2019 ජුලි 06 වන සෙනසුරාදා

ජනාධිපතිවරණයට පිටපොට ගැසීම

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:31 256

2020 දී පැවැත්වීමට නියමිත 8 වැනි ජනාධිපතිවරණය පිළිබඳ විවිධ කතාබහ සැමතින්ම ඇසේ. සියලු ප්‍රධාන පක්ෂ සහ විවිධ පුද්ගයෝ තමන් ජනාධිපති සටනට එක්වන බවට ප්‍රකාශ කරති. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ මෙම තරගයේ ඉදිරියෙන්ම සිටින්නෝය. ඒ හැර තවත් බොහෝ නම් ගම් ජනාධිපති  තරගයට එක් වෙමින් තිබේ. 

වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2015 ජනවාරි 8 දා ජයග්‍රහණය කළේ ඡන්ද 6,217,162 ලබා ගනිමිනි. ඔහුගේ ප්‍රතිවාදියා වූ මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද 5,758,090ක් ලබා ගත්තේය. 2020 ජනවාරි 9 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය අවසන් වන්නේය.

මේ වසර මැතිවරණ වසරකි. මේ වන විට ඉහත කී සියලු පක්ෂ රට පුරා නොනිල මට්ටමින් ජනාධිපතිවරණයට සූදානම් වනු දැකිය හැකිය. රජය විවිධ ව්‍යාපෘති ගෙන එමින්ද, වෙනත් පක්ෂ මාධ්‍ය හා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හා විවිධ සම්මන්ත්‍රණ, ප්‍රචාරක වැඩ සටහන් ඔස්සේ ද පක්ෂ අරමුණු ප්‍රචාරය කරමින් ජනාධිපතිවරණයට සූදානම් වුවද තම අපේක්ෂකයා කවුරුන්ද යන්න මෙතෙක් හෙළිදරව් නොකිරීමට වගබලාගෙන තිබේ. 

දෙවැනි වරට තරග කිරීමේ කැමැත්තක් තමා තුළ නොමැති යැයි ජනාධිපති පදවි ප්‍රාප්තියේදී ප්‍රකාශ කළ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා යළිත් තරග කිරීමේ සූදානමක් සිටින බව පෙනේ. ව්‍යවස්ථානුකූලව දෙවැනි වාරය සදහා තරග කිරීමට ඔහුට බාධාවක් නොමැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහා ලේකම් දයාසිරි ජයසේකර මහතා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්නේ මෙවන් අදහසකි. “ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවට අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දුවක් ගත්තා. ඒ සඳහා වත්මන් ජනාධිපතිවරයාම ඉදිරි පත් කළ යුතු බවට යෝජනා කෙරුණා. එහෙත් ජනාධිපතිවරයා මෙතෙක්  ඒ සම්බන්ධයෙන් තම මතය ප්‍රකාශ කර නැහැ. එතුමා කලින් යළිත් තරග නොකරන බවට ප්‍රකාශ කළත් වර්තමාන තත්ත්වය අනුව එම මතය වෙනස් විය හැකියි. ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපගේ සැලසුම් කිහිපයක් තියෙනවා. එහෙත් ඒවා දැන්ම ප්‍රකාශ කළ නොහැකියි.”

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ සමගි සන්ධානයක් සඳහා තවමත් සාකච්ඡා පැවැත්වේ. දෙපිරිස අතර තම තමන්ගේ ව්‍යවස්ථා හුවමාරු කර ගත් බවත්, ඒ පිළිබඳ අධ්‍යයනයකින් පසු යළි හමුවීමේ සූදානමත් ඇති බවත්, පක්ෂ දෙකින්ම එක් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ අපේක්ෂාවක් ඇති බවත් මහ ලේකම්වරයා ප්‍රකාශ කරයි.

මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීම, දුම්වැටිවලට වැට බැඳීම, හොර සුරා මැඬලීම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සඳහා එල්ලුම් ගස ක්‍රියාත්මක කිරීම වැනි  වැඩසටහන්  මගින් සිරිසේන ජනාධිපතිවරයා තම ජනප්‍රියත්වය මැන බලනු පෙනේ.

