2019 ජුලි 13 වන සෙනසුරාදා

කොහොමද? පවුල සනීපෙන්ද අදම එකක් මිලට ගන්න

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:31 304

පුවත්පත්වල වෙළෙඳ දැන්වීම් කියවීමෙන් පුවත් කියවන විට ලැබෙන දැනුමට අමතර වෙනත් ආකාරයක දැනුමක් ලැබේ. ව්‍යාපාරික හා සාමාජීය කරුණු හැරුණුකොට නිර්මාණාත්මක වින්දනයක් ද සමහර වෙළෙඳ දැන්වීම් කියවීමේදී ලැබේ.

සාමාන්‍යයෙන් අප කියවන්නේ එදිනෙදා පුවත්පත්වල වෙළෙඳ දැන්වීම වුවද යුගයක් පුරා අතීතයේ පටන් එළිදුටු මුද්‍රිත වෙළෙඳ දැන්වීම් කෙරෙහි අවධානය යොමු කිරීමෙන් සාමාජයත්, සංස්කෘතියත්, දේශපාලනයත්, ආර්ථිකයත් පරිණාමය වූ ආකාරය ගැන ආශ්වාදනීය දැනුමත් ලබාගත හැකිවේ. ගැඹුරු ඓතිහාසික වාර්තා, ගැඹුරු ලෙස අතීතය ගවේෂණය කරන කෘති කියවනවාට වඩා සැහැල්ලුවකින් පැරණි වෙළෙඳ දැන්වීම් කියවිය හැකිවේ. ඒවායේ දෙබස්, රූප භාෂාව, කියමන් එතරම් සරලය, සරල වුවද ඒවායින් ලැබෙන දැනුම ගැඹුරුය. 

නවීන පරිගණක හා අන්තර්ජාල තාක්ෂණයට පින් සිදුවෙන්නට එම අතීත වෙළෙඳ දැන්වීම් අපට පහසුවෙන් දැකගන්නට හැකියාව ලැබී තිබේ. අවුරුදු අසූවකට වඩා පැරණි වෙළෙඳ දැන්වීම් පවා අන්තර්ජාලයේ සංරක්ෂණය වී තිබීම වාසනාවකි. 
පැරණි වෙළෙඳ දැන්වීම්වල සඳහන් භාණ්ඩ මිල දුටු විට මේ දැන් සාක්කුවේ තිබෙන සල්ලිත් රැගෙන අතීතයටම දිව යන්නට සිතේ. ෆියට්, ෆෝර්ඩ් ආදී කාර් විකුණා ඇත්තේ රුපියල් එක්දහසකට පමණය. බයිසිකල් රුපියල් සීයයටත් අඩුය. එදිනෙදා පාරිභෝගික භාණ්ඩ විකුණා ඇත්තේ සත ගණන්වලටය. ගල්කිස්ස හෝටලයේ ආහාර සඳහා අය කළ මිල දුටු විට ජීවිත කාලයම එම හෝටලයේ නැවතී ඉන්නට සිතේ.

මුලින්ම මගේ සිත ඇදී ගියේ එළිෆන්ට් හවුස් ආයතනයේ පැරණි වෙළෙඳ දැන්වීමක් කෙරෙහිය. එම ආයතනය පසු කාලයේ වඩාත් ජනප්‍රිය වූයේ සිසිල් බීම සඳහා වුවද මස්, මාළු ඇතුළු ශීතකළ ආහාර වර්ගවලට එය එකල පටන් නමක් ඉසුලුවේය. මෙකී දැන්වීම පළකොට ඇත්තේ එම ආයතනය ජනප්‍රිය වෙන්නට පෙර බවට එම දැන්වීමෙන්ම සාක්ෂි ලැබේ.

