මුදල් ඇමැති මංගල සමරවීර මහතා විවාදාත්මක මත පළ කරන්නකු ලෙස ප්‍රකටය. යළිත් ඔහු දෙබරයකට ගල් ගසා තිබේ. ඒ චීනයෙන් දුම්වැටි ආනයනය කිරීමට ගෙන ඇති තීරණයයි. මේ වන විට චීන කම්කරුවන් විශාල පිරිසක් මෙරට සේවයේ නිරතවන බවත්, ඔවුන් මෙරට දුම්වැටි භාවිතයට එතරම් කැමැත්තක් නොමැති හෙයින් චීන දුම්වැටි ආනයනය කිරීමට තමන් තීරණය කළ බවත් 2019 මැයි 30 දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඔහු සඳහන් කර තිබිණි. දැනටමත් නීති විරෝධී අයුරින් විදේශ දුම්වැටි මෙරටට පැමිණෙන බවත් දුම්වැටි ආනයනයට අවසර දීමෙන් නව ආදායම් මාර්ගයක් සොයාගත හැකි බවත් පවසන මුදල් ඇමැතිවරයා “දුම්පානය අවම කිරීම රජයේ ප්‍රතිපත්තියයි. එහෙත් දුම්පානය කරන්නන්ගෙන් රජයට බද්දක් අය කිරීම මෙමගින් සිදු වෙනවා. මෙරට චීන කම්කරැවෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. පෙර හිටපු චීන තානාපතිතුමා පවා මට වරක් කිව්වේ, ඒ අය විශාල වශයෙන් සිගරට් බොනවා. නමුත් ඒ අයට හරියන්නේ ලංකාවේ එක නෙමෙයි චීන සිගරට් විතරයි. ඇත්ත වශයෙන්ම මේ අය සඳහා විශාල වශයෙන් නිල නොවන මට්ටමින් සිගරට් එනවා. ඉතිං ඊට වඩා හොඳයි, නිල මට්ටමෙන්ම සිගරට් ගෙන්නලා, ඒ ආදායම රජයට ලබාගැනීම. දුම්පානය අඩුකිරීම තමයි රජයේ ප්‍රතිපත්තිය. දුම්පානය කරන අයගෙන් රජයට බද්දක් අයකිරීම තමයි මෙයින් කෙරෙන්නේ" යනුවෙන් ප්‍රකාශ කර තිබේ.
මුදල් ඇමැතිවරයාගේ මෙම තීරණයට දසතින්ම විරෝධයක් පැන නැඟී තිබේ. චීනයෙන් දුම්වැටි ආනයනය කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පාමින් දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. එම අධිකාරියේ සභාපති පාලිත අබේකෝන් මහතා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයාට ලිපියක් මගින් මේ පිළිබඳව දන්වා තිබේ.
ගෙවුණු වසර 5 තුළ දුම්කොළ පාලනය සඳහා රජය විශාල මුදලක් වැය කර ඇත. ප්‍රජාව දැනුම්වත් කිරීමේ වැඩසටහන්වල ප්‍රතිඵලයක් ලෙස මෙරට දුම්වැටි භාවිතය 14% දක්වා පහත වැටිණි. දුම්වැටි මත බදු පැනවීම මතද ඒවායේ අලෙවිය පහත වැටිණි. 2000 වසරේ අලෙවි වූ සමස්ත දුම්වැටි සංඛ්‍යාව මිලියන 4604කි. 2014 දී එය මිලියන 3150 දක්වා අවම වූයේය. ඒ අනුව වසර 18 තුළ දුම්වැටි අලෙවිය මිලියන 1454ක් දක්වා සීමා විය.