මහින්ද රාජපක්ෂ සමයේ සිදු කෙරුණු දූෂණ වංචා සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලට විරුද්ධව පියවර ගන්නා බව පැවසූ ඔහු පසුව අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ ඇතිකරගත් විරසකය මත මහින්ද රාජපක්ෂ මහතා යළි අගමැති ධුරයේ පිහිටුවීමට පියවර ගත්තේය. මෙය ඔහුට ඡන්දය දුන් හැට දෙලක්ෂයකගේ සිත් බිඳවූ ක්‍රියාවක් විය. තමා පිළිබඳ විශ්වාසය තැබූ ජනතාවගේ අපේක්ෂා ඉටු කරලීමට ජනාධිපතිවරයා සමත් වූයේද යන්න සිතා බැලීමට ඔහුට කාලය පැමිණ තිබේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවට නොනිල මට්ටමින් ප්‍රකාශ කර තිබේ. මේ සම්බන්ධයෙන් එම පක්ෂයේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා සඳහන් කරනුයේ මෙතෙක් ස්ථිර වශයෙන් තම අපේක්ෂකයා නම් කර නොමැති අතර වුවද සන්ධානයේ සෑම සාකච්ඡාවකදීම ජනාධිපති අපේක්ෂකත්වය සඳහා වැඩි මනාපය හිමි වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතාට බවය. ඒකාබද්ධ විපක්ෂයේ සහෝදර පක්ෂ සමඟ සාකච්ඡා කිරීමෙන් ඉදිරි සති කිහිපය තුළ ඒ පිළිබඳ නිල නිවේදනය නිකුත් කෙරෙනු ඇතැයි ඔහු කියා සිටී. 

කෙසේ වුවද එම පක්ෂය ජනාධිපතිවරණය සඳහා මේ වන විටත් බොහෝ වැඩකටයුතු ආරම්භ කර තිබේ. “මේ වන විට අපි ලංකාවේ ඡන්ද පොළ 12000ටම අවශ්‍ය ඡන්දපොළ නියෝජිතයන් පවා තෝරා අවසන්. සියලු ශාඛා සංවිධාන පිහිටුවා හමාරයි. සත්‍ය වශයෙන්ම අපගේ මැතිවරණ යාන්ත්‍රණය දැන් ක්‍රියාවට නංවමින් පවතිනවා. මේ වනවිට සියලු අනු කමිටු පිහිටුවා අවසන්. ඒකාබද්ධ විපක්ෂය විදිහට මෙම කමිටුවලට තව සාමාජිකයන් එකතු විය යුතුව තිබෙනවා.මේ සියලු කටයුතු ඉදිරි සති දෙක තුළ අවසන් විය හැකියි. මෙවර ජනාධිපතිවරණය සඳහා සෑම කඳවුරකටම නූතන තාක්ෂණය ඔස්සේ ප්‍රචාරක කටයුතු මෙහෙයවීමට සිදු වෙනවා. අප ද එලෙස කටයුතු කරනවා. එය සිදුවිය යුත්තේ කෙලෙසකින්ද යන්න මෙතෙක් තීන්දු කර නැහැ. ගම නගරය ලෙස බෙදීමක් නැහැ. ඊ කැන්වසිං වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ සැලසුමක් අපට තිබෙනවා. ඒ සඳහා සෑම ග්‍රාමසේවා වසමකටම එක් නියෝජිතයකු බැගින් මේ වන විට පුහුණු කර අවසන්. ඇතැම් ප්‍රදේශවල ස්මාට් ජංගම දුරකතන භාවිත කරන පිරිස අඩුයි. එවැනි තැන්වලදී ප්‍රචාරණයේ යම් යම් වෙනස්කම් සිදුවේවි”. යනුවෙන් ඔහු පවසයි.

