2019 ජුලි 20 වන සෙනසුරාදා

මහබැංකුව කණපිට පෙරළන අලුත් නීතිය

 2019 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 149

ආණ්ඩුව 1949 අංක 58 දරන ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය නීති පනත සංශෝධනය කිරීමට උත්සාහ ගනිමින් පවතින බව දැනගන්නට තිබේ. වගකිවයුත්තන් මේ පිළිබඳ හේතු වශයෙන් දක්වා ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව වඩාත් ස්වාධීන කර නිදහස් ආයතනයක් බවට පත් කිරීම මෙම සංශෝධනවල අරමුණ බවයි. ඇතැම් අවස්ථාවල ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යංශය සමග බැඳී පවතී. එහි මෙහෙයුම් කටයුතු සඳහාද මුදල් අමාත්‍යංශයට එක්තරා විදියක බලපෑම් ඇතිකළ හැකිව තිබේ.

මෙම තත්ත්වය අවම කිරීම සඳහා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සංයුතිය ඉවත් කිරීම පිළිබඳ අවධානය යොමුව තිබේ. මෙහිදී යෝජිත එක් පියවරක් නම් මුදල් මණ්ඩලයේ එක් සාමාජිකයකු ලෙස මුදල් අමාත්‍යංශයේ ලේකම් අනිවාර්යයෙන්ම සිටිය යුතුය යන ප්‍රතිපාදනය වෙනස් කිරීමය. ඒ අනුව මුදල් අමාත්‍යංශ ලේකම් වෙනුවට ආණ්ඩුවට අවශ්‍ය කෙනෙකු පිටතින් සාමාජිකයකු ලෙස පත් කිරීමට හැකිවේ. ඔහු කුමන පුද්ගලයකු විය යුතුද යන්න හෝ ඔහුගේ සුදුසුකම් මොනවාද යන්න පිළිබඳව කිසිදු පැහැදිලි කිරීමක් මෙම සංශෝධනවලට ඇතුළත්ව නැතැයි කියයි. ඒ අනුව පරාජිත දේශපාලනඥයකු හෝ වෙනත් ආණ්ඩුවට සම්බන්ධ ඕනෑම පුද්ගලයකු පත් කිරීමට හැකිවෙන බවට සැක පහළ වෙයි.

මෙයින් සිදුවන්නේ මුදල් මණ්ඩලය වැනි රටේ මූල්‍ය ප්‍රතිපත්ති තීරණය කරන ආයතනයක ස්වාධීනතාවයට හානි සිදුවීමකි.

මේ පිළිබඳව අදහස් දක්වන හිටපු අමාත්‍ය හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන:

“රටේ මුදල් පාලනය මුදල් අමාත්‍යංශය හා ශ්‍රී ලංකා මහ බැංකුව අතර බෙදිලා යනවා. මුදල් අමාත්‍යංශය ෆිස්කල් ප්‍රතිපත්තියද මහ බැංකුව මූල්‍ය ප්‍රතිපත්තියද ක්‍රියාත්මක කරනවා. මුදල් මුද්‍රණය, පොලී අනුපාත තීරණය කිරීම, මුදල් සංචිත කළමනාකරණය ඇතුළු මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවයි. මේ අනුව කාසි හා මුදල් නෝට්ටු නිකුත් කිරීමේ ඒකාධිපති බලය හා බැංකු ක්‍රමය හැසිරවීමේ බලය තිබෙන්නේ මහ බැංකුවටයි.

කෙසේ වුවද මුදල් අමාත්‍යංශය හා මහ බැංකුව අතර අන්තර් සම්බන්ධතාවක් ඇතිවිය යුතු බැවින් මුදල් අමාත්‍යංශ ලේකම් අනිවාර්යයෙන්ම මුදල් මණ්ඩලයේ සාමාජිකයකු වෙනවා. නමුත් ආණ්ඩුව කරන්න යන සංශෝධනයට අනුව මුදල් අමාත්‍යංශය හා ශ්‍රී ලංකා මහ බැංකුව එකිනෙකට වෙන් වෙනවා. එයින් ශ්‍රී ලංකා මහ බැංකුව හුදෙකලා වීමක් තමා සිදුවන්නේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්ති වෙනස් කරනවා නම් එය ආර්ථික විශේෂඥ කමිටුවකට ඉදිරිපත් කර සාකච්ඡා කළ යුතු බවට ජනාධිපතිවරයා කැබිනට් පත්‍රිකාවක් පවා නිකුත් කර තිබෙනවා. එහෙත් රජය සටකපට ලෙස එය වෙනස් කර ළඟදීම මුදල් පිළිබඳ කාරක සභාවට යොමුකරන්නයි යන්නේ.

මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ සියලුම පත්වීම් කළේ ජනාධිපතියි. එහෙත් දැන් කොමිෂන් සභාව හරහායි ඒ පත්වීම් කරන්නේ. එහිදී අවශ්‍ය පරිදි මුදල් අච්චු ගැසීමට වගේම ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ක්‍රියාත්මක වන ඊ.පී.එෆ්. අරමුදල වැනි අරමුදල් නිදහස් කරගෙන හිතූ සේ මුදල් වැය කිරීමට ආණ්ඩුවට හැකිවෙනවා. මෙම සංශෝධන අනුව මුදල් අමාත්‍යංශයේ ලේකම් අනිවාර්යයෙන්ම මුදල් මණ්ඩලයේ නියෝජිතයකු විය යුතුය යන වගන්තිය ඉවත් වෙනවා. වෙන අය පත් කිරීමට ඒ අනුව ඉඩ ලැබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව මේ ආකාරයෙන් නිදහස් කළහොත් ඉදිරියේදී අර්ජුන මහේන්ද්‍රන් වැනි චෝදනාවලට ලක්වූ පුද්ගලයන්ද මුදල් නීති මණ්ඩලයට පත් කිරීමට ඉඩ ලැබෙනවා. ඒ නිසා මේ සංශෝධනවලට එරෙහි විය යුතුයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්.ඒ.විජේවර්ධන පවසන්නේ මෙම යෝජිත සංශෝධනය රටට යහපතක් සිදුවන්නක් බවයි. එසේ වුවද එය අපේ ආර්ථිකයට ශුභඵල ලබාගත හැකිවන අයුරු ක්‍රියාත්මක කිරීම පාලකයන්ගේ යුතුකම බවද ඔහු කියයි.

“1949 අංක 58 දරන මෙම ශ්‍රී ලංකා මහ බැංකු මූල්‍ය නීති පනත අදට ගැලපෙන්නේ නැහැ. එය සකස් කළේ ඒ කාලයේ මහ බැංකුවේ දර්ශනය අනුවයි. අද මහ බැංකුවේ ක්‍රියාකාරකම්වලට මෙය සුදුසු නැහැ. පසුගිය දශක දෙකක කාලය තුළ බංගලිදේශය, නේපාලය, තායිලන්තය, දකුණු කොරියාව, එංගලන්තය, භූතානය, කැනඩාව වැනි රටවල් මහ බැංකු පනත් සංශෝධනය කරලා තිබෙනවා. එහෙත් අප තවමත් දශක ගණනාවක් පෙර තත්ත්වය අනුවයි කටයුතු කරන්නේ.

මහ බැංකුවේ රාජකාරිය තමා මුදල්වල අගය ස්ථාවරව පවත්වාගෙන යාම. රට තුළ විනිමය අනුපාතිකය තීරණය වන්නේද ශ්‍රී ලංකා මහ බැංකුව අනුවයි. 1952 කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව තමා ජීවන වියදම මැන්නේ. 2007 දී ඒ සඳහා අලුත් දර්ශකයක් පටන් ගත්තා. 1952 දී 100ට තිබුණු කොළඹ පාරිභෝගික මිල දර්ශකය 2007 වනවිට 5416ක් බවට පත්වුණා. එහිදී අපි අලුත් දර්ශක තුනකට ගියා. 1952 මිල දර්ශකයට ගියා නම් 9,000ක් පමණ වේවි. 1952 දී රුපියලක වටිනාකම අද වනවිට ශතයට බැහැලා. මෙම රුපියල පවා ස්ථාවරව තබාගන්න මහ බැංකුව අපොහොසත් වෙලා. අපේ විනිමය අනුපාතිකය අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 1950 දී 4.76යි. අද වනවිට 182ක් වෙලා තියෙනවා. මෙම අංශ දෙකම ස්ථාවරව තබා ගැනීම තමයි මහ බැංකුවේ කාර්යභාරය විය යුත්තේ. එහෙත් අද එහෙම වෙන්නේ නැහැ.

දෙවැනි කාරණය තමයි මහ බැංකුවට මුදල් මුද්‍රණය කිරීමට ඇති බලය. මෙම බලය මෙතෙක් මෙරට සිටි මුදල් ඇමැතිවරුන් සෑමදෙනාම අවභාවිත කරලයි තියෙන්නේ. එහි ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය ඉහළ ගිය අතර, විනිමය අනුපාතිකය පහළ බැස තිබෙනවා.

