2019 ජුනි 22 වන සෙනසුරාදා

කෝටි 219ක් ගිල්ල මධ්‍යම අධිවේගය

 2019 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 54

1990 වසරේ සිටම මධ්‍යම පළාත සඳහා අධිවේගී මාර්ගයක් ඉදිකිරීමේ සැලසුම් ක්‍රියාත්මකව තිබුණ ද මේ වනවිට ද තැන තැන සිදුවෙමින් පවතින අවිධිමත් ඉදිකිරීම් හැරුණු විට කිසිම ප්‍රගතියක් නොමැති බවට විවිධ අංශ මගින් චෝදනා එල්ල වේ. මෙම අවිධිමත් කැනීම් හා කොටස් වශයෙන් සිදුකෙරෙමින් පවතින ඉදිකිරීම් නිසා පරිසර ගැටලු විශාල වශයෙන් උද්ගත වී ඇති අතර ඒ හේතුවෙන් ප්‍රදේශවාසින්ට මුහුණ පාන්නට සිදුව ඇති හානි පිළිබඳ පසුගියදා විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. සමහරුන්ගේ දීර්ඝ කාලයක් වගාකළ කුඹුරු පවා ජලය නොමැතිවීමෙන් වියැළී ඇති අතර ඇතැම් ප්‍රදේශවල ජනතාවට පානීය ජලය සොයාගැනීමට දුෂ්කරව ඇත්තේ බොහෝ ජල මූලාශ්‍ර වියළී ඇති බැවිනි. එසේම පාංශු ඛාදනයට ලක්වීම දූවිලි නිසා වායු ගෝලය අපවිත්‍රවීම මෙන්ම සමහර කඳුකර ප්‍රදේශ අවිධිමත්ව කැපීම නිසා නායයාමේ අවදානම් ඇතිවිය හැකි බවට ද බිය පළවේ.

ඇතැම් දේශපාලනඥයන් සහ වගකිව යුතු පිරිස් මෙම ව්‍යාපෘතිය ස්වකීය මඩි තරකර ගැනීම සඳහා පාවිච්චි කිරිමට ප්‍රයන්ත දැරීම නිසා සමහර කොන්ත්‍රාත්කරැවන් මෙහි කටයුතුවල නියැලීමට දිගටම කල්මැරීම ඉදිකිරීම් ප්‍රමාදවීමට හේතුවී ඇතැයි අනාවරණය වේ. විවිධ පුද්ගලයන් තම ගොඩ වැඩිකර ගැනීමට පමණක් තරගකාරී ලෙස කටයුතු කිරීම නිසා මෙහි ඇතැම් ව්‍යාපෘති දැන් වසර ගණනාවක සිට නැවතී ඇති බවද හෙළිවී තිබේ.

මෙහි ප්‍රමාදය පිළිබඳ හා ව්‍යාපෘතියේ ප්‍රගතිය දුර්වල වීමට වර්තමානයේ උද්ගතව ඇති ගැටලු සම්බන්ධයෙන් 2017 සැප්තැම්බර් මස 19 දා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදීද සාකච්ඡා වී ඇති අතර එහිදී දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය හා ව්‍යාපෘති අධ්‍යක්ෂක විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු අනුව විශේෂ විගණන වාර්තාවක් පිළියෙළ කරන ලෙස විගණකාධිපතිට උපදෙස් දී තිබේ. ඒ අනුව විගණකාධිපති 2018 වසර අවසන් භාගයේ ඒ පිළිබඳ දියත් කරන ලද විගණනය අනුව විගණන වාර්තාවක් 2019 වසරේ ජනවාරි මස නිකුත් කර ඇත.

එම වාර්තාව අනුව විගණකාධිපති දක්වා ඇත්තේ මෙහි ඉදිකිරීම්වලට අදාළ ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකිරීම නිසා රටට සිදුව ඇති අලාභය මෙතෙකැයි කියා තක්සේරු කළනොහැකි බවය. මෙම විගණන වාර්තාවේ විශේෂයෙන් පෙන්වා ඇත්තේ 2014 දෙසැම්බර් 31 දින වනවිට ස්මෙක් (Smec) ආයතනයට රුපියල් මිලියන 1759ක් ගෙවා ගෙන්වා ගෙන තිබූ ශක්‍යතා අධ්‍යයන වාර්තා පිළිගත හැකි තත්ත්වයක නොපවතින බව පවසා මේ සම්බන්ධව විවිධ අධ්‍යයන සඳහා බාහිර ආයතනවලට තවත් රුපියල් මිලියන 65ක් ද ගෙවා තිබුණද ඒ දක්වාම අවසාන ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් සකස්කර නොමැති බවය.

 


තවද විටින් විට කරන ලද අධ්‍යයනද සමඟ රුපියල් මිලියන 2193ක් හෙවත් රුපියල් කෝටි 219.30 අහිමි වූ මුදල පිළිබඳ අදාළ තීරණ ගත් හා තීරණ ක්‍රියාත්මක කරන ලද පාර්ශව වගකිව යුතුබව විගණකාධිපති නිගමනය කර තිබේ. 

