ආණ්ඩුව මෙහි මූලික පියවරක් වශයෙන් සූදානම් වන්නේ ලංකා බැංකුව සහ මහජන බැංකුවට අයිති ප්‍රාග්ධනයෙන් සියයට 10ක් කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමටය. මෙහිදී සිදුවන්නේ මෙම කොටස් පෞද්ගලික ව්‍යවසායකයන්ට මිලදී ගන්නට සැලැස්වීමය. විශාල ලෙස ලාභ ලබන මෙම බැංකුවල කොටස් වෙළෙඳපොළට දැමූ ඇසිල්ලේම ඒවා ඉහළ මිල ගණන්වලට අලෙවි වනු ඇත.
මෙමගින් සිදුවන තවත් වාසියක් වන්නේ රටේ පැවැති සහ පවතින ආර්ථික හා දේශපාලන අර්බුද හේතුවෙන් කඩා වැටෙමින් යන කොටස් වෙළෙඳපොළ යම් පමණකට හෝ ගොඩදමා ගැනීමට හැකිවීමයි. කොටස් වෙළෙඳපොළට එලෙස යහපතක් සැලසුණ ද මේ නිසා රාජ්‍ය බැංකුවල වත්කම් දියවී යාමේ අවදානමකට ලක්වීම සිදුවනු ඇත. වෘත්තිය සමිති චෝදනා කරන්නේ දැනට සියයට 10කින් ඇරඹෙන මෙම ව්‍යාපාරය පියවරෙන් පියවර වර්ධනය වෙමින් ගොස් ඉදිරියේදී මුළු වත්කම් ප්‍රමාණයම පෞද්ගලික මුදලාලිලාට අයිති කර දීමෙන් මිස මෙය නොනවතිනු ඇති බවය. මේ නිසා එම ආයතනවල සේවකයන්ට සිදුවන හානියට වඩා බරපතළ හානියක් රටේ සමස්ත ජාතික ආර්ථිකයට සිදුවනු ඇතැයි ඔවුහු බිය පළකරති. ජාතියේ ජීවනාලිව වන මෙම රාජ්‍ය බැංකු මෙලෙස ක්‍රමයෙන් දියකර හැරීම විශාල ජාතික අපරාධයක් බව ඔවුහු පෙන්වා දෙති.
මේ පිළිබඳ අදහස් දක්වන කැලණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාරිණී ප්‍රේමා පොඩිමැණිකේ පෙන්වා දෙන්නේ රටක ආර්ථික ස්ථාවරභාවය සඳහා බැංකු ක්ෂේත්‍රය රජය සතුව තිබීම වැදගත් බවයි. බැංකු රජයට මුදල් උපයා දෙන ධන උල්පතක් වෙයි. රාජ්‍ය බැංකුවල මුළු ලාභයම ලබාගන්නේ මහා භාණ්ඩාගාරයයි. එසේ තිබියදී ඒවා පෞද්ගලික අංශයට දුනහොත් එම විශාල ආදායම් මාර්ගයම රජයට අහිමි වෙනවා ඇත. එසේම රටේ මහජනතාව රාජ්‍ය බැංකු පිළිබඳ මේ තාක් කාලයක් ගොඩනගාගෙන තිබූ විශ්වාසය පළුදු වීමට මෙය හේතුවක් වේ. එවිට සෙසු පෞද්ගලික බැංකු සමඟ තරග කිරීමට මෙම බැංකුවලට ද සිදුවෙයි. පාරිභෝගික විශ්වාසය පළුදු වීම නිසා බැංකුවල ප්‍රගතිය දුර්වල වෙයි. මේ හේතුවෙන් අද රටේ ශක්තිමත්ව පවතින රාජ්‍ය බැංකු පද්ධතිය කඩා වැටීමකට ලක්වීමට ඉඩ ඇත. එසේම සේවකයන්ට ද ඔවුන් දැන් ලබන අයිතිවාසිකම් කප්පාදු වීම හේතුවෙන් ඔවුන්ගේ ඇති කාර්යක්ෂමතාව ද බිඳ වැටෙනු ඇත. ඔවුන් ලබන වරප්‍රසාද අඩුවීම මෙන්ම ඒ අයද අනාගතයේදී පෞද්ගලික අංශ සේවකයන් බවට පත්වීමේ අවදානමක් උද්ගත වීමට බොහෝ දුරට ඉඩ ඇත.
