2019 ජුනි 29 වන සෙනසුරාදා

කාලයට ඉඩදී පැන්ෂන් ගිය සෙක්කුව

 2019 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 1050

අඩි කිහිපයක් පොළොව යට ගිල්වා තැනූවෙන් අචල සවියෙන් විරාජමානව සිටින සෙක්කු ගල් අලුත් වූ පැරැණි ගම් ගෙවල් ඉදිරිපිට තවමත් දැකගත හැකිය. පැරැණි බඩු කාරයකු ලංසු තැබූ නමුදු පරම්පරාවේ උරුමය විකුණා දමන්නට බොහෝ දෙනාට සිත් නොදෙන හෙයින් ඇතැම් සෙක්කු ගල් මෙලෙස විශ්‍රාමික සුවයෙන් කල් ගෙවයි. තවත් සෙක්කු කිහිපයක් හෝටල් අවන්හල් පැරණි බඩු කඩවල්වල සිටි ඉතිහාස මාකටින් නම් නව රැකියාවේ නියුතුව සිටී. මේ සියල්ල මෙසේ සිදුවන්නේ විශ්මිත සෙක්කුවේ ඓතිහාසික භාරදූර රාජකාරිය සහ සොඳුරු මතක ගොන්නේ අපූර්වත්වය නිසා යැයි කීම වෙසෙසින්ම සාධාරණය.

කවදා කොතැනක කෙලෙස සෙක්කුව බිහිවූවා දැයි ඉතිහාසය පතපොත ඇසුරේ වුව සොයාගැනීම දුෂ්කර කාර්යයකි. පෙරදිග ශිෂ්ඨාචාරයේ බොහෝ තැනක සෙක්කුවට යම් සමානකම් ඇති යෙදවුම් භාවිත වී ඇති බව නම් කිවයුත්තකි. දකුණු ඉන්දියාවේදී තවමත් විශ්‍රාම නොලද සෙක්කුවට සමාන වූ තෙල් සිඳීමට භාවිතා කරන උපකරණ දැක ගත හැකිය. කෙසේ නමුදු දහනව වැනි සියවසේ සහ විසිවැනි සියවසේ මැද භාගය වන තුරුම සෙක්කුව සිරිලක ජනයාගේ තෙල් අවශ්‍යතාව ඉටුකරනු රිසියෙන් සිය කාර්භාරය මනාව ඉටුකොට තිබේ. ඒ පිළිබඳ සාක්ෂි එදවස පොල් රුප්පාවලින් ගහන වූ වෙරළකරයේ ගම්මානයක පැරැන්නන් කිහිප දෙනකු හමුවූ විට ඕනෑතරම් සොයාගත හැකිය.

මෙරට ජන විඥානයේ පැලපදියම් වූ සරල නමුදු විස්මිතම ඉංජිනේරු තාක්ෂණයේ සලකුණක් බවට සෙක්කුව පත්වන්නේ මෙලෙසය. කොප්පරා සහ රැලි සිටින සේ ගා පදමට වේලාගත් පොල් සෙක්කු ආධාරයෙන් පොල්තෙල් බවට පත්වේ. ගොනකු හෝ ගොන් බානක්‌ හෝ ආධාරයෙන් මේ කටයුත්ත සිදුවූ අතර සෙක්කුවේ බඳ කොටස කළුගලින් නිමැවී තිබිණි. සෙසු කොටස්‌ ප්‍රධාන වශයෙන් ලීයෙන් සහ යකඩෙන් සැකසුණි. එම කොටස් විවිධ පළාත් ජනවහර අනුව එකින් එකට වෙනස් නම්වලින් හඳුන්වා තිබේ. පොදුවේ මෝල්ගහ, තොප්පිය, ලණුවළල්ල, ලී කඳ, කම්බිකූර, පුන්නක්කු ගලවන පත්ත, යකඩය ආදිය සෙක්කුවට සම්බන්ධ උපකරණ අතරින් කිහිපයකි.

උදෑසන පටන් හැන්දෑ වනතුරුම වරු දෙකක් සෙක්කුවේ රාජකාරි සිදුවූ අතර වරු දෙකට වෙන වෙනම ගොනුන් යෙදවූ අවස්ථා තිබේ. මෙහිදී ගොනුන් යනු බලශක්තියයි. කොප්පරා කෑලි හෝ වේලාගත් පොල් වංගෙඩිය උඩ කොටසට (උඩ වනෙන්) බහාලීම සිදුවේ. සෙක්කුව කැරකෙන විට තැලී ඇඹරී යන පොල්, කොප්පරා පොල් තෙල් ලෙසින් පහළ ඇති සිදුරෙන් එළියට වෑස්සේ. ඒ අතර යටි වනේ පුන්නක්කු එකතු වෙයි. යටි වනේ ගාණට මෝල් ගහ හැදෙයි. මෙය බලය පිළිබඳ භෞතික විද්‍යාවේ සරල පාඩමකින් ඔබට පහදා දියයුතු ක්‍රියාවලියක් යැයි හැඟේ. කෙසේ නමුත් පැරැණියන්ගේ සරල විස්මිත තාක්ෂණය තවදුරටත් පහදනු වස් අප නූතන අන්තර්ජාලයේ සොයාගත් රූප සටහනක් අප මෙහි අමුණා තබමු.

දැන් නැවත අප එබී බැලිය යුත්තේ සෙක්කුවේ මතක පොතටයි. එය රසාලිප්ත මතක ගොන්නක් යැයි කියූ නිසාවෙන් සෙක්කුව සා සුසැදි ඒ යුගයේ හීන් උන්ගේ මතක අතරට පිවිසීම මනාය. සෙක්කු පැදීම මේ යුගයේ ළමා ළපටින්ගේ අපූරු කෙළි සෙල්ලමක් වී තිබේ. සෙක්කුවේ කඳේ නැඟී මැරිගෝ රවුම මෙන් වටේට කැරකීම ඔවුන් තුළ ජනිත කර ඇත්තේ අසීමාන්තික ප්‍රීති ප්‍රමෝදයකි. පාසල් නිමවී ගම් ගොඩේ එක්වන කෙල්ලන් කොල්ලන් කැරකිල්ල හැදෙනා තුරු සෙක්කු පැදිල්ල කර තිබේ. සෙක්කු රාළ නැත්නම් සෙක්කුවේ හිමිකරු හෝ සෙක්කු ගෙදර මහ උන්දැලා ඇතැම්විට මේ කටයුත්තට තරවටු කළද එය වනාහී යුගයක අපූර්වත්වය දනවන අපූරු කෙළියක් වී තිබේ. මේ අතර සෙක්කුවේ ඉතිරිවන පුන්නක්කුවල මිහිරි සුවඳ රසය ගැන අදද තලුමරමින් කතාකරන්නෝ පැරැන්නන් අතර අපට හමුවේ.

සිංහල අලුත් අවුරුද්ද සහ සෙක්කුව අතර තිබී ඇත්තේ අවියෝජනීය බැඳීමකි. අවුරුදු කාලයට ගමේ කොතැනත් තෙල් වළඳක් ලිප තබන නිසාත් කැවිලි පෙවිලි හැදීමට තෙල් කාටත් අවැසි වෙන නිසාත් අවුරුදු කාලයට සෙක්කුවට වැඩ අධික කාලයක් වී තිබේ. ගමේ බවලතුන් පොල් ගා මාගල්වල දමා ඒ පොල් වේලා ගනී. බොහෝවිට එය සාමූහිකව කළ කටයුත්තකි. එසේ වියළා ගත් පොල් සෙක්කු ගෙදරට ගෙන එන්නේ කල්දේරම්වල දමාගෙනය. අවුරුද්දට කැවිලි හදන්නේ මෙහිදී ලබාගන්නා පිරිසුදුම තෙල්වලිනි. නැතිනම් තෙල් මුඩු රස විය හැකිය. එසේ නමුත් අවුරුදු කාලෙට සහ වෙසක් කාලෙට හැකිතරම් තෙල් හිඳගැනීමට ගම්මු උත්සුක වූහ. පසුව වැඩිකාලයක් තෙල් කල් තියා ගැනීම සඳහා ඒවා රත්කර පාවිච්චියට ගෙන ඇත.

සෙක්කුව සිරිලක විශ්මිත සොඳුරු මතක අප ඉතිරිකර තිබෙන බව දැන් අපට නොරහසකි. ඊට සාක්ෂි දරන්නට ජන මූලාශ්‍ර පමණක් නොව සාහිත්‍යය මූලාශ්‍ර පවා අපට හමුවේ. කොග්ගල මහා ප්‍රාඥයා ලියූ මතක මංජුසාවක් හා සම “අපේ ගම” කෘතිය සෙක්කුව පිළිබඳ මතකය ආවර්ජය කරන්නේ මෙලෙසිනි.

“උදයවරුවේ වැඩ පටන්ගන්නා සෙක්කුකාරයකු ගල් සෙක්කුවේ ලා හිඳීමට ගන්නා පොල් වඩියේ වැඩ අවසාන වන්නේ සවස් කාලයේය. තෙල් ඉවතට ගෙන ඇඹරීමෙන් පදම් වූ පොල් ටික පුන්නක්කු වූ පසු ඉතිරිව රැඳී ඇති තෙල් මාරුව නැති කිරීමට පන්දම් අල්ලනු ලැබේ. උදයවරුවේ සිට හවස් වනතෙක් ඇඹරීමෙන් හා මැඩීමෙන් වෙහෙසට පත් වූවාක් මෙන් සෙක්කුව වෙහෙස නොඉවසිය හැකිව එසේ හඬ නඟතත් සචේතනික ගවයෝ දෙදෙනා කරබාගෙන තම ස්වාමියාට සේවය කරති.”

උදක්ම මේ අපූරු සෙක්කු කතාව ඉතිහාසයේ විවිධ  මාවත්වල ඇවිද යමින් තවත් සවිස්තරව ගොනුකළ හැකි බව කිව යුතුය. සෙක්කු කතාවේදී කරුවල ගෙදර නවකතාවත් අපට ලෙහෙසියෙන් අමතක කල නොහැක්කකි. සෙක්කුවේ තාක්ෂණය පිළිබඳ වෙනම විග්‍රහයක් කළ යුතුව තිබිණි. නමුත් මේ සුන්දර මතක අතර ඇවිද යන කාල යාත්‍රිකයාට එය උගහටය. ඒ නිසාම එය වෙනත් ලෙසකින් සොයා බලන්නට යැයි ඔබට යෝජනා කරමු. ගවයා නම් මිතුරාට සෙක්කු කතාවේදී නොමැකෙන ස්ථානයක් හිමිව ඇති බව කිවයුතුමය. සෙක්කුවට සමුදෙන්නට වදන් ගලපන අතරේ අප සිතුවිල්ලකින් මේ සටහන නිමවමු. අපේ සෙක්කු ගල, මුරගලක්, සඳකඩපහණක් නොවුණු නිසා ඉතිහාසයේ ඊට හිමි තැන හිමි නොවුණු සෙයකි. එහෙත් තවමත් සුජීවත්ව සිටින අප පැරුන්නන්ගේ ආත්ම තුළ සෙක්කුව ජීවන චක්‍රය මෙන් කැරකැවෙමින් තවමත් තිබේ.

චමිඳු නිසල් ද සිල්වා
     සේයා රූ: අන්තර්ජාලයෙන්

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00