මළ කෙළියයි ජූලි හතයි. මළ ජූලියයි. වසරේ හත්වැනි මාසේ හත්වැනිදා මේ ලිවිල්ල ජූලියේ අමුතු ව්‍යවහාර පිළිබඳවය. අවුරුද්ද පුරාව නොදැනුවත්ම ලංකිකයෝ ජූලිය සිහිකරනුයේ විස්මයෙනි. ඒ නිසාවෙන්ම ජූලි හත හා ජූලි මාසය හා බැදුණු කතාවේ අක්මුල් සහිත විමසීමක් කිරීමට අපි සිතූවෙමු.
ලංකා ඉතිහාසය පුරා බොහෝ තැන්වල ජූලි මාස පිළිබඳ ඇත්තේ අඳුරු මතකය. සරලව ඒ අඳුරු මතක “මළ කෙළියයි ජූලි හතයි” යන ව්‍යවහාරය ජනගත වීමට මෙන්ම මළ ජූලියයි යන යෙදුම නිර්මාණය වීමට ද හේතු වී ඇති බව සිතිය හැකිය. එහෙත් මේ සම්බන්ධ සංවාදය තරමක් සංකීර්ණයැයි කිවහොත් ඔබ පුදුම වනු ඇත. සැලකිය යුතු මත දෙක තුනක් මේ සම්බන්ධ දක්නට ලැබේ. අපි ඒවා එකින් එක ගෙන සංවාදයට ලක්කරමු.
ඇත්තෙන්ම ජූලි මාසය නිසා නිසාවෙන් මෙම ජූලි හතයි යන යෙදුම ජන වහරට එක්වූවාද? එය එසේ නොවේ යැයි කීම තරමක් විද්වත් තාර්කික පැහැදිලි කිරීමකි. අපි එය පළමු විමසා බලමු. ජූරි සභාව යනු කවුරුත් දන්නා සංකල්පකි. සාමාන්‍යයෙන් ජූරි සභාවක් පත් කෙරෙනුයේ විශේෂ අපරාධ නඩුවක විනිශ්චයන් සඳහාය. එය විනිශ්චය ක්‍රමවේදයක් යැයි කීම වඩාත්ම සුදුසුම පැහැදිලි කිරීමයි. ජූරි සභාවක සභිකයෝ හත් දෙනෙකි. එහිදී තීන්දුව සඳහා එළඹෙනුයේ ඒකමතික නැතිනම් 6:1 හෝ 5:2 අනුපාතයකට අනුවය. ඒ හරහා වඩාත් සාධාරණ තීන්දු ලැබෙතැයි විශ්වාසයේ පවතී. බරපතළ කරුණක් අරභයා තීරණ ගන්නා විට ජූරියක් තියෙන්න වෙනවා යැයි කීම පොදු ව්‍යවහාරයට එක්ව ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.
ඉහත පැහැදිලි කිරීමට අනුව ජූලි හතයි යන යෙදුම ජූරි හතයි යන යෙදුමේ විකාශනයක් බවට මත පළව තිබේ. මීට අනුව වහරේ දී ජූරි යන්නේ ‘ර’ වෙනුවට ‘ල’ ආදේශය වීම හෙවත් වහරෙහිදී ‘ර’ ශබ්ද ‘ල’ බවට පත්වීම සිදුව තිබේ. කෙසේ නමුත් ජූරි හත අතිශය බලවත් අපරාධයක් විෂ්මය දනවන බරපතළ ගණයේ සිදුවීමක් පිළිබඳ හඟවන පදයක් වීම නිසාවෙන් මෙම මතය තාක්ෂණික ශාස්ත්‍රීය බවින් ඉහළ බවට පිළිගැනීමට අපට සිදුවේ.
දැන් අප සලකා බැලිය යුත්තේ ලංකීය ඉතිහාසයේ ජූලිය සහ බැඳුණු අඳුරු මතක මෙම යෙදම් භාවිතයට ඒමට හේතු වූවාය යන මතයයි. එය ද පොදු එකගතාවක් සහිතව නිර්වචන සැපයිය හැකි කරුණුක් නොවන බව කිවමනාය.
1915 ඇති වූ මුස්ලිම් සිංහල කෝලහලයේ ප්‍රතිඵලයක් ලෙස හෙන්රි පේදිරිස් නම් තරුණයා ඉංග්‍රීසීන්ගේ අමානුෂික තීන්දුවක් ප්‍රකාරව වෙඩි තබා ඝාතනය කළේ 1917 වසරේ ජූලි 7 වැනිදාය. ජූලි 8 වැනිදාට ක්‍රියාත්මක කිරීමට තිබුණු තීන්දුව ජූලි 7 ක්‍රියාවේ යෙදවූයේ ලාංකික සාමාජයෙන් ඊට එල්ල වූ දැඩි විරෝධය හේතුවෙනි. නගර ආරක්ෂක හමුදාවේ නිර්භීත නිලධාරියෙක් වූ හෙන්රි පේදිරිස් ඝාතනය මළ කෙළියයි ජූලි හතයි යෙදුමට හේතු වූ බව යම් පමණකට ප්‍රකට මතයකි.
එම යුගයේ රටම කම්පාවට පත්කළ මෙම ඝාතනයට අදාළ කතා පුවත සලකා බලන කල මෙය එය මුළුමනින්ම බැහැර කළ නොහැකි මතයක් බව ද පෙනීයයි. එවක ධනවත් පවුලකම දරුවකු වූ හෙන්රි නගර ආරක්ෂා හමුදාවට වැටුප් රහිතවම බැඳී ඇත්තේ සුද්දන් විසින් මෙරට ජනයා පීඩවට පත්කිරීම දැක එයින් ජනයා මුදවා ගැනීමේ අරමුණින් බව කියවේ. ජේත්තුකාර ධනවත් නිර්භීත තරුණයකු වූ ඔහු සිය සේවයේ තරු ලබා ඉහළට පැමිණීම එම යුගයේ ඉංග්‍රීසි නිලධාරීන් තුළ ඔහු කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් ජනිත කර ඇත. 1915 කෝලහල සම්බන්ධයේදී සිංහල ජනයා සංසුන් කිරීමට විශ්වාසයෙන් ඔවුන් ආමන්ත්‍රණය කරමින් කටයුතු කළ හෙන්රි පේදිරිස් තරුණ විරුවා නොමඳ ජනාදරයට පත්ව සිටියේය. පියාගේ ධනය ද ඔහු සතු වූ ග්‍රීක අශ්වයා ද මෙම ජනප්‍රියත්වය තවත් වැඩි කළ බව කියවේ.
කෙසේ නමුත් අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ඉංග්‍රීසීන් කෝලහලයේ දී මුස්ලිම් ජනයා මරා දේපළ කොල්ල කෑ බවට ඔහුට විරුද්ධව චෝදනා ගොනු කළේය. ඒ අනුව පෙදිරිස් අත්අඩංගුවට ගෙන යුධ අධිකරණ හමුවට පමුණුවා දින 3 කින් නඩු අසා වෙඩි තබා මරා දැමීමට තීරණය කර තිබේ. නිදහස් සටනේ පුරෝගාමීන් පවා ඉංග්‍රීසි ආණ්ඩුවට ඔහුගේ නිර්දෝෂිබව පෙන්වා දීමට උත්සුක වී ඇත. ජනතාව ඔහු වෙනුවෙන් පෙළපාලි ගිය බවද අමානුෂික ලෙස අධිරාජ්‍යවාදීන් එවා මර්දනය කළ බව ද ඉතිහාසයේ ලියවී තිබේ. මේ කතාව බොහෝ දීර්ඝය. අවසානයේ ජූලි 7 වැනිදා හෙන්රි පේදිරිස් තරුණයා වෙඩි තබා මරා දැමූ මොහොතේ දී ඔහු අභීත ප්‍රකාශයක් කරමින් දෑස් නොබැඳ ඊට මුහුණ දී ඇත්තේ වීරයෙක් විලසිනි. කෙසේ නමුත් මෙම සිදුවීම එදා ජූලිය කම්පා කළ හෙයින් එය ජූලි හතයි යන විෂ්මයාර්ථ දනවන ව්‍යවහාරය ජනගත වීමට බලපෑ බවට විශ්වාසයක් ඇත.
1956 ජූනි මස 05 වැනිදා සිංහල රාජ්‍ය භාෂා පනත සම්මත වීමෙන් පසු ඇතිවූ තත්ත්වය ද මළ ජූලියේ කතාවට ඇදීමට ඇතැම් තැන් හිදී විවිධ පුද්ගලයෝ උත්සුක වෙති. අප මේ පිළිබඳ කළ සොයා බැලීමේ දී එය අනාවරණය විය. එමෙන්ම 1958 ජූලියේ අතසන් කෙරුණු චෙල්වනාගම් ගිවිසුම හේතුවෙන් හටගත් අර්බුදය ද පසුව ශ්‍රී අංක රථවාහනවලට හඳුන්වා දීම නිසා ඇති වූ වර්ගවාදී ගැටුමද මළ ජූලියේ අඳුරු මතක අතරට එක්වන බව ඇතැමෙකුගේ අදහසයි. එහෙත් එහි නිර්වද්‍යතාව තරමක් ගැටලුකාරී බව කිව යුතුය. එසේ නමුත් ජූලි හත සහ ආසන්න දිනවල විවිධ දේශපාලන වර්ගවාදී ගැටුම් මළ ජූලිය යන ව්‍යවහාර කෙරෙහි බල පෑ ඇති බව කීමේ ප්‍රබල සත්‍යතාවක් ඇත.
ජූලියේ භයංකාරම මතක අතර කළු ජූලිය අමතක කර දැමිය නොහැකි බවද මෙහි දී පැවසිය යුතුමය. 1983 ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ සිදු වූ දැවැන්තම ජාතිවාදී ගැටුම කළු ජූලිය ලෙසින් ඉතිහාසයට එකතු වී තිබේ. මෙහි සංඛ්‍යාත්මක දත්ත මතභේදාත්මක නමුත් 400ත් 3000ක් අතර පිරිසකට ජීවිත හිමි වූ බව විශ්වාස කරේ. නිවාස ව්‍යාපාරික ස්ථාන දහස් ගණනින් ගිනිබත් වූ මේ වර්ගවාදී කෝලහයෙන් එක්ලක්ෂ පනස් දහසකට අධික පිරිසක් අවතැන් වූ බවට සාක්ෂි තිබේ. රටක් ලෙස කිසිදා මකා නොදැමිය හැකි කළු පැල්ලමක් එක්කළ මෙම සිදුවීම හරහා ජූලි මාසය පිළිබඳව ලාංකික ජන සමාජය තුළ ඇතිකර ඇත්තේ කම්පිත හැඟීමකි. මැරුණු ජූලිය පිළිබඳව හඟවන මළ ජූලියක් කතාව වඩාත්ම සමීප වන්නේ මේ සිදුවීමට බව පොදු පිළිගැනීමකි.
ජූලි අන්ධකාරය පිළිබඳ ලාංකික මතක අතර හතළිස් දහසක් රජයේ සහ පෞද්ගලික අංශවල සේවකයන්ට රැකියා අහිමි කර තුන්ලක්ෂයකට වඩා දරු පවුල් අනාථ කළ 1980 ජූලි වැඩවර්ජනයද අකා මකා දැමිය නොහැක්කකි. මෙහි දී ක්‍රියාත්මක වූ මර්දන හේතුවෙන් පරම්පරා ගණනාවක් සිය ජීවිතවලින් වන්දි ගෙවා තිබේ. කළු ජූලියේ මෙන්ම ජූලි වර්ජනයේ අඳුරු සෙවණැලිවලින් ජාතියක් ලෙස අප මිදී නැත. එදා දිනකට රුපියල් 10ක වැටුප් වර්ධනයක් හෙවත් මාසිකව රැ. 300ක වැටුප් වර්ධකයක් සහ වැඩි වන ජීවන වියදම් දර්ශකයට රු. 500 ක දීමනාවක් ගෙවන ලෙස ද හාම්පුතුන්ට බලකරමින් මෙම වර්ජනය සිදුවිය. රජය මගින් අතිශය භයංකාරම ලෙස මෙම වර්ජනය මර්දනය කරන ලදී. අවසානයේ දී වර්ජකයන් 40,356 දෙනෙකු සේවය අතහැර ගියා සේ සලකා නව සේවකයන් බඳවා ගැනීම සිදුවිය. මෙය ද ජූලිය කෙරෙහි වන නූතන සමාජ ආකල්පයේ එක් පරිච්ඡේදයක් යැයි කීම සාධාරණය.
මින්පසුව ජවිපෙ දෙවැනි කැරැල්ල සමයේදී 1987 ජූලි මාසයේ බරපතළ ගැටුම් ඇති විය. එවකට ඉන්දීය අගමැති රජීව් ගාන්ධිට ගාලු මුවදොර පිටියේදී හිසට රයිෆල් පහරක් එල්ල කිරීමේ සිද්ධියත් ඒ සමඟ පැතිර ගිය ආණ්ඩු විරෝධී කැරැල්ලත් එම ජූලි මාසය ගිනියම් කළේය.
ඩබ්ලිව් ඒ ද සිල්වා ශුරින් විසින් රචිත ජූලි 07 කෘතියද මේ සංවාදයේදී මුළුමනින්ම අමතක කර දැමීමට නොහැකිය. එහි එන ජූලි හතේ කතාව අඳුරුය. ඝාතනයක් අලලා ලියවී ඇත. ලාංකීය ජන විඥානය කේන්ද්‍ර කරගෙන බිහිවුණ සාහිත්‍ය කලා කෘති විෂයෙහිද ජූලියේ බලපෑමද යම් පමණකට තිබේ. තවදුරටත් කරන අධ්‍යනයක් තුළින් ප්‍රත්‍යක්ෂ කරගැනීමට හැකිවනු ඇත.
ජූලි හත අඳුරු මතක අතරට ජාත්‍යන්තර සිදුවීම් ගලපා ගැනීමේ දී මෑතකාලීන 2005 වසරේ ජූලි 07 සිදු වූ ලන්ඩන් බෝම්බ ප්‍රහාරය ප්‍රධාන වේ. එය ජාත්‍යන්තරයේ දී හඳුන්වන්නේද 7 යි 7 ප්‍රහාරය ලෙසිණි. එම ප්‍රහාරයේ ලෝකය තුළ ඇතිවූ කම්පන ද සුළුපටු නොවේ. ලන්ඩන් නුවරදී ඉස්ලාමීය ත්‍රස්වාදීන් සිව් දෙනෙකු විසින් සිදුකළ මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය හේතුවෙන් ජීවිත 52 ක් අහිමි වී 700 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. මීට අමතර ජූලි 07 ඛේදවාචකයක අතර 2012 රුසියානු ගංවතුරින් ජීවිත 172 ක් අහිමි වීම, 1980 වසරේ ලෙබනන් සිවිල් යුද්ධයේ දී සටන්කාමීන් 83 ක් මරා දැමීම ආදිය සැලකිය හැකිය.
මේ සියල්ල ඛේදවාචක බව සිහිකරන අතරේ සහ ජූලි 7 වැනිදා ලෝකයේ සහ ශ්‍රී ලංකාවේ ද යහපත් දේ ද සිදුවී ඇතැයි කිවයුතුමය. මේ දිනවල සුදු ජූලිය නමින් දේශපාලන ව්‍යාපෘතියකටද නම් ලැබී ඇති බව ඔබ දනී. සියල්ල එසේ වෙද්දී දිනයක් හෝ කාලයක් මත වර්ණ පින්තාරූ කිරීම කොතරම් සුදුසුද යන්න තවත් අපූරු සංවාදයක් බව අපගේ හැඟීමයි. හොඳ සහ නරක ලෝක ස්වභාවයයි. එසේ හෙයින් මේ සටහන පාඨක ඔබ හුදු කම්පාවට පත් කිරීමේ අරමුණින් නොව අවබෝධ සහ දැනුම පිණිස ලියා තැබූ බැව් අවසානබයේ කිව යුතුය.
► චමිඳු නිසල් ද සිල්වා
සේයාරූ අන්තර්ජාලයෙන්