මෙරට තේ කර්මාන්තයේ නිජබිම ලෙස හැඳින්වෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ දෙල්තොට පිහිටි ලූල්කඳුර වතුයායයි. මෙම වතුයාය පාලනය වන්නේ ජනතා වතු සංවර්ධන මණ්ඩලය යටතේය. ඓතිහාසික වටිනාකමින් යුත් ලූල්කඳුර වතුයායෙන් කොටසක් පෞද්ගලික සමාගමකට විකුණා දැමීමේ සූදානමක් ඇතැයි ලංකා වතු සේවා සංගමය චෝදනා කරයි.
ලූල්කඳුර වතුයායේ නිෂ්පාදිත තේ සඳහා යුරෝපය පුරා විශාල ඉල්ලුමක් පවතී. ඓතිහාසික අගයක් හා විශාල ඉල්ලුමක් පවතින තේ නිෂ්පාදනය කරන වතුයායකින් කොටසක් පෞද්ගලික සමාගම් වෙත විකුණා දැමීම කිසිසේත් අනුමත කළ නොහැකි යැයි වතු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් නාත් අමරසිංහ මහතා ප්‍රකාශ කරයි.
රාජ්‍ය වැවිලි සමාගම්වල කාර්ය සාධනය වැඩි දියුණු කිරීම සඳහා ඉඩම් කැබලි කිරීමහා, වගා නොකරන බිම්වල වගා ඇති කිරීම සඳහා රජයේ ඉඩම් විවෘත වෙළෙඳ පොළට මුදාහැරීමට පසුගිය වසරේ රජය තීන්දුවක් ගෙන තිබිණි.
ජනවසම සතුව ඉඩම් හෙක්ටයාර 9,000ක් පමණ තිබේ. ඉන් වගා බිම් වශයෙන් පවතින්නේ හෙක්ටයාර 4000ක් පමණකි. වගා නොකරන ලද ඉඩම් පෞද්ගලික අංශයට ඵලදායි ව්‍යාපෘති සඳහා බදුදීමට ජනවසම කටයුතු කරන්නේ යැයි ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබේ.
අතීතයේ මෙරට ප්‍රධාන අපනයන භෝග අතර පළමු තැන හිමිවූයේ තේවලටය. ලූල්කඳුර වතුයායට ඇත්තේ ඓතිහාසික අගයකි. ඒ මෙරට තේ වගාවේ ආරම්භය එතැනින් සනිටුහන් වන බැවිනි. තේ ගස ශ්‍රී ලංකාවට ආවේණික පැළෑටියක් නොවේ. එය ශ්‍රී ලංකාවට මුලින්ම හඳුන්වා දුන්නේ 1839 දෙසැම්බර් මාසයේ ඉන්දියාවෙනි. ආචාර්ය වොලීච් නම් මහතකු විසින් ඇසෑමයෙන් ගෙන එන ලද තේ බීජ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ රෝපණය කරන ලදී.
ඒ වනවිට මෙරට කෝපි වගාව ක්‍රමයෙන් අභාවයට යමින් පැවතියේය. 1835 දී ස්කොට්ලන්තයේදී උපත ලැබූ ජේම්ස් ටේලර් 1852 වසරේ ලංකාවට පැමිණියේ රැකියාවක් සඳහාය. පසුව වැවිලි කර්මාන්තයට යොමුවූ ඔහු මුලින්ම තේ වගාව ආරම්භ කළේ ලූල්කඳුර වතු යයායේය. 1866 ඉන්දියාවට ගොස් තේ වගාව පිළිබඳ අවබෝධයක් ලද ටේලර් 1867දී අක්කර 20ක කැලෑ බිම් එළි පෙහෙළි කොට පේරාදෙණිය උද්භිත උද්‍යානයෙන් ලබාගත් තේ බීජ ලුල්කඳුර ප්‍රදේශයේ වගා කිරීමට පියවර ගත්තේය.
ඔහු මුලින්ම තේ වගාව ආරම්භ කළ කලාපය අද හැඳින්වෙන්නේ 7 වැනි ක්ෂේත්රය නමිනි. 1872 ඔහු අංග සම්පූර්ණ තේ කර්මාන්ත ශාලාවක්ද ලූල්කඳුරේ ආරම්භ කළේය. ප්‍රථම වරට ලංකාවෙන් තේ තොගයක් අපනයනය කෙරැණේ ලූල්කඳුර වතුයායෙනි. රාත්තල් 23කින් ඇරඹි ලූල්කඳුරේ තේ අපනයනය 1890 වනවිට ටොන් 22,900 දක්වා වර්ධනය විය.
සුප්‍රකට තේ ව්‍යාපාරිකයකු වූ තෝමස් ලිප්ටන් 1890 දී ලංකාවට පැමිණි අතර ඔහු මෙරට තේ නිෂ්පාදන ව්‍යාපාරයට එක් වනවිට ඔහුට සහය වූයේ ජේම්ස් ටේලර්ය. 1892දී ටේලර් මියගිය අතර ඔහුගේ සිරැර මහයියාව සුසාන භූමියේ මිහිදන් කෙරිණි. ඔහුගේ මරණයෙන් වසරකට පසු ලංකා තේ පැකට් මිලියනයක් ලන්ඩන් වෙළෙඳපොළට නිකුත්කරන ලද අතර චිකාගෝ වෙළෙඳ ප්‍රදර්ශනයේදී අලෙවි කෙරිණි. ජේම්ස් ටේලර් ලූල්කඳුර හැඳින්වූයේ ලූල්කොන්දේරා නමිනි.
ඓතිහාසික අගයක් සහිත වතුයායෙන් කොටසක් පෞද්ගලික අංශයට විකුණා දැමීමට ජනවසම කටයුතු කරන්නේ නම්, සමස්ත වතු කාර්ය මණ්ඩලය සහ වතු සේවකයින් සමඟ එයට විරුද්ධව දැවැන්ත වෘත්තිය ක්‍රියාමාර්ගයක් ගන්නා බව වතු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් නාත් අමරසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.
I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා