2019 ජුනි 29 වන සෙනසුරාදා

ලංකාවට වටා කොරල් පවුර විනාශයි!

 2019 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 836

ලංකාව වටා වූ ස්වභාවික ආරක්ෂක පවුර ලෙස ක්‍රියා කරන කොරල්පර සහමුලින්ම විනාශ වීමේ අනතුරට මුහුණපා සිටී. මේ බවට මෑතකදී අනතුරු අඟවා තිබුණේ සාමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාරය. මේ වනවිට කොරල්පරවලින් සියයට 80කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති බවත් තත්ත්වය මෙලෙසම පැවතුණහොත් අපට කොරල්පර සදහටම අහිමිව යා හැකි බවටත් ඔහු අනතුරැ අඟවා තිබේ. මේ අනතුරු ඇඟවීමේ ආන්දෝලනාත්මක හඬ කාලාන්තරයක් තිස්සේම දෝංකාර නැංවෙන හඬකි. එසේ වුවද එයින් ලබාදෙන පණිවුඩය තවමත් නිසි තැන්වලට කිට්ටු කර නැත. එහෙයින්ම, මේ මොහොත වනවිටත් ලංකාව වටා වූ සජීවී කොරල්පර සිය අවසන් හුස්ම පොද සඳහා පොර බදමින් සිටියි.

කලින් කට පලින් පල සේ වරින් වර අසන්නට ලැබෙන කොරල්පර විනාශය පිළිබඳ අඳෝනාව එය නැගී ආවා සේම බැසී යයි. ඉන්පසු දිගුකාලීන නිශ්ශබ්දතාවයකි. 80 දශකයේ මුල්භාගයේ සිට කොරල්පර විනාශය සිදුවන බවත් ඒවායේ ආරක්ෂාව සඳහා ඉක්මන් ක්‍රියාකාරීත්වයක් අවශ්‍ය බවටත් වූ මේ කලකෝලාහලය වරින් වර මෙලෙස නැගී ආවේය. නමුත් රට වටා බැඳි ස්වභාවික ආරක්ෂක පවුරක් බඳු කොරල්පර විනාශය හේතුකොට 2004 වසරේ සුනාමිය මගින් දැඩි අනතුරකට රට ඇද දමනතුරැ මෙහි ඇති සැබෑ විනාශකාරී ස්වභාවය පිළිබඳ තදබල හැඟීමක් රටේ පහළ නොවීය. ඉන් පසුවද ක්‍රියාත්මක වූ පෞද්ගලික මට්ටමේ සංරක්ෂණ සහ පර්යේෂණ වැඩසටහන්, මෙන්ම රාජ්‍ය අනුග්‍රහය ලත් ක්‍රියාකාරකම්ද කෙමෙන් කෙමෙන් කල් ගතවත්ම බෝඩ් ලෑලිවලට සීමා වූ සංරක්ෂණ සටන් පාඨ පමණක් බවට පත්ව තිබේ.

කොරල් බුහුබාවා ලෙස හඳුන්වන ඇසට නොපෙනෙන තරම් කුඩා කොඳුඇට පෙළ රහිත සත්ත්වයකුගේ ක්‍රියාකාරීත්වයට පින් සිදුවන්නට රට වටා තැනී ඇති අපේ කොරල්පර සමුදාය සංචාරකයන් ඇදගන්නා සුන්දර දැක්මකි. සාගරයේ මහා වැසි වනාන්තරය^ ලෙස මේ කොරල්පර සහිත සුන්දර කලාප නම්කර ඇත්තේ ඒවායේ ඇති අද්විතීය ජීව සමූහනය නිසාමය. කොරල් බුහුබාවාගේ වාසස්ථානය ලෙස සැකසෙන කැල්සියම් මූලික කොට තැනෙන හුණුගල් ආවරණ තොග ගණනින් පොදි ගැසී මේ සාගරයබද වැසි වනාන්තරයට වැඩෙන්නට අවශ්‍ය පදනම් භූමිය සකසයි. විශේෂ 183කට වැඩි විවිධ හැඩ සහ වර්ණ දරන අලංකාර කොරල් අපේ රටේ මේ සාගරබද සුන්දරත්වය තැනීමට දායක වී ඇති බව වාර්තාගතය. ලංකාවටම ආවේණික විශේෂ රුසකින් සමන්විත විවිධ මාළුන්, කැස්බෑවන් වැනි උභය ජීවීන්, මුහුදු ඉකිරි, කැකිරි වැනි අලංකාර සතුන්, කකුළුවන්, පොකිරිස්සන්, මුහුදු කූඩැල්ලන්, බෙල්ලන්, මොරේ ආඳුන්, විදුලි ආඳුන් මෙන්ම මුහුදේ වනබිම සකසන ඇල්ගේ ශාක ගොන්නද මේ අපූරැ වෙරළාරක්ෂක පවුර නිර්මාණයට දායකව තිබේ. නාරා වාර්තාවකට අනුව මේ ආශ්‍රිතව හමුව ඇති විවිධ ජීව විශේෂ සංඛ්‍යාව දහසකට අධිකය. ලංකාවේදී ඊසානදිග, නැගෙනහිර, ගිනිකොණ වෙරළබදව සහ දකුණුකරයේත් වයඹදිගත් මේ කොරල්පර වැටි මගින් ආරක්ෂාව සැලැසී තිබේ.

මේ වෙරළාශ්‍රිත ස්වභාවික පවුර වනසා දමන්නට මුල්තැන ගෙන ඇත්තේ මිනිසා සහ මිනිස් ක්‍රියාකාරකම්ය. කොරල්පර ආශ්‍රිත හුණුගල් කැඩීම කර්මාන්තයක් ලෙස කලෙක පටන් පාරම්පරිකව සිදුව එන්නකි. රටේ ගොඩනැගීම් අවශ්‍යතා සඳහා වූ හුණුගල්වලින් සියයට 92ක්ම සැකසෙන්නේ නිරිතදිග සහ දකුණු මුහුද ආශ්‍රිත කොරල්පරවලට සිදුවන මහා විනාශය සමගිනි. මේ කොරල්පර ඇත්තටම වසර 5000ක් එපිට ඈත කාලයක තැනුණු ඓතිහාසික අගයක් ඇති වස්තූන්ය. අකුරණ හික්කඩුව ආශ්‍රිත වෙරළත් ඈත දකුණුකරයේ මාතර සහ ඔබ්බෙන් වූ වෙරළ තීරයත් මේ විනාශය බහුලව දක්නට ලැබෙන ප්‍රදේශයන්ය. 1984 වාර්තාවකට අනුව මේ ප්‍රදේශවලින් පමණක් වසරකට ටොන් 18000ක් හුණුගල් සඳහා කොරල් කැඩීමේ විනාශය සිදුව තිබේ. මේ නිසා සිදුවන වෙරළ ඛාදනය ඇතුළු පාරිසරික විනාශයන් වළක්වා ගැනීම උදෙසා වැටි දැමීම ඇතුළු සංරක්ෂණ වැඩ සඳහා මිලියන ගණන් වැය කිරීමට සෑම රජයකටම සිදුව ඇත.

හුණුගල් කර්මාන්තය පමණක් නොව ධීවර කර්මාන්තයද කොරල් විනාශයට ඍජුවම සහ වක්‍රව බලපානා හේතුය. එම කර්මාන්තයේදී භාවිත කරන ඩයිනමයිට් හෙවත් ඩයිනා දැමීම, මුහුදු පතුල හූරාගන්නා දැල්පන්න ක්‍රම මෙන්ම කොරල් ආශ්‍රිත පරිසර පද්ධතිය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය වන්නාවූ මත්ස්‍ය විශේෂ බුරුතු පිටින් අල්ලාගැනීම හේතුවෙන් ඔවුන් වඳවී යාම යන කාරණා මෙහිදී ප්‍රධාන විනාශකාරී බලපෑම් ලෙස සැලකිය හැකිය. ට්‍රෝලර් ඇතුළු නවීන මුහුදු යාත්‍රාවලින් නිකුත් වන අපද්‍රව්‍ය, ඛනිජ තෙල් එක් පසෙකිනි. නැංගුරම් නිසා ඇතිවන හානිය තවත් පසෙකිනි. විශේෂයෙන්ම 1982 දී පමණ වාර්තා වූ කොරල් අවර්ණ වීමට හෙවත් මැරී යාමට හේතු වූ මූලික කරැණක් වූයේ කොරල් ජීව පරිසරය සශ්‍රීකව සමබරව පවත්වාගන යන්නට මූලික වූ මත්ස්‍ය විශේෂ වඳවී යාමය. මේ මසුන් සාගර තණබිම් ලෙස හඳුන්වන කොරල්පර ආශ්‍රිත ඇල්ගේ වනාන්තරය කා දමා, කප්පාදුවට ලක් කරමින් එය සමතුලිතව පවත්වාගන යති. නමුත් ඔවුන් නැති කළ අධිකව වර්ධනය වන ඇල්ගේ කැලෑව කොරල්පරය ඉක්මවා වර්ධනය වී මහා ඇල්ගේ මූකලානක් බවට පත් වේ. අධිකව වැඩෙන ඇල්ගේ පසුව තොග පිටින් මැරී යාම අරඹයි. ඇල්ගේ විනාශයත් සමඟ එළැඹෙන්නේ කොරල්පර ආශ්‍රිත ජීව ගහණයේ විනාශයයි. සමතුලිතතාව බිඳ වැටුණු කොරල්පර මිය ගොස් සුදුමැලිව සුසාන භූමියක් බවට පත්වෙයි. ඇත්තටම මේ වනවිට අප රට වටා මුහුදු පත්ලේ ඇති කොරල්පර බහුතරයක්ම එබඳු සුසානයන්ය.

