සැප්තැම්බර් සාහිත්‍ය වසන්තයට තව ඇත්තේ මාස දෙකක් පමණි. ඒ නිසා දැන් ටික ටික පොතපතේ උණුසුම, සම්මානවල අලකලංචි ගැන සමාජයේ කතාබහක් මතුවෙමින් යයි. තවත් පිරිසක් සැප්තැම්බර් කොළඹ පොත් ප්‍රදර්ශනයේදී පොත් මිලදී ගැනීමට දැන් පටන්ම මුදල් එකතු කරති. තවත් පිරිසක් ඒ කාලේ ගන්නා පොත් කියවීමට පෙරුම් පුරති.
මේ අතර පොතපත බිහිකරන ලේඛකයෝ මේ දිනවල කාර්යබහුල වී පොතපත ලියමින් පොත්පත්වල සෝදුපත් බලමින් තම කාර්යය ඉටුකරමින් සිටිති. වෘත්තීය කියවීම, අධ්‍යාපනය සඳහා කියවීම, විනෝදාංශය සඳහා කියවීම, සමාජ දැනුම සඳහා කියවීම ආදී අංශ රාශියක් පුරා පොත් කියවීම විහිදී යයි. මේ සෑම කියවීමක් සඳහාම හේතු වන පොත් ලියන්නේ ලේඛකයන්ය.
අප රටේ ලියන පොත් අතරින් විශාල ප්‍රමාණයක් එළිදක්වන්නේ සැප්තැම්බර් මාසය ඉලක්ක කරගෙනය. ඒ කොළඹ පොත් ප්‍රදර්ශනයේදී වැඩි පොත් ප්‍රමාණයක් විකුණා ගැනීමේ අරමුණ අතිවය.
අපි ප්‍රධාන පෙළේ ලේඛක ලේඛිකාවන් කිහිපදෙනෙක් හමුවී කතාබහ කළේ ඔවුන්ගේ සාහිත්‍ය මාසයේ වැඩකටයුතු ගැන දැනගැනීමටය.
කුමාර සිරිවර්ධන මේ වනවිට පර්වර්තන සහ ස්වතන්ත්‍ර කෘති 170ක් පළකළ සම්මානනීය ලේඛකයෙකි. ඔහු වේගයෙන් ලියන කතුවරයකු වශයෙන් ද අප හඳුනාගෙන තිබේ. එමෙන්ම ප්‍රකාශන ආයතන කිහිපයකින්ම ඔහුගේ පොත් ප්‍රකාශයට පත් කෙරේ. අප කුමාර සිරිවර්ධනගෙන් විමසුවේ එළඹෙන සාහිත්‍ය මාසයේ නිකුත් වන ඔහුගේ පොතපත ගැනයි.
“මම ස්වතන්ත්‍ර පොත් ලියුවත් දැන් වඩාත් ප්‍රකට වෙලා සිටින්නේ පරිවර්තකයෙක් විදිහටනේ. මේ අවුරුද්දේ මුලදිත් මගේ පොත් කිහිපයක් නිකුත් වුණා. සාහිත්‍ය මාසය වෙනුවෙන් පරිවර්තන තුනක් නිකුත් වීමට නියමිතයි. ඩෑන් බ්‍රවුන්ගේ සංකේතය (Lost symbol) ඩෑන් බ්‍රවුන්ගේ Angle of Demons පොතේ පරිවර්තනය, නොත්‍රදාමයේ කුදා යන පොත් ආශිර්වාද ප්‍රකාශන ලෙස නිකුත් වෙනවා. එයට අමතරව ජේසන් මැතිව් ලියූ Red Sparrow නවකතාව සරසවි ප්‍රකාශනයක් වශයෙන් නිකුත් වන්නේ ඩොමිනිකා - රතු ඔත්තුකාරී යන නමින්. ජෝශප් නොවාඩ්ගේ සාතන්ගේ සලකුණ - 2 ඩේමියන් පොත මියුසස් ප්‍රකාශනයක් ලෙස නිකුත් කිරීමට නියමිතයි. පොත්වල අවසන් නිමකිරීම් වැඩකටයුතු නිසා මේ දවස්වල කාර්යබහුලව තමයි කාලය ගතවන්නේ.
