2019 ජුනි 27 වන බ්‍රහස්පතින්දා

නම සෝබර් දූපත් වුණාට තියෙන්නේ ත්‍රි’මලේ මුහුදේ

 2019 ජුනි 27 වන බ්‍රහස්පතින්දා, ප.ව. 08:26 371

ලංකාවේ සංචාරය කරන්න සුදුසු දූපත් අතරින් සෝබර් දූපත්  කියන්නෙත් ඉහළින්ම තියෙන දූපතක්. නැගෙනහිර මුහුදේ ත්‍රිකුණාමලය වරාය පෙනෙන මානයේ තමයි මේ දූපත් පිහිටලා තියෙන්නේ. අක්කර 175ක පමණ වපසරියකින් යුතු සෝබර් දූපත් සමූහයට දූපත් ද්විත්වයක් අයත් වෙනවා. එයින් වැඩි සංචාරක ආකර්ශනයක් දිනාගෙන තියෙන්නේ නම් මහා සෝබර් දූපත තමයි. අපේ නාවික හමුදාව මේ දූපත සංචාරය කරන්න, ලැගුම් ගන්න සුදුසු අපූරු ස්ථානයක් බවට පත් කරලා තියෙන්නේ. හැබැයි ඒ කටයුත්ත ඔවුන් කරලා තියෙන්නේ දූපතේ පෞරාණික බව ආරක්ෂා කරගෙන.

ඉතිහාසය ගැන ටිකක් හොයලා බලලා මේ දූපත බලන්න යන එක අපූරු අත්දැකීමක් වෙයි. අපිට දැනගන්න ලැබුණු විදිහට ප්‍රංශ ජාතිකයන් විසින් මුල්වරට අත්පත් කරගෙන තිබුණු සෝබර් දූපත පැරිස් ගිවිසුම මගින් බ්‍රිතාන්‍යයන්ට පවරා දීලා. මුල් කාලයේ දී එය යොදාගෙන ඇත්තේ යුද්ධ හමුදා මූලාස්ථානයක් විදිහට. කොඩ්ඩියාර් බොක්කේ පිහිටා තියෙන මේ දූපතට මේ නම ලැබිලා තියෙන්නේ තරුණ වියේදීම මියගිය එස්. සෝබර් නම් බ්‍රිතාන්‍ය ලුතිනන්වරයා සිහිකරලා කියලා තමා කියැවෙන්නේ. දෙවැනි ලෝක සංග්‍රාම සමයේ දී පෙරදිග රාජ්‍යයන් කරා ගමනේ යෙදුණු බලඇනි සඳහා නවාතැන්පොළක් ලෙසත් මෙතැන  භාවිත වුණාලු.

මේ දූපතේ පැරණි ප්‍රංශ සොහොන් ගල්, දෙවැනි ලෝක සංග්‍රාම සමයේ නටබුන් සහ පොළොව යට ඉදිකර ඇති අවි ගබඩාවන් තවමත් ඉතිරිවෙලා තියෙනවා. ඉතින් සෝබර් දූපතට ත්‍රිකුණාමල වරාය සම්පූර්ණයෙන්ම දර්ශනය වෙනවා හරි ලස්සනට. මේ සොඳුරු නවාතැන්පොළ සියවසකට පමණ පෙර දී ගොඩනංවන ලද්දක් නිසා නැගෙනහිර සංචාරයදී සෝබර් දුපත්වලට යන්න අමතක කරන්න එපා.

 සටහන සේයාරූ - අන්තර්ජාලය ඇසුරින්