ශිෂ්‍ය දේශපාලනයේ නිරතව හිඳ අරගලයකදී පොලිස් අත්අඩංගුවට පත්වන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දෙස ආදරයෙන් රවා බලන පොලිස් නිලධාරීන් නිතර අසන ප්‍රශ්නයක් තිබිණි. එනම් ඉගෙන ගන්න ආවානම් ඉගෙන ගන්නේ නැතුව මොනවද තමුසෙලා කරන මේ දේශපාලනේ..? යන්නය.
පොලිස් නිලධාරීන් එදා ඇසූ ප්‍රශ්නයට සරළ පිළිතුරක් දිය නොහැකිය. ශිෂ්‍ය දේශපාලනය ද සාමකාමී නිලවරණයන්ගේ සිට එකිනෙකා මරාගන්නා මට්ටමට එන තරම් විවිධ ආකාරයෙන් සිදුවූයේය. අවුරුදු 37කට ඉහතදී කොළඹ විශ්වවිද්‍යාලයේ ගත කළ ශිෂ්‍ය ජීවිතය ඇසුරින් ඉහත කී පොලිස් නිලධාරියාගේ ප්‍රශ්නය ගැන මතක් කරගන්නා විට බොහෝ සිද්ධීන් සිතට නැගේ. ඒවා ශිෂ්‍ය දේශපාලනයට අදාළය.
1981 – 1985 අවධියේ විශ්වවිද්‍යාල සිසු අරගල උච්ඡ අවස්ථාවට ගියේ කොළඹ විශ්වවිද්‍යාලයේ රෝහණ රත්නායක සිසුවාත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පද්මසිරි සිසුවාත් පොලිස් වෙඩි පහරින් මිය ගිය අවස්ථාවේදීය. මෙම 81-85 කාල පරිච්ඡේදය තුළ ඒ හැරුණුකොට ඉඳහිට සිදුවන සිසු අරගල මැද සාපේක්ෂ වශයෙන් සාමකාමී දේශපාලන වාතාවරණයක් පැවතියේය.
මෙම ලිපියේ අරමුණු අතීත කාමයේ ගැලී මානසික තෘප්තියක් ලැබීමට වඩා සරසවි දේශපාලනය ඇතුළු බාහිර ක්‍රියාකාරකම් ජීවිත සාර්ථක කරගන්නට කොතරම් සාර්ථක වූයේ ද යන්න සරළව විමසා බැලීමයි.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය යනු පාසල් අධ්‍යාපනය මෙන් හුදෙක් පතපොතින් විෂය හැදෑරීමක් පමණක් නොවේ. අනාගතය උදෙසා බුද්ධිමත් පුරවැසියා සූදානම්කොට තබන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය මගිනි. එම අධ්‍යාපනයට විෂය හැදෑරීමට පරිබාහිර වූ කටයුතු රාශියක් අයත්ය. දේශපාලන ක්‍රියාකාරකම් එහි අංගයකි කලා කටයුතු හා ක්‍රීඩා ද ඊට අයත්ය. මේ සියල්ල විෂයට පරිබාහිර ලෙස සිසුවාගේ විචාර බුද්ධියත්, පෞරුෂයත් වර්ධනය කරනු ලබයි.
1981/82 වර්ෂයේ කොළඹ විශ්වවිද්‍යාලයේ නිලවරණය සමීප වනවිට කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් 4ක් ශිෂ්‍ය සභාවේ බලය අල්ලාගැනීම සඳහා තරග වැදුණේය. එවකට රාජ්‍ය බලය හෙබවූ එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ සමවාදී ශිෂ්‍ය පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධ ප්‍රගතිශීලී ශිෂ්‍ය පෙරමුණත් එකල කොළඹ සරසවියේ ක්‍රියාකාරීව පැවතියේය. ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමය මේ වනවිට කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රබල ලෙස ක්‍රියාකාරීව පැවති ශිෂ්‍ය සංගමයකි.
