2019 ජුනි 29 වන සෙනසුරාදා

සාහසික විවේචනත් මම ඉවසනවා

2019 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30146

- රජත පුස්තක සම්මානලාභී රංජිත් මල්ලියාවඩු

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මෙහෙයවන රජත පුස්තක කාව්‍ය සම්මාන උළෙලේ හොඳම කවි පොත ලෙස ඇගැයීමට ලක්වූයේ රංජිත් මල්ලියාවඩු ලියූ සහෝදර මුහුණුවරයි. මල්ලියාවඩු මෙයට පෙර ඇස් ලැබීම, මංගල දියවර, නිදි නැති ගඟ යන කාව්‍ය කෘති පළකර තිබේ.

ඔබේ මුල්ම කවිපොතටත් සම්මාන අවුලක් ඇතිවූ බව අපට ආරංචියි?

ඔව්. මගේ පළවෙනි කවිපොත 1989 දී පළවූ ඇස් ලැබීම. මේ පොත 1990 රාජ්‍ය සාහිත්‍ය සම්මානය සඳහා නිර්දේශ වෙනවා. නමුත් එලෙස පොත නිර්දේශ වුණත් මම නොදන්නා හේතුවක් නිසා සම්මාන උළෙලේ දී හොඳම කවිපොතට සම්මානයක් පිරිනමන්නේ නෑ. එවකට සාහිත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් පවසනවා සම්මාන සඳහා සුදුසු කෘතියක් නොතිබුණු බවට. මේ ගැන එවකට ලකීර්ති නමින් පුවත්පත්වලට ලියන විචාරකයා මේ ගැන ප්‍රශ්න කරනවා. කෙසේ වුවත් අදෘෂ්‍යමාන හස්ත ක්‍රියාත්මක වීමෙන් සම්මානය නොලැබී යනවා. පසුව මතුවූ අදහසක් වුණේ ඇස් ලැබීම පොතේ දේශපාලනික කවි පැවති නිසා ඉවත් වූ බවයි. නමුත් ලෝකයේ දේශපාලනයෙන් තොර දෙයක් නැහැනේ.

ඒ කියන්නේ ඔබට සම්මාන ගැන තියෙන්නෙ අමිහිරි අත්දැකීමක්?

අපි කවි ලියන්නේ සිතේ පහළවන හැඟීම් ලියන්න මිසක් සම්මාන බලාගෙන නෙමෙයිනේ. ඇත්තටම සම්මාන පොරයක් තිබෙන බව දැනගත්තට පස්සෙ හිතුණා මේක මොන පිස්සුවක්ද කියලා. මේ දිගු කාලය තුළ මම පොත් හතරයි ලිව්වේ. මම හෙමින් ගමනක් යන කෙනෙක්.

රජත පුස්තක සම්මානය ලැබේවි කියලා ඔබ මුලින් සිතුවාද?

නෑ. මගේ සිතේවත් ඒ ගැන තිබුණේ නෑ. මුල් වටයේදී හොඳම පොත් හතරට තේරැණු බවත් මම දැනගත්තේ ප්‍රකාශන ආයතනය දුන් දුරකතන ඇමතුමකින්. ඊට පසු ජයග්‍රාහී කෘතිය වේවි කියල හිතුවෙත් නෑ. පාදක මණ්ඩලය වගේම උත්තරීතර මණ්ඩලයේ හිටියේ කවුද කියලවත් මම දැනගෙන හිටියෙ නෑ.

සම්මානය ලැබීම ගැන සතුටුද?

ඔව්. ඕනෑ කෙනෙක්ගේ අභිප්‍රේරණ සාධකයක්නේ ඇගැයීම කියන එක. මටත් ඒකෙ වෙනසක් නෑ. සතුටක් තිබෙනවා. නමුත් මේක මට දැනෙන විදිහ වෙනස්. සම්මානය හිමිවීම නිසා පොත ගැන පණිවුඩය විශාල පාඨක ප්‍රජාවකට ගියා. විවිධ ප්‍රතිචාර ලැබුණා.

