ක්‍රිකට් ක්‍රීඩාව ඊටම ආවේණික සාම්ප්‍රදායික ජීවගුණය ආත්මකොට ගත් ක්‍රීඩාවක් බව එංගලන්තයේ පැරුණියෝ මෙන්ම නූතන ක්‍රිකට් ලෝලීහුද විශ්වාස කරති. එසේම එය මහත්වරැන්ගේ ක්‍රීඩාවක් බවද සැලකේ මාර්ලිබෝන් (Marylebone Cricket Club) ක්‍රිකට් සමාජය මගිනි. එංගලන්තයේ සහ වේල්සයේ ක්‍රිකට් ක්‍රීඩාව පෙර දිනවල පාලනය කරනු ලැබීය. ක්‍රිකට් නීතිපොත භාරව සිටියේ ද MCC ක්‍රිකට් සමාජයයි. 1787 දී පිහිටුවනු ලැබූ මාර්ලිබෝන් ක්‍රීඩා සමාජය 1814 දී ලෝඩ්ස් ක්‍රීඩාංගණය පදනම් කරගෙන ස්ථාපිත වූයේය. MMC 2000 වර්ෂයේදී ක්‍රිකට් ක්‍රීඩාවට අචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දුන්නේය. එහි පූර්විකාවේ පහත ඇති වාක්‍ය ඛණ්ඩය විශේෂයෙන් සඳහන් කොට තිබේ.
“That it should be played not only within its laws but also with in the spirit of game.”
ක්‍රිකට් ක්‍රීඩාව එහි නීතිවලට අනුකූලව පමණක් නොව ක්‍රීඩාව ආත්මකොටගත් ජීවගුණය ද ආරක්ෂා කර ගනිමින් එම ක්‍රීඩාවේ නියැළිය යුතුය යන්න එහි සරළ අදහසයි. මෙම පාඨයේ Spirit යන වචනය තුළ අර්ථ රාශියක් ගැබ් වී තිබේ. පුද්ගල මෙන්ම සාමූහික ආකල්ප, අභිප්‍රේරණය ගුණාත්මක බවින් යුතුව පවත්වාගත යුතුය යන අර්ථය ද එම Spirit යන ඉංග්‍රීසි වචනයේ අරුත තවත් වචනවලින් කියනවාට වඩා අගේට ක්‍රිකට් ක්‍රීඩාවේ අයිතිකරුවන් හටද, ශ්‍රී ලංකා කණ්ඩායම, පසුගියදා එංගලන්තය සමඟ පැවති තරගයේදී කියාදුන්නේය. එකී තරගයේදී පිති හරඹයේදීත් පන්දු යැවීමේදීත්, රැකීමේදීත් Spirit යන වචනයේ බහු අර්ථයන් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාවෙන්ම කියා දුන්නේය
මෙම තරගය නිසා සමස්ත ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන් හටද නව පණක් ලැබිණි. තරගයේ අපේ ක්‍රීඩකයන් පෙන්වූ ජීවගුණය ක්‍රීඩා ලෝලීන්ගේ ආත්මයට ද කාවැදුණේය. කළින් දෙගිඩියාවෙන් වැනුණු ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීහු දැන් වඩාත් උද්යෝගයකින් ඊළඟ තරගය එනතුරු බලාසිටිති. Spirit යන ඉංග්‍රීසි වදනේ ගැබ් වී ඇති පුද්ගල හා සාමූහික අභිප්‍රේරණය පිළිබඳ පාඩම සියලු ක්‍රීඩා ලෝලීහුද අත්දුටහ. එක් ක්‍රිකට් ලෝලියෙක් තරගයේ එංගලන්තය මුහුණ දුන් තුන්වැනි ඕවරය පසුකරද්දී රූපවාහිනියෙන් ප්‍රචාරය වූ රූප රාමුවක් සමඟ අභිප්‍රේරණය (Motivation) ගැන සටහනක් සමාජජාලාවල පළකර තිබුණේය. එහි තිබුණේ ලසිත් මාලිංග පන්දු යැවීමට සැරසෙන රූපයකි. ඒ වනවිට තරගය දිනීමේ හැකියාව (සම්භාවිතාව) එංගලන්තය - 96%කි. ශ්‍රී ලංකාවේ දිනීමේ සම්භාවිතාව 4%කි.
“If you ever need motivation, save this picture and have a look when you need it”
ඔබට කවදා හෝ අභිප්‍රේරණය උපදවා ගන්නට අවශ්‍ය වූ විටෙක බලන්නට මෙම පින්තූරය සුරැකිව (Save කොට) තබාගන්න යන්න එකී ඉංග්‍රීසි වාක්‍යයේ අරුතයි. එහි අපි දිනනවායැයි කියූ 4% සම්භාවිතාව රතු පාටට කොටුකර තිබුණේය.
තරගයට සතියකට පෙර පටන් අවසාන ඕවරයේ මුල් පන්දු දක්වාම කටින් දිනා තිබුණේ එංගලන්තයයි. එංගලන්ත නායක Eoin Morgan තරගයට පෙර කියාසිටියේ ශ්‍රී ලංකාව සමඟ තරගය දිනන එක ගැන කිසිම ගැටලුවක් නැත කියාය. ඔහු කියූ අයුරැ එංගලන්තයට ප්‍රශ්නය වූයේ පළමුව පිති හරඹයේදී ලකුණු 500ක් ලබාගත හැකිවනු ඇතිද යන්නය.
ශ්‍රී ලංකා පිලේ ජීවගුණය, තරගයේ දී මුලින්ම ප්‍රදර්ශනය වූයේ අඩු ලකුණු ගණනකට කඩුලු දෙකක් දැවී තිබියදී පන්දු යවන්නන් තුට්ටුවකට මායිම් නොකළ විසිඑක් හැවිරිදි අවිශ්ක ප්‍රනාන්දු පිති හරඹයේ යෙදෙන විටදීය. කිසිදු චකිතයකින් තොරව තම සොබාවික ශෛලියෙන් ඔහු ක්‍රීඩා කළේය. පන්දුව ඇඟේ, පා ආවරණය ආදියේ දවටා නොගෙන හොඳින් පිත්තේ දවටාගෙන ඔහු පිටියේ හතර අතේ රිසිසේ පහර එල්ල කළේය. පිත්තේ හරි මැදින් පහර කෑ පන්දුව පිටියෙන් ඔබ්බට උඩිනුත් යටිනුත් පළායද්දී ලැබුණේ ලකුණු පමණක් නොවේ. ඒ සමඟ ශ්‍රී ලංකා පිලටත් ශ්‍රී ලාංකිකයන් හටත් චිත්ත ධෛර්යද ලකුණු සමඟම ලැබිණි.
එංගලන්ත තණතිලි පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිපුරම අත්දැකීම් තිබුණු ක්‍රීඩකයා ඇංජලෝ මැතිව්ස්ය. ඔහු ඉවසිල්ලේ පිති ප්‍රහාරය එල්ල කරමින් ලකුණු පන්දු 115කදී නොදැවී ලකුණු 85ක් රැස්කළේය. පිති හරඹය වේගවත් කරන ලෙස ක්‍රීඩාගාරයෙන් හා ප්‍රේක්ෂකාගාරයෙන් ඉල්ලීම් ලැබුණත් හදිසි වූයේ ඔහු නොවේ. තණ තිල්ලේ හැසිරීම අනුව එය පිතිකරැවන්ට අවාසිදායක එකක් වෙමින් පැවති බව ඔහු වටහාගෙන තිබිණි. සම්පූර්ණ ලකුණු 250කට ආසන්න වුණොත් එය තරගය දිනන්නට ප්‍රමාණවත් බව ඔහු වටහා ගන්න ඇත්තේ අත්දැකීමෙනි.
මාලිංග මෙම තරගයේදී ලබාගත් කඩුලු 4 සමඟ ඔහු ලෝක කුසලාන තරගවලදී උපරිම කඩුලු ලබාගත් ලැයිස්තුවේ හතර වැන්නා බවට පත්වූයේය. ඔහු පසුකළේ කඩුලු 49ක් ලබා සිටි චමින්ද වාස්වය. ලෝක කුසලාන තරගවලදී කඩුලු 50 ඉක්මවූ වර්තමානයේ ලෝක කුසලාන තරගවල යෙදෙන එකම ක්‍රීඩකයා මාලිංගය. දැන් ඔහු කඩුලු 51ක් ලබාසිටී. තව කඩුලු 4ක් ගත්විට ඔහු තුන්වැනි ස්ථානයට පැමිණේ. එතැන දැන් සිටින්නේ (කඩුලු 55 ලැබූ) වසීම් අක්‍රම්ය.
දිමුත් කරුණාරත්නගේ නායකත්වය බෙහෙවින් කැපීපෙනුණේය. සමස්ත පිලම ඔහුට සහයෝගය දෙමින් ජීවගුණය සමඟ පවතින සාමූහිකත්වය ප්‍රදර්ශනය කළේය. ජීවගුණය සමඟ පවතින සාමූහික ශික්ෂණය ද ක්‍රිකට් ක්‍රීඩාවේදී Spirit යන වදනේ අරුත ප්‍රදර්ශනය කරන්නකි.
MCC හඳුන්වා දුන් ආචාරධර්ම පද්ධතියේ අඩංගු Spirit යන්නේ අරුත අප ප්‍රදර්ශනය කළද දැන් එංගලන්තය තුළින් එය ගිලිහී ඇති අයුරු ඕස්ට්‍රේලියාව සමඟ පැවති තරගයේදී ඔවුන්ගෙන් පෙනී ගියේය. මෙකී Spirit යන්න දුර්භාවිත කිරීම ක්‍රිකට් ක්‍රීඩාවට හානිකර බව ඉහත කී පූර්විකාවේම සඳහන් වේ. ජුනි 25 ඕස්ට්‍රේලියාව සමඟ තරගයේදී එංගලන්තයේ Ben Stokes දැවී ගිය විට එතෙක් පහර දෙමින් සිටි තම පිත්ත බිම දමා ඊට පයින් ගසමින් ප්‍රදර්ශනය කළ හැසිරීම Spirit යන්න දුර්භාවිත කිරීමකි. එම නිසා MCC හඳුන්වා දුන් ආචාරධර්ම පද්ධතිය එංගලන්ත පිළ විසින් නැවත කියවාගත යුතුවේ.
2019 ICC ක්‍රිකට් ලෝක කුසලානයේ තරගාවලි ලකුණු පුවරුවේ අප දැන් පසු වන්නේ 7 වැනි ස්ථානයේය. එංගලන්තය සමඟ ජයගත් අප 5 වැනි ස්ථානයට ආ නමුත් බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය පැරද වීමෙන් පසු ලැබූ ලකුණු 2ත් සමඟ ඔවුන්ගේ සම්පූර්ණ ලකුණ, ප්‍රමාණය 7 වී අපට ඉහළට ආයේය. එසේම (26) දා පාකිස්ථානය, ප්‍රබල නවසිලන්ත පිල පැරදවීමෙන් පසු පාකිස්ථානය ලකුණු 7ක් ලබා 6 වැනි තැනට ආයේය. බංග්ලාදේශය දැන් සිටින්නේ අප සිටි 5 වැනි තැනය. එහෙත් අප තරගවල යෙදී ඇත්තේ ඒ අයට වඩා එක් තරගයක් අඩුවෙන් නිසා ඔවුන්ගේ තැන් පසුකර යන්නට අපට ඉඩකඩ විවරව තිබේ. පරාජිත මානසිකත්වයෙන් ඉන්නා දකුණු අප්‍රිකාවත්, බටහිර ඉන්දීය කොදෙව් පිලත් සමඟ ජයග්‍රාහී ධෛර්යවන්ත මනසින් ඉන්නා අපට දිනාගැනීම අපහසු නොවේ. දැන් අප ලෝක කුසලාන අවසන් පූර්ව තරග ගැන යම්තමින් හෝ සිහින දැක්කාට කමක් නැත. ඒ මන්ද සිහිනයක් නොදැක සිහිනයක් යථාර්ථවත් නොවන බැවිණි. යථාර්ථය දකින්නට පෙර ඉලක්කය සිහිනෙන් දැකිය යුතුය. ක්‍රීඩාවකින් දිරිය ලැබෙන්නේ ක්‍රීඩකයන්ට පමණක් නොවේ. ක්‍රීඩාව යනු මුළු මහත් ජාතියකට දිරියක්, සවියක්, අභිමානයක් ලබා දෙන්නකි. ලොව බොහෝ ජාතින් ඒ බව ප්‍රදර්ශනය කොට තිබේ.
