2019 ජුලි 13 වන සෙනසුරාදා

පුංචි හෝටල් වහලා: ලොකු හෝටල් බාගෙට ඇරලා

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 142

මෙම වසරේ ලක්ෂ 30ක සංචාරකයන් අද්දා ගැනීමට සංචාරක අංශ කටයුතු යොදා තිබුණද, පාස්කු ප්‍රහාරය නිසා ඒ සියලු බලාපොරොත්තු අහස් මාලිගා බවට පත් විය. 2018 වසරේ මෙරටට සංචාරකයන් ලක්ෂ 23ක් පැමිණ අතර, එමගින් ලැබුණු ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 4.4ක් විය. මෙරටට විදේශ විනිමය ලැබෙන මාර්ගවලින් සංචාරක ව්‍යාපාරයට හිමිවූයේ 3 වැනි ස්ථානයයි. සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා මැයි 1දා සිට රටවල් 31ක වීසා කොළඹදී ලබාදෙන වැඩසටහනක් ක්‍රියාත්මකව තිබුණු අතර ගුවනින් කටුනායකට පැමිණෙන සංචාරකයන් උදෙසා ගුවන් තොටුපොළේ දී වීසා ලබාගත හැකිව තිබුණි.

එම පහසුකම්වලින් ප්‍රයෝජන ගැනීමට සංචාරකයන්ට තිබුණු අවස්ථාව මෙම ප්‍රහාරය නිසා ගිලිහී ගියේය. පාස්කු ප්‍රහාරයෙන් පසුව ගෙවී ගිය මුල් සතිය තුළම හෝටල් කර්මාන්තයට සිදුව ඇති හානිය අවම කර හෝටල් ක්ෂේත්‍රය ඇතුළු සෙසු ව්‍යාපාර යළි නගාසිටුවීම සඳහා රජය පියවර කිහිපයක්ම ගෙන තිබුණු බව වාර්තා විය.

ත්‍රස්ත ප්‍රහාරයට ලක්වූ ප්‍රධාන හෝටල් මේ වනවිට සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්කර ඇත. සති දෙකකට පසු කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය සම්පූර්ණයෙන් විවෘත කළ හැකි වූ අතර, කිංස්බරි හෝටලය සහ ෂැංග්‍රිලා හෝටලයද කෙටි කලකින් විවෘත කිරීමට හැකි විය. එසේ වුවද මධ්‍යම ප්‍රමාණයේ හෝටල් අක්‍රීය වීම නිසා සිදුව ඇති හානිය බරපතළය.

සාමාන්‍යයෙන් සති දෙකක කාලයක් මෙරට රැඳී සිටින සංචාරකයකු අවම වශයෙන් රුපියල් මිලියනයක් වියදම් කරන බව සංචාරක මාර්ග උපදේශකයෝ පවසති. එහෙත් අද එම ආදායම රටට අහිමිව තිබේ.

මේ අතර මහා පරිමාණ හෝටල්වල කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කළ සේවකයන් 2000කට වැඩි පිරිසක් මේ වනවිට සේවයෙන් ඉවත් කර ඇති බව හෝටල් සේවක සංගම් කියයි. දැනට රඳවාගෙන සිටි සුළු සේවක සංඛ්‍යාවගේ මාසික වැටුප අඩක් අඩුකර ඇති නිසා ඔවුන් ලබන වැටුප රුපියල් 12,000 තරමට පහළ බැස තිබේ. අමුත්තන්ගෙන් ලැබෙන සංතෝෂම් (Tips) සමහරුන්ගේ වැටුපට වඩා වැඩිවන නමුත් මේ වනවිට එම අතිරේක ආදායමද අහිමි වී ඇති බව සේවකයෝ කියති.

හෝටල්වල සේවය කළ බොහෝ තරුණ තරුණියන් කල්බදු පදනම මත යතුරැපැදි හා ත්‍රිරෝද රථ මිලට ගෙන තිබූ අතර මේ වනවිට රැකියාව අහිමිවීම හේතුවෙන් වාරික මුදල් ගෙවාගත නොහැකි අර්බුදයකට මුහුණපා ඇති නිසා රජය මේ පිළිබඳ සහනදායී වැඩපිළිවෙළක් සලසා දෙනවා නම් ඉමහත් උපකාරයක් බව ඔවුහු කියති. වසරේ මුල් කාලයේදී විදේශ සංචාරකයන්ගේ පැමිණීම ශීඝ්‍රයෙන් වැඩිවීම නිසා සංචාරකයන් සඳහා නව ගොඩනැගිලි හා වෙනත් පහසුකම් ලබාදීමට කුඩා හෝටල් හිමියන් පියවර ගෙන තිබූ අතර, ඒ සඳහා ඔවුන් මූල්‍ය සමාගම්වලින් ලබාගත් ණය මුදල් ගෙවාගත නොහැකිව විශාල අර්බුදයකට මේ වනවිට ලක්ව සිටිති. මොවුන්ද තමන්ට රජයෙන් හෝ වෙනත් අංශයකින් සහනයක් ලැබේ යැයි බලා සිටිති.

රොයිටර් පුවත් සේවය සඳහන් කරන ආකාරයට පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට මරැපහරක් එල්ල වී තිබේ. හිස් වූ හෝටල් කාමර, කාන්තාර බඳු වෙරළ තීරය මෙරට සංචාරක ව්‍යාපාරය බිඳ වැටුණු අයුරු නිහඬ ලෙස පෙන්වයි. සංචාරක ව්‍යාපාරයෙන් උපයා ගැනීමට අපේක්ෂා කර තිබූ ආදායම අපට අහිමිව ගොස් තිබේ.

ආණ්ඩුව මොනවා කිව්වත් විශේෂයෙන් මෙරටට පැමිණීමට නියමිතව සිටි සංචාරකයන් තම ඇණවුම් අවලංගු කරගෙන ඇත. රොයිටර් පෙන්වා දෙන්නේ වෙරළබඩ සංචාරක හෝටල් මේ වනවිට හිස්ව ඇති බවයි. ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 5%ක් පමණ සංචාරක කර්මාන්තයෙන් උපයා ගැනීමට රජය අපේක්ෂා කළද එම බලාපොරොත්තුව පුස්සක් බවට පත්ව ඇත.

කොළඹ, නුවර, ගාල්ල, මාතර ඇතුළු සංචාරකයන් විශාල ලෙස ගැවසෙන නගර ආශ්‍රිතව පසුගිය සමයේ ඉදිකළ තට්ටුපිට තට්ටු නිවාස සහ තරු පන්තියේ සුපිරි හෝටල් ඉකුත් වසරවලදී විදේශ සංචාරකයන්ගෙන් පිරී ගියද අද වනවිට ඒවා හිස්ව යාම නිසා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ මෙන්ම මහා පරිමාණ හා වක්‍ර ව්‍යාපාරිකයන්ටද එක හා සමානව කණකොකා හඬා ඇත. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අසරණ තත්ත්වයට පත්ව ඇති අතර, සංචාරක කර්මාන්තයට බද්ධව පැවැති ව්‍යාපාර රැසක් සම්පූර්ණයෙන් කඩා වැටීම නිසා පෞද්ගලික වශයෙන් කරගෙන ගිය ව්‍යාපාරද යළි ගොඩනගාගත නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

කටුනායක ගුවන් තොටුපොළ සංචාරක මාර්ගෝපදේශක රියැදුරු සංගමයේ ලේකම් අසංක ප්‍රියදර්ශන ගොඩකුඹුර පවසන්නේ සාමාන්‍යයෙන් මසකට සංචාරක මාර්ගෝපදේශ රියැදුරන්, විශේෂයෙන් ගුවන් තොටුපොළවලට අනුබද්ධව සේවය කරන අය මසකට රුපියල් ලක්ෂ 1 ½ - 2 අතර මුදලක් උපයා ගත්තද අද වනවිට මසකට රුපියල් 500ක් පමණවත් සොයාගන්නට දුෂ්කරව ඇති බවයි.

“ගුවන් තොටුපොළ අපගෙන් මාසිකව රුපියල් 20,000ක කුලියක් ලබාගන්නවා. දැන් අපිට හරියමන් ආදායමක් නැති නිසා මේ කුලිය ගෙවන්නට බැහැ. ඒක නතර කරන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා. අපේ සංගමය සාමාජිකයන් 400කට අධිකයි. මේ අයගෙන් වැඩි කොටස දැන් ඉන්නේ ගෙවල්වලයි. සංචාරකයන් නොපැමිණීමයි මෙයට ප්‍රධාන හේතුව. සංචාරකයන් නැතුව අපි මොනවද කරන්නේ.