දිලීප ජයකොඩි වඩාත් ජනප්‍රිය තරැණ පරපුරේ සිත දිනාගත් පරිවර්තකයකු වශයෙනි. ඔහු තම වාසනා දිනේකි මේක නවකතාවෙන් පසු ස්වතන්ත්‍ර නවකතාවක් ලිව්වේ ද නැත. අප සමඟ කතාබහට එක්වූ දිලීප කිව්වේ මේ දිනවල තම අලුත්ම ස්වතන්ත්‍ර නවකතාවේ කටයුතු සමඟ කාර්යබහුලව සිටින බවයි. ඔහු සැප්තැම්බරය මූලික කරගෙන පොත් පළනොකළ ද එම කතාව සැප්තැම්බරයේදී පාඨකයාට කියවීමට ලැබෙනු ඇත.
“මේ පොත දේශපාලන ත්‍රිලර් නවකතාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. තවම නමක්නම් යොදලා නෑ. මියුසස් ප්‍රකාශනයක් විදිහට නිකුත් වන්නේ. පරිවර්තන කරනවිට එකක් ඉවර වනවිට එකක් පටන්ගන්නවා. රාජකාරි කරන අතරතුර ලේඛනයේ නිරත වන නිසා එය විනෝදාංශයක් විදිහට හඳුන්වන්නත් පුළුවන්. අවුරුද්දට පොත් හතරක් පමණ පළකරනවා. ලයිල ලයිල ලා, චේතන් බගත්ගේ 105 නවකතා පරිවර්තන පසුගිය දිනවල නිකුත් කළා.
ගුණසේකර ගුණසෝම ජනශ්‍රැතිය මෙන්ම නිර්මාණ සාහිත්‍යයද ශාස්ත්‍රිය පර් යේෂණ ද පාදක කරගෙන ග්‍රන්ථ පළකරන පානම්පත්තුවේ ලේඛකයෙකි. ඔහුගේ පොත් කිහිපයකට රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමි වී තිබේ. “මම පුරුද්දක් විදිහට සාහිත්‍ය මාසෙටම කියලා පොත් ලියන්නේ නැහැ. නමුත් ඉතින් මා ලියූ පොත් වැඩි වශයෙන් පළවන්නේ සාහිත්‍ය මාසයේදී තමයි. ඒක ප්‍රකාශකයන්ගේ කැමැත්තනේ. මේ සාහිත්‍ය මාසයේදිත් සරසවි ප්‍රකාශන සහ සූරිය ප්‍රකාශන වශයෙන් පොත් කිහිපයක් නිකුත් වීමට නියමිතයි.
මඩුවන්වෙල ජනකතා කෘතිය සහ අකලට ආ ඉස්කෝලේ 3වැනි මුද්‍රණය සූරිය ප්‍රකාශන ලෙස පළකෙරෙනවා. මගේ පොත් කිහිපයකම නැවත මුද්‍රණ නුගේගොඩ සරසවි ආයතනයෙත් පළවෙනවා. පානම්පත්තුවේ සිට ලියමි, සියනෑ කෝරළේ ජනකතා, සබරගමුවේ රාවණ ජනකතා එම නැවත මුද්‍රණ. හීන් වට්ට විදානෙගේ කතා තීරු ලිපි සංග්‍රහයත් පළවීමට නියමිත පොතක්. මේ දවස්වල කවුරුත් අවධානය යොමු කරන නැගෙනහිර මුස්ලිම් සංස්කෘතිය ගැන ලියූ පොතේ 2 වැනි මුද්‍රණයත් ළඟදීම නිකුත් වේවි.” ගුණසෝම පැවසුවේය.
නවකතා, කෙටිකතා, පරිවර්තන ආදී විනෝදාස්වාදය පෙරටු කොටගත් පොත් සිය ගණනක් සාහිත්‍ය මාසය වෙනුවෙන් නිකුත් කෙරේ. උසස් නවකතා, කවි, කෙටිකතා වැනි කෘති රසවිඳීම පාඨක බුද්ධි වර්ධනය සඳහා උපකාරී වේ. “පොත් මුද්‍රණයෙන් පිට කිරීම පමණක් නොවෙයි, ඒවා පාඨකයා වෙත ගෙනගොස් හොඳ රසිකත්වයක් ගොඩනැගීමත් අවශ්‍යයි. අද බොහෝ පොත් රසික ප්‍රජාවට යන්නේ අඩුවෙන්. ඒ ගැන හොඳ අවබෝධයක් ලබාදීමට සැප්තැම්බරය වැදගත් කාලයක්” අප සමඟ එලෙස අදහස් දැක්වූයේ සම්භාව්‍ය කෘති පර්වර්තනයට වැඩි නැඹුරැවක් දක්වන සේනාරත්න වීරසිංහය. මෙවර පළවෙන ඔහුගේ පොත් අතර තිබෙන ‘විශ්ව සාහිත්‍ය විචාර රචනා’ කෘතිය ගැන ඔහු කතා කළේ ඉතා උනන්දුවෙනි. මායා යථාර්ථවාදය, බටහිර සාහිත්‍ය ප්‍රවේග හා බලවේග පැමිණි ආකාරය, අමෙරිකන් හා ආසියානු සාහිත්‍ය ආදී ලිපි රාශියක් මෙහි ඇතුළත් වන බව ඔහු පැවසුවේය. “විලියම් සරොවන්ගේ Human Comedy නවකතාව ‘බාලවියේ මිතුරෝ’ නමින් පරිවර්තනය කළා. වාංදලු කියන චීන ලේඛකයාගේ Crouching Tiger Hidden Dragon නවකතාව යකඩ මාවත නමින් එළි දැක්වීමට නියමිතයි.” ඔහු ඉදිරියේදී නිකුත් වන නව කෘති ගැන පැවසුවේය.
