පසුගිය සතියේ දිවයිනේ විවිධ ප්‍රදේශවලට තද සුළං සමඟ මහ වැසි ඇදහැලීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව අපහසුතාවට පත් වී සිටියහ. මැයි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා ඇතිවන නිරිතදිග මෝසම සක්‍රීය වීමෙන් මෙම තත්ත්වය ඇතිවිය. දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලට සෙල්සියස් අංශක 36ක පමණ උෂ්ණත්වයක් පවතින විට නිරිත දිග කලාපයට තද වැසි වාර්තා විය. මෙයින් බස්නාහිර, වයඹ, දකුණ, සබරගමුව යන පළාත්වලට තද සුළං ඇතිවූ අතර නුවරඑළිය, රත්නපුර, කළුතර, කෑගල්ල, මහනුවර, මාතර සහ ගාල්ල යන ප්‍රදේශවලට නාය යෑමේ තර්ජන ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය අනතුරැ අඟවා තිබිණි.
අධික වර්ෂාව නිසා ගිනිගත්හේන නගරයේ ගිනිගත්හේන පොලීසිය අසල පිහිටි දෙමහල් වෙළෙඳසල් 10ක් මහවැලි ගඟ දෙසට නාය ගිය අතර එක් පුද්ගලයෙක් මරණයට පත් විය. මෙම වෙළෙඳසල් නාය යෑමට ඉඩ ඇති බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය අවස්ථා ගණනකදී රතු නිවේදන නිකුත් කර තිබුණද වෙළෙඳසල හිමියන් ඒ පිළිබඳව කිසිදු තැකීමක් කර නොතිබූ හෙයින් මෙලෙස අනතුරට භාජනය වී තිබේ.
නාය යෑම අවදානම ඇති හෙයින් එම ස්ථානවලින් ඉවත් වන ලෙසට තවත් වෙළෙඳසල් 22කට අනතුරැ අඟවා ඇත. අවදානම නොතකා එම ස්ථානවල තවදුරටත් රැඳී සිටීමට එම වෙළෙඳුන් උත්සාහ කරන්නේ නම් ඔවුන්ගේ වෙළෙඳ බලපත්‍රය අවලංගු කිරීමට පියවර ගන්නා බව අඹගමුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබේ.
මෙම අයහපත් කාලගුණික තත්ත්වයේ බලපෑමෙන් මේ වන විට පවුල් 1317කට අයත් පුද්ගලයන් 5200ක් පමණ පීඩාවට පත්ව සිටිතියි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර තිබේ. පස් කඳු හා ගස් කඩා වැටීමෙන් නිවාස 3197කට හානි සිදුවී තිබේ. ජීවිත හානි 9කි.
පස් කඳු කඩා වැටීමෙන් ගමනාගමනයටද දැඩි බාධා එල්ල වූ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ ප්‍රදේශයට හා මහනුවර දිස්ත්‍රික්කයේ උඩ පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නාය යෑම් රතු නිවේදන නිකුත් කර තිබිණි.
දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල තද සුළං තත්ත්වය සහ වැසි තත්ත්වය ජූලි 23 දින සිට ක්‍රමයෙන් අවම වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබිණි.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා