දිවයිනේ දිස්ත්‍රික්ක රැසක් මේ වනවිට නියං රකුසා විසින් ගිලගෙන තිබෙන බව ඉතා ප්‍රකටය. ගිනිගෙන දැවෙන අහස්කුස යට රජරට ගම්බිම් රාශියක්ද ඊට නතුවී තිබේ. පවස නිවාගැනීමට දිය පොදක් සොයාගැනීමේ අසීරුතාවයෙන් පෙළෙන ජනයාගේ දුක් සුසුම් වාතලයට මුසුවෙමින් පවතී. ගහකොළ, සතා සීපාවාටද ඉතා තදින් දැනෙමින් තිබෙන මේ සොබාදහමේ අකාරුණිකත්වය පරාජය කළ හැකි සමතෙක් නොමැති බවද අමුතුවෙන් කිව යුතු නැත.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි පදවිය, රඹෑව, නොච්චියාගම, මධ්‍යම නුවරගම් පළාත, පලුගස්වැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්ද, දිඹුලාගල, ලංකාපුර, හිඟුරක්ගොඩ, මැදිරිගිරිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටද මේ වනවිට නියඟය දැඩි ලෙස බලපා තිබේ. ඒ අතුරින් වැඩිම පිරිසක් පීඩාවට පත්ව සිටින්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේය. දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ නවතම දත්තවලට අනුව ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 05 තුළ වෙසෙන පවුල් 6407කට අයත් ප්‍රද්ගලයෝ 25,000කට අධික පිරිසක් මේ වනවිට පානීය ජල හිඟයෙන් පීඩා විඳින බව අනාවරණය වෙයි. මේ පානීය ජල ගැටලුවට මුහුණපා සිටින ජනයා වැඩි පිරිසක් සිටිනුයේ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බවද දැනගන්නට ලැබිණි. ඊට අමතරව වැලිකන්ද සහ දිඹුලාගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙක තුළ පිහිටි රජයේ පාසල් 12ක ඉගෙනුම ලබන සිසු දරු දැරියන් 3000කට ආසන්න පිරිසකටද පානීය ජල ගැටලුව බලපා තිබේ.
අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක දෙකෙහිම නියඟය හේතුවෙන් පානීය ජල හිඟයට මුහුණපා සිටින ජනතාවට බීමට අවශ්‍ය ජලය අදාළ දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ උපදෙස් පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් බවුසර් යොදවා බෙදාහැරීම සඳහා අවශ්‍ය පියවර ගෙන තිබෙන බව අපට පැවසුවේ ඒ දිස්ත්‍රික්කවල ආපදා කළමනාකරණ ඒකක භාර සහකාර අධ්‍යක්ෂකවරුන්ය. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ආපදා කළමනාකරණ අමාත්‍යංශය මගින් වෙන්කර දී තිබෙන බවද ඔවුහු ප්‍රකාශ කළහ.
වසරේ වැඩි කාලයක් වියළි කාලගුණයක් පවතින අනුරාධපුර, පොළොන්නරුව දිස්ත්‍රික්කවල ජනයාට මේ ඉඩෝරය එතරම් ආගන්තුක නැත. මක් නිසාද, ඔවුහු සෑම වසරකම පාහේ මේ කටුකත්වය අත්විඳින නිසාවෙනි. ඒ පරිසරයේ වෙසෙන සතා සීපාවාට, ගහට කොළටද එලෙසම වන්නට පිළිවන. පායන කාලයට මෙහි ජනතාව වැඩි දෙනෙක් පානීය ජල හිඟයට මුහුණපෑමේ ප්‍රධාන හේතුවක් තිබේ. එනම් එ සමයෙහි මහජනයා බීමට ජලය ලබාගන්නා ළිං බොහොමයක් සිඳී යාමයි. එවිට බීමට ජලය සොයා දුර ගෙවා යාමට සෑම වසරකම පාහේ සිදුවන බව ඒ ගම්මානවල ජනතාව අප සමඟ කියා සිටියහ.
මහවැලි ගොවියකු වන ඒ.පී. රාජා මහතා අපට මුණගැසුණේ වැලිකන්ද, නාමල්ගමදීය.
“අපිට මේ පෑවිල්ල අමුතු දෙයක් නෙවෙයි. අවුරුද්දේ වැඩි කාලයක් පායනවා. ඒ පායන කාලෙට අපි බොන්න වතුර ගන්න ළිං හිඳෙනවා. එතකොට කුඹුරුවලට වතුර බෙදන ඇළේ වතුර තමා අපි බොන්නෙ. මහවැලියෙන් ඉඩම් ලැබිල අපි මේ ගම්වලට ආවේ මීට අවුරුදු 25කට විතර කලින්. එදා ඉඳලා මේ කරුමේ අපි විඳිනවා. අපිට මේ පානීය ජල ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබා දුන්නා නම් ඉවරයි. නමුත් කිසිම කෙනෙක් මෙතෙක් ඒ දේ කළේ නෑ.”
නාමල්ගම පදිංචි ඒ.ජී. දයාකුමාරි (30) මහත්මිය මෙසේ ප්‍රකාශ කළාය.
“මම වකුගඩු අමාරුව හැදිලා ඉන්නේ. පොළොන්නරුව ඉස්පිරිතාලෙන් බෙහෙත් ගන්නවා. සායනවලට ගියාම දොස්තර මහත්තුරු කියනවා පිරිසුදු වතුර බොන්න කියලා. වතුර හිඟ කාලෙට අපි වැඩි දෙනෙක් කුඹුරුවලට වතුර දෙන ඇළේ වතුර තමා බොන්නේ. බවුසරෙන් වතුර බෙදන දවසට ඒ වතුර ගන්නවා. ගමේ හැමෝටම සල්ලි දීලා වතුර ගන්න පුළුවන්කමක් නෑ. සල්ලි තියෙන අය විකුණන්න ගේන වතුරත් ගන්නවා.” යැයිද ඇය කීවාය.
වැලිකන්දේ නාගස්තැන්න ගම්මානයද පානීය ජල හිඟයෙන් පීඩා විඳින වැඩිදෙනා වෙසෙන මහවැලි ගම්මානයෙනි. එහිදී අපට මුණගැසුණු 40 හැවිරිදි සිව්දරු මවක වන ඩබ්ලිව්.එම්. පද්මා කුමාරි වීරසිංහ මහත්මිය පැවැසුවේ මෙවැනි අදහසකි.
“අපේ ගමේ පවුල් 350ක් විතර ඉන්නවා. ඒ හැම දෙනාටම වගේ පානීය ජල ප්‍රශ්නය බලපාලා තියෙනවා. පායන කාලෙට බොන්න වතුර ගන්න ළිං හිඳෙනවා. ඒකයි ප්‍රශ්නේ. සමහර අය සල්ලි දීලා වතුර බොන්න ගන්නවා. හැමෝටම එහෙම සල්ලි දීලා වතුර ගන්න බෑ. හැතැප්ම ගණන් දුර ගිහිල්ලා වතුර ගේන්නයි සිද්ධවෙලා තියෙන්නේ. අපි ඉල්ලන්නේ මේ හැම ගමකම වගේ තියෙන වතුර ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් දෙන්න කියලයි.”
ඩී.එම්. අනුලාවතී (44) මහත්මිය අපට හමුවුණේ වැලිකන්ද නාගස්තැන්න මහවැලි ගම්මානයේදීය. ඇය සිය කටහඬ අප හමුවේ අවදි කළේ මෙසේය.
“බොන්න වතුර ටික නෑ කියන්නේ ලොකුම ප්‍රශ්නයක්. අපි විඳින දුක මහතැන්වල අයට නොපෙනෙන එක තමා ලොකුම වරද. දරුවෝ ඉස්කෝලෙ යවාගන්න විදිහක් නෑ. ඒ අයට උදේ කෑම ටික හදලා දෙන්න බැරිවෙනවා. උදේ ඉස්කෝලෙට ගියාමත් ඒ අයට බොන්න වතුර නෑ. බවුසරයෙන් වතුර ගෙනැල්ලා දාපු දවසට වතුර බොනවා කියලා දරුවෝ කියනවා. අපි මහා කරුමයක් ගෙවන පිරිසක්.”
වැලිකන්දේ ගම්බිම් පුරාවට බීමට දිය පොදක් සපයා ගැනීමේ ගැටලුවෙන් පීඩා විඳින ජනයාගේ අතොරක් නැති දුක් මැසිවිලිය. මහවැලියෙන් උපන් මේ ගම්මාන බොහොමයක පානීය ජල ගැටලුව අද ඊයේ පවතින්නක් නොවන බවද බොහෝ දෙනා අප සමඟ කීහ. එය ගම්මාන ඈත්කර ජනයා පදිංචි කළ දා පටන් පවතින්නකි.
එහෙයින් මේ ගැටලුව දඩමීමා කරගෙන මැතිවරණ කාලවලට ඡන්දය ඉල්ලන මහත්තුරුද බොරු පොරොන්දු වැපිරීමට පුරුදුව සිටින බවද අපට දැනගන්නට ලැබුණු තවත් කාරණයකි.