වෙරළාශ්‍රිතව ඇතිවන කර්මාන්ත මෙන්ම නගරබදව මුදාහැරෙන අපද්‍රව්‍ය හේතුවෙන්ද වෙරළාසන්න කොරල්වැටි විනාශය සිදුවේ. ඊළඟට ඇත්තේ ස්වභාවික විපත්ය. ආගන්තුක ඇල්ගේ වර්ගයක් පැතිර යාම නිසාද ලංකාව වටා කොරල්පර විනාශයට ලක්වීම සිදුවිය. එම මූලික විනාශය තදින්ම බලපෑවේ හික්කඩුව පරයටය. 1997 වන විට හික්කඩුව පරයේ සජීව කොරල් ඒ හේතුවෙන් මුළුමනින්ම විනාශ වන තත්ත්වයක් උදාවිය. පසුව 1998 දී පැමිණි එල්-නිනෝ අසමතුලිත කාලගුණික තත්ත්වය කොරල්පර මැරී යාමට හේතුවක් විය. එකල හික්කඩුව මුහුදු දිය උණුසුම සෙල්සියස් අංශක 5කින් ඉහළ ගියේය. මේ හේතුවෙන් කොරල් සුරකින ඇල්ගී වැස්ම වියළී පිළිස්සී මියගිය අතර අවසන් ප්‍රතිඵලය වූයේ කොරල් මියයාමයි. මේ විනාශය එදා කල්පිටිය බාරී පරයටද, යාපනය දූපත්වලටද, මන්නාරම බස්තලතිව් පරයටද තදින්ම බලපෑවේය. කොරල් සහමුලින්ම වාගේ මිය ගියේය. වරාය නිර්මාණයද කොරල් විනාශයට බලපානා තවත් මාරකයකි. මිරිස්ස මේ සඳහා වූ හොඳම නිදසුනයි. එය මුළුමනින්ම තැනී ඇත්තේ කොරල්පරයක් වනසා දමමිනි.

වරාය ආශ්‍රිත ගොඩනැගීම්, සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත මෙහෙයවීම්, තහනම් ධීවර පන්න, අපද්‍රව්‍ය බැහැර කිරීම ආදී මානව ක්‍රියාකාරකම් අතරට එල්නිනෝ, සුනාමි, ආගන්තුක ජීව විශේෂ බලපෑම් වැනි සොබාවික විනාශයන්ද එක්වීම මගින් මේ වනවිට ලංකාව වටා ඇති කොරල්පර සහමුලින්ම අහිමිව යාමේ අවදානමක් පවතින බවට අනතුරු ඇඟවීම් නිකුත්ව හමාරය.

වාර්තාගත අන්දමට ත්‍රිමලය පරවි දූපත හා අවට කොරල්පරයෙන් 40%ක් මිය ගොසිනි. දකුණේ හා නිරිතදිග මුහුදේ කොරල් 80%ත් 90%ත් අතර මිය ගොසිනි. ලංකාවේ ප්‍රථම සමුද්‍ර වනෝද්‍යානය වන හික්කඩුවේ කොරල් 90%ක්ම මියයාම සිදුව ඇත. ඒ අනුව ලංකාව වටා වූ කොරල් පවුර සියයට 80ක් පමණ වැනැසී යාමේ අනතුරට මුහුණපා හමාරය. ප්‍රධාන වශයෙන් මිනිස් ක්‍රියාකාරකම් නවතා දැමීමෙන් කොරල්පර ආරක්ෂා කරගත හැකි බවට හොඳම නිදසුන කල්කුඩා වෙරළයි. එහි කොරල් කැඩීම නතර කිරීමත් සමඟ දැන් අලුතෙන් ඉතා කෙටි කලකින් වැටි නිර්මාණය වී තිබේ. මේ අන්දමටම කොරල්පර ආරක්ෂාව සඳහා වූ නීති බලාත්මක කිරීම හා ජනතාව දැනුවත් කිරීම මගින් ඉක්මන් පියවර නොගතහොත් ලංකාවට අයත් මේ සුන්දර වෙරළාරක්ෂකයා අපට සදහටම අහිමිව යනු ඇත. එය මහා පාරිසරික විනාශයකට මග පෙන්වන්නකි.

 සුගත්

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00