ප්‍රවීණ ගීත රචිකාවියක පමණක් නොව ලේඛිකාවකද වන යමුනා මාලනී පෙරේරාගේ අලුත්ම ගීත සංග්‍රහය වන ‘සඳ පහන දැල්වී’ සරසවි ප්‍රකාශනයක් ලෙස ඉදිරියේදී නිකුත් වෙයි. ඇගේ දූවිලි ඕවිලි නවකතාවත් සරසවි ප්‍රකාශනයකි. දෙවිලක මල් නවකතාව සහ සිතුවමකට එහා තීරු ලිපි සංග්‍රහය ගොඩගේ ප්‍රකාශන ලෙස නිකුත් වීමට නියමිතව තිබේ.
ශාන්ති දිසානායක වෘත්තිය ලේඛිකාවක වශයෙන් කටයුතු කරන්නේ අනුරාධපුර එප්පාවල සේනපුර වාසය කරමිනි. මෙවර ඇගේ නවකතා රාශියක අලුත් මුද්‍රණ නිකුත්වීමට නියමිත බව ශාන්ති පැවසුවාය. ඒවා නම් පුළිඟු, අමල්බිසෝ, වංකගිරිය, ගිරිකුල, ද්වාර, වර්ණා, ගිරිදේවී, වරා මල්ය. සරසවි ප්‍රකාශන වශයෙන් නිකුත් වන මේ නවකතාවලට අමතරව පුංචි රාංචි අම්මා ලිපි එකතුවත් කැදැල්ල 5 ලිපි එකතුවත් වීණා නවකතාවත් සාහිත්‍ය මාසයේදී ඔබට කියවීමට ලැබේ. ඇයගේ දූවිලි නවකතාව නිකුත් කෙරෙන්නේ ගම්පහ මින්සර පොත් මැදුරෙනි.
යසවර්ධන රුද්‍රිගූ නවකතා පමණක් නොව විවිධ විෂය කෘති ගැනද අවධානයක් යොමු කරන ලේඛකයෙකි. ඔහුගේ ‘යසාගේ වාක්‍යය’ තීරු ලිපි එකතුව සහ ‘වනචාරීන් සමඟ වසරක්’ කෘතියේ නැවත මුද්‍රණය ද සරසවි ප්‍රකාශන ලෙස නිකුත් කෙරේ. අපේ කාලේ අවුරුදු සිරි අසිරි දර්ශන ප්‍රකාශන ලෙසද ශ්‍රී ලංකාවේ දිය ඇලි විතානගේ ප්‍රකාශන වශයෙන් ද එළි දැක්වෙන බව යසවර්ධන අප සමඟ පැවසුවේය.
අනුලද සිල්වා සීඝ්‍රයෙන් ලේඛනයේ නිරත වන ලේඛිකාවකි. ඇය මේ වනවිට ලියූ පොත් සංඛ්‍යාව 120කි. මෙවර නිකුත් කෙරෙන අනුල ද සිල්වාගේ පොත් වන්නේ උත්තම ගැහැනු නවකතාවත් (සූරිය ප්‍රකාශන), හිමිදිරි තෑග්ග (පහන් ප්‍රකාශන), වෙඩි වරුසා (විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය), පෙරීමේසන්ගේ දුම් කවුළුව, එස්. ඩී. ජේම්ස්ගේ නවකතා ආදී යන පරිවර්තනයන් ද වේ.
► කුසුම්සිරි විජයවර්ධන
සේයාරූ I සුමුදු හේවාපතිරණ