ලංකාවේ සංචාරය කරන්න සුදුසු දූපත් ගැන කතා කරනකොට අමතක නොකර යන්න ඕනෙම තැනක් තමයි මේ තැන. දූපතක තියෙන මේ ප්රදීපාගාරය පිහිටලා තියෙන්නේ බේරුවල බාබේරියන් දූපතේ. මෙතැනට වෙල්මාව කියලත් කියනවා. රුප්පාව අතර නිදහසේ චමත්කාරය විඳින්න පුළුවන් සුන්දර ඉසව්වක් තමයි වෙල්මාව.
කොළඹ ඉඳන් වැඩි දුරකුත් නෑනේ. බේරුවල වෙරළේ ඉඳන් බෝට්ටුවෙන් යනවා නම් විනාඩි දහයේ දුර. මේ දූපතේ හතරෙන් තුනක්ම වගේ වැහිලා තියෙන්නේ පොල්, අඹ, අරලිය වගේම තණපලස් වලින්. ගොඩබිමේ ඉඳන් බලනකොට සුදු පාටට ඉහළට මතුවෙලා පෙනෙන මේ බාබේරියන් ප්රදීපාගාරය තවමත් සිය රාජකාරි ඉටු කරනවා. නාවික හමුදාව තමයි වගකීම් දරන්නේ.
ඉර බැහැගෙන යන වෙලාවට මේ තැන දර්ශනය හැඩකාරයි. ඉතිහාසය ගැන කියැවෙන විදිහට ප්රදීපාගාරය ඉදිවුණේ 1890 දී. උස මීටර් 46ක් වෙනවා. හවස 6.30 ඉඳන් උදේ 6.30 දක්වා ආලෝකය නිකුත් කරන මේ ප්රදීපාගාරය නැව්වලට ධීවරයන්ට පාර කියනවා. මේක ලංකාවේ තියෙන අන්තර්ජාතික ප්රදීපාගාර හතරෙන් එකක්. ඉඩක් ලැබුණොත් සංචාරය කරලා බලන්න. හැබැයි මුහුදු සැර වැඩි කාලෙට ගමන ටිකක් අවදානම්.
සටහන සේයාරූ : අන්තර්ජාලය ඇසුරින්