සෝෆා ගිවිසුම සම්බන්ධව ඇතිවූ කතිකාව ගෙවුණු සතියේ ලාංකික දේශපාලනයේ ප්‍රමුඛත්වය දිනාගත් කාරණාව විය. විපක්ෂයට බර අවියක් වූ මේ සෝෆා කතාව ආණ්ඩුවට හිසරදයක් විය. පාර්ලිමේන්තුව දක්වාම මේ සංවාදය පැතිරුණි. සෝෆා නමින් ගිවිසුමක් අත්සන් කර නොමැති බවත් රටේ පරමාධිපත්‍යයට, ස්වාධිපත්‍යයට හානිවන කිසිම දෙයක් සිදුකර නොමැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඒ පසුගිය ජූලි 10 පාර්ලිමේන්තුවේ දී එම සෝෆා ගිවිසුම සහ ඇක්සා ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. මේ සමඟින් සෝෆා කතාව තවත් අදියරකට එළඹෙමින් ඇති බව අපට පෙනේ. ඊට සමගාමීව අප ද සෝෆා පිළිබඳ ජාතික ජාත්‍යන්තර කියවීමකට සූදානම් විය යුතුය.
Status of forces agreement (SOFA) යනු වෙනත් රටක හමුදා ස්ථානගත කිරීම වෙනුවෙන් ජාත්‍යන්තරයේ දී ඇතිකර ගන්නා ගිවිසුමක් යැයි සරලව පැහැදිලි කළ හැකිය. නමුත් ඊට සංකීර්ණ නෛතික මෙන්ම දේශපාලනික පැහැදිලි කිරීම් පවතී. මෙවන් ගිවිසුම්වලදී ආරක්ෂක විධි විධාන සම්බන්ධව මෙන්ම සත්කාරක රටවල සිටින නිලධාරීන්ගේ වරප්‍රසාද සම්බන්ධව ද අවධානය යොමු වේ. ඒ නිසාම සෝෆා ගිවිසුම පිළිබඳ සාකච්ඡා සරල නොවන බව පළමුව අවධාරණය කළ යුතුය.
එක්සත් ජනපද හමුදාව සමස්ත ලෝකය තුළ වර්තමානයේ විශාලතම විදේශීය පැවැත්මක් ඇති හමුදාවය. ඒ නිසාවෙන් ඔවුහු බොහෝ රටවල් සමඟ SOFA ගිවිසුම්වලට එළැඹ සිටිති. එහෙත් සෝෆා ගිවිසුම් සම්බන්ධ සාකච්ඡාව එක්සත් ජනපදයට පමණක් අදාළ නොවේ. ඔවුනට අමතරව එක්සත් රාජධානිය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, ජර්මනිය, ඉතාලිය, රුසියාව, ස්පාඤ්ඤ ආදී රටවල් ද විදේශයන්හි හමුදා බළකා ස්ථානගත කිරීම වෙනුවෙන් විවිධ රටවල් සමඟ SOFA සමාන ගිවිසුම්වලට එළැඹ තිබේ. අතීතයේ දී සෝවියට් සංගමය හිතවත් රාජ්‍ය සමඟ SOFA ගිවිසුම් ගසා තිබූ බව කියැවේ. කෙසේ නමුත් රටින් රටට මෙම ගිවිසුම්වල අන්තර්ගතය වෙනස් වී ඇත. වර්තමාන අමෙරිකානු සෝෆා ගිවිසුම් ද එසේය.
සාමාන්‍යයෙන් මිලිටරි පුද්ගලයන් සහ දේපළ සම්බන්ධ නීතිමය ගැටලු පිළිබඳව SOFA ගිවිසුම්වලදී වැඩි සැලකිල්ලක් දක්වයි. ඒ බව ශ්‍රී ලංකාව තුළ මතුව ඇති සෝෆා ගිවිසුම් සංවාදයේ දී අපට අවබෝධ වේ. ගිවිසුමට අදාළ සත්කාරක රට තුළට ඇතුළු වීම සහ පිටවීම, බදු පැනවීම ආදී කාරණා සම්බන්ධව ගැටලු ඇතිව තිබේ. මෙරට තුළ දේශපාලන වාද විවාද ද මේ සම්බන්ධව මතුව ඇති නමුත් වඩාත්ම විවාදාත්මක කාරණාව වන්නේ අමෙරිකානුවන් සම්බන්ධ සිවිල් සහ අපරාධ අධිකරණ බලතල පිළිබඳ කරුණයි.
