෙන්නේ. මෙතන දූපත් දෙකක් තියෙනවා. මේකෙන් ලොකු තමයි දුපත පරවි දුපත. අනික කාක දුපත.
අතීත ජනප්‍රවාදවලට අනුව නම් රජ කාලේ මේ දූපත පරවියන් මගින් පණිවුඩ හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක්. ඒ කියන්නේ සංදේශ යවන්න අවශ්‍ය පරවියන් ගාල් කරලා තැබූ තැනක්. ඉතින් අදටත් මෙම දුපතේ පරවියන් දස දහස් ගාණක් දකින්න පුළුවන් වෙන්නේ ඒ නිසාම වෙන්න ඕනා. නිලාවැලි වෙරලේ ඉඳලා බෝට්ටුවකින් මේ දුපතට යන්න පුළුවන්. ඒකට වෙනම බෝට්ටු සේවයක් තියෙනවා. සාමාන්‍යයෙන් වනජීවී එකෙන් මේ දුපත බලන්න යන්න ටිකට් එකක් ගන්න වෙනවා. උදේක බෝට්ටුව ගිහින් හවසට ඒ බෝට්ටුව ආෙයත් ගෙන්න ගන්න හැකියාවක් තියන නිසා නිදහස් අපූරු අත්දැකීමක් මෙහි විඳගන්න හැකියාවක් තියෙනවා.
තවත් විස්තර කියනවා නම් ගල් පරවලින් ගහන මේ පරවි දූපත ඇත්තටම සුන්දර තැනක්. සුවිශාල ගල් කඳු උඩට නැගලා අවට වටපිටාව බලන්නත් මෙතැනදී හොඳටම අවස්ථාව තියෙනවා. දූපතේ නැගෙනහිර පැත්තේ තියෙන නොගැඹුරු පිරිසිදු පතුළ පෙනෙන මුහුදු තීරය නාන්න කියාපු තැනක්. බාහිර ලෝකයෙන් මිදිලා හුදෙකලා වෙන්න අපූරු ඉස්සව්ව්වක් මේ.
මේ දුපතේ විශේෂතා ගැන කතා කරොත්. මේක තමයි ලංකාවේ එකම දූපත් ජාතික උද්‍යානය. 1970 දී මේක අභය භූමියක් කරලා තියෙන්නේ. 2003 දී තමයි ජාතික උද්‍යානයක් ලෙස නම් කරලා. පරවි දූපත ආශ්‍රිතව කොරල් විශේෂ 100 ක් විතර තියෙනවා. ඒ වගේම විසිතුරු මසුන් වර්ග 300 කට වැඩි ප්‍රමාණයක් ජීවත් වෙනවා. තව දුර්ලභ ගනයේ මුහුදු ශාඛ සහ ජීවීන් ආදීන් මෙහිදී නරඹන්න පුළුවන්. හොයලා බලනවා නම් තවත් විශේෂතා ගොඩක් හොයාගන්න අවස්ථාවක් තියනවා. ඔන්න ළඟදී නැගෙනහිර පැත්තේ සංචාරයක් කරන්න හිතන් ඉන්නවා නම් පරවි දූපත අමතක කරන්න එපා.
සටහන සේයාරූ : අන්තර්ජාලය ඇසුරින්