2019 ජුලි 13 වන සෙනසුරාදා

ලංකාවේ තේ කර්මාන්තයට සුනාමියක් අත ළඟ!

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 411

ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන බෝග ලෙස හඳුනාගෙන ඇත්තේ තේ, පොල් සහ රබර් වුවත් කලක පටන් මෙම වගාවන්ගේ වර්ධනය සීඝ්‍ර ලෙස පහත වැටෙමින් තිබේ. තේ මෙන්ම අනෙකුත් බෝග වගා දෙක ද මේ වනවිටත් දැඩි අර්බුදයකට ලක්ව ඇත. දැනට යම් තරමින් හෝ වර්ධනයක් පෙන්නුම් කරන තේ වගාවටද වැඩි කලක් යන්නට පෙර කණකොකා හඬන බව කිව යුතුය. ඊට හේතු සාධක බොහෝය.

මෙරටට විදේශ විනිමය උපයා දීමෙන් තෙවැනි තැන තේවලට හිමිව තිබේ. එවන් වටිනාකමකින් යුත් තේ වගාව කෙරෙහි බලධාරීන් දක්වන අඩු සැලකිල්ල නිසාම මෙම කර්මාන්තය දිනෙන් දින අවදානම් කලාපයකට ගමන් කරමින් සිටින බව කුඩා තේවතු හිමියන් මෙන්ම තේ කර්මාන්තශාලා හිමියන්ගේද අදහස වී තිබේ.

මෙරට නිෂ්පාදිත තේ සඳහා ලොව බොහෝ රටවලින් ඉහළම පිළිගැනීමක් ලැබී ඇති අතර වාර්තාවල සඳහන් වන්නේ සෑම වසරකම තේ කිලෝ මිලියන 500 – 520 අතර ප්‍රමාණයක් අපනයනය කිරීමට මෙරට තේ නිෂ්පාදකයන් සමත් වී ඇති බවයි. මෙරටට වාණිජ තේ වගාව ආරම්භයේ සිටම තේ අපනයනයෙන් ලෝකයේ පළමුවැනි තැන හිමිවුණි. එහෙත් ක්‍රමයෙන් තේ නිෂ්පාදනය තුළ අපට හිමිවුණු කීර්තිය ගිලිහෙමින් පවතින අතර කාලයක් පුරා අපගේ තරගකරැවන් වූ ඉන්දියාව, චීනය, කෙන්යාව සහ වියට්නාමය මේ වනවිට අප පසුකර බොහෝ දුර ගොස් තිබේ. එහෙයින්ම දිගු කලක් ලොව පිනවූ සිරිලකට තේ අපනයනය කරන රටවල් අතුරින් මේ වනවිට හිමිව ඇත්තේ පස්වැනි ස්ථානයයි.

තේ කර්මාන්තය මුහුණ දී ඇති අර්බුද හමුවේ තේ දලු සඳහා ලැබෙන මිල වේගයෙන් පහත වැටී ඇති බවත් මේ තත්ත්වය මත තේ කර්මාන්තශාලා වැසී යාමේ අර්බුදයක් මතුවී ඇති බවත් සමස්ත ලංකා තේවතු හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක ලාල් ප්‍රේමනාත් මහතා අවධාරණය කරයි.

තේ කර්මාන්තශාලා නගාසිටුවීමට අවශ්‍ය කටයුතු සිදු නොකිරීම හේතුවෙන් ගෙවී ගිය දශකය තුළදී කුඩා තේවතු හිමියන්ගෙන් අස්වැන්න මිලදී ගත් කර්මාන්තශාලා 187ක් පමණ වැසී ගොස් ඇති අතර එසේ තිබියදීත් තේ කර්මාන්තශාලාවලින් අය කරන ව්‍යාපාරික බදු විශාල ලෙස මේ වනවිට ඉහළ දමා තිබෙන බවට කර්මාන්තශාලා හිමියන් සඳහන් කරන බවත් මේ තත්ත්වය තුළ තවදුරටත් තේ කර්මාන්තශාලා වැසී ගියහොත් කුඩා තේවතු කර්මාන්තය බරපතළ අර්බුදයකට ලක්විය හැකි බවත් හෙතෙම පැවසීය.

මෙරට ලියාපදිංචි තේ කම්හල් සංඛ්‍යාව 761ක් වුවද ඉන් කර්මාන්තශාලා 187ක් වැසී යාම නිසා දැනට නිෂ්පාදන කටයුතු සිදු කරනු ලබන්නේ තේ කර්මාන්තශාලා 574ක් වන අතර එම කිසිදු කර්මාන්තශාලාවක් 100%ක ධාරිතාවයකින් ක්‍රියාත්මක නොවේ. මේ වනවිට එම තේ කම්හල්හි නිෂ්පාදන ධාරිතාවය 70%ක් පමණ බවත් ඒ සඳහා බලපා ඇති ප්‍රධාන හේතුව 100%ක ධාරිතාවකින් තේ නිෂ්පාදනය සඳහා අවශ්‍ය තරමට තේ දලු නොමැතිවීම බවත් ප්‍රේමනාත් මහතා පැවසීය.