‘ලංකාදීප‘ පුවත්පතේ සහ වෙබ් අඩවියේ පළකළ සෝෆා ගිවිසුමේ සිංහල පරිවර්තනයෙන් උපුටා ගන්නා ලද පහත විස්තරයෙන් ඉහත කරුණු තවත් අවධාරණය වෙයි.
“එක්සත් ජනපද අයවලුන්ට තනිව හෝ කණ්ඩායමක් ලෙස අමෙරිකා හැඳුනුම්පතක් යටතේ ශ්‍රී ලංකාවට ඇතුළු වීමට සහ පිටවීමට අවසරය හිමිවනු ඇත. එක්සත් ජනපදය, එහි දේශපාලන උප අංශ සහ එක්සත් ජනපදයේ ප්‍රාන්තයන් අමෙරිකා අයවලුන්ට නිකුත් කර තිබෙන වෘත්තීමය යැයි සැලකිය හැකි සියලුම බලපත්‍ර – බලයලත් අමෙරිකා අයවලුන්ට සේවා සැපයීම සඳහා වලංගු බවට ශ්‍රී ලංකා බලධරයන් සලකනු ඇත. රිය පැදවීම සහ අදාළ එක්සත් ජනපද බලධරයන් අමෙරිකා අයවලුන්ට නිකුත් කර තිබෙන රියදුරු බලපත්‍රයන් ශ්‍රී ලංකාව පිළිගනු ඇත. එම අයවලුන් රිය පැදවීමේ පුහුණුවලට හෝ රිය පැදවීම සඳහා වන බලපත්‍රයක් ලබාගැනීම සඳහා වන ගෙවීමකට හෝ යටත් නොකෙරෙනු ඇත. නිල රාජකාරිවල නියැලෙන අවස්ථාවන්හිදී අමෙරිකා පුරවැසියන්ට නිලඇඳුමින් සැරසී සිටීම සඳහා අවසරය ලැබී තිබෙන නියෝගවල සඳහන් වන්නේ නම් අවි රැගෙන යා හැකිවීම සඳහා, ඔවුන්ට අවසරය ලැබිය යුතු බවට තානාපති කාර්යාලය වැඩිදුරටත් යෝජනා කරයි. එක්සත් ජනපද ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ විනය පාලන කටයුතු එක්සත් ජනපද ආරක්ෂක බලධරයන් යටතේ සිදුවිය යුතුවීමේ වැදගත්කම ශ්‍රී ලංකා රජය පිළිගනී. ඒ අනුව, එම පුද්ගලයන් ශ්‍රී ලංකාවේ ගත කරන කාලය අතරතුර ඔවුන්ගේ කටයුතු සම්බන්ධයෙන් නීතිමය පියවර ගනු ඇත්තේ එක්සත් ජනපද රජයයි.”
මෙම ගිවිසුම සම්බන්ධව ජාතික දේශපාලනයේ පසුගිය සමයේ සාකච්ඡා වූ කරැණු කිහිපයක් මීළඟට අපගේ අවධානයට ලක් විය යුතුය. 2007 දී ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකාව සමඟ එළැඹි ගිවිසුමක් සම්බන්ධව එහි එක් සංවාදයක් විය. Acquisition and Cross Services Agreement (ACSA) නම් පවරා ගැනීම් සහ හරස් සේවා ගිවිසුමට ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය 2007 දී එළැඹ තිබේ. එම ගිවිසුම පිටු 4කට සීමා වූ ගිවිසුමක් බව කියැවේ. කෙසේ නමුත් ACSA ගිවිසුම ද එක්සත් ජනපදය සහ ලෝකයේ විවිධ රටවල් එළඹෙන ප්‍රකට ගිවිසුමකි. එම ගිවිසුම් ද ඒ රටවලට අනුව වෙනස් වෙයි. වසර 10කට සීමා වූ මෙකී ගිවිසුමේ බලය 2017 දී නැවත අලුත් කර ඇති බව දැන් කියැවේ. එහිදී එයට පිටු 80ක ඇමුණුමක් ඇතුළත්ව ඇති බවත් ඒ හරහා මෙරට ස්වෛරීභාවය අභියෝගයට ලක්වී ඇති බවටත් ඇතැම් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. 2017 දී පාර්ලිමේන්තුවේ අනුදැනුම නොමැතිව මෙය අත්සන් කර ඇති බවද අසන්නට ලැබේ. කෙසේ වෙතත් අදට ද ACSA ගිවිසුමේ විනිවිදභාවය ගැටලු සහගතය.
පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදුවූ කතාබහේ දී ආණ්ඩුව පාර්ශ්වයෙන් මතුවූ කරුණක් නම් 1995න් පසුව අමෙරිකාව සමඟ මෙවන් ගිවිසුමකට මෙරට එළැඹ නොමැති බවය. එසේ නම් 1995 දී සිදු වූයේ කුමක්ද? දැනගන්නට ඇති පරිදි චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය බලයට පත්වී මාස දෙකක් යනවිට, එනම් 1995 මුල් කාලයේ දී අමෙරිකානු හමුදාව හා යුද්ධ දෙපාර්තමේන්තුවට සම්බන්ධ සිවිල් පුද්ගලයන්ට රාජ්‍ය තාන්ත්‍රික පහසුකම් ලබාදෙන පරිදි ගිවිසුමක් අත්සන් කර ඇත. එම ගිවිසුම අමෙරිකාව සකස් කර එවන ලද්දකි. එය සම්පූර්ණ බලාත්මක කිරීමට එදා ආණ්ඩුව කටයුතු කර ඇති බවට චෝදනා තිබේ. එහෙත් ගෙවුණු තිස් අවුරුදු යුද්ධය නිමා කරන විට පවා එම ගිවිසුමේ කොන්දේසි උපයෝගී කරගෙන අමෙරිකා එක්සත් ජනපදයට ශ්‍රී ලංකාවට සැලකිය යුතු බලපෑමක් කළ නොහැකි විය. එම නිසාවෙන්ම මෙම ගිවිසුමේ හොඳ නරක කෙසේ වෙතත් පසුගිය දශකයකට අධික කාලයේ බලපෑම නම් අපට එතරම් අහිතකර වී නැතැයි පෙනී යයි.
වර්තමානයේ සෝෆා ගිවිසුම අත්සන් නොකළ බව පවසන ආණ්ඩුව අමෙරිකාවෙන් ගිවිසුමක් එවා ඇති බවත් එහි ඇති ඇතැම් කරුණුවලට එකඟ වීමට නොහැකි බවත් පිළිගනී. මේ අතර පසුගිය ජූලි පළවැනිදා අමෙරිකානු තානාපතිනි ට්විටර් පණිවිඩයක් මගින් සම්බන්ධව ප්‍රකාශයක් කර තිබුණි. ඊට අනුව මාධ්‍ය නගන චෝදනා අසත්‍යයකි. ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද කඳවුරක් පිහිටුවීමේ සැලසුමක් හෝ අදහසක් ඔවුනට නොමැත. VFA (Visiting Forces Agreement) සාකච්ඡාවල අරමුණ වන්නේ ඇතිකර ගන්නා සහයෝගීතාවය හරහා පහසුකම් සැලසීම පමණකි. එහෙත් ඇතිකර ගන්නා ඕනෑම ගිවිසුමක් හරහා ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට පූර්ණ ලෙස ගරු කෙරෙනු ඇත. මෙම අදහස ගෙන එන ට්විටර් පණිවිඩය ඔස්සේ ඔවුන් ද ගිවිසුමක් සඳහා ඇති සැලසුම ප්‍රතික්ෂේප කර නැත. ඒ අනුව සෝෆා සම්බන්ධ සංවාදය ලංකිකයන්ට අතහැර දැමිය නොහැක්කක් බවට අවබෝධ වෙයි. නමුත් අත්සන් නොකළ ගිවිසුමක් පිළිබඳව චෝදනා කරන්නේ නම් පොලීසියට යන බවට ඇතැම් දේශපාලනඥයන් කියා ඇති බව ද සිහියේ තබාගත යුත්තකි.
දැනට කතාබහ පවතින සෝෆා ගිවිසුමට ජාත්‍යන්තර කියවීමක් ද අප එක්කර ගත යුතුය. ශ්‍රී ලංකාව අරභයා ගෝලීය බලවතුන් තිදෙනකුට විශේෂිත න්‍යාය පත්‍ර ඇති බව අප පිළිගත යුතුය. අමෙරිකාව හැරුණුකොට චීනය සහ ඉන්දියාව ඔවුන්ගේ ගෝලීය ආර්ථික දේශපාලන ආරක්ෂක ඉදිරි සැලසුම් තුළ ශ්‍රී ලංකාව ස්ථානගත කර තිබේ. වර්තමාන ආණ්ඩුව චීනය පිළිබඳ කෙසේ වෙතත් ඉන්දියානු විරෝධයක් සහිතව අමෙරිකාව සමඟ ගිවිසුමකට එළැඹීම සිදුවෙතැයි අපේක්ෂා කළ නොහැක. ඉන්දීය සාගර කලාපයේ චීන ව්‍යාප්තියට එරෙහිව ඉන්දියානු අමෙරිකානු සන්ධානයට ප්‍රතිඵලයක් ලෙස සෝෆා පැමිණිහොත් මිස ඉන්දියාවද මෙයට ඉදිරියේ දී විරෝධය පළ කරනු ඇත. තවත් පසෙකින් අමෙරිකානු ජාත්‍යන්තර දේශපාලන උපායන් සලකන විට මෙවන් ගිවිසුම්වලට විරෝධය ගොනුවීමට දී පසුව ඊට සවන් දෙන බව පෙන්වා කල් ඇතිව සැලසුම් සහගතව ඇතුළත් කළ ඇතැම් කොන්දේසි හකුලාගෙන අවසානයේ කෙසේ හෝ ගිවිසුම්ගත වීම ඔවුන්ගේ ස්වභාවයයි. අප මේ කරමින් සිටින සෝෆා ගිවිසුම් සංවාදය ද රට තුළ ඇතිකර ඇති කෘත්‍රීම තත්ත්වක ප්‍රතිඵලයක් බවට සාධාරණ සැකයක් මතුවන්නේ ද එවිටය.
මාස කිහිපයක් තිස්සේ ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍ර තුළ සෝෆා ගිවිසුම පිළිබඳ පුළුල්ව සාකච්ඡා වෙමින් තිබේ. එය රටට අහිතකර, රටේ ස්වෛරීත්වයට හා ජනතා පරමාධිපත්‍යයට හානිකර, රට අමෙරිකාවට පාවාදෙන ගිවිසුමක් ලෙසට දේශපාලන වශයෙන් ලැබෙන අර්ථකථන බොහෝය. ඒකාබද්ධ විපක්ෂය ද ජනතා විමුක්ති පෙරමුණ ද ප්‍රසිද්ධියේ මීට විරෝධය ගොනුකර තිබේ. මේ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් මේ සම්බන්ධව කමිටු දෙකක් පත්කර ඇති බව ද කියැවේ. එකක් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රමුඛ විදේශ අමාත්‍යාංශයේ සිටි හා විදේශ දූත සේවයේ යෙදුණු නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවකි. දෙවැන්න ජනාධිපති නීතිඥවරුන්ගෙන් සමන්විත නීතිමය බලපෑම් පිළිබඳව සොයා බලන කමිටුවකි. කමිටු වාර්තා කඩිනමින් ලබාගෙන පාර්ලිමේන්තු සභාවාරයක දී මේ පිළිබඳව ජනතා අවධානයට යොමු කිරීමට බලාපොරොත්තු වන බව ඔවුහු කියා සිටිති.
මේ අතර සෝෆා සම්බන්ධයෙන් විවෘතව අදහස් දක්වමින් පෙනී සිටින මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මුදල් අමාත්‍යංශයේ පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී විශේෂ ප්‍රකාශක් කර තිබිණි. එයද මෙම සංවාදයේ අපගේ අවධානට ලක්විය යුත්තකි. සෝෆා ගිවිසුම මෙන්ම ඇක්සා ගිවිසුම මගින්ද රටට කිසිදු අවදානමක් අති නොවන බව එම ප්‍රකාශයේ හරයයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඇමෙරිකාවට කෙරෙන අපනයනය මත රඳා පවතින බවත් ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු නොකරන විට රැකියා අවස්ථා අහිමිවි වීමේ අවදානමක් ඇතිවිය හැකි බවත් ඔහු මෙහිදී පෙන්වා දී තිබිණි.
සෝෆා සම්බන්ධ විදග්ධ කතිකාවක අවශ්‍යතාව අවසානයේ අවධාරණය කළ යුත්තකි. දේශපාලනිකව නොව රටක් ලෙස රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුම් සම්බන්ධ විමසීමට ක්‍රමවේදයක් තවම අපට නැත. එනිසාම වඩාත් සාධනීය වනුයේ දේශපාලන ආචාරධර්ම පිළිබඳව සැලකිලිමත් වීමයි. එදා 1964 දී සිරිමා ශාස්ත්‍රි ගිවිසුමට එළඹෙන විට එවක විපක්ෂ නායක ඩඩ්ලි සේනානායක ද අමතා එකඟතාවයකට පැමිණි බව දේශපාලන ඉතිහාසයේ ලියැවී ඇත. එවන් සාධනීය ලක්ෂණ මෑත දශක තුන හතරේ දී අපි නොදුටුවෙමු. නමුත් එදත් අදත් රටේ තාවකාලික බලය දරණ ආණ්ඩු ගිවිසුම් අත්සන් කරමින් සිටී. එම අත්සන් රටේ වර්තමාන අනාගත පුරවැසියන්ට බලපානු ඇත. එහෙත් අපට ඒ පිළිබඳව වගක් නැත.
චමිඳු නිසල් ද සිල්වා