2019 ජුලි 20 වන සෙනසුරාදා

තාමත් පාවෙන මුස්ලිම් ඇමැති පදවි

 2019 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 57

පසුගිය අප්‍රේල් 21 වැනිදා එල්ලවූ පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ වරින් වර විවිධ ආන්දෝලන මතුවෙමින් තිබේ. 250කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වෙමින් 500කට අධික පිරිසක් තුවාල ලැබූ එම ප්‍රහාරයට ජාතික තව්හිද් ජමාත් නම් අන්තවාදී සංවිධානය සම්බන්ධ බවට ආරක්ෂක අංශ විසින් අනාවරණය කරගෙන තිබූ අතර එයට සම්බන්ධ සැකකරුවෝ ද අත්අඩංගුවට ගනු ලැබූහ.

මේ අතර ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමඟ සම්බන්ධතා පැවැත් වූ බවටත් අන්තවාදයට සහය දක්වන බවටත් රජයේ මුස්ලිම් දේශපාලකයන් කිහිපදෙනකුට චෝදනා එල්ල වුණි. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි සහ නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර ඒ.එච්.එම්. හිස්බුල්ලා ඒ අතර වූහ. තත්ත්වය මෙසේ තිබියදී. පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතනහිමි පසුගිය මැයි මස 31 වැනිදා මහනුවර දළදා මාලිගාව අභියස උපවාසයක් ඇරඹූ අතර අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි සහ නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර එම්.එච්.ඒ.එම්. හිස්බුල්ලා ඉල්ලා අස්විය යුතු බව උන්වහන්සේගේ ප්‍රධාන ඉල්ලීම වී තිබිණි. රතන හිමිගේ එම උපවාසය සඳහා විවිධ පාර්ශවවල සහයෝගය ද ලැබිණි.

රතන හිමියන් විසින් දියත් කරනු ලැබූ මෙම උපවාසය වඩාත් තීව්‍ර වීමත් සමඟම ජූනි මස 03 සඳුදා බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි සහ නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා තම ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා භාර දුන් බව ජනාධිපති මාධ්‍යය අංශය නිවේදනය කළේය. එයින් අනතුරුව රතන හිමියෝ සිය උපවාසය අත්හැර දැමූහ. 03 සඳුදා දහවල් පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු අනෙකුත් මුස්ලිම් ජාතික ඇමතිවරුද සිය තනතුරුවලින් ඉල්ලා අස්වන බවට නිවේදනය කළහ.

කෙසේ වෙතත් ඉන් දින දෙක තුනකට පමණ පසුව ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරැන් අතරින් එජාපය නියෝජනය කරන කබීර් හෂීම් මහතා සහ අබ්දුල් හලීම් මහතා නැවත අමාත්‍යාංශ තනතුරුවල දිවුරුම් දුන්හ. තනතුරැවලින් ඉවත් වූ මොහු මුස්ලිම් මන්ත්‍රීවරැන් ද ඉදිරි සතිය තුළදී නැවතත් අමාත්‍යය තනතුරැ බාර ගැනීමට නියමිත බව පසුගියදා වාර්තා විය. 

බදියුදීන් අමාත්‍යවරයා තනතුරෙන් ඉවත් කිරීම සඳහා මාරාන්තික උපවාසය සඳහා ඉදිරිපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් එහිදී ප්‍රකාශ කළේ යම් හෙයකින් බදියුදීන් මහතා නැවත අමත්‍ය ධූරයක දිවුරැම් දීමක් සිදුකළහොත් ඔහුට එරෙහිව පොදුජන පෙරමුණ, ශ්‍රීලනිපය, එජාපය ඇතුළු සියලු පක්ෂවල මන්ත්‍රීවරැන්ගේ සහයෝගයෙන් විශ්වාසභංග යෝජනාවක් ගෙනඑන බවයි.

පාස්කු ප්‍රහාරයේ විමර්ශනයන්වලට සහය පළකරමින් ඉල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරැන් යළිත් අමාත්‍ය ධුර ලබාගැනීම පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන හිටපු මුස්ලිම් අමාත්‍යවරැන්ගෙන් අපි අදහස් විමසීමක් සිදු කළෙමු.

තාම තීරණයක් නෑ

දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසල් තාසීම්

අමාත්‍ය ධුර බාරගැනීම පිළිබඳව තවමත් අපි තීරණයක් අරගෙන නැහැ. රජය සමඟ තවමත් අපි සාකච්ඡා කරගෙන යනවා. කෙසේ වෙතත් මේ පරීක්ෂණ කටයුතුවලට සහය ලබාදෙන්න ඕන නිසා ඉල්ලා අස්වුණා. අපේ මුස්ලිම් ඇමතිවරැන් යළිත් මේ අමාත්‍යය ධුර බාරගැනීමක් සිදුකළත් ලබන සතිය තුළදී තමයි අමාත්‍යය ධුර බාරගැනීමක් සිදුකරන්නේ බොහෝ විට අමාත්‍යය ධුරවලින් ඉල්ලා අස්වුණු ඇමතිවරැන් යළිත් සිය අමාත්‍ය ධුර බාරගැනීමක් සිදුකරයි. 

වරදක් කර නැත්නම් දිව්රුම් දෙන්න පුළුවන්

එම්.එච්. අබ්දුල් හලීම්

මේ පසුගියදා එල්ල වූ පාස්කු ප්‍රහාරයට මුස්ලිම් දේශපාලනඥයන් වගකිව යුතුයි කියන මතයක් මේ සමාජය තුළ කතා වුණා. ඒ මොහොතේ ආණ්ඩුව නියෝජනය කළ මුස්ලිම් ඇමතිවරුන් සිය අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වුණා. මම සහ කබීර් හෂීම් ඇමැතිතුමා මීට පෙර නැවත අමාත්‍යාංශවල අමාත්‍ය ධුර බාරගත්තා. අපි එජාප මන්ත්‍රීවරුන් නිසා. අනෙකුත් මුස්ලිම් හිටපු ඇමැතිවරැන් නැවත අමාත්‍යාංශවල තනතුරැ බාරගැනීමට සූදානමක් තියන බව වාර්තා වෙනවා. ආරංචි ලැබිලා තියනවා. වරදක් නොකර තියනවා නම් ඔවුන් නිර්දෝෂ නම් එම තනතුරැවල ඔවුන්ට දිවුරුම් දිය හැකියි.

ප්‍රහාරයට මුස්ලිම් ඇමැතිවරු සම්බන්ධ නැහැ කියලා හෙළි වී තිබෙනවා

ඒ.එච්.එම්. ෆවුසි

නැවත අමාත්‍ය ධුර ලබාගැනීම පිළිබඳව අපි සාකච්ඡා කරලා තියනවා. බොහෝ දුරට එය ලබන සතිය වනවිට සිදුවෙයි. පසුගියදා ඇතිවුණ සිදුවීම් මාලාවත් සමඟ තමයි මුස්ලිම් මන්ත්‍රීවරැන් ඉල්ලා අස්වුණේ මේ වනවිට එම ප්‍රහාරයට මුස්ලිම් අමාත්‍යවරන්ගේ සබඳතා නොමැති බවට හෙළිවී තිබෙනවා. චෝදනා නැතිනම් මේ අමාත්‍ය ධුර යළිත් ලබාගැනීමට ප්‍රශ්නයක් වන්නේ නැහැ. ඒ වගේම සංහිදියාවෙන් කටයුතු කරන ලෙස අපි හැමදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

 හසිත් අංජන 
 
 

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00