2019 ජුලි 06 වන සෙනසුරාදා

මහ බැංකුවේ සංඛ්‍යා ලේඛන විජ්ජාව

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 151

රට සංවර්ධනය වී ඇති බවට බලධරයන් නිතර පැවසුව ද සත්‍ය ලෙසම එය සිදු වී ඇතිද යන්න පිළිබඳ මේ වනවිට කතාබහට ලක්වෙමින් තිබේ. ආණ්ඩුවේ විවිධ ආයතනවල සංඛ්‍යාලේඛන අනුව රට ක්‍රමයෙන් සංවර්ධනය වෙමින් පවතින බව සනාථ වේ. එහෙත් ඒවා සංඛ්‍යාලේඛනවලට පමණක් සීමා වෙනවා නම් ජනතාව සංවර්ධනය වී නොමැති නම් ලැබෙන ප්‍රතිඵලයක් නොමැත.

පසුගිය 2018 වසරේ රටේ ආර්ථික වර්ධනය සියයට 5 – 6 අතර ප්‍රමාණයට ඉහළ නැංවෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකතනය කළද ඇත්තවශයෙන්ම ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව දක්වන ආකාරයට එය සියයට 3.2ක අගයක් බව වාර්තා කෙරිණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ වර්ධනය සියයට 3.2කට ද අඩුව ඇති බවය. එසේම 2019 වසරේ ආර්ථික වර්ධනය සියයට 3.2ටද අඩුවනු ඇති බවට මත පළකරයි.

2019 ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික ආදායම අමෙරිකානු ඩොලර් 4060 හෙවත් රුපියල් 719066 දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. පසුගිය වසරේ මෙය අමෙරිකානු ඩොලර් 3840 හෙවත් රුපියල් 680,000ක මට්ටමේ විය. මෙලෙස වර්ෂයක් තුළ ආදායම රුපියල් 39066කින් ඉහළ ගියා නම් ජනතාවගේ ජීවන තත්ත්වය ද එයට සමානුපාතිකව ඉහළ ගිය යුතුය. එහෙත් එවැන්නක් සිදු වූවාද යන්න ගැටලුවකි.

ශ්‍රී ලංකාව මෙතෙක් පහළ මැදි ආදායම් ලබන රටක් ලෙස සැලකුවද පසුගිය ජූලි 01 දා සිට රට ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත් වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අනාවරණය වේ. මේ අනුව යුරෝපා සංගමය මෙතෙක් අපට ප්‍රදානය කළ GSP+ තීරුබදු සහනය අහෝසි වනු ඇත. මේ නිසා අපේ ඇඟළුම් ආදිය ලෝක වෙළෙඳපොළේ අලෙවි කිරීමේදී සෙසු රටවල් සමඟ දැඩි තරගකාරී තත්ත්වයකට අවතීර්ණ වීමට සිදුව තිබේ.

කෙසේ වුවද අප ගණනය කරන සංඛ්‍යා දත්ත ප්‍රායෝගික ලෙස සත්‍ය නොවේනම් එයින් රටට ලැබෙන යහපතට වඩා අයහපත විශාල බව පෙනෙන්නට තිබේ. ඒ නිසා ආණ්ඩුව සතුටු කිරීමට නොව රටේ යථාර්ථය නිරූපණය වීම උදෙසා නිවැරදි සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීම අදාළ බලධරයන්ගේ යුතුකම සහ වගකීම වෙයි. පවතින තත්ත්වය පිළිබඳ ප්‍රකට ආර්ථික විශ්ලේෂකයන් දෙදෙනකු ඉදිරිපත් කරන අදහස් මෙසේ සංක්ෂිප්ත ලෙස පළකරමු.