මූණුපොතේ වගේම පුවත්පත්වලත් විචාර පළවෙනවා සහෝදර මුහුණුවරට වඩා හොඳ පොත් පැවති බවත් ඒවා මුල් වටයෙන්ම ඉවත් වූ බවත්. ඒ ගැන ඔබ මොකද හිතන්නේ?

මම මේ ගැන උපේක්ෂාවෙන් තමයි බලන්නේ. මම සරල ජීවිතයකට යොමුවුණු කෙනෙක්. අඩුම තරමින් ස්මාර්ට් දුරකතනයක්වත් නෑ. මම මූණුපොතෙන් දුරස්ත පුද්ගලයෙක්. විනිශ්චය සාපේක්ෂ දෙයක්. සමහරැ තම තමන් කැමති කවිපොත්වලට සම්මානය ලැබේවි කියලා හිතාගෙන ඉන්න ඇති. නමුත් පෙනී සිටි විනිශ්චය මණ්ඩලය ඔවුන්ගේ මිනුම්දඬු අනුව තෝරාගෙන තිබෙන්නේ මේ පොත. විවේචන තිබෙන්න පුළුවන්. මම විවේචනවලට බය පුද්ගලයෙක් නොවෙයි.

මුල්ම කාලයේ යොවුන් පහන්වැටේදී මගේ නිර්මාණවලට ලැබුණු සාධනීය විවේචන වගේම සාහසික විවේචනත් මම මැදහත්ව ඉවසුවා. වැරදි පෙන්වූ විවේචනවලින් මම යමක් ඉගෙන ගත්තා. අද මම ගැන කරන විචාරත් ඊළඟ සාහිත්‍ය කෘතිය නිර්මාණයේදී මට උත්තේජනයක් වේවි.

ඔබ කියන්නේ මෙය ඔබගේ හොඳම කවිපොත බවද?

මේ කවිපොත මම බොහොම ඉවසිල්ලෙන් ලිව්වේ. හම්බන්තොට රාජකාරි කරන කාලේ බෝඩිමක ඉඳගෙන විවේකයෙන් ලියපු නිර්මාණ තමයි මෙහි තිබෙන්නේ. ඒ නිසා නිර්මාණ නැවත කපා කොටා සංස්කරණය කරමින් තමයි ලිව්වේ. මේ කවිපොත අවධානයට ලක්වීම මම ගත් මහන්සියේ ප්‍රතිඵලයක්. නමුත් මගේ හොඳම කවිපොත නොවේ මෙය. එය තවම නිර්මාණය වී නැතිව ඇති. අද හොඳ කවිය හෙට වනවිට හොඳ නොවෙන්න පුළුවන්.

ඔබේ පොතේ සඳැස් කවි බහුලයි. අලුත් පරපුරේ කවීන් ක්‍රමයෙන් සඳැස් ආකෘතියෙන් ඉවත් වන බවයි අපට පේන්නේ?

මම හැමවිටම කවි ලියන්නේ මාතෘකාවක් ලිව්වාට පස්සේ. කවිය ලියලා පසුව මාතෘකාව යොදන්නෙ නෑ. ඒක මට හරි පහසුවක්. එසේ ලියද්දී එම කාව්‍යොක්තිය පැවසීමට සුදුසුම පද්‍ය ආකෘතිය සඳැස් වෙන්න පුළුවන්. නමුත් අලුත් පරපුරේ හුඟ දෙනෙකුට සඳැස් ආකෘතියේ ලිවීමට දුෂ්කරතා ඇති බව පේනවා. නමුත් ඔවුන් ඊට උත්සාහ කරන බව පේනවා. ඔවුන්ගේ පොත්වල සඳැස් කවි තිබෙනවා. නමුත් සමහරුන්ගේ සඳැස් කවිවල ගලා යාම අඩු බව පේනවා. මට නිදහස් පද්‍ය වගේම සඳැස් පද්‍යවලිනුත් ලියන්න පුළුවන්. කවි ශරීරය විසින් ඉල්ලා සිටින ආකෘතිය අනුව මම කවිය ලියනවා.