මේ වනවිට අපේ වාහන නඩත්තු කර ගැනීමට හෝ ඒවායේ ලීසිං වාරික ගෙවා දැමීමට හෝ බැරිවෙලා. අපි රජයෙන් ඉල්ලා සිටිනවා අපට මේ කර්මාන්තය නිසි තත්ත්වයට පත්වන තුරු සහනයක් සලසන ලෙසට. අනිත් කාරණය වන්නේ අපට මේ වනවිට ගුවන් තොටුපොළ අසලට යාමට තහංචි දමලයි තියෙන්නේ. අපි ඉල්ලා සිටිනවා පෙර වගේ අපට ගුවන් තොටුපොළ අසලට යන්නට අවසර දෙන ලෙසට. සංචාරකයන් වැඩි රුචියක් දක්වන්නේ එලෙස අසලට එන රියැදුරන්ටයි. අපි සංචාරක මණ්ඩලයේ පුහුණුවක් ලබා සංචාරක මණ්ඩලයේ අවසරය ඇතිවයි මෙම කර්මාන්තයේ යෙදෙන්නේ. ඒ නිසා අපේ කර්මාන්තය මේ අවාසනාවන්ත අවස්ථාවෙන් එතෙර කරගෙන තවදුරටත් පවත්වාගෙන යාමට සහන දෙන එක වගකිවයුත්තන්ගේ යුතුකමක්. අපට වෙනත් රැකියාවකට පවා යාමට නොහැක්කේ දිගු කාලයක්ම අපි මෙයට ඇබ්බැහිවෙලා සිටින නිසයි.”

ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති හා ගල්කිස්ස මහ හෝටලයේ සභාපති සනත් උක්වත්ත බී.බී.සී. සිංහල සේවයට පවසා තිබුණේ ශ්‍රී ලංකාවේ අද පවතින තත්ත්වය හා දේශපාලන වාතාවරණය සංචාරක ක්ෂේත්‍රයට සිදුකරන බලපෑම් තමන්ට එක එල්ලේ මේ අවස්ථාවේ ප්‍රකාශ කළ නොහැකි බවයි.

“මේ තත්ත්වය නිසා සංචාරකයන්ගේ යම් අඩුවීමක් තිබුණද කියලා හරියට කියන්න අවම වශයෙන් තව මාස තුනක් පමණවත් ගතවේවි. ඔක්තෝබර් 26 දේශපාලන අර්බුදය හටගැනීමත් සමඟ ඇතිවූ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකරණය නිසා අවලංගුවීම් වගේම හෝටල් කාමර වෙන් කිරීම් කල් යාමද සිදු වුණා. ඊට අමතරව ව්‍යාපාරිකයන් සහ රාජ්‍ය නොවන ආයතන ලංකාවේ යහපතට සැලසුම් කර තිබූ සමුළු කිහිපයකුත් අවලංගු කරන්න හේතු වුණා.”

පසුගිය සිද්ධි නිසා ගල්කිස්ස මහ හෝටලයේ සැලසුම් කර තිබූ දේශීය උත්සව කිහිපයක් පමණක් අවලංගු වූ නමුත් විදේශීය සාකච්ඡාවලට එවැනි බලපෑමක් සිදු නොවූ බව හෙතෙම පවසා තිබිණි. කෙසේ වුවද ඉදිරි මාස කිහිපයට සිදුකරන කාමර පහසුකම් වෙන් කිරීම පිළිබඳ යම් අවදානමක් උද්ගතව ඇති බවද ඔහු කියයි.

“පාස්කු ප්‍රහාරයට පෙර සිටම තිබුණු දේශපාලන අර්බුදයද සංචාරක පැමිණීමට බලපෑවා. ඉදිරි වෙන්කර ගැනීම් අඩුවෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය පාර්ලිමේන්තුවේ තියෙන එකක් මිස මහපාරේ එකක් නොවන වග දැන් ඒ අය තේරුම් අරන් තියෙනවා. ඒ නිසා දැන් දැන් වෙන් කිරීම් වැඩිවෙමින් පවතිනවා.”

හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති පවසන්නේ ලොව ජනප්‍රියම සංචාරක මගපෙන්වන සඟරාවක් වන Tourist Guide හි ප්‍රකාශක ලෝන්ලි ප්ලැනට් 2019 වසරේ සංචාරය කිරීමට හොඳම රට ලෙස ශ්‍රී ලංකාව නම් කරනු ලැබ තිබීමෙන් ප්‍රයෝජනයක් ගැනීම සියලු දෙනාගේ වගකීම බවයි.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන ආයතනය 2019 වසර ඉලක්ක කරගෙන ලොව වටා සිදුකිරීමට නියමිත ‘So Sri Lanka’ යන ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කිරීම මෙම අර්බුද හේතුවෙන් යම් ප්‍රමාදයකට ලක්වී තිබුණත් එම ව්‍යාපෘතිය නිසි පරිදි සිදුකරන බව තම සංගමයට දැනුම් දී ඇතැයි සනත් උක්වත්තගේ පවසයි. කෙසේ වුවද ඔහු අවධාරණය කරන්නේ තව කෙටි කාලයක් තුළ සියල්ල යථා තත්ත්වයට පත්වනු ඇති බවය. ඒ නිසා ඉවසිල්ලෙන් සිටිය යුතුය යන්න ඔහුගේ අදහසය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ හෝටල් සමාගමක් වන ජෙට් වින්ග්ස් (Get wings) හෝටල් සමූහයේ සභාපති හිරාන් කුරේ බී.බී.සී. රූපවාහිනියට ප්‍රකාශ කර තිබුණේ පසුගිය දිනවල ඇතිවූ සිද්ධිදාමය නිසා ස්වකීය ව්‍යාපාර කටයුතු මුළුමනින්ම ඇදවැටී ඇති බවය.

ප්‍රහාර සිදු වූ හෝටල පමණක් නොව තමන්ගේ සෙසු හෝටල්වලද ව්‍යාපාරික තත්ත්වය අයහපත් බව ඔහු කියා සිටියේය. සිද්ධිය වන අවස්ථාව වනවිට විදෙස් ජාතිකයන් රැසක් වෙන් කරගෙන තිබූ හෝටල් කාමර ඇතුළු අනෙකුත් පැකේජ සියල්ලම පාහේ මේ වනවිට අවලංගු කරගෙන ඇති බව ඔහු පෙන්වා දෙයි. ඒ අය අතරින් අත්තිකාරම් මුදල් ගෙවා තිබූ අයට එම මුදල් නැවත ගෙවීමටද ඔහුට සිදුව තිබේ.

“ශ්‍රී ලංකාව වැනි සංචාරක කර්මාන්තය මත යැපෙන රටකට මේ තත්ත්වය ඉදිරියේදී ඉතාම අහිතකර බලපෑම් ඇති කරන බව සිකුරුයි.” ඔහු අවධාරණය කළේය.

ගාල්ල කොටුව  Decoon 44 හා 56-By Deco යන හෝටල් දෙකේ සහ නුවරඑළිය Hill side by cottages Deco යන හෝටලයේ සාමාන්‍යාධිකාරී දිමුතු දිල්ශාන්

“මේ ප්‍රදේශයේ හෝටල් 100ට 100ක් වහන තත්ත්වයට පත්වෙලා. සියලුම කාමර හිස්. කුඩා හෝටල් බොහෝ සංඛ්‍යාවක් වසා ඇති අතර ලොකු හෝටල්වල කොටස් පමණක් විවෘතව පවතිනවා. සේවකයන්ද සේවය කඩලයි වැඩට ගන්නේ. විවෘතව සිටින සෑම දිනකම පාඩුවක් දැරීමටයි සිදුවන්නේ. කොහොමත් හෝටල් ක්ෂේත්‍රයේ සේවකයන්ට පුංචි වැටුපක් තමා ගෙවන්නේ. සේවා ගාස්තු තමා ඒ අයගේ ප්‍රධාන ආදායම. දැන් එය ලැබෙන්නේ නැහැ.

අප ඊයෙත් මේ ගැන සාකච්ඡා කළා. සේවකයන්ගේ පවුල්වල අයට ජීවත් වීමට මාර්ගයක් නැහැ. ආණ්ඩුවෙන් කිසිම සහනයක් ලැබිලා නැහැ. ලක්ෂ 10ක් විතර මෙම ක්ෂේත්‍රයේ සේවක සාමාජිකයන් ඉන්නවා. මේ සංඛ්‍යාවට මැතිවරණවලදී විශාල බලපෑමක් කරන්න පුළුවන්. ඒ අය සංවිධානගත කළොත් ඒ බලය ඕනෑම මැතිවරණයකදී පෙන්විය හැකියි. ඒත් අපට එවැනි සංවිධානයක් ගොඩනැගීමට අවශ්‍ය මූල්‍යමය ශක්තිය නැති එකයි ගැටලුව. එහෙම වුණත් අනාගතයේ දී එවැන්නක් බිහි කිරීමට අපේක්ෂාවෙන් ඉන්නවා.”

► යසවර්ධන රුද්රිගු

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00