දැන්වීමේ උඩින්ම ඇත්තේ මාළු! මාළු!! මාළු!!! කියාය. එවිට සිහියට නැගෙන්නේ පාරේ මාළු විකුණමින් යන මාළුකාරයෙකි. මාළු රාත්තල් පහක්ම ශත පනහට දෙන බව ලොකු අකුරෙන් එහි කියයි. ඒවා ලබා ගතහැක්කේ. ඇළිෆන්ට් හවුස් නම් ස්ථානයෙන් බව පසුව කියයි. (එකල එය බොහෝ සෙයින් ජනප්‍රිය නොවූ බව එම වැකියෙන් පෙනේ) විකුණන්නට ඇති මාළු වර්ගවල සමහර නම් මේ කාලේ භාවිත නොවන ඒවාය. තඹුවා, දිවුලා, ලවයා, බැඩම් නම් මාළු ගැන එම දැන්වීමේ කියවෙතත් මෙකල මාළු අලෙවි සැල්වල නම් ඒ නම් පෙනෙන්නටවත් නැත. “සිලෝන් බුල් බුල්නම් මස් මරණ නැවෙන් අධික ලෙස මාළු රාශියක් අල්ලා ගෙනෙන ලද බැවින් මෙසේ ලාබෙට දෙනු ලැබේ.” යනුවෙන්ද එහි සඳහන්ය. 
සල්ලිත් අරන් අතීතයට දිව යන්නට සිහින මැව්වද, වර්තමානයේ ආදායමත්, අතීතයේ වියදමත් එකට මුණ ගැසෙන්නේ නැත. ඒ අතරතුර දශක ගණනාවක් ගෙවීගොස්ය. රැපියලේ අගය අඩුවීම ගැන හදාරන අයකුට ඩොලරය හා රුපියල සැසඳීම පසෙක තබා කාලයක් පටන් පැවති භාණ්ඩ මිල රුපියල හා සැසඳීම පැරණි වෙළෙඳ දැන්වීම්වලින් කළහැකිවේ.

ග්‍රැමෆෝන් යුගයේ ගී තැටිවලට අදාළ වෙළෙඳ දැන්වීම්වලින් අපේ ගීත සාහිත්‍යයේ මුල් කාලය ගැන කරුණු රාශියක් සොයාගත හැකිය. “පාර්ල ෆෝන් අලුත් රැකෝඩ්ස් - දැන් ලැබුණා.” යනුවෙන් පළකොට ඇති කොළඹ කොටුව බ්‍රවුන් සමාගමේ වෙළෙඳ දැන්වීමක, ලක්ෂමී බායි තරුණ නෝනාගේ, සංසාරේ සිංහලුනේ, “දූ ගැන දුකයි” යන ටවර් හෝල් ගීත එම තැටියේ ඇති බව පැවසේ. මේ හැරුණු විට රොමිලස් සිල්වා මහතාගේත්, ඇනී බොතේජු තරුණ නෝනාගේත් ගීත රාශියක් එහි ඇති බව සඳහන් වේ. (රුක්මනී දේවී ගීත ගායනයට ආවේ ඇනි බොතේජුගේ ගීවලට ආසාවෙන් බව ඇය සම්මුඛ සාකච්ඡාවකදී කියා තිබිණි.)

වෙළෙඳ දැන්වීම්වල පාඨකයා අමතන භාෂාවද රටේ භාවිත ලිඛිත භාෂාව වෙනස් වීමත් සමඟ පැහැදිලි ලෙස වෙනස් වී තිබේ. ඇතැම් ඒවායේ පාඨකයා හඳුන්වා ඇත්තේ “ඔබ” කියා නොව “යුෂ්මතුන්” කියාය. ඇතැම් විට “කරනු”, “බලනු”, “මිලදී ගනු” යනුවෙන් පාරිභෝගිකයාට විධාන දෙන අවස්ථා ද ඇත. කුමාරතුඟුවන් හඳුන්වා දුන් හෙළ බසද ඇතැම් ඒවායේ යොදන්නට උත්සාහ ගෙන තිබේ. මාතර, ස්ටුඩියෝ ගැමුණු ආයතනයේ වෙළෙඳ දැන්වීමක ඇති “ලස්සන ඡයාරූපයක් ගත යුතුමැ හෙයින්”, “මාතර සිටින එක මැ විශේෂඥයෝ ඔවුහුයැ” “තබා ගන්නැ” ආදී යෙදුම් ඊට උදාහරණ සපයයි.