ඒ වනවිට ජ'පුර හා පේරාදෙණිය යන සරසවිවල ශිෂ්‍ය සභාවේ වැඩි බලයක් තිබුණේ ජ.වි.පෙ. සම්බන්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමයටය. මෙකී ශිෂ්‍ය සංගම් සියල්ල තිබියදී 81/82 නිලවරණයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සභාවේ බලය ඇල්ලුවේ ස්වාධීන ශිෂ්‍ය සංගමයයි. ස්වාධීන ශිෂ්‍ය සංගමය නිලවරණයට මාස කිහිපයකට පෙර පිහිටුවන ලද්දකි. ජවිපෙට සම්බන්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමය ප්‍රබලව තිබියදී ශිෂ්‍ය සභාවේ බලය අලුතෙන් පිහිට වූ ස්වාධීන ශිෂ්‍ය සංගමය විසින් අල්ලා ගැනීමේ කතාවට සිදුවීම් රාශියක් සම්බන්ධය.
තමන්ව විවේචනය කරන මතවාදයක් එකල ජවිපෙ ඉවසා ගත්තේ අමාරුවෙනි. ඔවුන්ගේ මූලික අරමුණ වූයේ විශ්වවිද්‍යාල සිසු ගැටලු විසඳීමට වඩා ජ.වි.පෙ. බලය විශ්වවිද්‍යාලය තුළ තහවුරු කර ගැනීමයි. ඔවුන්ගේ ක්‍රියාකලාපය විවේචනය කරන විරුද්ධවාදියාට ශාරීරිකව පහර දෙන්නට ද ඔවුන් පසුබට වූයේ නැත.
ජවිපෙ හිතවාදීන් සහ ඇතැම් දේශපාලන විචාරකයන් ස්වාධීන ශිෂ්‍ය සංගමය මැර දේශපාලන කණ්ඩායමක් ලෙස හඳුන්වා දෙන්නට ගත් බොහෝ උත්සහයන් මම දැක ඇත්තෙමි. එහෙත් ස්වාධීන ශිෂ්‍ය සංගමය බිහිවන්නට එක් හේතුවක් වූයේ ජ.වි.පෙ. මැර බලයයි. එය බිහිවූයේ මැර බලයෙන් ශිෂ්‍ය සභාවල බලය අල්ලා ගැනීමට ප්‍රතිවිරුද්ධ බලවේගයක් ලෙසයි.
සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ක්‍රියා කලාපය විවේචනය කිරීමේ වරදට ජයන්ත ශිෂ්‍යයාට පාමංකඩ පාලම අසළදී මැර ප්‍රහාරයක් එල්ල වී තිබිණි. බයිසිකල් චේන්වලින් පවා ඔහුට එහිදී පහර කන්නට සිදුවූයේය. ස්වාධීන ශිෂ්‍ය සංගමය පිහිටුවන්නට මූලික අඩි තාලම යොදන්නට ජයන්ත සහ ගජසිංහ කටයුතු යොදන්නේ ඉන් අනතුරුවයි. විශ්වවිද්‍යාලයෙන් පිටත විවිධ දේශපාලන කණ්ඩායම්වලට සම්බන්ධව සිටි ශිෂ්‍යයෝ ස්වාධීන ශිෂ්‍ය සංගමයට බැඳී එහි පොදු අරමුණු මුදුන්පත් කරගැනීම සඳහා කටයුතු කළහ. එවකට නව සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එජාපය, සමසමාජ පක්ෂය පමණක් නොව ස්පාටර්සිස්ට් ආදී අති වාමාංශික ව්‍යාපාරයන්ට සම්බන්ධ ශිෂ්‍යයෝ ද ස්වාධීන ශිෂ්‍ය සංගමයට බැඳී කටයුතු කළහ. අන්තර් ජාතික ශිෂ්‍ය ව්‍යාපාරය සමඟ සම්බන්ධතා පැවැත්වූ ස්පාටර්සිස්ට් කණ්ඩායමේ මතවාදවලින් ස්වාධීන ශිෂ්‍ය සංගමය තියුණු ලෙස දැනුවත් කළේ තිලක් ප්‍රනාන්දුය. ඔහු නිසා ජාතිවාදයෙන් බැහැරව ජනවාර්ගික අරගලය දෙස මානුෂීය බැල්මක් හෙලන්නට ස්වාධීන ශිෂ්‍ය සංගමය පෙළඹුණේය.
සමවාදී ශිෂ්‍ය පෙරමුණ, කපිල, කමල් ප්‍රමුඛ කිහිපදෙනෙකු විසින් නායකත්වය ගෙන මෙහෙය වනු ලැබුවේය.