1954 සිට මෙරට හිටපු මුදල් ඇමැතිවරුන් අතුරෙන් එම්.ඩී.එච්. ජයවර්ධන හැර සෑම මුදල් ඇමැතිවරයෙකුම මෙයට වගකිව යුතුයි. රටේ මුදල් හිඟවූ හැම අවස්ථාවකදීම ආණ්ඩුවේ අවශ්‍යතාව පරිදි මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් මුද්‍රණය කරලා මුදල් අච්චු ගහලා රජයට සල්ලි දෙනවා. මෙහිදී සිදුවන ඇත්තේ මහ බැංකුවට ඇති මුදල් නෝට්ටු අච්චු ගැසීමේ බලය ආණ්ඩුව සමග එකතුවෙලා අවභාවිත කිරීමක්. මුදල් අමාත්‍යංශ ලේකම් මුදල් මණ්ඩලය නියෝජනය කරනතාක් ඔහුගේ බලපෑම මත මේ ක්‍රියාවලිය සිදුවෙනවා. අදටත් එහෙමයි. මුදල් මණ්ඩලයේ ස්වාධීනතාවක් නැහැ.

මෙම අලුත් සංශෝධන අනුව අමාත්‍යංශ ලේකම් නිල බලයේ එහි සාමාජිකයකු වීම ඉවත් කිරීම ඉතාම සුදුසුයි. මේ හේතුවෙන් ඉස්සර වගේ මුදල් අච්චු ගහලා ආණ්ඩුට ණය දෙන්න බැහැ. මුදල් නිපදවන්න නම් ආදායම උපදවා ගත යුතු වෙනවා.

අනිත් කරුණ තමා වර්ෂයේ ඇස්තමේන්තු ගත ආදායමෙන් සියයට 10ක මුදලක් තාවකාලික අත්තිකාරමක් ලෙස මහ බැංකුවෙන් ලබාගන්න පුළුවන් වීම. මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නේ අනවශ්‍ය ලෙස ඇස්තමේන්තුගත ආදායම ඉහළ දැමීමෙන්. අයවැය Over Estimate කරන්නේ මෙය කර ගන්නටයි. කිසිදිනක මෙම ඇස්තමේන්තු ගත ආදායම එකතු කර ගන්න බැහැ. මෙය හරියට සීනිබෝල බෝතලයක මූඩිය ඇරලා තියෙන විට කුඩා දරුවා සෑමවිටම සීනි බෝල කනවා වැනි දෙයක්. කිසිදු පාලනයක් නැහැ. ප්‍රතිඵල අයහපත්.

එසේම මුදල් අමාත්‍යංශ ලේකම් මුදල් මණ්ඩලයේ සිටින තාක්කල් ඔහුට එයට බලපෑම් කිරීමට ඉඩ ලැබී තිබෙනවා. බොහෝ අවස්ථාවල මුදල් මණ්ඩලය ගන්නා තීරණවලට ඔහු බලපෑම් කළා. ඒ නිසා ඔහුගේ අභිමතය ක්‍රියාත්මක කිරීමට ඔහුට හැකිවුණා. මුදල් මණ්ඩලයේ සෑම තීරණයක්ම වෙනස් කරන්නට ලේකම්ට පුළුවන්.

නිසි ලෙස ක්‍රියාත්මක කරනවා නම් මෙම සංශේධන අගය කළ යුතුයි. මෙය රටේ ජනතාව වෙනුවෙන් කරන දෙයක්. එයට හේතුව මහ බැංකුව පසුගිය සමයේ ගත් වැරදි තීරණ නිසා දුප්පත් ජනතාව අමාරුවේ වැටීමයි. එම තත්ත්වය පාලනය කිරීම හොඳයි. එහෙත් මෙම තනතුරට අවශ්‍ය කෙනෙක් පත් කරන්නට ආණ්ඩුවට බැහැ. ඔහු සුදුසුකම් ලැබූ බාහිර අයකු විය යුතුයි. එහෙම නැතුව පටු අවශ්‍යතා උඩ පත් කළොත් බලාපොරොත්තු වූ වෙනස සිදු නොවනවා ඇති.

මහ බැංකු අධිපති පත් කිරීමද මේ අනුව විධිමත් වේවි. වෙන දියුණු රටවල මහ බැංකු අධිපති මණ්ඩලයකින් යෝජනා කරලා ප්‍රකාශයට පත් කරන්නේ වැඩ බාර ගැනීමට වසරකට පෙරයි. ලංකාවේ වගේ කඩිමුඩියේ දුන්නේ නැහැ. එවිට ජනතාවට ඔහු පිළිබඳ දැනුවත් විය හැකියි. එසේම එම තැනැත්තාටද පත්වීම බාර ගැනීමට පෙර රටේ ආර්ථිකය ගැන අධ්‍යයනයක් කළ හැකි වෙනවා.