බොහෝ වෙළෙඳ දැන්වීම්වල අන්තිමේ මිල සඳහන් කොට “අඩු නැහැ” යන්න විශේෂයෙන් සඳහන්කොට ඇත්තේ. සාප්පුවට පැමිණ අඩුවට ඉල්ලීමේ පුරුද්දක් පාරිභෝගිකයාට තිබුණු නිසාදැයි හැඟේ. “නිව් ලංකා රෝඩ් මාස්ටර්” බයිසිකලයේ මිල 75/-කි. එතැනම “අඩු නැහැ” යන්න ලියා ඇතත්, අත්පිට රුපියල් 10ක් ගෙවා මාසිකව 7.50 බැගින් ඉතිරි මුදල් කොටස් වශයෙන් ගෙවිය හැකි බවද සඳහන්වේ.

උපත් පාලන උපක්‍රම හා උපකරණ පිළිබඳව වෙළෙඳ දැන්වීම් බහුල ලෙස පුවත්පත්වල ප්‍රදර්ශනය වන්නට ගත්තේ 70 දශකය පටන් වුවද ඊට පෙරම, උපත් පාලන කොපු ගැන දැන්වීම් පළකරන්නට ව්‍යාපාරිකයෝ එඩිතර වී ඇත්තාහ. උප්පත්ති පාලන කොපුව (පෘතුගීසි තොප්පිය) පාවිච්චි කිරීමෙන් දරු උපත් සීමාකරගත හැකිබව පැවසෙන එක දැන්වීමක සංසර්ග වාර 300කටත් වඩා එය භාවිත කළහැකි බව සඳහන්ය. දැන්වීමේ හෙඩිම යොදාඇත්තේ “කොහොමද පවුල සනීපෙන්ද?” කියාය. අදම එකක් මිලට ගෙන පාවිච්චි කරන ලෙසද එහි ඉල්ලා තිබේ.

දැන් දුම්පානයට අදාළ වෙළෙඳ දැන්වීම් පළකිරීම තහනම්ව ඇතත්, බීඩි සිගරැට් ආදියේ දැන්වීම් එකල හිඟ නොවූයේය. පැරණි ත්‍රීරෝසස්, ෆෝඒසස් සිගරට් දැන්වීම් දුටුවිට හිස් සිගරට් පැකට්වලින් සෙල්ලම් කළ ළමා කාලය අපට සිහිවේ. කාන්තාවන් සිගරට් හෝ බීඩි බොනු අප වැඩිය දැකනැතත්, “රාජා බීඩී” වෙළෙඳ දැන්වීමේ තිබුණේ කාන්තාවක් බීඩියක් බොන ඡායාරූපයකි. 

තේවලට අදාළ වෙළෙඳ දැන්වීම්වලින් පෙනෙනවාට වඩා දේ සිතාගත හැකිය. තේ සම්බන්ධ වෙළෙඳ දැන්වීම්වල ප්‍රධාන වශයෙන් ප්‍රදර්ශනය කරන්නේ ලිප්ටන් හෝ Brook Bond යන බහුජාතික සමාගමේ නමය. ඒවා ලිප්ටන්ගේ Ceylon teaය. නැතහොත් Brook Bond ගේ Ceylon teaය. තේ කොළ වෙළෙඳාම බහුජාතික සමාගම්වලින් අල්ලාගෙන සිටි අයුරු එම දැන්වීම්වලින් නිරූපණය වේ. තේ නිෂ්පාදනය කරන රටට ඒවායේ ලැබී ඇත්තේ දෙවැනි තැනය. 

