සම්මානනීය ලේඛිකා තනුජා එන්. අයගම
තනුජා එන්. අයගම අපට සිටින ප්‍රවීණ ළමා කතා ලේඛිකාවකි. ළමා මනස හඳුනාගෙන ලියැවෙන ඇගේ කතන්දර ළමුන් තුළ කතා රසයට අමතරව අපූරු චමත්කාරයක්ද ජනිත කරවන්නට සමත්ය. ඇය ලියූ අහස් ගමට ගිය සිත්තරා කෘතියට 2012 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි වූ අතර ඊට පසු 2014, 2016 සහ 2017 වර්ෂවල ඇය ළමා කෘති උදෙසා රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි කරගත්තාය.
ඔබ ළමා කතා පොත් ලියන්න ඔතරම් කැමති ඇයි?
පළමුව මා ලියා ප‍්‍රකාශයට පත් කරන්නෙ ළමා කවි පොතක්. පොතේ නම චූටි කවිතරු. පළමු පොත ජනගත වුණේ මා උගත් උග්ගල්බඩ මහා විද්‍යාලයේ දී. ඊට සහභාගි වුණේ අපේ ගම්වැසියො. එදා අතට පත්වුණු චූටි කවිතරු පොතේ කවි අහල පහළ ගෙවල්වල ළමයින් කටපාඩම් කරගෙන තිබුණා. ඒ කවි ඔවුන් එක් එක් තාලයට ගයනු ලැබුවා. මගේ කවි මුලින්ම රසවිඳින්නෙ සහ සංස්කරණය කරන්නෙ තාත්තා. තාත්තා කවියෙක් නිසා හැමවිටම අවශ්‍ය ගුරුහරුකම් ලැබුණා. පසුකලකදී ළමා සාහිත්‍ය පිළිබඳ අධ්‍යයනය කරන්නට අවස්ථාව උදාවුණා. ළමා සාහිත්‍ය හැදෑරීමේදී දැන උගත් කරැණු අනුව යමින් වෙනස් යමක් කිරීමට සිතුවා. මේ හැදෑරීමම තමයි කතන්දර පොත් ලිවීමේ කැමැත්ත ඇති කළේ.
ළමා පොත් ලේඛනයට මුලින්ම එළඹියේ කෙසේද?
ළමා පොතකට කියා මා කිසිවක් මුලින් ලිව්වේ නැහැ. පුංචි කාලෙ විජය පත්තරයටත් සිළුමිණ, දිවයින පත්තරවල ළමා පිටුවලටත් මම කවි ලිව්වා. පාසල් ගමන අවසන් වීමෙන් පසුද මේ ආකාරයට ළමා කවි නිර්මාණය කළා. එහෙත් ඒවා මගේ ෆයිල් ඇතූළෙ තිබුණා පමණයි. මම රුකියාවට යද්දිත් මේ කවි ලිවීම නතර වුණේ නැහැ. දවසක් පත්තරේක පුංචි දැන්වීමක දැක්කා ළමා කවි, කතන්දර අත්පිටපත් තරගයක්. එය සංවිධානය කළේ ග‍්‍රන්ථ සංවර්ධන මණඩලයෙන්. මම මගේ ෆයිල් ගොඩ අවුස්සලා වරින්වර මම ලියූ කවි එක ෆයිල් එකකට ගත්තා. ඒ කවි පන්ති අතරින් අත් පිටපතක් සැදීමට සුදුසු කවි තෝරන්න තාත්තා උදවු කළා. මම අත් පිටපතක් හදලා ඒ සඳහා ඉදිරිපත් කළා. පොත මුද්‍රණය සඳහා අනුමත වුණා. අනුග‍්‍රහයත් ලැබුණා. ඒ 1997 වසරේ.
සම්ප‍්‍රදායික වීරකතා වෙනුවට ළමා මනස දෙස වෙනස් ආකාරයකින් බලන බවක් ඔබේ කතා වලින් පේනවා. ඒ ගැන කිව්වොත්...
අප කුඩා කල කියවූ පොත්, ඒ පොත්වල තිබුණු ප‍්‍රධාන චරිත, වීර චරිත, විනෝදකාමී චරිත, සිදුවුණු විශේෂිත සිදුවීම් අපගේ මතකයෙන් ඈත් වෙන්නෙ නැහැ. අපට නිර්මාණයක් කරන්න උවමනා වුණොත් අප පෙර කියවා ඇති පොත්වලින් ලද ආභාෂය නිර්මාණයෙන් එළියට එන්න උත්සාහ කරනවා. ඒ අප කවුරුත් අනුකරණය කිරීමට හුරු වූ අය නිසා. එහෙත් සාහිත්‍ය කෘතියක් නිර්මාණය කිරීම කියන්නෙ අපූරු වස්තුවක් නිර්මාණය කිරීම. එහිදී මම පැරුණි සාහිත්‍ය පමණක් නොවෙයි වත්මන් ළමා කතාද කියවනවා. එහෙත් මගේ කතාව තවත් එවන් කතාවක් නොවන්නට මම උත්සාහ කරනවා. මට උවමනා වන්නේ අලුත් කතන්දරයක් අලුත් අදහසක් ඇතිව අලුත් විදිහකට දරුවා අතට පත් කරන්නයි. ඒ සඳහා ළමා සාහිත්‍ය අධ්‍යයන කිරීම සිදුකළ යුතුමයි.
බොහෝ දෙනා කියන්නෙ ළමා පොත් ලිවීම ලෙහෙසියි කියා. හැබැයි ඔබේ පොත් දෙස බලන විට පේනවා එය එසේ නොවේ කියා.
ලොකු අකුරු, පාට චිත්‍ර යෙදූ පමණින් ළමා කතන්දර පොතක් නිර්මාණය කරන්න බැහැ. ළමා කතන්දර පොතක් නිර්මාණය කිරීම සඳහා අදාළ නිර්ණායක තිබෙනවා. නිර්ණායක කියන්නෙ අච්චුවක් නොවෙයි. හැබැයි නිර්මාණයක් කිරීමෙන් පසු අදාළ නිර්මාණය ළමා සාහිත්‍ය කෘතියක අඩංගු අංග තිබේදැයි නිර්මාණකරැට ස්වයං විචාරයක් කරන්න පුළුවන්.
මේ හැරැණුවිට මගේ පොත්වල ඇති සමහර වෙනස්කම්වලට බලපාන තවත් හේතු තියෙනවා. ඒ මම කතන්දරයක් ලියූ සැණින් ප‍්‍රකාශයට පත් කරන්නේ නැහැ. සෑහෙන කාලයක් ලියූ ලෙසම තියෙනවා. බොහෝ වාරයක් සංස්කරණය කරනවා. ඉන් සෑහීමට පත්වන පොත් පමණයි ප‍්‍රකාශයට පත් කරන්නේ. එලෙස නොවූ පොත් තවත් කාලයක් එලෙසම තියෙනවා. සමහර විට ඒවා ප‍්‍රකාශයට පත් නොවන්නත් පුළුවන්. ඒ ඉවසීම ළමා සාහිත්‍ය නිර්මාණකරණයේ යෙදෙන්නන් තුළ තිබිය යුතුයි කියා මම සිතනවා.
අද වැඩි දෙනෙක් වැරදි පිරුණු පොත් එළිදක්වනවා. ඒ ගැන ඔබේ අදහස?
හොඳම දේ දරුවන්ට නොවේද? අප උදේ සිට දවස අවසන් වනතුරු දරුවන්ට අසන්නට, දකින්නට, කියවන්නට සැලැස්විය යුත්තේ හොඳම දේ නේද? ඒ දෙන දෙයෙහි නිවැරුදිභාවය තහවුරැ කරගැනීම වැඩිහිටියන්ගේ වගකීමක්. පොතක සංස්කරණය වඩා වැදගත් යයි මම සඳහන් කළා. විශේෂයෙන්ම ළමා සාහිත්‍ය නිර්මාණය කිරීමේ යෙදෙන්නන්ට තිබෙන ලොකුම වගකීම තමයි තමාගේ නිර්මාණය වඩා නිවැරදිව දරුවා අත පත්කිරීම. ළමා පොත් සංස්කරණය කිරීමේ කටයුත්ත සිදුකළ යුතුමය.
ඔබ සිව්වරක් ප‍්‍රශස්ත ළමා සාහිත්‍ය කෘතියට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිකරගත්තා. නමුත් ළමා සාහිත්‍යට අප රටේ නිසි අවධානය නැහැ නේද?
ඇත්ත වශයෙන්ම ළමා සාහිත්‍ය සම්බන්ධයෙන් දියත්කර ඇති වැඩපිළිවෙලවල් කිහිපයක් තිබෙනවා. නමුදු ඒවා සමාජ ගතවී නැහැ. ඉන් එකක් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් කි‍්‍රයාත්මක කරන &කළණ මිතුරැ පොත් සුමිතුරැ* වැඩසටහන. ඉතාම හරවත් සහ අර්ථවත් වැඩපිළිවෙලක් ලෙස මම එය හඳුන්වන්න කැමතියි. එය දරැවන්ට කියැවීමේ රුචිය වර්ධනය කරන වැඩසටහනක්. පසුගිය අප්‍රේල් මස පවත්වනු ලැබූ ළමා සහ යොවුන් සාහිත්‍ය සමුළුව, ළමා සහ යොවුන් සාහිත්‍ය නිර්මාණකරණයේ යෙදී සිටින්නන් වෙනුවෙන් පැවැත්වූවක්. එය අඛණ්ඩව පවත්වාගෙන යාමට එම සංවිධානය අපේක්‍ෂා කරනවා. මම එහි සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කරන නිසා එම ආයතනය ළමා සාහිත්‍ය වෙනුවෙන් සැලකිය යුතු කාර්ය භාරයක් කිරීමට සූදානම් බව වගකීමෙන් කියන්න කැමතියි. අධ්‍යාපන අමාත්‍යාංශයේ සහය ඇතිව නුදුරැ අනාගතයේදී ළමා සාහිත්‍ය වෙනුවෙන් සැලකිය යුතු වැඩ කොටසක් ඉටු කිරීමට එම සංවිධානය මේ වනවිට සැලසුම් කරමින් සිටිනවා. නමුදු මේ කරන කාර්ය පිළිබඳ සමාජ කතිකාවක් ගොඩනැගීම සිදුවී නැහැ. එය එසේ වන්නේ ඒ පිළිබඳ පුළුල් ප‍්‍රචාරයක් නොමැති නිසා. මම හිතන්නේ මාධ්‍යයෙන් ළමා සාහිත්‍යය සඳහා වෙන්කරන කාලය අඩුයි කියා.