ප්‍රගතිශීලී ශිෂ්‍ය පෙරමුණට නායකත්වය දුන්නේ කීර්තිය. ස්වාධීන ශිෂ්‍ය සංගමයට නායකත්වය දුන්නේ දීප්තිය (මේ අයගේ සම්පූර්ණ නම් පසුව හෙළිකරමි.) විවිධ දේශපාලන මතවාද දරන ශිෂ්‍යයන් ස්වාධීන ශිෂ්‍ය සංගමයේ පොදු මතයට එකඟ කරගන්නට බලපෑවේ දීප්තියේ නායකත්ව දක්ෂතාවයයි.
1981 අගභාවයේ පැවති නිලවරණ සමය එවකට නවක ශිෂ්‍යයන් වූ අපට නවතම ආස්වාදනීය අත්දැකීම් ලබාදෙන කාලයක් විය. NAT ශාලාවේ එක් එක් සංගමයේ රුස්වීම් උදෙසා වෙන වෙනම දින ලබාදී තිබිණි. සෑම ශිෂ්‍ය සංගමයකම ශිෂ්‍යයෝ අනෙක් ශිෂ්‍ය සංගම්වල රැස්වීම් නරඹන්නට සහභාගී වූවෝය. අමුත්ත තිබුණේ එතැනය. කතා කරන කථිකයාට සභාවෙන් නැගෙන උපහාසයට හෝ ප්‍රශ්නයට එවේලේම පිළිතුරැ දෙන්නට සිදුවූයේය. කීර්ති, දීප්ති යන දෙදෙනාම අතිශය දක්ෂ කථිකයෝ වූහ. තිලක් කතා කළේ අධිරාජ්‍යවාදීන් කෙරෙහි උරණවූ අතිශ්‍ය උද්යෝගී හඬකිනි. සභාවෙන් නැගෙන අපහාස උපහාස මැද සමාජවාදී ශිෂ්‍ය සංගමය වෙනුවෙන් සාර්ථක ලෙසම කතා කළේ ජැක්සන්ය. ඔහු වීරසූරිය ශිෂ්‍යයා ඝාතනය කළ සිද්ධිය සභාවේ ඝෝෂා, සියල්ල මැඩ කියාපෑවේය. ඝෝෂාකාරී සිසුහු සියල්ල මීයට පිම්බාක් මෙන් නිහඬව ඔහුගේ කතාව අසා සිටියෝය.
නිලවරණයට සූදානම් වෙමින් සරසවියේ පෝස්ටර් ඇළවීමද සතුට ගෙන දෙන්නක් විය. සෑම ශිෂ්‍ය සංගමයක්ම තමන් අනුගමනය කරන පක්ෂයේ පාට ප්‍රචාරක කටයුතුවලට ඉවහල් කරගත්තෝය.
වරක් සමවාදී ශිෂ්‍ය පෙරමුණේ අය ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සිසුන්ට රාත්‍රී පෝස්ටර් අළවද්දී එක තැන මුණගැසුණෝය. සමාජවාදී ශිෂ්‍ය පෙරමුණේ පෝස්ටරයක් ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සිසුන් ඉරා දැමීමේ සිද්ධියක් පිළිබඳව උණුසුම්ව කතා කරන්නට පටන් ගත්තත් කතාව අවසාන වූයේ එකිනෙකා වෙත විහිලු කරගනිමිනි.
“පාටක් නෑ නේද? කහ පාට දෙන්නද?” කපිල දීප්තිගෙන් ඇසුවේය. “පාට මොක වුණත් කමක් නෑ.” දීප්ති පිළිතුරු දුන්නේය. ස්වාධීන ශිෂ්‍ය සංගමයට පාටක් නොතිබුණත් මාක්ස්වාදයේ නාමයෙන් රතු පාට ණයට ඉල්ලාගෙන භාවිත කරන ලද්දේය.
