2019 ජුලි 27 වන සෙනසුරාදා

ප්‍රසිද්ධ කාන්තාවකට මාරකයි

 2019 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 104

සියුම් බුද්ධිමතා වූ බුධ ග්‍රහයාත් සිකුරු ග්‍රහයාත් තමන්ට සතුරු රාශි භවනක් වූ කටක රාශියෙහි ගමන් කරමින් සිටියදී 2019 ජූලි මස 25 වැනි ගුරු දින ගුරුට හිමි පුනාවස නැකතේ 4 වැනි පාදයෙහි එකම අංශයක ග්‍රහයන් දෙදෙනාම ගමන් කිරීම සිදු වේ. මෙහිදී ග්‍රහයන් දෙදෙනා එකිනෙකා අභිබවා යාමට උත්සාහ දරන අතර දෙදෙනාගේම අයහපත් වූ ග්‍රහ කිරණ පෘථිවිය වෙත එල්ල වනු ඇත. මෙහි බලපෑම ඉදිරි මාස 2ක් යනතුරු පවතිනවා ඇත.

මෙම තත්ත්වය අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී රට තුළ වසංගත රෝග ප්‍රචලිත වන කාලයක් බව කිව යුතුය. කුඩා දරුවන්ට ද මව්වරුන්ට ද රෝග පීඩා වැඩියෙන් යෙදෙනු ඇත. රට තුළ බාල අපරාධ ක්‍රියා වර්ධනය වීමට ඉඩ වැඩිය. මහජන සිත් කළබන පුවත් ප්‍රචලිත වීම නිසා මහජන විරෝධතා උත්සන්න වෙයි. ව්‍යාජ ලියවිල්ලක් අනාවරණය වන කාලයක් ද වන අතර ප්‍රසිද්ධ කාන්තාවකට මාරකයක් ද යෙදෙනු ඇත. ලේඛන කටයුතු සම්බන්ධ සාහිත්‍යවේදියකුට ද මාරක වේ. විදේශීය රාජ්‍ය නායිකාවකට රාජකීය කාන්තාවකට මාරකයක් ද යෙදෙන අතර පතල් ආශ්‍රිත අනතුරු ද වර්ධනය වේ.

මේෂ - සේවා ප්‍රශ්න

ඔබ මෙම වකවානුව තුළ අලුතින් ඉඩමක් හෝ වාහනයක් මිලදී ගන්නේ නම් කල්පනාකාරී වීම වැදගත්ය. සේවා ස්ථානය ආශ්‍රිතව යම් යම් ප්‍රශ්න ද තමන්ට එරෙහිව අනෙකුත් සේවකයන්ගෙන් බලපෑම් ද ඇතිවනු ඇත. 

වෘෂභ - අධ්‍යාපනයට බලපෑම්

නව නිර්මාණ බිහි කිරීමට අපේක්ෂාවෙන් සිටින අයට විවිධ බාධා එල්ලවනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත අයට ද අයහපත් බලපෑම් ඇතිවන කාලයකි. තමාගේ කටයුතුවලට විවිධ පාර්ශවවලින් බාධා ඇති කරන කාලයක් ද වේ.

මිථුන - වියදම් වැඩියි

විශාල වියදම් ඇතිවන අතර ඔබගේ කටයුතුවලට ද බාධා ගෙන දෙන කාලයකි. නෑදෑයකුගේ ප්‍රශ්නයක් නිසා සිතට බලපෑම් ඇතිවන අතර උගුරේ පීඩාවක් ඇතිවනු ඇත.

කටක - ඇස් රෝග

නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැකි බැවින් පරිස්සම් විය යුතු වකවානුවක් වේ. ව්‍යාපාරික කටයුතුවල නිරත අයට ලාභ අත් නොවන කාලයක් වනු ඇත. හිසේ පීඩා ගතියක් ද ඇස්වල පීඩා ද මතුවනු ඇත.

සිංහ - අලුත් වැඩට හොඳ නැහැ

ඔබගේ කටයුතුවලට විවිධ වූ පාර්ශවවලින් බලපෑම් එල්ල කරනු ඇත. සේවා ස්ථානය ආශ්‍රිතව ගැටලුවක් ද මතුවනු ඇත. විශාල අන්දමෙන් මුදල් යොදවමින් අලුත් දේ ආරම්භ කිරීමට සුදුසු නැත.

කන්‍යා - විනෝදයට බරයි

තම හිතමිතුරන් තමා සමඟ සිත් අමනාපකම් ඇති කරගන්නා කාලයකි. තම උත්සාහයේ තරමට නියම ඵලයක් අත්කර ගත නොහැකි වනු ඇත. නිතර සතුටින් විනෝද වීමට කාලය ගත කිරීම හේතුවෙන් වැඩකටයුතු අතපසු වීම් ද වනු ඇත.

තුලා - සතුට අඩු වේ

සේවා ස්ථානය ආශ්‍රිතව අනෙකුත් සේවකයන් අතර සිත් අමනාපකම් මතුවන කාලයකි. පදිංචි ස්ථානයේ ප්‍රශ්න ගැටලු ඇතිවන අතර සිතේ සතුට අඩුවන වකවානුවක් ද වනු ඇත.

වෘශ්චික - කෙටි ගමන්

උසස් අධ්‍යාපනය කරන අයට මෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලි අයට අයහපත් වන කාලයක් වේ. කෙටි ගමන් අධිකව යෙදෙන අතර ඒ සමහර ගමන් නිශ්ඵල වනවා ඇත.

ධනු - ආර්ථික අපහසුතා

ඔබගේ කටයුතු ඉටු කරගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදුවන කාලයක් වේ. ආර්ථික අපහසුතා මතු වන කාලයක් ද වනු ඇත. තම කාලාත්‍රයාට හදිසි පීඩා ඇතිවීමත් රෝහල් ගතවීමක් ද සිදුවනු ඇත.

මකර - සතුරු කරදර

ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයට ලාභ අත් නොවන කාලයක් වන අතර සැඟවුණු සතුරැ කරදර ඇතිවන කාලයක් වේ. යම් යම් කටයුතු ඉටුකර ගැනීමේදී ප්‍රමාදවීම් ද ඇතිවනු ඇත.

කුම්භ - සතුන්ගෙන් පීඩා

ඔබගේ කටයුතුවලට බාධා පිට බාධා ඇතිවන අතර නෑදෑයන්ගෙන් ද යම් යම් ප්‍රශ්න උද්ගතවන කාලයකි. ගමන්වලදී හදිසි පීඩා ද සතෙකුගෙන් පීඩාවක් ද මතුවන කාලයක් වනු ඇත.

මීන - ජනතා විරෝධය

ප්‍රේම කටයුතු සඳහා විවිධ වූ බාධා මතුවන කාල සීමාවක් වන අතර දේශපාලන කටයුතුවල නිරත වී සිටින අයට මහජන විරෝධතා මතුවන කාලයක් ද වනු ඇත. සිතේ සහනය අඩුවන වකවානුවක් ද වේ.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල