2019 ජුලි 06 වන සෙනසුරාදා

බදුල්ලේ බින්න බැස්ස පානදුරේ ලංගම බස් එක

2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30448

අදටත් සෑම දිනකම උදෑසන පානදුර නගරයේ සිට සුන්දර බදුලු ගම්මානය අසිරිය පසුකරමින් කැටවත්ත ගම්මානයට ලංගම බස් රථයක් ධාවනය වේ. ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ පානදුර ඩිපෝවට අයත් මෙම බස් රථ සෑම දිනකම උදේ හතයි දහයට පානදුර නගරයේ කැටවත්ත ගම්පියසට ධාවනය අරඹන්නේය. මාර්ග අංක හැට හතර ඹස්සේ ධාවනය වන මෙම බස් රථයේ සෑම දිනකම මගීහු ගමනේ යෙදෙති. මේ ඇතැම් මගීන්ට බස් රථය හොදට හුරුපුරුදුය. ගෙදර වගේය.

1968 වසරේදී ආරම්භ වූ පානදුර - කැටවත්ත ගමන් මාර්ගයට වසර පනහක් ගත වුවද තවමත් එදා මෙන් මෙය ධාවනය කෙරේ.කැටවත්ත බස්ගමනේ නිර්මාතෘ වුයේ ඩී.එන්.අප්පුහාමිය.ඔහු එකල ගමේ ගම්මුලාදැනි ලෙස කටයුතු කළේය. අප්පුහාමිට සිල්ලර කඩයක්ද තිබුණි. ගමේ ගම්මුලාදැනී වූ, ගමේ ගැමියෙකු වූ අප්පුහාමි ගැමියන්ට හිත හොඳ මිනිසෙක් විය. ගැමියන්ගේ දුකේදිත්, සැපේදිත් අප්පුහාමි පෙරමුණ ගත්තේය. ගමේ සෑම වැඩකදීම මූලිකත්වය ගෙන කටයුතු කළේය. අප්පුහාමිගේ බිරිඳ වූ බණ්ඩාර මැණිකා ද තම සැමියාගේ වැඩකටයුතුවලට තම උපරිම සහයෝගය ලබා දුන්නාය. අප්පුහාමිගේ එඩිතර ජවසම්පන්නකම ගමේ තරුණයෝද ආදර්ශයට ගත්හ.

එකල කැටවත්ත අද මෙන් ගම්පියසක් නොවීය. ගමේ ප්‍රධාන මාර්ගවල බස් ධාවනය වුවද අනෙකුත් ගුරු පාරවල්වල එලෙස බස් ධාවනයක් සිදු වූයේ නැත. ඒ අතර එවැනි ගුරු පාරවල් අසල ජීවත් වූ ගැමියන් හැතැප්ම ගණනාවක් ප්‍රධාන මාර්ගවල ආවේ පයිනි. මීගහකිවුල සිට කැටවත්ත දක්වා දිවෙන ගුරු පාර ද එලෙස අබලන් තත්ත්වයේ පසුවුණු ගුරු පාරක් විය.

අප්පුහාමි ගම්මුන් හා එක්ව මෙම ගුරුපාර පිළිසකර කර ගත්තේය. ගැමියන්ගේ ශ්‍රමදානයෙන් බස් රථයක් ධාවනය කර ගැනීමට තරම් සුදුසු ගුරු පාරක් කරගත්ත ද එම පාරේ බස් රථයක් ධාවනය නොවුණි. ගැමියන්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගිය නියෝජිතයන්ට කෙතරම් කන්නලව් කළද එයින් ප්‍රතිඵලයක් නොලැබුණි.

මේ නිසාම අප්පුහාමි තීරණයක් ගත්තේය. ඔහු මහියංගන ඩිපෝවට ගොස් තම ගැමියන්ගේ අවශ්‍යතාවය පිළිබඳව සැලකර සිටියේය. නමුත් අප්පුහාමිට ලැබුණු ප්‍රතිඵලය කොහෙත්ම සතුටුදායක පිළිතුරක් නොවීය. “ඔය පාරවල් හොඳටම අබලන්.. දාන්න බස් නැහැ” මහියංගන ඩිපෝවෙන් ලැබුණු පිළිතුරත් සමඟ අප්පුහාමි නැවතත් කැටවත්ත බලා ඒමට මඟට බැස්සේය.

ඉහළ නිලධාරීන්ගෙන් ලැබුණු පිළිතුරෙන් අප්පුහාමිගේ හිත දුක්වූවේය. නමුත් ඔහු තුළ අධිෂ්ඨානයක් තිබුණි. කැටවත්තේ සිට බදුල්ලට ඒමට ගැමියෙක් විඳින දුක ගම්මුලාදෑනි ලෙසින් ඉවසා දරා ගැනීමට අප්පුහාමිගේ හිත ඉඩ නොදුණි.

අප්පුහාමි සමඟ මහියංගන ඩිපෝවට ගිය ගම්මු තම වෙහෙස මහන්සිය නිවා ගැනීමට කහට ‍කෝප්පයක් බීමට බදුල්ල ආපන ශාලාවකට ගොඩ වැදුණාහ. මෙය බදුල්ලේ ඉතා ප්‍රසිද්ධ ආපන ශාලාවක් වූ අතර දුර ගමන් යන බස් රථ බොහොමයක් ආහාර ගැනීමට මෙම ආපන ශාලාව ඉදිරිපිට නතර කිරීම සිරිතක් විය.

අප්පුහාමි ද අසළ තිබූ මේසයක පුටුවක් ඇද ඉඳගත්තේය. ඔහු තම ගැමියන්ට සිදු වූ අසාධාරණය පිළිබඳව විස්තර කළේය;. මෙම කතාබහ අසළ මේසයක වාඩි වී ආහාර ගත් දෙදෙනකුගේ කනට වැටුණේය. අප්පුහාමි සමඟ ඔවුහු කතාවට වැටුණාහ. අප්පුහාමි ද තම ගැමියන්ට සිදුව ඇති අසාධාරණය පිළිබඳව ඔවුන් හා කතාබහ කළේය.

“අපිට මේ ගැන කියලා ලියුමක් දෙන්න. අපි ඒක අපේ පානදුර ඩිපෝ කළමනාකාර මහත්තයාට දෙන්නම්” ඒ එක් අයෙක් සැලකර සිටියේය.
අප්පුහාමි එදින ලියූ ලිපිය ආපන ශාලාවේදී එසේ බාරගෙන තිබුණේ පානදුර මඩකලපුව බස් රථයේ රියදුරාය. මහියංගන ඩිපෝ නිලධාරීන්ගෙන් ලැබුණු පිළිතුර ගැන සෑහීමට පත් නොවෙද්දී බස් රථයක රියදුරකු ගැන කෙසේ නම් විශ්වාස තබන්නද? අප්පුහාමිගේ හිතේ එම සැකය තිබුණද ඔහු ලිපිය බාර දී බලා සිටියේය.

මාස තුනක් ගතවුණි. ඒ කාලය තුළ කැටවත්ත බස් රථයක් තියා පානදුරයට යැවූ ලිපියට පිළිතුරක් හෝ නොලැබුණි. එක් දවසක ගුරු පාරේ දූවිලි අවුස්සමින් පැමිණි ජීප් රථයක් අප්පුහාමිගේ සිල්ලර කඩය ඉදිරිපිට නතර කෙරුණි. ගමේ කොල්ලෝ කුරැට්ටන් හැතැප්ම ගණන් ජීප් රථය පිටුපස දිව ඇවිත් තිබුණේ ගමට ආ මේ අමුත්තන් පිළිගැනීමට මෙනි.

“අපි පානදුර ඩිපෝවෙන්.. බස් රථයක් ඉල්ලා තිබුණා. පාර බලන්න ආවේ” ගමට ආ අමුත්තෝ කාරණාව කියූහ. අප්පුහාමිගේ පමණක් නොව ගමේ ගැමියන්ගේ සිත් තුළට සතුට දෝර ගැලුවේය.

එයින් මාස දෙකකට පමණ පසුව පානදුර සිට කැටවත්තට ලංගම බස් රථයක් ධාවනය වීම ඇරඹුණේය. එතැන් සිට අද දක්වා පානදුර සිට කැටවත්තට මෙම බස් ධාවනය සිදු වේ.