දැන් තියෙන්නේ වර්ධනයක් නොවේ: සංකෝචනයක්.
ශ්‍රී ලංකා මහ බැංකුවේ පසුගිය සමයේ අධිපතිවරයකුව සිටි ආචාර්ය අජිත් නිවාඩ් කබ්රාල්
මෙසේ අදහස් පළකරයි.
දැනට වසර හතරක කාලයක් තිස්සේ මේ අය රටේ ආර්ථික වර්ධනය පිළිබඳ සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කරලා තියෙනවා. මේවාගේ ඇති පිළිගත නොහැකි බව පිළිබඳ මාද වෙනත් ආර්ථික විශ්ලේෂකයන් ද කරුණු පෙන්වා දී තිබෙනවා. එහෙත් අප පෙන්වූ කරුණුවලට පිළිතුරු දීමක් සිදුවන්නේ නැහැ. එයින් සනාථ වන්නේ අප පවසන දේ සත්‍යයයි කියන එකයි.

ආණ්ඩුව ආර්ථික වර්ධන වේගයක් පිළිබඳ පුන පුනා කීවද ආර්ථික වර්ධනයක් සිදුව නැහැ. මේ වනවිට ආර්ථික වර්ධන වේගයක් නැහැ. ආර්ථික වර්ධනය “0” වී ඇති බව පෙන්වා දිය හැකියි. අනාගතයේදී මෙය සෘණ වන්නට පුළුවන්.

රටේ ව්‍යාපාර ක්ෂේත්‍රය හොඳටම පල්ලම් බැහැලා. මෙය පාස්කු බෝම්බ සිද්ධිය නිසා ඇති වූ ප්‍රතිඵලයක් නොවෙයි. එයට පෙර සිට තමා ව්‍යාපාර කඩාවැටීම ආරම්භ වූයේ. අද බුලත්විට කඩකාරයාගේ සිට මහා පරිමාණ ව්‍යාපාරිකයා දක්වා විශාල පීඩනයකින් කටයුතු කරන්නේ. ඒ අයගේ ව්‍යාපාර දිනෙන් දින පහළ වැටෙනවා. භාණ්ඩ ව්‍යාපාර දිනෙන් දින පහළ වැටෙනවා. නිෂ්පාදනයක් නැහැ. භාණ්ඩ ඉල්ලුමක් නැහැ. පාරිභෝගිකයාගේ ආදායම අඩුවීම නිසයි ඉල්ලන්නේ නැත්තේ. ජනතාව අතේ මුදල් නැහැ. මෙවැනි වාතාවරණයකට කියන්නේ ආර්ථික සංකෝචනය කියලයි. ආර්ථිකය හැකිලී ගිහිල්ලා. මෙම තත්ත්වය රටකට සිදුවන විශාල විපතක්. ප්‍රබල ආර්ථික අහේනියක්. 

ජනතාවට අලුතෙන් රැකියා සැපයීමට තබා තියෙන රැකියාවල් ද අහිමි වීමේ අවදානමක් ඇති වෙලා. ඔවුන්ගේ ජීවන මාර්ගයට කණකොකා හඬන තත්ත්වයක්. භාණ්ඩ හා සේවා රුසක මිල මට්ටම ඉහළ ගිහින්. ජනතාවගේ ක්‍රය ශක්තිය හෙවත් මිලදී ගැනීමේ හැකියාව අඩු වෙලා. උද්ධමනය අඩුවෙලා යැයි ආණ්ඩුව කියනවා. මෙය සිදුව ඇත්තේ ඔවුන්ගේ දක්ෂතාවකට නොවෙයි. ආදායම නැති නිසා ජනතාවගේ මිලට ගැනීම අඩුවෙලා. මිනිස්සු බඩු ගන්නේ නැතිකොට උද්ධමනය ඉබේම පාලනය වෙනවා. ඉල්ලුම නැති නිසා භාණ්ඩ මිල ඉහළ යන්නේ නැහැ. භාණ්ඩ මිල ඉහළ දැම්මොත් දැන් තියෙන ඉල්ලුමත් පහළ යාවි. ඒ හින්දයි උද්ධමනය පහළ වැටිලා කියලා කියන්නේ.

සංවර්ධිත ආර්ථිකයක සමතුලිත බවක් තිබිය යුතුයි. එහෙත් අද ආර්ථිකය විකෘති වූ තත්ත්වයක්. අපනයන බැහැලා. ආනයනය ද  අඩුවෙලා. වෙළෙඳුන් භාණ්ඩ ගෙන්වන්නේ නැත්තේ ඒවාට රටේ වෙළෙඳපොළක් නැති නිසයි. කවුද කැමැති විශාල වශයෙන් වියදම් කරලා පිටරටවලින් භාණ්ඩ ගෙනැවිත් මෙහෙ ගොඩගසාගෙන ඉන්න? ඒ නිසා ආනයන අඩු වුණා යැයි කියන එකද ආණ්ඩුවේ දක්ෂකමෙන් හෝ සැලසුම් නිසා සිදු වූවක් නොව ඉබේම සිදු වූ දෙයක්.

ආණ්ඩුව කියන ව්‍යාජ දත්ත අනුව ආර්ථික හොඳ නම් ජනතාවගේ ජීවිතය යහපත් විය යුතුයි. එහෙත් එහෙම දෙයක් වෙලා නැහැ. ජනතාව දිනෙන් දින පරිහානියට යනවා. ජීවත් වීම අරගලයක් බවට පත්වෙලා. කුස පිරෙන්න ආහාර ගන්න වත්කමක් නැහැ. ආහාර නැතිකමින් දරුවන් මියයනවා. මන්දපෝෂණය දිනපතා ඉහළ යනවා. තිබෙන ආදායම හෝ නිසියාකාරව ජනතාව අතර බෙදී යන්නේ නැහැ. ඒ නිසා පහළ වැටුණු කෙනා අන්ත දිළින්දකු බවට පත්වෙනවා.

රජය එකතු කරන බදු ආදායම මෙම වර්ෂයේ මුල් කාර්තුවේදී සියයට 8කින් පහළ බැහැලා. ජනතාවට බදු ගෙවන්න ආදායමක් නැහැ. අයවැය ලේඛනයෙන් බලාපොරොත්තු වන ආදායම හුදු මනඃකල්පිතයක් පමණයි. එකතු කරගන්න කිසිවිටෙකත් බැහැ. මේ තත්ත්වය නිසා සැලසුම් කළ යෝජනා ක්‍රම අත්හිටුවන්න සිදුවෙලා. ප්‍රාග්ධන වැයවලින් සියයට 10 – 15 කපලා දමන්න සිදුවෙලා. කිසිදු සංවර්ධනයක් නැහැ. පසුගිය ආණ්ඩුවෙන් ආරම්භ කළ සංවර්ධන යෝජනා ක්‍රම පවා අතරමග නැවතිලා. කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවලා නැහැ.

2014 වසරේදී ශ්‍රී ලංකාව මධ්‍යම ආදායම ලබන රටක් බවට පත්වෙලා තිබුණා. ඒක පුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 4000 මට්ටමට පත්ව තිබුණා. අද අවුරුදු හතරක් තිස්සෙම ඒ තත්ත්වයේ තමා තිබෙන්නේ. අද වනවිට රට මධ්‍ය ආදායම ලබන රටක් කියා දිගටම පැවසීමෙන් රටට සිදුවන්නේ අයහපතක්. ඒ නිසා පවතින තත්ත්වය වටහාගෙන සත්‍ය පිළිගත යුතු වෙනවා.

සංඛ්‍යා ලේඛනවලින් මොනවා පැවසුවත්, දේශපාලකයන් ජනතාවට සුරංගනා කතා කිව්වත් සත්‍යවශයෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය මේ වසර හතර තුළ පහළටම ඇදගෙන වැටුණා. ඒ නිසා ජනතාව සංඛ්‍යාලේඛන කෙරෙහි විශ්වසනීයභාවය අඩු කරලා. සත්‍ය තත්ත්වය නම් රටේ ආර්ථිකය වේගයෙන් අවපාතයට තල්ලුවන බවයි.

දත්තවලින් කියන දේ ජනතාවගේ ඇඟට දැනෙන්නේ නෑ.
ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාණ අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා

ශ්‍රී ලංකා මහ බැංකුව, අමාත්‍යංශ සහ විවිධ රාජ්‍ය ආයතන වාර්ෂිකව රටේ ආර්ථිකය පිළිබඳ සංඛ්‍යා දත්ත නිකුත් කරනවා. මෙම සංඛ්‍යා ලේඛන පදනම්ව තමා රටේ ආර්ථික හා සමාජමය තත්ත්වයන් පිළිබඳ අගයනු ලබන්නේ. මෙම දත්ත පිළිබඳ ගැටලුවක් නැතත්, මේවා එකතු කරන ක්‍රමවේදය අනුවයි ප්‍රශ්න පැනගනින්නේ. මෙම තොරතුරැ ලබා ගැනීම මුළු රටම ආවරණය කරගෙන කරනවා කීවට එහෙම සිද්ධ වෙනවද යන්න ගැටලුවක්. මෙම තොරතුරු ග්‍රාමීයව නිවැරදිව ගන්නවාද කියලා සැකයක් ඇතිවෙනවා. සියල්ල පදනම්ව ඇත්තේ පුරෝකතන අනුව බව කිවයුතුයි.

මහ බැංකු සංඛ්‍යා ලේඛනවල රටේ කුකුළු ගහණය, පොල් පලදාව ආදිය සඳහන් වුවත්, ඒවායේ ගණන් මිනුම් ගන්නේ නියැදිවල අනුසාරයෙන් මිස සමස්ත ප්‍රදේශ ආවරණය වන අයුරු නෙවෙයි. මෙම සංඛ්‍යාවල පාරදෘශ්‍යභාවය අඩුයි.

අනිත් කාරණය තමා ශ්‍රී ලංකා මහ බැංකුව වෘත්තිය ආයතනයක් මිස දේශපාලන ආයතනයක් නොවිය යුතුය යන්න. එහෙත් පසුගිය කාලයේ සිටම මහ බැංකු අධිපති යනු දේශපාලන පත්වීමක්. ඒ නිසා ඔහු කටයුතු කරන්නේ පත්කළ ආණ්ඩුවට සුදු හුණු ගෑමටයි. මෙලෙස දේශපාලන පත්වීම් කළදා සිටම ඒ අයගේ සංඛ්‍යා ලේඛන පක්ෂග්‍රාහී බවට ජනතාව සැක පහළ කරනවා. ආයතන අතර පමණක් නොව එකම ආයතනයේ ප්‍රකාශ ද පරස්පර විරෝධී වෙනවා. රටේ ජනගහණයෙන් සියයට 6.9 පමණ දුප්පත්ය කියලා තමා සංඛ්‍යා ලේඛනවල තියෙන්නේ. එහෙත් රටේ සියයට 43ක් සමෘද්ධිලාභීන් වෙනවා. සංඛ්‍යා ලේඛන පරස්පරයි. නියම තත්ත්වයය පිළිබිඹු වෙන්නේ නැහැ කියන්නේ මේ නිසයි.

ඊළඟ ගැටලුව තමා මෙම ආණ්ඩුවේ දත්තවලින් කියන දේවල් ජනතාවගේ ඇඟට දැනෙන්නේ නැති වීම. රටේ ඒක පුද්ගල ආදායම වැඩියි කියලා කියනවා නම් වැඩි දෙනා දිළිඳු ඇයි කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා. මෙම ගණනයකිරීම්වල වැරුද්දක් තියෙනවා. කොටසක් උපරිමයෙන් හම්බ කරනවා. ඇතැම් ධනපතියන්ගේ මාසික ආදායම මිලියන ගණන්. සමහර උසස් නිලධාරීන්ගේ මාසික වැටුප රුපියල් ලක්ෂ 35 – 40 වෙනවා. ව්‍යාපාරවලින් කෝටි ගණන් ලාභ ලබනවා. එහෙම තිබියදී ඇතැම් පස්දෙනකුගෙන් යුතු පවුල්වල දෛනික ආදායම රුපියල් 500යි. ගොවියා අස්වැන්න විකුණගන්න බැරිව දුක් විඳිනවා. ඒක පුද්ගල ආදායම සොයාගන්නට රටේ මුළු ආදායම සමස්ත ජන සංඛ්‍යාවෙන් බෙදූ විට දුප්පතා ද ඉබේම පොහොසතෙක් වෙනවා. මෙය හුදු ආටෝපයක් විතරයි.

ග්‍රාමීය ජනතාව නාගරීකරණය වූ විට රට දියුණු යැයි කියනවා. එහෙත් සත්‍ය වශයෙන් සිදුවෙන්නේ ඇතැම් නගර සභා, ග්‍රාමීය ප්‍රදේශ තම බල ප්‍රදේශවලට එකතු කර ගැනීමයි. මෙහිදී ප්‍රදේශ වැඩිවනවා මිස ග්‍රාමීය ජනතාව දියුණු වෙලා නගරයට ඒමක් වෙන්නේ නැහැ. ගමේ පාරක් හැදෙනවිට, ඉඩමක් ගොඩ කරන විට, ගොඩනැගිල්ලක් හැදෙන විට රටේ සංවර්ධනයක් ඇති වන බව සත්‍ය නමුත් එය ජනතාවට දැනෙන්නේ නැහැ. ඒ ප්‍රතිලාභ ජනතාව තුළට ගලා යන්නේ නැහැ. පාරවල් තැනී‍මේ කොන්ත්‍රාත්තුව විදේශ සමාගමකට පවරනවා. එයට අවශ්‍ය භාණ්ඩ හා ශ්‍රමිකයන් පවා ඒ රටින් තමා ගෙන්වන්නේ. ඉතින් ජනතාවට එයින් ලැබෙන යහපතක් නැහැ. ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට හේතු වන්නේ නැහැ. සංවර්ධනයේ සමාජ, ආර්ථික හා දේශපාලන ප්‍රතිලාභ ගැන නොසලකා තමා ආණ්ඩුව කටයුතු කරන්නේ. රටේ සංවර්ධනයේ ප්‍රතිඵල ජනතාව තුළට කාවදිනවාද යන්න සොයා බැලිය යුතුයි. 

පසුගිය ආණ්ඩුව සමයේදී ඇතැම් ව්‍යාපෘතිවලින් වංචා දූෂණ යම් පමණකට සිදුවුවත් එහි ප්‍රතිලාභ ජනතාවට ලැබුණා. කොන්ත්‍රාත්තුව ගත්තේ ගමේ ප්‍රාදේශීය දේශාපාලනඥයෙක්. ගමේ අමුද්‍රව්‍ය යොදාගෙන ශ්‍රමිකයන් පාවිච්චි කර ව්‍යාපෘතියේ වැඩ කළා. රටේ ජාතික සංවර්ධනය වගේම ප්‍රාදේශීය වශයෙන් ජනතාවට ද සෘජු ප්‍රතිලාභ අත්වුණා. දේශපාලන ප්‍රතිලාභ ආණ්ඩුව මනාව ලැබූ අතර සමාජ බලපෑම් ද යහපත් වුණා. ආර්ථිකය දුවන්නේ අර්ධ සත්‍යය මතය යන මතය මා ලියූ පොතකට ඇතුළත් කර තිබුණා. ඒ ගැන පාර්ලිමේන්තුවේ ද කතාබහට ලක්වුණා. කේන්සියානු න්‍යායෙන් කියන්නේ රටේ ආර්ථිකයෙන් කොටසක් කඩා වැටුණොත් එය පසුපසට කැරකෙනවා කියලයි.

ආණ්ඩුවේ දත්ත කොතරම් නිවැරදියැයි පැවසුවද එය සර්වසාධාරණ නැහැ. එම නිසා සංවර්ධනය ඇඟට දැනෙන්නේ නැති බවට ජනතාව කියන කතාවේ යම් සත්‍යයක් තියෙනවා.

► යසවර්ධන රුද්රිගු