මුලින්ම පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණය ද පළාත් සභා මැතිවරණයද? ගෙවුණු දෙසතියකට ආසන්න කාලයේ ලාංකික දේශපාලන කරළියේ ප්‍රසිද්ධ සංවාදයක් නිර්මාණය වූයේ මේ අරභයාය. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කර්තෘ සංසදයේ පුවත් කතුවරුන් හමුවී කළ සාකච්ඡාවෙන් පසු මෙය වඩාත් ජනගත විය. පක්ෂ විපක්ෂ දේශපාලන මත රැසක් මේ අරභයා දේශපාලන වේදිකාවලින් අපට ඇසිණි. පසුගිය සතියේ දී නැවත මාධ්‍ය ඇමතූ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධව පවතින බාධා පහදන්නට විය. පෙර දී පළාත් සභා මැතිවරණය පැවැත්වීම උදෙසා දිවි හිමියෙන් කටයුතු කිරීමට සැරසුණු ඒ මහතාගේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ වෑයම මෙවර එතරම් සාර්ථක නොවන බවක් අපි දකින්නෙමු.
කෙසේ නමුත් පළාත් සභා මැතිවරණය කුමන හේතු මත හෝ බොහෝ සෙයින් පමා වී ඇත. වරද කාගේ වුවද එය ජනතා පරමාධිපත්‍යය අභියෝගයට ලක් කිරීමකි. ජනාධිපතිවරණය නියමිත දිනයට පැවැත්විය යුතු බව සැබෑවකි. රටේ පවතින තත්ත්වය හමුවේ රාජ්‍ය ස්ථාවරයක් ගොඩනගා ගැනීමට ජාතික මැතිවරණයක අවශ්‍යතාව බොහෝ දෙනා අවධාරණය කරමින් සිටිති. මෙවන් තත්ත්වයක් තුළ ඉදිරියේ දී පැවැත්විය යුත්තේ කුමන මැතිවරණයක් ද යන්න පිළිබඳව මහජන මත විමසුමක් කිරීමට දේශය අපි තීරණය කළෙමු. ඊට සමගාමීව මැතිවරණ සම්බන්ධයෙන් මෙරට ක්‍රියාත්මක ප්‍රබලම සිවිල් සංවිධානය වන පැෆරල් සංවිධානයේ මතය අපි විමසා සිටියෙමු. එම සියලු මත අපි මෙසේ ඔබ වෙත ගෙන එන්නෙමු. ඒ ඔබගේ පරමාධිපත්‍යය වෙනුවෙන් අපගේ මාධ්‍ය වගකීම ඉටුකිරීමේ අරමුණිනි.
පාර්ලිමේන්තුව නීතිය අතරමං කරලා
පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි
“මේ රටේ ව්‍යවස්ථාවට අනුව එක එක මැතිවරණ තියන්න කාලයක් වෙන් කරලා තියෙනවා. පළාත් සභා මැතිවරණය අවුරුදු පහකට වතාවක් තියන්න ඕනෑ. පළාත් සභාවක් විසුරුවා හරින විටම ඊළඟ මැතිවරණය පවත්වන්න කටයුතු සම්පාදනය වෙන්න අවශ්‍යයි. ඒක තමයි මේ රටේ මහජනතාව පත් කරලා පාර්ලිමේන්තුවට යවපු මන්ත්‍රීවරු සකස් කරලා තියෙන නීතිය. ඊට අනුව ක්‍රියාත්මක විය යුතුයි. නැවත විමසන්න දෙයක් නෑ.