ඒ වනවිට ජවිපෙ මැර බලය භාවිත කළ නිසා සමවාදී ශිෂ්‍ය සංගමයත් ප්‍රගතිශීලී ශිෂ්‍ය සංගමයත්, සමාජවාදී ශිෂ්‍ය සංගමය සමඟ දේශපාලන හොඳ හිතක් තිබුණේ නැත. සමාජවාදී ශිෂ්‍ය සංගමය පරදා වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගනිමින් ස්වාධීන ශිෂ්‍ය සංගමය බලයට ආවේය. ප්‍රගතිශීලී ශිෂ්‍ය පෙරමුණේ සහ සමවාදී ශිෂ්‍ය පෙරමුණේ සහායත් ඊට ලැබුණි. ශිෂ්‍ය සභාවේ සභාපති ධූරයට දීප්ති පත්වුණේය.
එදා ධවල පත්‍රිකාවට එරෙහිව හඬ නගන්නට මෙම සියලු ශිෂ්‍ය සංගම් (එජාප සම්බන්ධ සමාජවාදී ශිෂ්‍ය පෙරමුණ පවා) එකට එකතු වූයේය. විශ්වවිද්‍යාලවලින් එල්ල වූ විරෝධය හමුවේ ධවල පත්‍රිකාව තාවකාලිකව අකුලාගන්නට පැවති රජයට සිදුවූයේය.
1982 දී ස්වාධීන ශිෂ්‍ය සංගමය කොළඹ විශ්වවිද්‍යාලයේ පීඨ සියල්ලගේම අතිශ් ය ජනප්‍රිය ශිෂ්‍ය සංගමයක් බවට පත්ව තිබිණි. නීති පීඨයේත්, විද්‍යා පීඨයේ ශිෂ්‍ය සභා නියෝජිතයන් වැඩිපුර පත්ව තිබුණේ ස්වාධීන ශිෂ්‍ය සංගමයෙනි.
82/83 නිලවාරණයේදී ශිෂ්‍ය සභාවේ සභාපති ධූරය සමාජවාදී ශිෂ්‍ය සංගමය වෙත ආපසු ගියේය. තනි ශිෂ්‍ය සංගමයක් ලෙස වැඩි ආසන සංඛ්‍යාවක් එහිදී ස්වාධීන ශිෂ්‍ය සංගමයට හිමිව තිබුණත් එවර ස්වාධීන ශිෂ්‍ය පෙරමුණ හා සමවාදී ශිෂ්‍ය පෙරමුණ යන දෙකම, සමාජවාදී ශිෂ්‍ය පෙරමුණ සමඟ එක්ව ශිෂ්‍ය සභාවේ බලය ඇල්ලුවේය. මෙය අපූර්ව තත්ත්වයකි. සරසවියෙන් පිටත දේශපාලනයේ එකිනෙකාට එරෙහිව කටයුතු කළ ජවිපෙ, ශ්‍රීලනිප, එජාප අනුබද්ධ ශිෂ්‍ය සංගම් ස්වාධීන ශිෂ්‍ය සංගමයට එරෙහිව එකට එක්වූයේය.
සමවාදී ශිෂ්‍ය සංගමය සහ ප්‍රගතිශීලී ශිෂ්‍ය පෙරමුණ ස්වාධීන ශිෂ්‍ය සංගමය සමඟ පැවති හොඳ හිත පළුදු වන්නට හේතු කිහිපයක් බලපෑ බව මගේ අදහසයි. ඉන් එකක් නම් ජනවාර්ගික අරගලය පිළිබඳ ස්වාධීන ශිෂ්‍ය සංගමය දැරූ මතයයි. විශේෂයෙන් ද්‍රවිඩ ශිෂ්‍යන්ගේ ආරක්ෂාව සහ අයිතීන් උදෙසා හඬ නැගුවේ ස්වාධීන ශිෂ්‍ය සංගමයයි. අනෙක් කාරණය මැර බලයට ශක්තිමත්ව මුහුණ දෙන්නට ස්වාධීන ශිෂ්‍ය සංගමය සමත් වීමයි. එහිදී සිදුවූයේ අනෙක් ශිෂ්‍ය සංගම් ඒ හා උරණවීමයි.
ජවිපෙ සම්බන්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමය එ.ජා.ප. හා ශ්‍රීලනිප අනුබද්ධ ශිෂ්‍ය සංගම් හා ඒකාබද්ධ වීම කෙරෙහි දැඩිව විරුද්ධත්වය පෑ ජැක්සන් ඇන්තනි 1982 ශිෂ්‍ය සභාව පිහිට වූ දාම සමාජවාදී ශිෂ්‍ය සංගමයෙන් ප්‍රසිද්ධියේ ඉවත් වූයේය. ඉන්පසු ඔහු ස්වාධීන ශිෂ්‍ය සංගමයත් සමඟ හොඳ හිත පවත්වා ගත්තේය.
ඉහත කී ශිෂ්‍ය දේශපාලන ව්‍යාපාරයේ නිරත වූ ශිෂ්‍යයන්ගේ පෞරුෂයට, ශිෂ්‍ය දේශපාලනය කෙතරම් ඉවහල් වීද යන්නත් ඉන් අනතුරුව ඔවුන්ගේ ගමන් මඟට එකී පදනම කෙතරම් ඉවහල් වීද යන්නත් ඔවුන්ගේ නම් වාසගම් සමඟ හෙළිකිරීමෙන් පාඨකයින්ට දැනගත හැකිවනු ඇත.
ජේ.වී.පීයේ ප්‍රහාරයට ලක්වූ ජයන්ත නම් ජයන්ත විජේරත්නයි. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ඉහළටම ගිය ඔහු පසු කාලයක වයඹ පළාත් සභාවේ මහ ලේකම් ධුරය දැරුවේය. ගජසිංහ පොලිසියේ නිලවල ඉහළටම ගොස් DIG තනතුර හෙබවූයේය. සමවාදී ශිෂ්‍ය සංගමයේ කටයුතු කළ කපිල නම් කපිල වෛද්‍යරත්නය. ඔහු අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරටත් පසුව ආරක්ෂ ලේකම් ධුරයටත් පත්විය. ප්‍රගතිශීලී ශිෂ්‍ය පෙරමුණට නායකත්වය දුන් කීර්ති සුරංජිත් මාවැල්ලගේ පසුකාලීනව අග්‍රාමාත්‍ය ලේකම් ධුරයත් සංස්කෘතික කටයුතු හා සමාජ ආරක්ෂක මණ්ඩලයේ සභාපති ධුරයත් ඉසුලුවේය. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ශිෂ්‍ය කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් පදවිය ද ඔහු කලක් ඉසුලුවේය.
ස්වාධීන ශිෂ්‍ය සංගමයට 81/82 නායකත්වය දුන් දීප්ති ළමාහේවා තරුණ රැකියා කටයුතු සහ ග්‍රාමීය මට්ටමේ ආර්ථික සංවර්ධනය පිළිබඳ විශේෂඥයකු බවට පත්වී රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන ගණනාවකම ඉහළ තනතුරු ඉසුලුවේය.
ඇතැම් දේශපාලන විචාරකයන් ස්වාධීන ශිෂ්‍ය සංවිධානය මැර කණ්ඩායමක් ලෙස නම් කිරීමට උත්සහ ගත්තද, තිසරණී ගුණසේකර වැනි අතිශය දක්ෂ දේශපාලන විචාරකයන් ද නීතිඥ නයිජල් හැච්, රංගන ශිල්පී/ නීතිඥ මැල්කම් මචාඩෝ, ඩික්සන් ගුණවර්ධන ජනක එදිරිසිංහ වැනි දක්ෂ නීතිඥයන් ද සුනිල් හෙට්ටිආරච්චි, ඩබ්ලිව්.එම්. කරුණාරත්න ජනක රණේපුර වැනි අතිදක්ෂ පරිපාලන නිලධාරින් ද බිහිකරන්නට යොවුන් වියේ අවශ්‍ය දේශපාලන දැනුම සැපයූයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයෙනි.
අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහි අරගලයේදී ශිෂ්‍ය සංගම් හඬනගා කී සටන් පාඨ හිටි හැටියේ තවමත් මගේ මතකයට නැගෙයි. අවුරුදු 37ක් ඉක්ම ගිය පසු අප අධ්‍යාපනය පෞද්ගලිකකරණය සම්බන්ධයෙන් දරන්නේ 1982 දී දැරූ මතයට වෙනස් මතයක් බව ඒ සමඟ සිහිපත් වෙයි.
(ඡායාරූප වලින් දැක්වෙන්නේ 80-84 යුගයේ කොළඹ සරසවියේ ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරිකයන් කිහිප දෙනෙකි. ලියුම්කරුද මෙහි සිටී.)
සමන් පුෂ්ප ලියනගේ
සේයාරූ - තරංගා කාරියවසම්