රාජ්‍ය බැංකු පෞද්ගලීකරණය කිරීමේ ආණ්ඩුවේ උත්සාහය පරාජය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරන ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක මෙසේ කරුණු අනාවරණය කරයි.
ආණ්ඩුව අපේක්ෂා කරන්නේ රාජ්‍ය බැංකු පද්ධතිය ක්‍රමයෙන් පෞද්ගලික ව්‍යවසායකයා අතට පත්කිරීමටයි. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ රටේ ජාතික සම්පතක් වන රාජ්‍ය බැංකු පද්ධතිය මුළුමනින්ම කෙනකුගේ දෙදෙනකුගේ අතට යාමයි. මෙය රටේ ආර්ථිකයට විශාල බලපෑමක් ඇතිවන දෙයක්. එම තත්ත්වය බැංකුවල සේවකයන්ට විශාල බලපෑමක් ඇතිවන දෙයක්. එම තත්ත්වය බැංකුවල සේවකයන්ට වඩා රටේ පොදු ජනතාවට අහිතකර වෙනවා. එබැවින් කෙසේ හෝ එය මර්දනය කිරීම රටේ විවිධ සංවිධානවල හා සමස්ත ජනතාවගේ වගකීමක්. මුලින් සියයට 10ක්, කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කරලා ක්‍රමයෙන් මුළු වත්කම් සියල්ලම පෞද්ගලික ව්‍යවසායකයකු අතට ගන්න පුළුවන්. මෙය වඩාත් අහිතකර වන්නේ විදේශීය ව්‍යාපාරිකයන්ට ද බැංකු ක්ෂේත්‍රය ඩැහැ ගැනීමට මහඟු අවස්ථාවක් ලැබීම නිසයි.
ශ්‍රී ලංකා මහ බැංකුව තමයි රාජ්‍ය හා පෞද්ගලික වාණිජ බැංකු නියාමනය කරන එකම බලධරයා. ශ්‍රී ලංකා මහ බැංකුව පෞද්ගලික වාණිජ බැංකුවලට උපදෙස් දෙනවා එක්තරා ප්‍රාග්ධන ප්‍රමාණයක් අඛණ්ඩව රඳවා ගැනීමට. එහිදී පෞද්ගලික බැංකු කොටස් වෙළෙඳපොළට ගොස් එම අවශ්‍යතාව සපුරා ගන්නවා. එහෙත් රාජ්‍ය බැංකුවලට එය කරන්නට අවශ්‍ය නැත්තේ ඒවා සම්පූර්ණයෙන්ම රජයට අයිති නිසයි. එහෙත් ඉදිරියේදී රාජ්‍ය බැංකුවලට ද එම අවශ්‍යතාව සම්පූර්ණ කරන්න සිදුවෙන්න පුළුවන්. එවිට බැංකු ව්‍යූහය උඩු යටිකුරු වෙනවා.
රාජ්‍ය බැංකු මෙලෙස පෞද්ගලික වෙළෙඳපොළේ අලෙවි කරන්නට උත්සාහ ගන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මතයි. අපේ කොටස් වෙළෙඳපොළ පසුගිය සමයේ ඇති වූ විවිධ අර්බුද නිසා මේ වනවිට කඩා වැටිලයි තියෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියනවා මෙම කොටස් වෙළෙඳපොළ වහා සක්‍රීය කරන්න කියලා. එයට ප්‍රතිකර්මයක් ලෙස තමා රජය මේ විදිහට රාජ්‍ය බැංකු කොටස් වශයෙන් කොටස් වෙළෙඳපොළේ අලෙවි කරන්නට යන්නේ.