කම්කරැවා, ධීවරයා, පෙදරේරුවා, ගොවියා යන මේ පොදු ජනයාට අයත් වෘත්තිකයාටම ක්‍රීඩාවෙන් චිත්තධෛර්ය උපදවා ගන්නට ක්‍රීඩාවේ යෙදෙන්නටම ඕනෑ නැත. යම් ක්‍රීඩාවක ලෝලියකු වීමත් ඊට සෑහේ. මීට හොඳ උදාහරණයක් අර්නස්ට් හෙමිංවේගේ මහල්ලා සහ මුහුද කෘතියේ ඇත. හෙමිංවේට නොබෙල් ත්‍යාගය ලැබුණේ මෙම කෘතිය නිසාය. මෙම කතාවේ එන මහල්ලා දවසකට වඩා මුහුදේ ගතකළත් ඔහුට මසකු අල්ලාගත නොහැකිවේ. අප්‍රතිහත දිරියෙන් කටයුතු කරන ඔහු අවසානයේ ලොකු මසකු අල්ලාගනී. මත්ස්‍යයා ලොකු නිසා ඔහු මරාගත් මත්ස්‍යයා රැගෙන එන්නේ මුහුදු දියේ ඇදගෙනය. වෙරළට එනවිට අනිත් මසුන් ඌට කොටා කා හමාරකොට ඉතිරි කරන්නේ උගේ කටු සැකිල්ල පමණකි. සිතේ දිරිය වඩාගන්නා මහලු ධීවරයා පසුදිනත් මුහුදු යන්නට අධිෂ්ඨාන කරගනී. ඔහු ධෛර්යවන්තයෙකි. ලොවටම දිරිමත් බවේ පාඩම කියාදුන් චරිතයකි. එකී ධීවරයා බේස්බෝල් ක්‍රීඩාවට බොහෝ සෙයින් ඇළුම් කරන්නෙකි. ඔහු කුඩා ට්‍රාන්සිස්ටර් රේඩියෝවක් ඔරුවේ රැගෙන යයි. වරින් වර එන බේස්බෝල් ක්‍රීඩා විස්තර ප්‍රචාරයට ඔහු සවන් දෙයි. ඔහුට සිතේ ධෛර්ය උපදවා ගන්නට බේස්බෝල් ක්‍රීඩාව ඉවහල් වෙයි. ක්‍රීඩාවේ නියැලෙන්නන් පමණක් නොව ක්‍රීඩා තරගයකින් ක්‍රීඩා ලෝලින්ගේ ද චිත්ත ධෛර්ය, ජීවගුණය ආදී මේ හැම ආකාරයකින්ම කියන Spirit එක ක්‍රීඩාවෙන් වර්ධනය වේ.
ක්‍රීඩාව ජාතික සමගිය ඇති කරන්න අපේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ කවදත් ඊට උදාහරණ තිබුණේය. සිංහල (SSC) ක්‍රීඩා සමාජයට ඉස්සර පටන්ම ක්‍රිකට් ක්‍රීඩා කළේ සිංහලයන්ම නොවේ. නිල් චන්මුගම්ලා, ඩෙනිස් චන්මුගම්ලා එහි ප්‍රබල සාමාජිකයෝ වූහ. ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය, Moors ක්‍රීඩා සමාජය ආදියේ ද සිංහල ඇතුළු වෙනත් ජාතීහු ක්‍රීඩා කළහ. ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය වැඩුණේ සමස්තයක් ලෙසයි. MCCය කියන මෙකී Spirit එක ක්‍රිකට් ක්‍රීඩාව කරනා මුළුමහත් ජාතියටම ආදේශ විය යුතුය. පැරදුණත් නැගිටිය යුතුය. පරාජය ඉවසාගත යුතුය. යළි ජීවගුණය උපදවා ගත යුතුය.
සමන් පුෂ්ප ලියනගේ