අද කවිපොත් බහුලව පළවෙනවා. නමුත් ඒවා නිසි සංස්කරණයකින් තොරව පළවෙන බවයි පේන්නේ?

ඔව්. පසුගිය වර්ෂයේ ප්‍රකාශන ආයතනවලින් කවිපොත් 79ක් පළකර තිබෙනවා. කර්තෘ ප්‍රකාශනත් එකතු වූ විට කවිපොත් 100කට වැඩිය පළවී ඇති. අතීතයේත් අදත් තරැණයන්ගේ පළමු ප්‍රකාශන මාධ්‍ය කවියයි. අනෙක් නිර්මාණ කෘති හා සසඳන විට කවියට අවශ්‍ය ඉඩකඩ පහසුවෙන් ලබාගත හැකිවීම ඊට හේතුවයි. අද තාක්ෂණයත් හුඟක් දියුණුයි. ඒ නිසා තමන්ගෙම පරිගණකයේ ලියලා තමන්ට වුවත් පළකරගත හැකි වෙනවා. මට පේනවා බොහෝ කවිපොත් සංස්කරණයකින් තොරව පළවෙන බව. ඒක අඩුපාඩුවක්. මම නම් කිහිප වරක්ම සංස්කරණය කරමින් ලියනවා. මගේ කවිපොත් සියල්ලම පළවුණේ ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ අනුග්‍රහයෙන්. එහිදී පොත සමීක්ෂකයන් අතින් තවදුරටත් සංස්කරණය වෙනවා.

අද වනවිට තරුණ කවීන් සම්මානයට ලක්වෙනවා. ඔවුන්ගේ නිර්මාණ කෘති බහුලයි.

වේදිකාවලදී කියැවෙනවා තරුණ කවිය හැරවුම් ලක්ෂ්‍යයකට ඇවිත් තිබෙනවා, ඔවුන් එදා කවියට වඩා ප්‍රබල තත්ත්වයකට ඇවිත් කියලා. ඒ විදිහට කියැවෙන විට එතෙක් පැවති කවිය පැවතුණේ දුබල තත්ත්වයක කියලා කියවීමක් තිබෙනවා. අපේ පුරාණ සංදේශ කාව්‍ය, නූතන සාහිත්‍යයේ මහගම සේකර ලියූ ප්‍රබුද්ධ, මහාචාර්ය විමල් දිසානායක, දයාසේන ගුණසිංහ, සිරි ගුණසිංහ, මොනිකා රැවන්පතිරණ, පරාක්‍රම කොඩිතුවක්කු, බුද්ධදාස ගලප්පත්ති, රත්න ශ්‍රී වීරසිංහ, ආරියවංශ රණවීර, නන්දන වීරසිංහ ඇතුළු කවීන් ප්‍රබල කවි ලිව්වේ නැද්ද? ඔවුන් කපාපු පාරේ ඇවිත් නේද අපි දස්කම් පාන්නේ. මම නම් කියන්නේ කවියත් පරිණාමය වෙන බවයි. ඒ කාලේ ඔවුන් නොදුටු දේවල් අද කවීන් දකිනවා. ඒක හරි. නමුත් අනවශ්‍ය ඔසවා තැබීම් කොතරම් දුරට ගැලපෙනවාද යන්න ගැටලුවක්. කවියේ අනාගතය වෙනුවෙන් පළල් විචාරාත්මක දෘෂ්ටියකින් බැලිය යුතුයි. ඒක සිදුනොවන බවයි මගේ අදහස.

 කුසුම්සිරි