පක්ෂ දෙකින්ම එක් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ අදහසක් තම පක්ෂයට ඇති  බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළද එවැනි අරමුණක් පිළිබඳව දෙපක්ෂයේ සාකච්ඡාවට බඳුන් නොවූ බැව් ඩලස් අලහප්පෙරැම මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

ඒකාබද්ධ විපක්ෂයේ බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන අයුරින් එම පක්ෂය බිම් මට්ටමේ සියලු සංවිධාන කටයුතු අවසන් කර තිබේ. අගෝස්තු මස 11 දින පක්ෂ සම්මේලනය පැවැත්වීමට නියමිත අතර එතැන් සිට ජනාධිපතිවරණ ව්‍යාපාරය කරළියට ‍ගෙන එන බව ඔහු සඳහන් කරයි “සෑම ගමකම රුස්වීම් 15000ක් එකම දිනයේ පැවැත්වීමට හැකිවන ලෙස අපගේ සංවිධාන ජාලය සකස් කර තිබෙනවා. වෙනත් කිසිම පක්ෂයකට කළ නොහැකි මට්ටමට බැසිල් රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ ප්‍රචාරක යාන්ත්‍රණය ගමට ගෙන යා හැකි පරිදි සංවිධානය කර තිබෙනවා. ජනතාවගේ ඉල්ලීම වී තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති ධුරයට යළිත් වරක් ඉල්ලිය නොහැකි නම් දැනට රට මුහුණ පා සිටින අර්බුදවලින් නිදහස් කරගත හැකි ශක්තිමත් නායකයෙක් වන ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කරන ලෙසයි. සියලු ප්‍රචාරක කටයුතු පක්ෂ ශාඛාවල සාමාජිකයන් විසින් මෙහයවනු ලබන හෙයින් අපගේ මැතිවරණ ව්‍යාපාරය අවම පිරිවැයක් යටතේ සිදු කෙරෙන්නක්.

එක්සත් ජාතික පක්ෂය මෙවර ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයකු නොව තම පක්ෂ අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවට ආරම්භයේ සිටම ප්‍රකාශ කර තිබේ. ඒ අනුව ඉදිරියෙන් සිටින්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාය. එහෙත් බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයන් ආරක්ෂා කළ බවට හා රාජ්‍ය සම්පත් විකුණා දැමීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ. රනිල් මැතිවරණ රුසක් පරාජයට පත් නායකයෙකි. පසුගිය ජනාධිපතිවරණ දෙකෙහිදිම ඔහු තමා තරග නොවැදී පොදු අපේක්ෂකු ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය. නායකත්වය වෙනත් පුද්ගලයකුට පවරා දීමට රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් නැති බව පෙනේ. නායකත්වයෙන් ඉවත්ව මැතිවරණ ජයගතහැකි පුද්ගලයකුට බලය පවරන ලෙස පසුපෙළ මන්ත්‍රීවරුන් විසින් ඉල්ලීම් කළද ඔහු තවමත් පක්ෂ නායකත්වයේ රැඳී සිටී. දිගටම පක්ෂ නායකත්වයේ රැඳී සිටිමින් යාවජීව අගමැතිවරයා හෝ විපක්ෂ නායකවරයා වශයෙන් රඳී සිටීම ඔහුගේ අරමුණ විය හැකිය.

පසුපෙළ මන්ත්‍රීවරුන් ඉල්ලා සිටින්නේ සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන ලෙසටය. තම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා සජිත් මේ වන විටද විවිධ ව්‍යාපෘතිවල නිරතව සිටී. පන්සල් පල්ලි කෝවිල් සඳහා මූල්‍යමය ආධාර ලබා දෙමින්, විවිධ නිවාස ව්‍යාපෘති ක්‍රියාවට නංවමින් ඔහු බිම් මට්ටමින් තම ප්‍රතිරූපය ගොඩනංවා ගනිමින් සිටී. ඔහු තම ව්‍යාපෘති සඳහා විශාල ප්‍රචාරයක් ලබා දෙයි. දැවැන්ත කටවුට්, පුවත්පත් දැන්වීම් ඒ සඳහා උපයෝගී කර ගනී.
ආණ්ඩුව ඉදිරි ජනපතිවරණය අරමුණු කර ගනිමින් දැවැන්ත ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් සිටී. ඉතිහාසයේ දැවැන්තම විශ්‍රාම වැටුප් වැඩිවීම, වසර 21ක් පුරා මගහැරුණු සමෘද්ධිය ලබා දීම, රාජ්‍ය සේවක වැටුප වැඩි කිරීම, සංචාරක අංශවලට සහන සැලසීම, කමාන්ඩෝ දීමනා 500%කින් ඉහළ දැමීම වැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳ ආණ්ඩුව සුදු ජූලිය නමින් ව්‍යාපෘතියක් අරඹා තිබේ. පසුගිය අයවැයෙන් ලබා දුන් පොරොන්දු ඉටු කිරීම සඳහා මෙම ව්‍යාපෘතියේ අරමුණ යැයි ආණ්ඩුව පවසයි.