දැන් මෙතන තියෙන ප්‍රශ්නය පළාත් සභා මැතිවරණ ක්‍රමය සංශෝධනය කළාට පස්සේ පාර්ලිමේන්තු නීතිය අතරමං කරලා තිබීම. සම්මත කරපු නීතියට අනුව කළ යුතු සීමා නිර්ණය අවසන් කරන්න පාර්ලිමේන්තුව සමත් වෙන්නේ නෑ. ඒ පනතේම කියලා තියෙනවා සීමා නිර්ණය අවසන් කළාම එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා මසක් ඇතුළත සම්මත කරන්න අවශ්‍යයි කියලා. මසක් ඇතුළත සම්මත කරන්න මේ අය අසමත් වෙනවා. ඊට පස්සේ තිබුණේ සමාලෝචන කමිටුවක් දාලා මාස දෙකක් ඇතුළත එය සම්මත කරන්න. හැබැයි සමාලෝචන කමිටුව නියමිත කාලයට පත් කළෙත් නෑ. පත් කරපු කමිටුව අවසන් වෙන්න දවස් දෙකකට කලින් ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධීව පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ඒ නිසා දැනට ඉන්න ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ නීතිය තමන්ට අභිමත පරිදි කළමනාකරණය කිරීම හරහා තමයි පළාත් සභා මැතිවරණය කල් යන්නේ.
නීති සම්පාදනය කළෙත් පළාත් සභා මැතිවරණය කල් දැමීමේ චේතනාවෙන්ම තමයි. අපිට හොඳටම මතකයි විසි වැනි සංශෝධනය. පළාත් සභා එකම දිනයක පවත්වන්න ඕනෑ කියලා කල් දාන්න දරපු උත්සාහය. ඊට අපි විරුද්ධ වුණා.
අධිකරණයට ගියා. පස්සේ කාන්තා නියෝජනය කියන සුමට අදහස් එක්ක කවුරුත් විරුද්ධ නොවන විදිහට මේ මැතිවරණ ක්‍රමයේ සංශෝධන ගෙනාවා. තනි පිටුවෙන් ආපු යෝජනාව දෙවැනි වර කියවද්දී පිටු තිහක් දක්වා සම්පූර්ණ සංශෝධනයක් වුණා. ඒ නිසා දේශපාලනිකවම මැතිවරණ කල් දැමීම වෙනුවෙන් දරපු උත්සාහයක් විදිහට තමයි අපි කල්පනා කරන්නේ.
නව මැතිවරණ ක්‍රමය හොඳයි. අඩුපාඩු තියෙන්න පුළුවන්. සකස් කරගන්න පුළුවන්. මේ අලුත් ක්‍රමයේ දී කාන්තා නියෝජනයට ඉඩක් හම්බවෙනවා. කොට්ඨාස ක්‍රමයකට යනවා.. හැබැයි මේක හිතාමතාම මැතිවරණය කල් දමාගැනීම වෙනුවෙන් දරපු උත්සාහයක්. ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් අසමත් වෙලා තියෙනවා. පළාත් තුනක නිල කාලය අවසන් වෙලා අවුරුද්දයි මාස අටක් විතර ගිහිල්ලා තියෙනවා. දැන් ඌව පළාත හැර සෙසු පළාත් සියල්ලම ආණ්ඩුකාරවරුන්ගේ පාලනය යටතේ තියෙන්නේ. ආණ්ඩුකාරයා කියන්නේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා. එම නිසා එක් පුද්ගලයෙක්ගේ අණසකට තමා ඒ පළාත් සභා ක්‍රියාත්මක වෙන්නේ. පළාත් සභා හොඳ ද නරක ද අවශ්‍ය ද නැද්ද කියන එක වෙනම කතා කරන්න ඕනෑ. හැබැයි නීතියට අනුව මේ රටේ ජනතාව එකඟවෙලා තියෙන්නේ අවුරුදු පහෙන් පහට පළාත් සහා මැතිවරණය පවත්වන්න. මේ ගැටලු විසඳන්න අවශ්‍ය දේශපාලන කැමැත්ත පාලකයෝ තුළ නෑ. ඒක තමා පළාත් සභා මැතිවරණය දිගින් දිගටම කල් යන්නේ. අපි ප්‍රතිපත්තිමය වශයෙන් කියනවා පළාත් සභා මැතිවරණය තමා මුලින් තියන්න ඕනෑ මහජන නියෝජිතයෝ සකස් කරපු නීතියට අනුව.
දේශපාලනිකව මේ රටේ ජනාධිපතිවරණය ද පළාත් සභා මැතිවරණයද තියෙන්න ඕනෑ කියන එක දේශපාලනඥයන්ගේ අවශ්‍යතාව මත තීරණය වෙන දෙයක්. සමහරුන්ට පළාත් සභා මැතිවරණය පවත්වන එක වාසි සහගතයි සමහරුන්ට ජනාධිපතිවරණය පවත්වන එක වාසි සහගතයි. පුරවැසියෝ නියෝජනය කරන සිවිල් සංවිධානයක් හැටියට අපිට වැදගත් නෑ දේශපාලන පක්ෂවලට වාසි සහගත කුමන මැතිවරණය ද කියන එක. මේ රටේ තියෙන ඛේදවාචකය අනුව දේශපාලන නායකයෝ මුලින්ම කල්පනා කරන්නේ කොයි මැතිවරණය ද තමන්ට පවුලට පක්ෂයට වාසි සහගත කියලා. නැතුව ප්‍රජාතන්ත්‍රවාදී මූලික වටිනාකම් සැලකිල්ලට අරගෙන නෙවෙයි අපේ රටේ මැතිවරණ ක්‍රියාත්මක වෙන්නේ.
මේක වෙනස් කරන්න පුරවැසියෝ විදිහට විශාල බලපෑමක් කරන්න අවශ්‍යයි. දේශපාලන පක්ෂවලට අවශ්‍ය අවශ්‍ය වෙලාවට මැතිවරණ පවත්වනවා වෙනුවට මැතිවරණ කැලැන්ඩරයකට අනුව මැතිවරණ පැවැත්වීම අත්‍යාවශ්‍යයි. කවුරු බලයට පත් වුණත් ඔවුන්ට අවශ්‍ය විදිහට මැතිවරණ පැවැත්වීමට නොහැකි විය යුතුයි.”
සල්ලි නාස්ති කරනවට වඩා හොඳ ජනපතිවරණයක්
බොරුල්ලේ මංගල හිමි
“මම නම් හිතන්නේ ජනාධිපතිවරණයක් එන්න ඕනෑ කියලා. මොකද අලුත් ජනාධිපති කෙනෙක් පත්වෙච්ච ගමන්ම ඊළඟ මහ මැතිවරණයකට යනවා. ඊළඟට පළාත් සභාවක් ආවොත් හොඳයි කියලා තමා හිතෙන්නේ. හේතුව දැන් පළාත් සභාවක් තියලා ඊළඟට ජනාධිපති කෙනෙක් පත් වුණාට ඒ ජනාධිපතිවරයාට පාලනය කරන්න පුළුවන් විදිහේ ආණ්ඩුවක් හදන්න එයාට අවශ්‍ය වෙනවා. එතකොට ආයෙමත් පහළ මැතිවරණ ටික තියන්න අවශ්‍ය වෙයි. ඒ නිසා ඡන්ද තියලා රටේ මිනිසුන්ගේ සල්ලි ටික කාබාසිනියා කරලා දානවට වඩා ක්‍රමානුකූලව යන එක හොඳයි.
පළාත් සහා මැතිවරණය කල් දැමීමක් වෙලා තියෙනවා. කොහොමත් මේ ආණ්ඩුව මැතිවරණ කල් දැමීමනේ කරලා තියෙන්නේ. රටේ ආණ්ඩුව කරන මේ පක්ෂය දන්නවා ඊළඟට එන මැතිවරණය දිනන්න එයාලට අමාරුයි කියලා. ඒක නිසා තමයි මේ අය හැම මැතිවරණයක්ම පුළුවන් තරම් පස්සට දාන්න බැලුවේ. උදාහරණයක් විදිහට පහුගිය දවස්වල බෝම්බ පිපිරවීම ත්‍රස්තවාදී කල්ලියකම සැලසුමක් විතරක් නෙවෙයි. දේශපාලන සැලසුම් අස්සේ තියෙනවා හැංගිලා. මේගොල්ලෝ හිතුවා මේක පුපුරලා ගියාට පස්සේ රටේ ලොකු කලබගෑනියක් ඇතිවෙයි කියලා කළු ජූලියක් වගේ. එහෙම වුණාට පස්සේ කොහොමත් රට අස්ථාවර වෙනවානේ. එහෙම අස්ථාවරත්වයක් තියෙන රටක මැතිවරණයකට යන එක කරන්න බැරි දෙයක්. ජාත්‍යන්තරය පවා ප්‍රශ්න කරන්නේ නෑ ඇයි මැතිවරණයකට නොයන්නේ කියලා. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. මේගොල්ලෝ හිතුවේ නෑ මේ ප්‍රශ්නේ මෙච්චර ඉක්මනට විසඳෙයි කියලා.”
ජනාධිපතිවරණයක් හොඳයි
සුසන්ත පෙරේරා - තලවතුගොඩ
“නීතියේ හැටියට එන්න ඕනෑ පළාත් සභා තමයි. ඒත් ජනාධිපතිවරණයක් තිබ්බොත් හොඳයි වගේ. එතකොට ඔක්කොම වෙනස්වෙලා ගිහිල්ලා ඕනෑ හැටියට අලුතින් හදාගන්න පුළුවන්නේ. දැන් අගමැතිතුමයි ජනාධිපතිතුමයි දෙපැත්තට ඇදෙනවානෙ. හරි තීරණය අපිට ඕනෑ. ඒ නිසා ජනාධිපතිවරණයක් ආවොත් හොඳයි.
අනිවාර්යෙන්ම අලුත් ජනාධිපති කෙනෙක් එන්න ඕනෑ. දැන් ගත්ත අය ඔක්කොම කාලා විනාශ කරලනේ තියෙන්නේ. පක්ෂවලින් ආවත් තනියම ආවත් රටට ආදරේ කරන හැමෝම එක්ක එකට ඉන්න පුළුවන් මනුස්සයෙක් වෙන්න ඕනෑ. ඒ වගේම රට හදන කෙනෙක් වෙන්නත් අවශ්‍යයි. තමන් හැදෙන කෙනෙක් හරියන්නේ නෑ. අපේ දරුවන්ට අනාගතයක් තියෙන්න එපැයි. දැන් බලන්න ඔය වෙන රටවල් කොච්චර දියුණු වුණා ද පහුගිය කාලේ.”
පළාත් සභා තියන්න හදන්නේ ජනපතිවරණය
කල් දාන්න නිරංග - ගම්පහ
“රටේ පාලනය එහෙට මෙහෙට වැනෙන හින්දා ජනාධිපතිවරණයක් තියන එක හොඳයි කියලා හිතෙනවා පළාත් සභාවට වඩා. හදිස්සියේම පළාත් සභා තියන්න හදන එක ජනාධිපතිවරණය කල් දාන්න කරන වැඩක් වගේ කියලා තමා හිතන්න වෙන්නේ. අලුත්ම ජනාධිපති කෙනෙක් ආවොත් හොඳයි ඉතින්. ඒත් ජනාධිපතියි අගමැතියි දෙපැත්තක හිටියොත් රට අවුල්වෙන ගතියක් තියෙනවා. ඒ නිසා කොහොම වුණත් ආණ්ඩුවයි ජනාධිපතියි එකම පැත්තකින් ආවොත් හොඳයි. නැත්නම් රට දෙපැත්තකට ඇදෙනවා. ප්‍රධාන පක්ෂවලින් නැතුව වෙන අය ආවොත් එයාලටත් වෙන්නේ මේ ජනාධිපතිට වෙච්ච දේමනෙ ආණ්ඩුවෙන් සහයෝගයක් නැතිව. ඒ නිසා ප්‍රධාන පක්ෂයකින් දාන අපේක්ෂකයෙක් එන්න ඕන ආණ්ඩු බලයත් එක්කම.”
