“ෆේස්බුක් එකෙන් කරන පාටියක් පොසොන් පෝය දවසේ තියනවා කියලා ආරංචියක් තියෙනවා. එතන කුඩු, ගංජා, අයිස් විතරක් නෙවේ ගණිකා ජාවාරමක් කෙරෙනවලු. තියන තැනක් ගැන හරියට තොරතුරක් නෑ. නමුත් වැඩේ කෙරෙන බව ස්ථිරයි.”
රත්නපුර සුරාබදු ස්ථානාධිපති නන්දන පෙරේරාට ලැබුණු එම තොරතුර සම්බන්ධයෙන් කහවත්ත පොලිස් විශේෂ කාර්ය බලකා කඳුවුරේ පොලිස් පරීක්ෂක මුණසිංහ මහතා දැනුම්වත් කරනු ලැබීමය. ඒ සමඟ වැටලීම් සඳහා විශේෂ කාර්ය බලකායේ සහයෝගය ලබාදීමට සැලසුම් කෙරණි. ඒ වනවිටත් තොරතුර සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් දැනුම්වත් කිරීමට ද කටයුතු කර තිබිණ.
පොසොන් පොහොයට දින කිහිපයකට කලින් ලැබුණු අදාළ තොරතුර පිළිබඳ කෙටි සාකච්ඡාවකින් අනතුරැව කහවත්ත පොලිස් විශේෂ සුරාබදු නිලධාරීන් නීති විරෝධී මත් සාදය වැටලීමට සූදානම් වී සිටියහ. ඒ අනුව විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිස කහවත්ත සිට බලංගොඩ නගරයටත් සුරාබදු නිලධාරීන් රත්නපුර සිට බලංගොඩ නගරයටත් පැමිණියෝය. පළමුව ආරංචිය ලැබී තිබුණේ ෆේස්බුක් සාදය බලංගොඩ අවට ස්ථානයක පැවැත්වෙන බවය. වැටලීමට සූදානම් වූ නිලධාරීන් අතර නිල ඇඳුම් රහිතව සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරී පිරිසක් ද වූහ.
සිවිල් ඇඳුමින් සැරසුණු පිරිස බලංගොඩ නගරයෙන් පිටත්ව තිබුණේ සැක සහිත හෝටල් හා උත්සව ශාලා පිළිබඳව රහසිගතව විමර්ශනය කිරීමටය. මේ ආකාරයට නිලධාරීන් පිටත්ව යාම පසුගිය 15 වැනිදා රාත්‍රී 8.30ට පමණ සිදුවිය. පැය ගණනාවක් පුරා සෝදිසි මෙහෙයුම සිදු කළද මධ්‍යම රාත්‍රිය ඉක්මෙන තුරුත් ස්ථිර තොරතුරක් ලැබී නොතිබිණි. මේ අතර සිවිල් ඇඳුමින් සැරසී පිටත්ව ගිය එක් නිලධාරී කණ්ඩායමක් බලංගොඩ නගරයේ රැඳී සිටි නිලධාරීන් වෙත දන්වා තිබුණේ බෙලිහුල්ඔය, පඹහින්න ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක සාදයක් පැවැත්වෙන බවය.
පෝය දිනයේ අලුයම 4ට පමණ ලැබුණු තොරතුරත් සමඟ ක්‍රියාත්මක වූ නිලධාරීහු පොලිස් විශේෂ කාර්ය බලකායේ හා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිල රථ අතරමග නවතා තබා පා ගමනින් නිවාඩු නිකේතනය දෙසට ගියහ.
“අපේ නිලධාරීන් කියපු විදිහට නිවාඩු නිකේතනය තිබුණේ බෙලිහුල්ඔය පඹහින්න ප්‍රදේශයේ. කළුවරේ වැටලීම සිදු කරන්න ගිය අපේ සිවිල් නිලධාරීන් පිරිස නිකේතනයේ වත්ත වටකරලා පසුපස දොරටුවකින් ඇතුළු වුණා. නිල ඇඳුම් සහිත නිලධාරීන් ඉදිරිපස ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වුණේ කලින් ටීම් එක ඇතුළට ගියාට පසුවයි. ඒත් එක්කම අපේ වාහන දෙකක් ප්‍රධාන ගේට්ටුව ළඟ නතර කළා. අක්කර දෙකක් විතර ලොකු ඉඩම මැද හෝටලය තිබුණේ. එතන නාන තටාකය ළඟම විදුලි ආලෝකය සහිත ඩී.ජේ. ප්‍රසංගයක් තිබුණා. තැන තැන පිරිස් මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිටියා. ඒ අතරේ හැමෝම අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා.” යැයි පොලිස් පරීක්ෂක මුණසිංහ මහතා පැවසීය.