සෑම දිනකම උදෑසන හතයි දහයට පානදුර නගරයෙන් මෙම බස් රථය ධාවනය ආරම්භ කරයි. උදෑසන ආහාර සඳහා බලංගොඩ නගරයේ නවත්වන බස් රථය නැවත ධාවනය ඇරඹේ. බදුල්ලට මෙය ළඟා වන්නේ එකයි හතළිහට පමණය. බදුල්ල නගරයේදී දිවා ආහාරය සඳහා නතර කෙරේ. නැවතත් බදුල්ලෙන් කැටවත්ත බස් රථය පිටත්වන්නේ තුනයි දහයටයි. බදුල්ල හරහා මීගහකිවුලට ළඟා වන්නේ හතරයි  කාලට පමණය. මෙම බස්රථය මොරහෙලට ළඟා වෙන්නේ සවස පහයි කාලට පමණය. බස්නාහිර සිට ඌව පළාතට ගිය ප්‍රථම බස් රථය වන්නේ ද මෙයයි.

1968 වසරේ සිට මේ දක්වා පානදුර කැටවත්ත බස් රථයේ රියදුරැ සහ කොන්දොස්තර මහතුන්ට රාත්‍රී ආහාරය සහ පසුවදා උදෑසන ආහාර ද නවාතැන් පහසුකම් ද සලසා දෙනු ලැබ ඇත්තේ අප්පුහාමිගේ නිවසෙනි. අද වනවිට අප්පුහාමි සහ ඔහුගේ බිරඳ බණ්ඩාර මැණිකා මියගොසිනි. නමුත් තම පියාණන්ගේ යුතුකම ඒ අයුරින්ම අප්පුහාමිගේ පුතනුවන් වූ ධනපාල මුදලාලිත් ඉටුකරලන්නේය. අදටත් රාත්‍රී නවාතැන් ලබා දෙනු ලබන්නේ ධනපාලගේ නිවසේය. රාත්‍රී ආහාරය මෙන්ම පසුදා උදෑසන ආහාර වේල ද සුපුරුදු පරිදි එම නිවෙසෙන්ම ලැබෙන්නේය. බස් රථයේ රියදුරැ හා කොන්දොස්තර මහතුන්ට ධනපාල මුදලාලිගේ නිවෙස හොඳට හුරුපුරුදුය.

මෙම මාර්ගයේ බදුල්ල ඩිපෝවේ බස් රථයක් මෑතකදී ධාවනය වුවද බොහෝ දෙනෙක් පානදුර ඩිපෝවෙන් එන බස්රථය රනතුරු බලා සිටිති. බස් රථයේ සේවයේ නියුතු රියදුරු ජයසිංහ මහතාගේත් එස්. එම් ලක්මාල් මහතාගේත් පූර්ණ අනුග්‍රහයෙන් සහ බස් රථයේ ගමන් ගන්නා මගීන්ගෙන්, ප්‍රදේශවාසීන්ගෙන් දායකත්වයෙන් මොරපොළ විහාරස්ථානයේ දාගැබක් ද ඉදිකර පූජා කර තිබේ.

කැටවත්ත ගම්මානයේ ජීවත් වන ගැමියන් කෙසෙල්, දුම්කොළ, පේර, අඹ, හකුරු, කිතුල් පැණි වැනි දෑ බදුල්ල නගරයේ වෙළඳාම් කිරීම සඳහා රුගෙන එනු ලබන්නේද මෙම බස්රථයෙනි. පානදුර සිට මොරහෙල යාමට අයවන්නේ රුපියල් තුන්සීය හැත්තෑවකි. පානදුර ඩිපෝවෙන් මේ සඳහා බස් රථ දෙකක් යොදවා ඇති අතර එක් රථයක් පානදුර නගරයෙන් උදෑසන පිටත් වෙද්දී අනෙක් බස් රථය මොරහෙල ගම්මානයෙන් උදෑසන පානදුර දක්වා ගමන් අරඹයි. මුල් කාලයේදී පානදුර සිට කැටවත්ත දක්වා මෙම බස් ධාවනය වුවද මගී ජනතාවගේ ඉල්ලීම මත කළමනාකාරීත්කවය විසින් මෙය මොරහෙල දක්වා අද වනවිට දීර්ඝ කර තිබේ.

විශේෂ ස්තූතිය -
ජයලත් ප්‍රනාන්දු මහතා, 
(පානදුර ඩිපෝ කළමනාකරු,) 
ක්විටස් ප්‍රනාන්දු මහතා, 
(ප්‍රධාන ප්‍රාදේශීය කළමනාකරු,) 
මහේෂ් ප්‍රියංකර මහතා

► දිශානි ජයමාලි කරුණාරත්න

2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00