ජාත්‍යන්තර ආර්ථික අවපාතය හේතුවෙන් 1990 වසරෙන් පටන් අරගෙන අවුරුදු කිහිපය තුළ අමෙරිකාවේ සහ මැලේසියාවේ ප්‍රබල බැංකු කඩා වැටුණා. ඒ තරම් බලගතු රාජ්‍යවල බැංකුවලට හෙනහුරු දසාව ලැබුණත් ලෝක සිතියමේ පුංචි තිතක් වන අපේ රටේ බැංකු පද්ධතියට එම ආර්ථික වාතාවරණය යම්තම්වත් බලපෑවේ නැහැ. අපේ රාජ්‍ය බැංකු ඒතරම් ශක්තිමත්. බැංකු ක්ෂේත්‍රයේ ඒකාධිකාරිය ඇත්තේ රාජ්‍ය බැංකුවලටයි. රටේ ජනතාවගෙන් සියයට 60කට වැඩි පිරිසක් රාජ්‍ය බැංකුවල ගනුදෙනුකරුවන්.
ආණ්ඩුවේ ක්‍රියාදාමය නිසා සිදුවන්නේ මෙම ප්‍රබල රාජ්‍ය බැංකු දුර්වල කිරීමක්. මුලින්ම වත්කම්වලින් සියයට 10ක ප්‍රමාණයක් සේවකයන්ට සහ තැන්පතුකරුවන්ට දෙන බවයි පවසන්නේ. ආණ්ඩුව සේවකයන්ට කොටස් දෙන බව කියන්නේ ප්‍රෝඩාවකටයි. ඒ මොකද සේවකයන් කවුරුවත් බැංකුවල කොටස් ඉල්ලන තරමේ පහත් තත්ත්වයට වැටෙන්නේ නැහැ. අනිත් අතට මේවා ගන්න තැන්පත්කරුවන් කවුද කියලා දන්න කෙනෙක් ද නැහැ.
1938 ලංකා බැංකු ආඥා පනත අනුව පිහිටවූ ලංකා බැංකුවේ කොටස් සියයට සියයක්ම අයිති රජයටයි. 1961 මහජන බැංකු පනතට අනුව කොටස් නිකුත් කරන්නට ආණ්ඩුවට බලයක් නැති නිසා ඒ අය උත්සාහ කරනවා එහි 12 වගන්තිය සංශෝධනය කරලා කොටස් වෙළෙඳපොළට යොමු කිරීමට ඇති බාධා ඉවත් කිරීමට. එය 2019 පෙබරවාරිවල කැබිනට් මණ්ඩලය අනුමත කර ඇති අතර ඊළඟට උත්සාහ කරන්නේ පාර්ලිමේන්තුවට දැමීමටයි.
එන්.ඩී.බී. බැංකුව 1982 සිට 1992 වසර දක්වා පැවතුණේ රාජ්‍ය බැංකුවක් ලෙසයි. දැන් එය සියයට සියයක්ම පෞද්ගලික බැංකුවක් කරලා. එයත් පටන්ගත්තේ සියයට 10ක කොටස් කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කරලයි. එම කූප්‍රකට ක්‍රියාදාමය තමා දැන් අනිත් රාජ්‍ය බැංකුවලටත් කරන්න යන්නේ. ඒ නිසා සියලු දෙනා මෙයට එරෙහිව පෙළ ගැසිය යුතුයි.
උදාහරණයක් ලෙස ගතහොත් ලංකා බැංකුවේ වාර්ෂික ශුද්ධ ලාභය 2018 – 12 – 31 දිනට රුපියල් බිලියන 31.3ක් වෙනවා. මේ මුදල් සියයට 65 – 70 පමණ ලාභාංශ සහ බදු ලෙස මහා භාණ්ඩාගාරයට යනවා. මෙය පෞද්ගලික අයකුට තිබුණානම් එය රජයට අයිති වෙන්නේ නැහැ. රාජ්‍ය බැංකුවල ලාභාංශ හැරුණුවිට විශාල මුදලක් රජය ණය ලෙස ද ගන්නවා. විවිධ ආයතන හා දෙපාර්තමේන්තුවල ව්‍යාපෘතිවලට ගෙවීමට මුදල් නොමැති වූ විට රාජ්‍ය බැංකු ගිණුම අයිරාවක් කරලා ඒ මුදල් ගෙවනවා. මෙම අයිරාවලට රාජ්‍ය බැංකු අය කරන්නේ ඉතාම අඩු පොලියක්. සංවර්ධනයට දායක වන විවිධ ව්‍යාපෘති කරන්නේ ලංකා බැංකුව සහ මහජන බැංකුව තුළින්. උදාහරණයක් ලෙස කිවහොත් දැන් දියත් කර ඇති Enterprises Sri Lanka යන ණය ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වන්නේ රාජ්‍ය බැංකු මත පමණයි. එහි බැංකුකරුවා වන්නේ ලංකා බැංකුව සහ මහජන බැංකුවයි. රජය වෙනුවෙන් එම ව්‍යාපෘතියට මුදල් ණය දෙන්නේ එම බැංකුයි. මේ වගේ යෝජනා ක්‍රම ගණනාවක් රජය තනන අතර ඒවාට මුදල් යොදවන්නේ රාජ්‍ය බැංකුයි. රටේ ආර්ථිකයට වගේම දිළිඳු ජනතාවට මෙයින් ලැබෙන සහනය සුවිශාලයි.