සාදයට සහභාගී වී සිටි පුද්ගලයන් 51 දෙනකු එම ස්ථානයේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර එම පිරිසට කාන්තාවන් සිව්දෙනෙක් ද අයත් වූහ. සාදය සංවිධානය කොට තිබුණේ ප්‍රවීන් නැමැති බලංගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. මොහු තමන් පෞද්ගලික ආයතනයක ඉහළ තනතුරක් දරණ අයකු බව හෝටල් කාර්ය මණ්ඩලයට පවසා ඔවුන්ගේ සුහද හමුවක් සඳහා හෝටලය වෙන්කරවාගෙන ඇත. ඊට අමතරව යුවළ වශයෙන් පැමිණි තිදෙනකු විසින් කාමර තුනක් වෙන් කරවාගෙන තිබුණි. දෙපිරිස පිළිබඳව කිසිදු සැකයක් හෝටල් කාර්යමණ්ඩලයට දැනී නොතිබුණි. එබැවින් පිරිස පිළිබඳව වැඩි යමක් සෙවීමට ඔවුන් උත්සාහ නොකළ බව කියා ඇතැයි සඳහන්ය.
කෙසේ වෙතත් සුහද හමුව සඳහා සහභාගී වන පිරිස 20 – 30 අතර සංඛ්‍යාවක් බවට හෝටල් කළමනාකාරීත්වයට දන්වා තිබුණද 50කට අධික පිරිසක් එහි පැමිණ සිටියහ. එහෙත් වැටලීම සිදු කරන මොහොතේ එයට සහභාගී වී සිටි කාන්තාවන් දෙදෙනකු එතැනින් පිටව ගොස් තිබුණි.
අත්අඩංගුවට ගන්නා විට කාන්තාවන් රැඳී සිට ඇත්තේ කාමර දෙකක් තුළය. හෝටල් පරිශ්‍රයේ ඇති සී.සී.ටී.වී. කැමරාවලට හසු නොවන පරිදි තෝරාගෙන තිබූ එක් කාමරයක මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිත කර තිබුණි. ඒවා අලෙවි කර තිබුණේ ද එම කාමර තුළ පමණි. එසේම වෙන් කරවාගත් කාමර තුළ ගණිකා ජාවාරම සිදුකළ බවට ද තොරතුරු හෙළි වී ඇත.
කාන්තාවන් අතර සිටි එක් තරුණියකගේ වයස අවුරුදු 17කි. සෙසු අය අවුරැදු 30ට අඩුය. අත්අඩංගුවට පත් පිරිමි 46 දෙනකු වයස 30ට අඩු වන අතර එක් අයකු 33 හැවිරිදිය. මේ අය බලංගොඩ, කැකිරාව, ගම්පහ, කොළඹ, ගාල්ල, ඇඹිලිපිටිය වැනි ප්‍රදේශවල අයවළුන්ය.
මෙහිදී හෙරොයින් සන්තකයේ තිබූ හතරදෙනකුට අයකුට රු.10,000 බැගින් සහ ගංජා ළඟ තබාගත් 46 දෙනකු රු. 2500 හා 3000 බැගින් දඩ නියම කර ඇත. මේ අය තුළ ගංජා ග්‍රෑම් 257ක් හෙරොයින් ග්‍රෑම් 260ක් අයිස් මිලිග්‍රෑම් 30ක් සහ මත්පෙති තිබී හමු වී ඇත. අත්අඩංගුවට ගත් පිරිස පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
පොලිස් විශේෂ කාර්ය බලකාය කහවත්ත කඳවුරේ පොලිස් පරීක්ෂක මුණසිංහ, උප පොලිස් පරීක්ෂක බංඩාර, (8132) පොලිස් සැරයන් යාපා, (6962) පොලිස් කොස්තාපල් දිසානායක ඇතුළු නිලධාරීන් සමඟ රත්නපුර සුරාබදු ස්ථානාධිපති නන්දන පෙරේරා, සුරාබදු අධිකාරී තිස්ස ගුණරත්න සමඟ රත්නපුර, බලංගොඩ හා ඇඹිලිපිටිය සුරාබදු කාර්යාලවල නිලධාරීන් පිරිසක් ද දායක වී ඇත.
► සමන්ත ප්‍රදීප් විල්තෙර