ජනාධිපති කවුද කියලා ජනතාව තීරණය කළ යුතුයි
දායානන්ද - බොරැල්ල
“මැකෝ කෑගහන්නේ බොරුවට. ලක්ෂ පන්දාහක් වියදම් කරලා ජාතික මැතිවරණයකට ගිහින් ඒගොල්ලන්ට හොඳට ගහගන්න පුළුවන්. මගේ පෞද්ගලික මතයේ විදිහට මැකෝ නෙවෙයි දේශපාලනය කරන්නේ. එයා රාජ්‍ය නිලධාරියෙක්. එයාට කොහොමද මැතිවරණය ඉල්ලීමේ අයිතියක් තියෙන්නේ. ව්‍යවස්ථාවේ හැටියට ජනාධිපතිවරණය පවත්වන්නම ඕනෑ ජනවාරි අට වැනිදාට ඉස්සෙල්ලා.
ජනාධිපති කවුද කියලා ජනතාව තීරණය කරන්න ඕන. හැබැයි උතුරැ නැගෙනහිර මුස්ලිම්, දෙමළ ඡන්ද නැතිව කාටවත් ජනාධිපති වෙන්න බෑ. අපි කැමති දේශපාලන ක්ෂේත්‍රයේ කෙනෙක් එනවාට. මෙහෙමනේ අපි එක්කෙනෙක් පත්කර ගත්තානේ. එයා මේ තරම් දෙයක් කරයි කියලා රට මෙච්චර බංකොළොත්භාවයට පත් කරයි කියලා අපි හිතුවේ නෑ.. නව නගර ශාලාවේ දී රුස්වීම්වලට ගිහිල්ලා අපි දැඩි කැපවීමකින්නේ මෙයාව ගෙනාවේ. කවුද හිතුවේ මේ වගේ වැඩක් කරයි කියලා. තව අය ගත්තත් ඕක ඔහොම තමයි. ඒත් මොනවා හරි කෙනෙක් පත්කර ගන්න ඕන.*
නීතියට අනුවයි වෙන්න ඕනේ
ඉන්දික සිරිමාන්න - දෙහිවල
“රටේ ව්‍යවස්ථාවක් තියෙනවා. ඒකට එකඟව දේවල් කරන්න ඕනෑ. ඒත් දැන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ වැරදි පැත්තට. හරියට වෙන්නේ මොනවාද? නීතිය ස්ථාපිත කරලා ව්‍යවස්ථාවත් රැකිලා තියෙනවා නම් මේ රටේ මහත්මා දේශපාලනයක් තියෙයි. ජනාධිපතිගේ ඉඳන්ම පහළට මේ දේවල් කරනවා. බැට කන්නේ කවුද? දුප්පත් අහිංසක මහජනතාව. අපි මේ රටවල් දාලා යන්න බලන්නෙත් මේ නීතියක් නැති ප්‍රශ්නේ නිසා.
නීතියෙන් තියන්න තියෙන මැතිවරණය මො කක්ද? ඒක තමයි තියන්න ඕන. මං නීතිය ගැන දන්නේ නෑ. නීති විශාරදයෝ ඉන්නවානේ. ඒ අය දන්නවා ව්‍යවස්ථාවට අනුව නීතියට අනුව වෙන්න ඕනේ මොකක්ද කියලා. අපි කියන්නේ නීතියට අනුව වෙන්න ඕන දේ වෙන්න ඕනෑ. ජනාධිපතිවරණයත් හැකි ඉක්මනට එන්න ඕනෑ. මේ රටට හිතැති, හොඳ දැනුමක් ඇති, ජරාව නැති, කොන්දක් පණ තියෙන, නීතියට ගරැ කරන මහත්තයෙක් මෙතැන හිටගන්න ඕනෑ. එම්.ආර්ගේ ඉඳන් රනිල්ගේ ඉඳන් මෛත්‍රී වෙනකල් කුණු තියෙනවා. මේකෙන් බැට කන්නේ සාමාන්‍ය මහජනතාව.*
සටහන - චමිඳු නිසල් ද සිල්වා
සේයාරූ - සුමුදු හේවාපතිරණ