ඒ අතර මහජන මුදල් රුපියල් කෝටි ගණනින් කාබාසිනියා කර අසාර්ථක වූ පානීය ජල ව්‍යාපෘතිද අප එහි ගිය ගමනේදී දැකගන්නට ලැබුණු තවත් අරුම පුදුම දේ ලෙස සඳහන් කළ හැකිය.
වැලිකන්ද, සිංහපුර පැරකුම්යාය ගම්මානයේ වෙසෙන පවුල් ගණන 350ක් පමණය. ඔවුනට පානීය ජල පහසුකම් ලබාදීමට ජල ව්‍යාපෘතියක් රජය මගින් ආරම්භ කර ඇත්තේ 2013 වසරේදීය. ඒ පානීය ජල ව්‍යාපෘතියට මුල්ගල් තැබීම සිදුකර තිබෙන්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එවකට සෞඛ්‍ය ඇමැතිවරයාව සිටියදීය. කඩිනම් සංවර්ධන ව්‍යාපෘතියක් ඒ වසරේදීම වැඩ නිම කිරීමට නියමිතව තිබූ බවද ගම්වාසීහු ප්‍රකාශ කළහ. පැරකුම්යාය වැව අසල ඉදිකර තිබෙන විශාල ජල ටැංකියක් සහ ජල පොම්පාගාරයක්ද වෙයි. ජල නළද එලා තිබෙන බවද ගම්මු කීහ. එහෙත් ජල ව්‍යාපෘතිය මගින් ජලය ලබාදීමක් මෙතෙක් සිදුව නැති බවද ඔවුහු ප්‍රකාශ කරති. ඊට වැයකර ඇති මුදල රුපියල් එක්කෝටි හැට ලක්ෂයක් පමණ වන බවයි.
පැරකුම්යාය, 302 ඩී-5 බෙදුම්ඇළ ගොවි සංවිධානයේ සභාපති කේ.කේ. අමිල සම්පත් මහතා අප සමඟ මෙසේ කියා සිටියේය. “ජනාධිපතිතුමා සෞඛ්‍ය ඇමැතිතුමා කාලේ තමයි එතුමා අතින් මේකට මුල්ගල තිබ්බේ. ඒ අවුරුද්දෙම වැඩ ඉවර කරලා වතුර දෙනවා කිව්වා. නමුත් අද වෙනතෙක් ඒකේ වැඩ ඉවර කරගන්න බැරි වුණා. දැන් අවුරුදු 06ක් ගතවෙලා තියෙන්නේ. සැරින් සැරේට සල්ලි නම් වෙන් වුණා. අපිට දැනගන්න තියෙන විදියට රුපියල් එක්කෝටි හැට ලක්ෂයකට වැඩියි.”
සමස්ත පරිසරය පුරා වෙලාගත් නියඟයේ බියකරු බව මෙන්ම එක් එක් ගම්වල ජනයා මුහුණදෙන විවිධ ප්‍රශ්නද තිබෙන බව මේ ගමනේදී අපට අසන්නට දකින්නට ලැබුණි. සොබාදහමේ අකාරුණිකත්වයක් ලෙස පැමිණ තිබෙන වියළි කාලගුණය හෙවත් නියඟය නිසා එල්ල වී තිබෙන තර්ජන සුළු පටු නොවේ. පතුලටම දිය සිඳුණු රජරට මහවැව් අසරණව බලා සිටින්නාක් වැනිය. කරන ලද වගාවන් බව බෝග ආදියද ජලය නොමැතිව විනාශ වී ගොසිනි. ඒ අතරතුර සංවර්ධනයේ අරුණලු උදාවන තෙක් පෙරමඟ බලා සිටි ඇතැම් ගම්මානවල ජනයාගේ බලාපොරොත්තුද සුණු විසුණු වී තිබෙන අයුරු වැලිකන්ද පැරකුම්යායේ සහ මහවැලිතැන්නේ අසාර්ථක ජල ව්‍යාපෘති තුළින් මොනවට පැහැදිලි වෙයි. ඒ සඳහා මහජන මුදල් රුපියල් කෝටි ගණනින් වියදම් කර තිබේ.
ජනජීවිත අවුල් කර තිබෙන නියඟය පරාජය කළ නොහැකි වුවද මහජන මුදල් විශාල ප්‍රමාණයක් වැයකර තිබෙන ජල ව්‍යාපෘති අසාර්ථකව මහජනතාවට ප්‍රයෝජනයක් ගත නොහැකිව තිබෙන්නේ මන්ද යන්න වගකිවයුත්තන් විසින් සොයා බැලිය යුතු බව අපටද හැඟී ගිය කාරණයකි.
► කරුණාරත්න ගමගේ