දේශය අමතක නොකර දේශය වෙනුවෙන් කළ හැකි දෙයක් කරන සම්පත් තවමත් අපට තිබෙයි. ඉන් එක සම්පතක් මෑතක දී අහඹු ලෙස හමු විය. ඇය ජීවිත කාලයෙන් බාගයක්ම ස්කොට්ලන්තයේ ගුරුවරියක්. අපේ රටේ සමහරැ රටේම සිට රට කන පිරිසට අයත්. සමහරැ හරියට සද්දේ. වැඩක් කරන්නේ නැහැ. මේ තැනැත්තිය නිශ්ශබ්දව වැඩ කරන; ළමා පාඨකයන්ට පුංචි පොත් ලියන, ලේඛිකාවක්.
බෝම්බ පුපුරන්නට මත්තෙන් දිනක එක්තරා හෝටලයක උදෑසන තේ පානය කරමින් සිටි මා මිතුරු මහින්ද සමරවීරගේ බිරිඳ වූ ඇය සුනීතා ශෂී සමරවීරයි. මේ යුවල දශක තුනක් ස්කොට්ලන්තයේ.
තම ගුරැ අත්දැකීම් භාවිතා කරමින් කුඩා දරැවන්ට ගැලපෙන කතාවක් තෝරන්නට වෑයම් කිරීම අසීරු කාර්යයක්. ඇය පැවසූ පරිදි ඇය සිය සැමියා වන මහින්ද සමරවීර සමඟ නිවාඩුවකට ජපානයේ සංචාරයේ යෙදුන කලෙක අසා දැනගත් කතාවකි. “ෆියෝරෙල්ලා”. මේ නමින් කුඩා ළමා කතාවක් පින්තුර සහිතව ලියවෙන්නේ එහි ප්‍රතිඵලයක් හැටියට.
දරු සම්පතක් නොමැතිකමින් දුක් වෙන යුවලකි. ගහ කොළට ආලය කරන කාන්තාවට හදිසියේ අපුරැ අත්දැකීමක් ලැබෙයි. ඇයට පරිසරයෙන් දරැවෙක් ලැබෙයි. වත්තේ ගසක මලකින් ඉපදුනු කුඩා දියණියකි. මලෙන් උපන් නිසා ඇයට “ෆියොරෙල්ලා” යන නම තැබෙයි. තම මව්පිය සෙනෙහස ලබමින් වැඩෙන ඇය; සඳෙන් පැමිණි ඥාති පිරිසකට හමු වෙයි. ඒ අනුව ඇයට ආපසු සඳ වෙත යන්නට සිදු වෙයි. හේතුව ඇය සඳ දියණියක් වීමයි. මෙතෙක් හදා වඩා ගත් මවුපිය සෙනෙහස අතහරින්නට ඇය මැලි වෙයි. පසුව, දෙමාපිය අවසරය මත ඇය ආපසු සඳ වෙත ගිය ද වරින් වර හදා වඩා ගත් මවු පියන් බලන්නට පැමිණෙයි.
කෘතියකින් ආස්වාදය ලැබූ කල්හි එහි සමස්ත අරැතින් පෝෂණය වන්නේ දරැවා වීම ළමා නිර්මාණයක හරයයි. දරුවාට ලැබෙන ජීවිත ආදර්ශය ඔවුනට ගැලපෙන එකක් වීම ඊට වඩා වැදගත්ය. විවිධ කලා නිර්මාණවල ඇති ආදර්ශවත් චරිත දරුවා අනුගමනය කරයි. සිද්ධීන් ජීවිතයට ආදර්ශ කොට ගනී. මනෝ විද්‍යාවට අනුව; දරැවා කතාව තුළ ජීවත් වෙමින් තමා ලබාගන්නා අත්දැකීම් හරහා තමා ආස්වාදය ලැබූ කතාව දකින්නට උත්සාහ කරයි. ටෙලි නාට්‍ය කලාවේ “ඔෂින්”, “චන්ගුමි” සියල්ල එසේය. දරුවා පරයා වැඩිහිටියා ද එයට හුරැවී ඇත. කුඩා කල ප්‍රසන්නගේ මෑ වැල නම් කතාව අපේ වයසේ කාටත් මතක ඇතැයි සිතමි. එය අසා මම ද මෑ වැලක් සිටුවා ටික ටික ලොකුවෙන හැටි බලා හිටියේ දිවය ලෝකයට යන්නයි.
මම නාට්‍ය කලාවට පෙම් කරන නිසා “ෆියෝරෙල්ලා” හි මා දකින කුඩා ළමා නාට්‍යයක් ඇත. මෙය ඒ සඳහා කදිම වස්තුවකි.
ශෂී ලියූ මේ පුංචි ළමා කතාවෙන් එය ආස්වාදය කරන දරුවා “ෆියෝරෙල්ලා” සමඟ ජීවත් වනු ඇත. “ෆියෝරෙල්ලා” මෙන් දෙමාපියන්ට සලකනු ඇත. මේ කුඩා ළමා කතාව තුළින් ලබන මානසික පෝෂණය නිසා පරිසරයට පෙම් කරනු ඇත. ළමා කතාවක් ගමන් කළ යුතු වන්නේ එම දිශාවටයි. දරැවන් වෙනුවෙන් ළමා කතා ලියූ හොඳම පරිසරයත් ඇයට ජීවත් වන්නට ලැබී ඇත.
විලියම් ශේක්ස්පියර්ගේ සමකාලීන නාට්‍යකරුවන් කිහිපදෙනෙකි. ඒ තෝමස් කයිඩ්, ජෝන් ලයිලි, ක්‍රිස්ටෝපර් මලෝය. මේ අතුරින් ජෝන් ලයිලි නිතරම ලියන්නට ප්‍රිය කළේ ගලා යන ගංඟා, ඇල දොළ, කුරුළු රංචු, මල්, සුරංගනාවන් වැනි දේ ගැනය. ඔහු එසේ ලියුවේය. දරුවන් අතර ජනප්‍රිය වූයේ ලයිලිය. ඒ පරිසරය සහ ඉතිහාසය ශෂී නැවත නැවතත් අධ්‍යනය කොට ඇගේම අනන්‍යතාව මතු කරන ළමා චිත්‍ර කලාවකට ද උරුම කම් කියමින් දිරියෙන් නැගී සිටියි. අපි ඇයට සුබ පතමු. ඉදිරියේදී “ෆියෝරෙල්ලා” ඉක්මවා යන තව නිර්මාණ බිහිවේවා!
ජයලාල් රෝහණ