මෙවැනි උදාර ජාතික මෙහෙවරක් කරන රාජ්‍ය බැංකු තමා පෞද්ගලීකරණය කිරීමට තැත් කරන්නේ. මේවා පුද්ගලයකුට අයිති වුණානම් කවදාවත් මේ විදිහට රජයට අත්වැලක් වෙන්නේ නැහැ. ඒ සියලු ආදායම යන්නේ පෞද්ගලික අය වෙතටයි. අප මෙහිදී හඬ නගන්නේ සේවකයන්ගේ පෞද්ගලික ඉල්ලීම් සඳහා නොවෙයි. රටේ හා ජනතාවගේ යහපත උදෙසායි මෙයට විරෝධය දක්වන්නේ. එය රටේ පොදු ජනතාව තේරුම්ගත යුතුයි.
කිහිපවරක් කරන්නට උත්සාහ කර යටපත් වූ ප්‍රයත්නයක් තමා රජය මේ වනවිට යළි ක්‍රියාත්මක කරන්න සූදානම් වන්නේ. ඒ කාලවල වෘත්තිය සමිති විරෝධය දැක්වූවේ නැතිනම් රාජ්‍ය බැංකු පෞද්ගලීකරණය වෙලා බොහෝ කල්. මෙයට වලි කෑවේ මේ රජය පමණක් නොවෙයි. පැවති ආණ්ඩු ගණනාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අණට කීකරු වෙලා මේ දේ කරන්න උත්සාහ කළා. එහෙත් මේ වනවිට ඒ යටපත්ව තිබූ අරමුණ යළි යළිත් එළියට ගන්නයි උත්සාහ කරන්නේ.
මේ පිළිබඳ අපි සියලුම දේශපාලන පක්ෂ දැනුවත් කරලා තියෙනවා. පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කරලා තියෙනවා. ඒ අයගේ සහය ලබාගන්න උත්සාහ ගන්නවා. යම් හෙයකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් එය පරාජය කරන්න උපරිම වශයෙන් සහය ගන්න බලාපොරොත්තු වෙනවා. එසේම දේශපාලන පක්ෂවලට සම්බන්ධ නැති රටේ සියලුම වෘත්තිය සමිති සහ සංවිධාන සමඟ අත්වැල් බැඳගන්න අපි සූදානම්. මෙම කූප්‍රකට ව්‍යාපාරයට එරෙහිව උද්ඝෝෂණ, පිකටින්වලින් පටන් අරගෙන අඛණ්ඩ වැඩ වර්ජනයක් කරා යාමට බලාපොරොත්තු වෙනවා. මේ වනවිට සේවකයන් දැනුම්වත් කිරීමේ දේශන පවත්වනවා. අත්පත්‍රිකා බෙදාහැරීමක් ද කරලා තියෙනවා. ඉදිරියේදී තවදුරටත් ප්‍රබලව එරෙහි ක්‍රියාමාර්ග ගන්නවා.
මෙය සිද්ධ වුවහොත් ප්‍රභාකරන් කොටි නායකයා රටට කළ විනාශයට වඩා විශාල අපරාධයක් තමා සිද්ධ වෙන්නේ. ඒ නිසා මෙම ප්‍රයත්නය ප්‍රමාද කිරීම නොව මුළුමනින්ම ප්‍රහානය කිරීමටයි අප කටයුතු කරන්නේ.
► යසවර්ධන රුද්රිගූ