තේ කර්මාන්තශාලා වැසී යාම සහ තේ කර්මාන්තයේ අර්බුද පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ලාල් ප්‍රේමනාත් මහතා කියා සිටියේ පසුගිය කාලයේ දී මෙරට තේ කර්මාන්තය ආරක්ෂා කිරීමේ අරමුණින් අපනයනය කරන සෑම තේ කිලෝ එකකින්ම රුපියල් 13.50 බැගින් අය කෙරෙන සෙස් බද්දක් ක්‍රියාත්මක වූ බවත්, රේගුව මගින් අය කරන ලද එම බද්ද තේ මණ්ඩලයට ලබා දී ඒ හරහා කුඩා තේවතු හිමියන්ගේ අභිවෘද්ධිය සඳහා විවිධ පියවර රැසක් ගත් නමුත් වසර කිහිපයක සිට එම තත්ත්වය දක්නට නොලැබී ඇති බවත්ය. මෙලෙස අයකළ සෙස් බද්ද තේ මණ්ඩලය කොටසක් තමන් ළඟ තබාගෙන ඉතිරි මුදල තේ පර් යේෂණ ආයතනයටත්, කුඩා තේවතු සංවර්ධන අධිකාරියටත් බෙදා දුන් බවද අධිකාරියට ලැබුණු එම මුදල් සහනාධාර ලෙස කුඩා තේවතු හිමියන්ට හිමිවූ බවද සඳහන් කළ ඒ මහතා තේ පර් යේෂණ ආයතනයට හිමිවුණු මුදල් විවිධ පර්යේෂණ මගින් නියමිත පොහොර හඳුනා ගැනීම, ලෙඩරෝග සඳහා ප්‍රතිකාර සොයා ගැනීම වැනි කටයුතුවලට වැය වුණු බවද සඳහන් කළ අතර තේ මණ්ඩලයට ලැබුණු මුදල් ප්‍රමිතිය නඩත්තුව, ප්‍රමිතිය පරීක්ෂා කිරීම, හොර ඇල්ලීම සහ ලෝක වෙළෙඳපොළ සෙවීම වැනි කටයුතුවලට යෙදවුණු බවත් පැවසීය. කෙසේ වෙතත් සෙස් බද්ද අයකර සිදුකළ මෙම සියලු කටයුතු 2002 වසරේ සිටම නැවතී ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

තේ ගොවීන්ගේ මුදල් ද යොදවමින් තේ ගොවීන් ශක්තිමත් කිරීම සඳහා පිහිටවූ තේ ශක්ති අරමුදල යළි සක්‍රීය කිරීම සඳහා තම සම්මේලනය බලධාරීන් වෙත යෝජනා ඉදිරිපත් කර ඇති බවත්, තම ඉල්ලීම් හා යෝජනා ඉටු නොවන තුරැ මෙරට තේ වගාව හා තේ කර්මාන්තය දැනට මුහුණ දී සිටින අසීරැ තත්ත්වයෙන් ගොඩගැනීමට දුෂ්කර බවද සමස්ත ලංකා තේවතු හිමියන්ගේ ජාතික සංවිධායකවරයා ප්‍රකාශ කළේය.

ලංකාවට දැවැන්ත ආර්ථික ශක්තියක් හිමිකර දුන් තේ කර්මාන්තය කඩා වැටුණහොත්, ඒ ආශ්‍රිත රුකියාවල නියුතු පවුල් ලක්ෂ 40ක් පමණ රුකියා විරහිතව ආදායම් නොලබන තත්ත්වයට පත්වීමට සිදුවුවහොත් ඇතිවිය හැකි විනාශය ගැන ආණ්ඩුව මීට වඩා සිතිය යුතුය. එමෙන්ම තේ මණ්ඩලයද, කුඩා තේවතු සංවර්ධන අධිකාරියද, තේ පර්යේෂණ ආයතනයද එවන් තත්ත්වයකදී අකර්මණ්‍ය වනු ඇත.

මේ වනවිට තේවතු හිමියන් වෙනත් බෝග කෙරෙහි අවධානය යොමු කිරීම හේතුවෙන් තේ කම්හල් වැසී යාමේ තර්ජනය මේ වනවිටත් රට පුරා තැනින් තැන ඔඩුදුවා හමාරය.

තේ වගාවේ ගැටලු සහ තේ කර්මාන්තශාලා වැසී යාම පිළිබඳව විසඳුමක් සෙවීමට රජය ප්‍රබල මැදිහත් වීමක් කළ යුතු බව තේ කර්මාන්තයේ නියැලෙන සියලු පාර්ශ්වවල අදහසය. අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැසීමෙන් පලක් නොවනු ඇත. ඊට පෙර ඉස්තාලය වැසීමට බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුය.

 හසිත් අංජන