එසේම ඔහු පෙන්වා දී ඇත්තේ විගණක දිනය වනවිට ද අධිවේගී මාර්ග පථය නිසි ලෙස හඳුනාගෙන ඇස්තමේන්තු සංශෝධනය කර නොමැති වීම නිසා ලංසු ලේඛන පිළියෙළ කිරීම හා ලංසු අගැයීමේ නිරවද්‍යාතාව පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි වූ බවය. 

තවද රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය නොකළ අවස්ථා ගැනද විගණකාධිපති පෙන්වා දී ඇත. මාර්ගයේ අංක 01, 02 හා 03 කොටස්වලට අදාළ උපදේශක සහ කොන්ත්‍රාත් සමාගම් තෝරා ගැනීම සිදුව ඇත්තේ 2006 රාජ්‍ය ප්‍රසම්පාදන මාර්ගෝපදේශවල 1.1 වගන්තියට පටහැනිව බවද කියයි. එසේම තරගකාරී මිල ක්‍රමය අනුගමනය නොකිරීම නිසා එම ප්‍රසම්පාදන මාර්ගෝපදේශවල අංක 1,2,1 වගන්තිවලට පටහැනිව ක්‍රියාකර ඇතිබවද සඳහන් කර ඇත. එසේම කෝන්ත්‍රාත්කරුවන් තෝරාගැනීමේදී ද රාජ්‍ය ප්‍රසම්පාදන සංග්‍රහයේ 1,4,2 සහ 1,4,3 යන ප්‍රසම්පාදන සාරධර්මවලට පටහැනිව ක්‍රියාකර ඇතිබවද පෙන්වා දෙයි.

මෙහිදී පෙන්වා දී ඇත්තේ ජපාන තානාපති කාර්යාලය මෙම අවිධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියට අකමැත්ත පළකර තිබියදී එය නොසලකා අමාත්‍යාංශ ලේකම් ඉදිරි ක්‍රියාමාර්ග ගෙන තිබූ බවය. මුදල් අමාත්‍යවරයා ද විරෝධය පළකර තිබියදී අනුගමනය කර තිබූ තරගකාරි ලන්සු ක්‍රියාවලිය නවතා ඊට බාහිරව අමාත්‍යවරයාගේ කැබිනට් සංදේශය ප්‍රකාරව Fujita සමාගම ඉදිරිපත් කර තිබූ ලංසුව පිළිබඳව එම ආයතනය සමඟ සාකච්ඡා කිරීම ප්‍රසම්පාදන උපදේශවලට පටහැනි බවද පෙන්වා දී තිබේ. එසේම Fujita සමාගමේ ලංසුව පිළිනොගෙන තිබියදී එම ලංසුව යළිත් වරක් අගැයීමට ලක්කරන ලෙස ජපාන විශේෂ උපදේශක කළ ඉල්ලීම පිළිගෙන ක්‍රියාත්මක කිරීමද ප්‍රසම්පාදන උපදේශවලට පටහැනි බව විගණකාධිපති කියයි.

තවද එම සමාගමේ ලංසුව ප්‍රතික්ෂේප කිරීම නිවැරදි බවට නැවතත් ප්‍රසම්පාදන කමිටුව නිර්දේශ කර තිබියදී ඊට පටහැනිව Taisei සමාගම සමඟ බද්ධ වී කටයුතු කිරීමට අවසර දීම ප්‍රසම්පාදන මූල්‍යධර්මවලට පටහැනි බවද කියයි. මෙම ක්‍රියාමාර්ග නිසා රාජ්‍ය මූල්‍ය හා අනිකුත් සම්පත් අපතේයාම සිදුවන අතර වැය වන මුදල හා එයට ලැබෙන අගය අතර විශාල වෙනසක් පවතින බව නිරීක්ෂණය වූ බවද පවසන විගණකාධිපති ව්‍යාපෘතියට යොදවන රාජ්‍ය ණය, කාර්යක්ෂමව, ඵලදායි ලෙස භාවිත කළයුතු බවද පෙන්වා දෙයි. එවැනි අභ්‍යන්තර පාලන ක්‍රමයක් සැලසුම් කර විධිමත්ව ක්‍රියාකිරීම කළමනාකරණයේ වගකීමක් බවද පෙන්වා දී ඇත. මෙවැනි මහා පරිමාණ ව්‍යාපෘති සැලසුම් කිරීමේදී සහ ක්‍රියාත්මක කිරීමේදී අදාළ නිලධාරීන් නිසි ව්‍යාපෘති පරීක්ෂාවකින් යහපාලන ආකෘතිය තුළ ක්‍රියාකිරීමේ අවශ්‍යතාවද විගණකාධිපති ස්වකීය වාර්තාවෙන් අවධාරණය කරයි.