දුම්කොළ භාවිතය මත වසරකට 20,000ක් පමණ ශ්‍රී ලාංකිකයන් පිරිසක් මරණයට පත්වන අතර රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්තියට පටහැනි අයුරින් චීන දුම්වැටි ආනයනය කිරීමට පියවර ගැනීම සිදු නොවිය යුත්තක් බවද, දශක දෙකක් මුඵල්ලේ දුම්කොළවලින් සිදුවන හානිය වළක්වා ගැනීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන තිබියදී මුදල් අමාත්‍යංශය මෙවැනි ක්‍රියා මාර්ගයක් ගැනීම කණගාටුවට කරුණක් බවද එම ලිපියේ සඳහන්ය. එහෙයින් චීනයෙන් දුම්වැටි ආනයනයට ඉඩ නොතබන ලෙසත්, මුදල් අමාත්‍යංශයේ එම තීරණය වෙනස් නොකරන්නේ නම් තමා ඇතුඵ අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වන බවත් පාලිත අබේකෝන් මහතා තම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
දුම් පානය නිසා රෝගීවන පිරිස සඳහා රජයට විශාල මුදලක් වැය කිරීමට සිදුවන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරැ මධ්‍යස්ථානය පවසයි. ඒ සඳහා 2015 වසරේ පමණක් රජයට වැයවූ මුදල රැපියල් බිලියන 90කට ආසන්නය. මෙරට දුම් පානය කරන්නෝ දිනකට රැපියල් කෝටි 40කට ආසන්න මුදලක් ඒ සඳහා වැය කරති. මොවුන්ගෙන් වැඩි පිරිස අඩු ආදායම් ලාභීන්ය.චීන සිගරට් නිපදවීම සඳහා චීන දුම්කොළ සමාගමක් මෙරටට ගෙන ඒමට තමා සූදානම් යැයිද, එමගින් බදු වශයෙන් විශාල අමතර ආදායමක් රජයට ලබාගත හැකි බවද මුදල් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
මුදල් අමාත්‍යංශයේ මූලික අරමුණ රජයට ලැබෙන ආදායම වැඩි කර ගැනීම නම් ඒ සඳහා ඔවුන් කළ යුත්තේ දැනට පවතින දුම්කොළ සමාගමේ නිෂ්පාදන සඳහා නිවැරදි බදු ක්‍රමයක් හඳුන්වා දීම යැයි මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. මුදල් අමාත්‍යංශයේ දෝෂ සහිත බදු ප්‍රතිපත්තිය නිසා රජයට ලබාගත හැකිව තිබූ විශාල දුම්කොළ බද්දක් අහිමි වී තිබේ. පසුගිය වසර පහ තුළ (2013 – 2018) රජයට අහිමි වූ මුදල රුපියල් බිලියන 100කට ආසන්නය. දැනට පවතින දුම්කොළ සමාගමෙන් වුව නිවැරුදි ලෙස බදු අයකරගතහැකි ක්‍රමවේදයක් සකස් කිරීමට අසමත් මුදල් අමාත්‍යංශය නව සමාගම් හඳුන්වා දී ආදායම් වැඩි කර ගත හැකියැයි ප්‍රකාශ කිරීම හාස්‍යජනක කරුණක් යැයි එම ප්‍රවෘත්ති නිවේදනයේ සඳහන්ය.
දේශීය වශයෙන් සිගරට් නිෂ්පාදනය හා අලෙවිය සඳහා අවසරලත් එකම සමාගම වන්නේ ලංකා දුම්කොළ සමාගමයි. එම සමාගමේ මූල්‍ය ප්‍රකාශවලට අනුව 2019 පළමු කාර්තුව තුළ දී නිෂ්පාදන හා අනෙකුත් බදු මගින් රැපියල් බිලියන 26 ක ආදායමක් රජයට ලබා දී තිබේ. 2018 අගොස්තු මාසයේ දී හා 2019 මාර්තු මාර්තු මාසයේ දී සිගරට් මත අයකෙරෙන බදු ඉහළ දැමීම හේතුවෙන් 2019 මුල් කාර්තුව තුළ දී සිගරට් අලෙවිය 14.9% කින් පහළ ගොස් ඇතැයි ලංකා දුම්කොළ සමාගම පවසයි. මාස 09 ක් වැනි කාලයක් තුළ දී සිගරට් මිල 30% කින් පමණ ඉහළ ගොස් තිබේ. 2018 වසර තුළ දුම්කොළ සමාගම විසින් රජයට ගෙවා ඇති සම්පූර්ණ බදු ප්‍රමාණය පෙර වසරට වඩා රු. බිලියන 7.53 කින් ඉහළ ගොස් ඇති අතර එය 6.4% ක ඉහළ යාමක් ලෙසින් වාර්තා වේ. මෙහිදී රුපියල් බිලියන 112.36 ක් රජයේ බදු ලෙසත්, රු. බිලියන 10.47 ක් ආදායම් බදු ලෙසත් ඔවුන් ගෙවා තිබේ. 2018 වසර තුළ මෙරට සංසරණය වූ නීතිවිරෝධී දුම්වැටි ප්‍රමාණය මිලියන 510 ක් බවයි. එය දුම්කොළ කර්මාන්තය හරහා රජයට ලැබෙන බදු ආදායම පහළ වැටීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව සමාගම වැඩිදුරටත් පවසයි. මංගල සමරවීර මහතා චීනයෙන් දුම්වැටි ආනයනය කිරීමට උත්සාහ දරන්නේ එලෙස නීති විරෝධී ලෙස මෙරටට පැමිණෙන දුම්වැටිවලට වැට බැඳීමට රජයට අමතර ආදායමක් ලබා ගැනීමේ අරමුණින් යැයි ඔහු සඳහන් කරයි.
දැනට මෙරට ක්‍රියාත්මක වන මහා පරිමාණ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වන්නේ චීන සමාගම් සහ චීන ආධාර මත හෙයින් චීන දුම්වැටි සඳහා අවශ්‍ය ආකාරයට බදු හා නීති පනවමින් ඒවා පාලනය කිරීමට ශ්‍රී ලංකා රජය ගනු ලබන උත්සාහය අඩපණ කිරීමේ හැකියාවක් චීන රජයට පවතින්නේ යැයි ද, මුදල් අමාත්‍යංශය දුරදැක්මකින් තොරව ගනුලබන මෙවැනි තීරණ මගින් ශ්‍රී ලංකාව සෞඛ්‍ය සාමාජීය හා ආර්ථික වශයෙන් පරිහානියට පත්වනවා මෙන්ම විදෙස් ශ්‍රමිකයන්ගේ සෞඛ්‍ය හා ආර්ථික ගැටඵවලට ද බලපානු ඇතැයිද මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරැ මධ්‍යස්ථානයේ මාධ්‍ය නිවේදනයේ සඳහන්ය.
මුදල් ඇමැතිවරයාගේ මෙම තීරණයට වත්මන් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ද විරෝධය ප්‍රකාශ කර තිබේ. ජුලි 1 දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ පැවැති ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් දින මහා සමුඵවට සහභාගී වූ ඔහු චීන සිගරට් ලංකාවට ගෙන එන්නේ නම් එවැනි රජයක තමාට හෝ ජනාධිපතිවරයාට හෝ සිටිය නොහැකි බව කියා සිටියේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්වැටි සම්බන්ධ ප්‍රඥප්ති 22න් 20ක් ශ්‍රී ලංකාව මේ වන විට සපුරා ඇතැයිද, වත්මන් ජනාධිපතිවරයා සෞඛ්‍ය ඇමැතිවරයාව සිටි සමයේ දුම්කොළ විරෝධී ක්‍රියාවලිය ආරම්භ කළ බවද, ඒ අනුව 80% රූපමය අවවාද ඇතුළත් කිරීමට හැකි වූ බවද ජනාධිපතිවරයා ආරම්භ කළ සටන තමා ඉදිරියට ගෙනයන බවද ඔහු සඳහන් කළේය.
(කෙසේ වුවද පසුගිය සතියේ පැවැති කැබිනට් රැස්වීමේදී මුදල් ඇමැතිවරයා චීන සිගරුට් ගෙන්වීමේ යෝජනාව අස්කරගෙන තිබිණි)
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා