පසුගිය ජනාධිපති මැතිවරණයේදී මැතිවරණ පොරොන්දුවක් ලෙස මැදරට ජනතාවට පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවටම පොරොන්දුවක් ලබාදී කොළඹ මහනුවර අධිවේගී මාර්ගය ඉදිකරන බවට මහනුවර මධ්‍යම වෙළඳ පොළ ඉදිරිපිට මැතිවරණ ප්‍රචාරක රැස්වීමකදී දේශපාලනඥයන් විසින් කළ ප්‍රකාශ අද වනවිට අතරමඟදී හැරී මන්දගාමී ගමනකට වැටෙමින් පවතින බවට ජනතා චෝදනා එල්ල වෙමින් තිබේ.
බහිරව පූජා 07ක් තබා කොළඹ මහනුවර අධිවේගී මාර්ගය ඉදිකිරීමට දේශපාලනඥයන් කටයුතු කළද කොළඹ මහනුවර මාර්ගය ඉදිකිරීමට බාධා එල්ල වී අවසානයේ මහනුවර දක්වා ඉදිකිරීමට සැලසුම් කර තිබූ එම අධිවේගී මාර්ගය මහනුවරට යොමුනොවී පොළොන්නරුව පුරවරයට යොමුවී ඇති බව මහනුවර මහ නගර සභාවේ විශේෂ මහ සභා රැස්වීමකදී නගර සභාවේ පක්ෂවිපක්ෂ සියලුම නාගරික මන්ත්‍රිවරු චෝදනා මුඛයෙන් කතා කළහ.
කොළඹ මහනුවර අධිවේගී මහා මාර්ගය ආරම්භ වූයේ මධ්‍යම අධිවේගී මාර්ගය නමින් වුවත් එම අධිවේගී මාර්ගය මධ්‍යම පළාතේ අගනුවර වූ මහනුවර දක්වා ඉදිනොවී පොළොන්නරුව පුරවරය දක්වා ඉදිනොවිය යුතු බව නගර සභාවේ මන්ත්‍රිවරු පවසති.
මෙම අධිවේගී මහා මාර්ගය කුරුණෑගලින් දඹුල්ල හරහා පොළොන්නරුවට හැරවීමක් සිදුවෙන බව මහනගර සභාවේ මන්ත්‍රිවරු පැවසූහ.
මධ්‍යම පළාතේ ජනතාව සිහින දුටුවේ පැය එකහමාරක් වැනි කෙටි වේලාවකින් මහනුවර සිට කොළඹ පුරවරයට යාමටය. විශේෂයෙන් විදේශීය සංචාරකයන් දේශීය හා විදේශීය ආයෝජකයන් ද මැදරට විවිධ කර්මාන්ත ව්‍යාපෘති ආරම්භ කිරීමට ද පුල පුලා බලාසිටියේ කොළඹ සිට මහනුවර පුරවරයට පැය එකහාමාරක් ඇතුළත ළඟාවිය හැකි බව සිතමිනි. එහෙත් සියලු දෙනාගේම පැතුම් බොඳවි මහනුවර සිට කොළඹට ඉදිවෙන අධිවේගී මහමාර්ගය ස්ථිරවම ඉදිවනුඇතිද යන්න පවා සැක සහිත වී තිබේ.
මෙම අධිවේගී මහා මාර්ගය නියමාකාරයෙන් ඉදිවනු දැකීම සඳහා මල්වතු අස්ගිරි මහා විහාර පාර්ශවයන්හි අනුනායක හිමිවරුන් ප්‍රමුඛ කාරක සංඝ සභාවේ සභික හිමිවරුද අධිවේගී මාර්ගය ඉදිකෙරෙන ප්‍රදේශය නිරීක්ෂණයට ලක්කරමින් එම ව්‍යාපෘතිය රටට ඉතා හිතකර සංවර්ධන ව්‍යාපෘතියක් බවට ප්‍රකාශ කළහ.
මහනුවර ජනතාවට හැමදාම ලැබෙන්නේ කුඩම්මාගේ සැළකිළි බව මහනුවර ජනතාවත් මහනුවර ප්‍රදේශයේ දේශපාලනඥයනුත් පවසති.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය ඉදිකිරීම පමණක් නොව උතුරු ප්‍රදේශයේද මනාලෙස මහමාර්ග ඉදිකිරීම සිදුවූ බව මහනුවර ජනතාව පැවසූහ.
තමන් දිනපතාම මහනුවර කොළඹට යාමට පැය 4ක් 5ක් කාලය ගතකරමින් මහමඟ ලතවෙන බවට මහජනතාව මැසිවිලි නගති. බොහෝ අවස්ථාවන්හිදී පිළිමතලාවේ සිට මහනුවර නගරයට රථවාහනවලින් පැමිණීමේදී අඩුම වශයෙන් පැය දෙකහාමාරක් තුනක්වත් මහාමාර්ගයේ රථවාහන පෝලිම් තදබදයට වාහනවලින් පැමිණෙන බොහෝ දෙනා මුහුණ දෙති. ඇතැම් බලගතු දේශපාලන නායකයන්ට මෙම දුෂ්කරතාවයේ සැබෑ තත්ත්වය අවබෝධ කරගැනීමට නොහැකි වී ඇත්තේ ඔවුන් හැමවිටම ගුවන් ගමනින් (හෙළිකොප්ටරයෙන්) කොළඹ සිට මහනුවර පුරවරයට සහ මැදරට නගරවලට සැපත් වන නිසා බව කොළඹ නුවර මහා මාර්ගයේ පැය පහක පමණ කට්ටක් කන සාමාන්‍ය පොදු ජනතාව පවසති.
මහනුවර අධිවේගී මාර්ගයක් කවදා හැදේදෝයි අපේක්ෂාවෙන් මැදරට ජනතාව අපේක්ෂා සහගතව දැස් දැල්වා බලාසිටිති. දේශපාලනඥයෝ මැතිවරණ ළඟවද්දී කොළඹ සිට මහනුවර පැයෙන් ඒමට අධිවේගී මාර්ගය හදන බවට ජනතාවට බොරු පොරොන්දු දී ඔවුන් රවටති.
මහනුවර මහනගර සභාවේ හිටපු පුරපතිවරයෙකු වන වත්මන් නාගරික මන්ත්‍රි රාජාපුෂ්ප කුමාර මහතා (එජාප) කොළඹ මහනුවර අධිවේගී මාර්ගය ඉදිවීම සම්බන්ධව මෙලෙස අදහස් දැක්විය. “නුවර කොළඹ මධ්‍යම අධිවේගී මාර්ගය හැදෙන පාටක් නැහැ. ප්‍රමාද වී තිබෙනවා මෙය ඡන්ද පොරොන්දුවක්. මේ රජය ආරම්භයේදීම ජනාධිපති මැතිවරණයට පෙර මෙම අධිවේගී මහා මාර්ගය ඉදිකරන බවට පොරොන්දු ජනතාවට ලබාදුන්නා. ජනාධිපතිතුමා මාර්කට් එක ඉදිරිපිට ඡන්ද රැස්වීම් වේදිකාවේදී මෙම අධිවේගී මාර්ගය හදලා නුවර ජනතාවට පවරනවා කීවා එහෙම පොරොන්දු වෙලා ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යතුමා මහාමාර්ග අමාත්‍යාංශය භාරව ඉන්න විට මේ මාර්ගය හදන්න පටන්ගත්තා. මේ අධිවේගී මාර්ගය හදන්න පෙර.. බහිරව පූජා තිබ්බා. අමාත්‍යතුමාගේ පුද්ගලික වියදමින් තමයි මේ බහිරව පූජා තිබ්බේ. මේ අධිවේගී මාර්ගය කොළඹ සිට මහනුවරටයි හදන්න තිබුණේ. දැන් මේ අධිවේගී මාර්ගය මහනුවර දක්වා දීර්ඝ නොකර දඹුල්ලෙන් පොළොන්නරු පුරවරයට හරවන්න යෝජනාවක් ඉදිරිපත්වෙලා තිබෙනවා. දැන් මේ අධිවේගී මාර්ගය ඉදිකිරීම ඉබිගමනේ තමයි සිදුවන්නෙ.
මහනුවර පමණක් නොව මධ්‍යම පළාතේ ජනතාවට මෙම මාර්ගය ඉදිවුණොත් විශාල පහසුවක්. මහනුවර සිට කොළඹට යන්න අද පැය හයක් (06) පමණ ගතවෙනවා. බස් රියේ යනවානම් අද ව්‍යාපාරික රාජ්‍ය ආයතනවල නිලධාරින්ට පැය ගණනාවක් මහමඟ රස්තියාදු වෙන්න සිදුවෙලා තිබෙනවා. පුද්ගලික වාහනවලින් යන සමහරු මහනුවරින් කොළඹ යාමට අලුයම 4.00ටයි නුවරින් පිටත්ව යන්නේ.. දැන් මේ පාර හැදීම ප්‍රමාද වීම නිසාත් පොළොන්නරුව පුරවරයට කුරුණෑගල දඹුල්ල හරහා ඉදිකිරීමට යෝජනා වීමත් නිසාත් මහනුවර මහනගර සභාවේ සියලුම පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු මෙයට දැඩි විරෝධයක් දැක්වූවා. හෙට අනිද්දා වනවිට නගරයේ දැවැන්ත උද්ඝෝෂණත් ආරම්භ කරාවි.
ආණ්ඩුවේම ඉන්න ඇමතිවරු කොළඹ මහනුවර අධිවේගී මාර්ගය හදන එකට ඊර්ෂ්‍යායි. පසුගිය ජනාධිපතිවරණය මහනුවරින් ජයග්‍රහණය ලැබුවේ කොළඹ - මහනුවර අධිවේගී මාර්ගය හදන බවට ජනතාව ලබාදුන් පොරොන්දුව නිසයි.
සේන දිසානායක මහතා හිටපු පුරපති වත්මන් විපක්ෂ නායක - නාගරික මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහනුවර නගර සභාව
මධ්‍යම අධිවේගී මාර්ගය වයඹ අධිවේගී මාර්ගයක් බවට පත්කිරීම අනුමත කළ නොහැකියි. කෙසේ වුවත් මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම මධ්‍යම පළාතේ ජනතාවට පමණක් නොව සමස්ත රටේම ජනතාවට ලබාදුන් මැතිවරණ පොරොන්දුවක්!
මධ්‍යම අධිවේගී මාර්ගය සඳහා වැයකළ මුදල් ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 369ක මුදලක් ගිණුමෙන් ගිලිහී ගොස් තිබෙනවා කියා රජයේ විගණකාධිපතිවරයාම පවසා තිබෙනවා මේ පිළිබඳව සොයාබැලිය යුතු බව. මාර්ගය අතරමගදී වෙනස් කොට පොළොන්නරුවට හැරවීම කිසිසේත් අනුමත කළ නොහැකියි. අනුරාධපුරට අධිවේගී මාර්ගයක් ඉදිකර නුවර කොළඹ ගමනා ගමනය පහසු කරවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දුන් පොරොන්දුව ඉටුකිරීම ජනවාරි 08 වැනිදා සිදුවූ වෙනස නිසා වැළකී ගියා.
කැන්ඩි කිං සිංහල වෙළෙඳ පෙරමුණේ සභාපති කටුගස්තොට සිංහල වෙළඳ පෙරමුණේ සභාපති නන්ද නිමල සොලමන් (ප්‍රසිද්ධ ව්‍යාපාරික)
මහනුවර ජනතාවට කරන ලොකුම අසාධාරණයක් තමයි කොළඹ නුවර අධිවේගී මාර්ගය ඉදිකිරීම ප්‍රමාද කිරීම. අද නුවර ඉඳලා කොළඹට යන්න පැය 04ක් 05ක් ගතවනවා. මහනුවරට අධිවේගී මාර්ගයක් අවශ්‍යමයි. ජනාධිපතිතුමා ඇතුළු අමාත්‍යවරු බලයට ඒමට පෙර පොරොන්දු වූවා නුවර කොළඹ අධිවේගී මාර්ගය හදාදෙනවා කියලා. දැන් ඒ අධිවේගී මාර්ගය කුරුණෑගල දඹුල්ල හරහා පොළොන්නරුවට යොමුකරන බව දැනගන්නට තිබෙනවා. මේ අධිවේගී මාර්ගය ඉදිනොකිරීම නිසා මධ්‍යම පළාතේ ව්‍යාපාරික කටයුතු ආර්ථික කටයුතු පවා අඩපණ වී තිබෙනවා. මේ අධිවේගී මාර්ගය තමයි මහනුවර ජනතාවගේ එකම අපේක්ෂාව අද මේ අධිවේග මාර්ගය මහනුවර ජනතාවට සිහිනයක් වේවීද? මේ අධිවේගී මාර්ගය ඉදිකළ යුතුමයි.
අපේ පළාතට අපේ ප්‍රදේශයට වැඩ කරගන්න නම් මහනුවර ජනාධිපති කෙනෙක් පත්කරගත යුතු තත්ත්වයකට අද මහනුවර ජනතාව පත්වෙලා.
මහනුවර සිංහල වෙළෙඳ පෙරමුණේ අධ්‍යක්ෂ නවෝදය අධ්‍යාපන මධ්‍යස්ථානයේ කළමණාකාර අධ්‍යක්ෂ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ලාල් හඳපාන්ගොඩ මහතා
කොළඹ මහනුවර අධිවේගී මාර්ග ඉදිකිරීම් ප්‍රමාද වීම එම අධිවේගී මහනුවර දක්වා ඉදිනොකර පොළොන්නරුවට ගෙනයාම සම්බන්ධව තම දැඩි විරෝධය පළකරන බව කීය.
► ජේ.ඒ.එල්. ජයසිංහ