ඒ සඳහා ඔබ යෝජනා කරන්නේ කුමන වැඩ පිළිවෙළක්ද?
ළමා සාහිත්‍ය අධ්‍යයනය සඳහා පිළිගත් අධ්‍යාපන ආයතනයක් තිබිය යුතුය. එය විශ්ව විද්‍යාල මට්මින් හෝ පෞද්ගලික අධ්‍යයන ආයතනයකින් වුවද කම් නැත. ළමා සාහිත්‍ය පිළිබඳ සම්මත නිර්ණායක සමාජගතවිය යුතුයි. මේ වනවිට ජාතික පුස්තකාල සේවා මණ්ඩලය සහ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිර්ණායක ඇතුළත් පොත් දෙකක් නිකුත් වී ඇත. ඒවා පරිශීලනය කිරීමේ ක‍්‍රමවේදයක් නිර්මාණකරණයේ යෙදී සිටින්නන් තුළ ඇති කිරීම සඳහා වන වැඩ පිළිවෙළක් දියත් කළ යුතුය. ළමා සාහිත්‍යයේ නව ප‍්‍රවණතා පිළිබඳ සාකච්ඡා මණ්ඩප ඇති කිරීම, විශ්ව ළමා සාහිත්‍ය අත්දැකීම් අප රටේ ළමා සාහිත්‍ය නිර්මාණකරුවන් අතර බෙදාහදා ගැනීමට අවස්ථාව ළං කිරීම ආදිය සිදුවිය යුතුයි. රජයේ විවිධ ආයතන වෙන් වෙන් වශයෙන් ළමා සාහිත්‍ය පිළිබඳ සිදුකරන වැඩපිළිවෙළ ඒකාබද්ධ වී කටයුතු කිරීම වඩා සුදුසුයි. ළමා සාහිත්‍ය කෘති සංස්කාරකවරැන් පත්කර ගැනීම සහ නිර්මාණකරැවන් ඔවුනගේ දායකත්වය ලබා ගැනීම සඳහා යොමුවිය යුතු ය. මාධ්‍යයෙන් ළමා සාහිත්‍ය සඳහා වෙන්කරන ඉඩකඩ පුළුල් කළ හැකිනම් වඩා අගේය.
අප රටේ ළමා කතා සාහිත්‍ය ඔබ දකින්නේ කෙසේද?
එක් එක් කණ්ඩායම් ස්වාධීනව තම තම නිර්මාණ කර්තෘ ප‍්‍රකාශන ලෙස හෝ ප‍්‍රකාශයට පත් කරගැනීමට උත්සාහ දරනවා. බොහෝ ළමා සාහිත්‍ය නිර්මාණවේදීන් ලියන්නේ තමන්ගේ හිතසුව පිණිස බව ඔවුන් සමඟ කරන පිළිසඳරවලදී මට අහන්න ලැබී තියෙනවා. ඒ වගේම ප‍්‍රකාශන ආයතනත් ළමා සාහිත්‍ය නිර්මාණ ප‍්‍රකාශනය සම්බන්ධයෙන් වගකිව යුතු යැයි මා සිතනවා. මන්ද ලාභ අපේක්‍ෂාව මුල් කරගෙන වෙළෙඳ පොළට ළමා කතන්දර පොත් නිකුත් කරන නිසා. එම පොත් ප‍්‍රමාණය අද සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතිනවා. මෙම පොත් වෙළඳපළට නිකුත් කෙරෙන සම්මත ක‍්‍රමවේදයක් සැකසී නැතිවීම බාල පොත් සමාජගතවීමට වඩාත් බලපානවා.
කලාතුරකින් හොඳ පොත් ප‍්‍රකාශයට පත්වෙනවා. නමුත් ඒවා සමාජගත වීමේ ක‍්‍රමවේදයක් නොමැති බව කනගාටුවට කරුණක්. හොඳ ළමා සාහිත්‍ය කෘති පිළිබඳ විචාරා පුවත්පත්වල පළවෙනවා අඩුයි. මහා සාහිත්‍යට සාපේක්‍ෂව ළමා සාහිත්‍ය පිළිබඳ තිබෙන මේ තත්වය අප රටේ ළමා සාහිත්‍යයේ පසුගාමීත්වයට හේතු වෙනවා.
කුසුම්සිරි