“නැතිවෙලා යන දේ නැතිවෙලාම යන්න දෙන්න ඕන.” යනුවෙන් මතයක් ද ඇත. අලුත් දේ සමඟ කාලය කැටුව ඉදිරියට යා යුතුය බව හැඟවෙන මෙම කියමනේ යම් සාධනීය ගුණයක් ද ඇත. එහෙත් අපට අපේ අපිළිවෙළ සහ නොසැලකිල්ල නිසා නැතිවී ගිය දේ පිළිබඳව සමහර වෙළෙඳ දැන්වීම්වලින් මතක් කර දෙයි. කොළඹ හෝ Ceylon සම්බන්ධ පැරණි BOAC, Air Ceylon වෙළෙඳ දැන්වීම් සහිත පෝස්ටරවලින් අපට මඟහැරුණු දේ පිළිබඳ ශෝකය දනවන කතාවක් මතක් කර දෙයි. 

මෑතකදී කොළඹ විශ්වවිද්‍යාලීය ආර්ථික විද්‍යා මහාචාර්ය සිරිමල් අබේරත්න, පුවත්ලිපි කිහිපයකින්ම කොළඹ/ රත්මලාන ගුවන් තොටුපළ මගීන් ගුවන් ගමන් අතරතුර මාරුවන ගුවන් තොටුපළකට පැවති ආකාරය පැහැදිලි කර ඇත. සිංගප්පූරු හිටපු අගමැති ලී ක්වාන් යූ ලන්ඩන් යන එන අතර මඟ මෙරට නැවතී ගිය ආකාරය මහාචාර්ය සිරිමල් අබේරත්න ලී ක්වාන් යූ ලියූ “සිංගප්පූරු කතාව” නම් පොත ආශ්‍රයෙන් පහදා දෙයි. එකල රත්මලාන ගුවන් තොටුපළ හරහා ක්‍රියාත්මක වූ පැරණි BOAC හා Air Ceylon ගුවන්සේවා ගැන එම පෝස්ටර්වලින් කරුණු මතක් කරදෙයි. ඉස්සර ඉන්දිරා ගාන්ධි මැතිනිය මෙරටට ආ විට පිටත්ව ගියේ රත්මලාන ගුවන් තොටුපළනි. එතුමිය කැන්දාගෙන ගිය රිය පෙරහර අපි ගාලු පාර අයිනට වී පොදිගැසී බලාඋන්නෙමු. ඉන්දිරා ගාන්ධි මැතිනිය ගියේ පාර දෙපස රැස්ව සිටි සෙනඟට අත වනමිනි. ගුවන් මගී හුවමාරු ගුවන් තොටුපළක් ලෙස රත්මලාන ගුවන් තොටුපළට තිබුණු තැන දැන් අපට හිමි නැත. එකල අපේ රත්මලාන ගුවන් තොටුපළෙන් බැස ලන්ඩන් ගිය ලී ක්වාන් යූ ගේ සිංගප්පූරුව දැන් ප්‍රබල ගුවන් මගී මධ්‍යස්ථානයකි. BOAC සහ Air Ceylon පෝස්ටර්වල ඇති වෙළෙඳ දැන්වීම් දුටුවිට සිහියට එන්නේ ඒ අතීතය හා මේ වර්තමානයයි.

මෙරට සෞඛ්‍ය සේවා ප්‍රවර්ධනය කිරීමේ වැඩ පිළිවෙළට පැරණි පෝස්ටර් දැන්වීම්වලින් මහඟු මෙහෙවරක් ඉටුකර දී තිබේ. ප්‍රතිශක්තිකරණය අතින් ආසියානු රටක් ලෙස අපි 80 ගණන්වලටත් කලින් ඉදිරියෙන් සිටියෙමු. ප්‍රතිශක්ති කරණය නිසා සෞඛ්‍ය සම්පන්න බව සුරැකෙන ආකාරය එකල ප්‍රදර්ශනය වූ “මම සිඟිති” පෝස්ටරයෙන් ජනතාවට පෙන්වා දුන්නේය.

අතීත මුද්‍රිත දැන්වීම්වලින් යම් හාස්‍යමය වින්දනය ලබාගැනීමට අමතරව, අපට වැරදුණු නැත්, හරිගිය තැන් ගැන පැහැදිලි අවබෝධයක් ද මේ අයුරින් ලබාගත හැකිවේ.

 සමන් පුෂ්ප ලියනගේ  

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00