අමාත්‍ය මණ්ඩලයට නිවැරදි තීරණවලට එළඹීමට හැකිවන අයුරු අවශ්‍ය සියලුම අදාළ සත්‍ය හා නීත්‍යානුකූල තොරතුරු අමාත්‍ය මණ්ඩල සංදේශ මගින් අමාත්‍ය මණ්ඩලයට දැනුම් දීමට වගකිව යුතු නිලධාරින් ක්‍රියාකළ යුතුයැයිද විගණකාධිපති නිර්දේශ කර තිබේ. 


ඉදිකිරීම්වලදී සිදුවන මිල උච්ඡාවචනවල වාසිය රජයට ලැබෙන පරිදි ඒ පිළිබඳ අවධානය යොමුකරමින් මාර්ග සැලසුම් කිරීම, ලංසු කැඳවීම සහ ප්‍රසම්පාදන ක්‍රමය තීරණය කිරීමේදී කටයුතු කළයුතු බවද නිර්දේශවල දැක්වේ.

ප්‍රසම්පාදන ක්‍රියාවලට අදාළ ලිපිගොනු ක්‍රමවත්ව පවත්වා ගැනීම සඳහා නිලධාරින්ට නිශ්චිත උපදෙස් ලබාදිය යුතු අතර ලංසු ලියකියවිලි ලබාගත් ලංසුකරුවන් වෙනුවෙන් දත්ත ලිපිගොනු පවත්වාගෙන යාම මෙන්ම එම ලියකියවිලි සහ සංශෝධන සියලු අදාළ පාර්ශවලට යවන ලද බවට සනාථ කර ගැනීමේ වැදගත්කමද පෙන්වා දී ඇත.

ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ආරක්ෂා විය යුතු “මුදලට අගය” යන සංකල්පය රැකෙන පරිදි ආර්ථිකභාවය, කාර්යක්ෂමතාව සහ ඵලදායිකත්වය යන ගුණාංග සුරැකෙන අයුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය මෙහෙයවිය යුතු අතර මෙම ක්‍රියාවලියේදී අනුකූල විය යුතු වලංගු නීතිරීති සහ පොදුවේ සම්මත නියමයන්ට සැමවිටම අනුගත වියයුතු බවටද විගණකාධිපති නිර්දේශ කර තිබේ. ලංසු අගැයිමේදී තාක්ෂණික අගැයිම් කමිටුව සහ ප්‍රසම්පාදන කමිටුව විසින් ගන්නා ලද තීරණවල අඩුපාඩු, ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා අසාමාන්‍ය කාලයක් ගතකිරීම, ලංසු ලේඛනවල විනිවිදභාවය වැඩි දියුණු කරනොගැනීම වැනි අඩුපාඩු පිළිබඳ අවධාරණය කර ඇති විගණකාධිපති තරගකාරිත්වය ඉහළ නැංවීමේ අවශ්‍යතාවද පෙන්වා දී තිබේ.

වගකිව යුතු පාර්ශව විසින් අවිධිමත් ලෙස තීරණ ගනු ලැබීම නිසා සහ මුලින් ගන්නා තීරණ හා විෂය පථය නිරන්තරයෙන් වෙනස් කිරීම මෙහි ව්‍යාපෘති පිරිවැය කෙරෙහි අහිතකර ලෙස බලපා ඇති බවද විගණකාධිපති නිගමනය කර සිටි.

මෙහිදී විගණකාධිපති නිගමනය කර ඇති සුවිශේෂ සිද්ධියක් වන්නේ මෙම ව්‍යාපෘතිය සඳහා යොදාගත් ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී අපේක්ෂිත මූලික අරමුණු ඉටුවන පරිදි එය ක්‍රියාත්මක කර නොමැති බවය. එයට ප්‍රධාන හේතුව ලෙස ඔහු දක්වා ඇත්තේ උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ව්‍යාපෘති කාර්යාලය යන ආයතනද මේ සඳහා පත්කරන ලද තාක්ෂණික අගැයීම් කමිටුව හා අමාත්‍ය මණ්ඩල මගින් පත්කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටු සහ අනෙකුත් සම්බන්ධිත කමිටු විසින් සිය කටයුතු ඉටුකිරීමේදී නිසි වෘත්තිය සැලකිල්ලකින් (Professional due Care) කටයුතු කර නොමැති වීමය.

නිසි ශක්‍යතා අධ්‍යයනයක් සිදුකර නොතිබීම, සැලසුම් සකස් කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා නොදීම යන හේතු නිසා මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අසාමන්‍ය ලෙස ප්‍රමාද වී ඇතිබව විගණකාධිපති ස්වකීය වාර්තාව මගින් නිගමනය කර තිබේ.

මෙම නිරීක්ෂණ හා නිගමන පිළිබඳ වගකිව යුත්තන් දැන්වත් අවධානය යොමුකර 1990 වසරේ සිට අවුරුදු 29ක් තිස්සේ ප්‍රමාද වෙමින් පවතින අධිවේගී මාර්තු ව්‍යාපෘතිය ඉතා ඉක්මනින් නිමාකර ජනතා අපේක්ෂා මුදුන්පත් කිරීම ජාතික අවශ්‍යතාවයක් බව පෙන්වා දෙමු. 

► යසවර්ධන රුද්රිගු

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00