ඒ නිසා මෙම සංශෝධන සාධනීය ලෙස යොදාගැනීම බලධරයන්ගේ වගකීමක්. එසේ නැතිව මෙහි දුර්වල තැනකින් රිංගා තම පටු අපේක්ෂා ඉටුකර ගැනීම නොකළ යුතුයි.

රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ඩැනී අතපත්තු:

දැනට මුදල් නීති සංශෝධන පනත සකස් කර නිර්දේශ සඳහා නීතිපතිට යොමුකර ඇති බව දැන ගැනීමට තිබෙනවා. මෙහි හොඳ සහ නරක යන දෙකම තිබෙන බව කිවයුතුයි. ජනාධිපතිද මෙය සලකා බැලීම සඳහා කොමිසමක් පත් කිරීමට යන බව ආරංචියි. රටේ විපක්ෂයද මේ පිළිබඳ බුද්ධිමතුන්ගේ මණ්ඩලයකින් අදහස් ලබාගත යුතු යැයි පවසනවා. මෙම සංශෝධන කෙටුම්පත් කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑම මත බවද දැනගන්නට තිබෙනවා.

මෙහි මූලික අදහස මහ බැංකුව ස්වාධීන ආයතනයක් කිරීමයි. අද වනවිට මහ බැංකුව මුදල් අමාත්‍යංශයට ගැට ගහලයි තියෙන්නේ. මේ ගැටය ලිහන්නයි යන්නේ. මුදල් අමාත්‍යංශ ලේකම් මහ බැංකුවේ සාමාජිකයකු වීම නිසා එහි ස්වාධීන භාවය නැති වී ඇතැයි තර්ක කරනවා. එහි සාමාජිකයන් දෙදෙනාගෙන් එක් අයෙක් ඔහු. අමාත්‍යංශයට අවශ්‍ය දේ තමා ඔහු කරන්නේ. ලොව සංවර්ධිත රටවල් කලින් කලට එම රටවල බැංකු ස්වාධීන කරලා තියෙනවා.

මෙය ස්වාධීන වූ විට කිසිවකුටත් වග කියන්නේ නැතිවෙනවා. මෙම සංශෝධන අනුව මහ බැංකු අධිපති හා සාමාජිකයන් පත් කිරීමට දැනට ජනාධිපතිට ඇති බලය අහෝසි වී එම බලය පාර්ලිමේන්තුවට යනවා. එවිට ඒ නිලධාරීන් යම් පමණකට හෝ දේශපාලනයෙන් තොර ස්වාධීන පුද්ගලයන් විය හැකි බව කියන්න පුළුවන්.
හැබැයි මෙයින් සිදුවන අවාසිද තිබෙනවා. ආණ්ඩුවට අවශ්‍ය මුදල් හොයලා දෙන්නේ මහ බැංකුවයි. මූල්‍ය අර්බුදයක් ඇතිවුණාම මහ බැංකුව ආණ්ඩුවට මුදල් දෙනවා. එහෙම මුදල් දෙන්න මුදල් මුද්‍රණය කරනවා. එය රටේ උද්ධමනය ඉහළ යාමට බලපානවා. මේ නිසාම තමා මහ බැංකුව මුදල් අමාත්‍යංශයට ඕනෑ හැටියට නටන්නේ නැතුව ඉන්න එක හොඳයි කියන්නේ. නව පනත අනු මහ බැංකුවට ආණ්ඩුවේ සුරැකුම්පත් මිලට ගැනීම තහනම් කර තියෙනවා.

මහ බැංකුවට නම්‍යශීලී උද්ධමනය ඉලක්කයට යාමට ඉඩ ලැබෙනවා. යම් ඉලක්කයක් ප්‍රකාශ කරලා එයට ළඟාවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න බැංකුවට පුළුවන් වෙනවා. ස්වාධීන වූ විට කාටවත් එයට බලපෑම් කරන්න බැහැ. මෙහිදී මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයන්ට එයට අදාළ තීරණ ගැනීමට ඉඩ ලැබෙනවා. මෙය යහපත් වෙනසක්.

විපක්ෂය ප්‍රකාශ කරන්නේ මෙය සේවක අර්ථසාධක අරමුදල විකිණීමට ගන්නා උත්සාහයක් බවයි. නව පනත අනුව අර්ථසාධක අරමුදල මහ බැංකුවේ පාලනයෙන් බැහැර වෙනවා. ඒ සඳහා වෙනත් අයාතනයක් පිහිටුවන්නට ඉඩ ලැබෙනවා. මෙහිද හොඳ හා නරක දෙකම තියෙන බව කිවයුතුයි.

I යසවර්ධන රුද්රිගු