එහෙත් විපක්ෂය මෙම සහන මල්ලට විරෝධය දක්වයි. සුදු ජූලිය මගින් රටේ ආර්ථිකය තවතවත් වළ පල්ලට යනු ඇතැයි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කර තිබේ. නිෂ්පාදන ආර්ථිකය කඩාවැටී රට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබෙන අවස්ථාවක මෙවැනි සහන සඳහා එකවර විශාල මුදලක් වැය කිරීමෙන් උද්ධමනයක් ඇතිවීම වැළැක්විය නොහැකි යැයි ඔහු කියා සිටී.

ජනතා විමුක්ති පෙරමුණද තම පක්ෂයෙන් අපේක්ෂකයකු පත් කිරීමට සූදානම් වෙයි. ප්‍රගතිශීලී, වාමවාදී, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා මධ්‍යස්ථානයක් ඔස්සේ තම ජනාධිපතිවරණ කටයුතු ආරම්භ කිරීමට ඔවුන් සූදානම්ය. “ අපි තවම ජනාධිපති අපේක්ෂකයෙක් පිළිබඳ සිතා නැහැ. විද්වත් සංවිධාන, කලාකරුවන්, සිවිල් සංවිධාන සම්බන්ධකරගෙන පුඵල් ජනතා සංවිධානයක්  බිහිකිරීම සඳහා මේ  දිනවල සාකච්ඡා පැවැත්වෙනවා. ජුලි මාසය අවසන් වන විට එම සංවිධානය ගොඩනැඟනවා. ජනපතිවරණය පැවැත්වීම තවමත් නිශ්චිත දිනයක් නොමැති හෙයින් තවමත් අපගේ ප්‍රචාරක කටයුතු ආරම්භ කර නැතැයි විජිත හේරත් මන්ත්‍රීවරයා සඳහන් කරයි. “රටට විධිමත් වැඩපිළිවෙලක් අවශ්‍යයි. එයට අවශ්‍ය දේශපාලන සමාජ බලවේගය තමන් මේව විට නිර්මාණය කරමින් සිටින්නේ යැයි තම රට ගොඩ නඟන යෝජනාවලිය මල්වතු මහ නාහිමියන් වෙත පිළිගන්වමින්  ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර තිබේ.
ජනාධිපති අපේක්ෂකත්වයට තමන්ද සුදුසු යැයි ඇතැම් දේශපාලනඥයන් හා විවිධ පුරවැසියන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ. රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, කරැ ජයසූරිය, චමල් රාජපක්ෂ, කුමාර වෙල්ගම වැනි දේශපාලනඥයන්ගේ නම් මෙන්ම නාගානන්ද කොඩිතුවක්කු, රොහාන් පල්ලෙවත්ත, ධම්මික පෙරේරා වැනි අයගේ නම්ද ඒ අතර වේ.

කෙසේ වුවද රටට අවශ්‍ය වන්නේ අනාගත දැක්මක් ඇතිව රට ගොඩ නැඟිය හැකි නායකයෙකි. එහෙයින් ජනතාව තම ඡන්දය භාවිත කළ යුතු වන්නේ තමාට ලැබෙන සුඵ ප්‍රතිලාභය තකා නොව රට ඉදිරියට ගෙන යා හැකි නායකයකු පත්කර ගැනීම උදෙසාය.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00