මෙරටට තිරිඟු පිටි ආනයනය කරන ප්‍රධාන සමාගම් දෙක වන මා සහ සෙරන්ඩිබ් යන සමාගම් කිසිවකුටවත් නොදන්වා පසුගිය ජූලි මස 15දා සිට පිටි කිලෝවක මිල රුපියල් 8කින් ඉහළ නැංවීය. ආණ්ඩුව මෙය දන්නේ ජනමාධ්‍යවලින් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව බව කියතත් ඇතැමුන් පැවසුවේ සමාගම් මේ පිළිබඳ අදාළ බලධාරීන්ට කල් ඇතිව ප්‍රකාශ කර තිබෙන බවය. මෙලෙස මිල වැඩිකිරීමට ඉඩදීම පිටුපස යම් දූෂිත කුමන්ත්‍රණයක් ඇතැයි ද ඇතැම්මු සැක පහළ කළහ.
කෙසේ නමුත් වැඩ බලන කර්මාන්ත හා වාණිජ අමාත්‍ය බුද්ධික පතිරණ සමඟ සමාගම් නියෝජිතයන් කළ සාකච්ඡාවකින් පසු ඇමැතිවරයා කලින් තිබූ මිලට මිල බස්සන ලෙසට දැඩිව උපදෙස් දීම නිසා යළිත් 18 දා මධ්‍යම රාත්‍රියේ සිට වැඩි කළ මිල අඩු කිරීමට සමාගම්වලට සිදුවිය. එසේ වුවද එම සමාගම් නියෝජිතයන් ඇමැතිවරයා හමුවේ පවසා ඇත්තේ තමන්ට මේ ගැන මව් ගමාගම් සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍ය අතර ස්වකීය ඉල්ලීම්වලට ප්‍රතිචාරයක් නොමැති වුවහොත් නුදුරු දිනකදී යළිත් මිල වැඩිකිරීමට සිදුවන බවය. කෙසේ වුවද වැඩ බලන ඇමැති තරයේ අවධාරණය කළේ තමන් කිසිවිටෙකත් විදේශ සමාගම් ඉදිරියේ දණ නොනමන බවය.
සමාගම් නියෝජිතයන් ප්‍රකාශ කර ඇත්තේ රුපියල අව ප්‍රමාණ වීම නිසාම පසුගිය සමයේ සිට පිටි කිලෝවකට අතිරේකව රුපියල් 8.60ක් පමණ ගෙවන්නට සිදුව ඇති බවයි. ලෝක වෙළෙඳපොළේ තිරිඟු ඇට මිලද ඉහළ ගොස් ඇති බව ඔවුහු පැවසූහ. මේ නිසා මිල වැඩි කිරීම අත්‍යවශ්‍ය බව ඔවුහු අවධාරණය කළහ.
කාලයක් තිස්සේ පිටි මිල වැඩි කරන ලෙසට කළ ඉල්ලීම්වලට ජීවන වියදම් කමිටුව නිසි ප්‍රතිචාර දක්වා නොමැති බවද දැනගන්නට ඇත. මුදල් ඇමැති මංගල සමරවීරගේ ප්‍රධානත්වයෙන් සතිපතා රැස්වන ජීවන වියදම් කමිටුව මුලදී සුළු වශයෙන් හෝ මිල වැඩි කිරීමට අවසර දුන්නා නම් මෙතරම් ගණනකින් හදිසියේ මිල වැඩිකිරීමට සිදු නොවන බව ඇතැම් මන්ත්‍රීවරුන්ගේ මතය වෙයි.
පිටි මිල මෙලෙස වැඩිවීම ජීවන වියදම් කමිටුවේ ප්‍රමාද දේෂයකින් සිදුවූවාද යන්න පිළිබඳ සොයා බලන ලෙස පසුගිය 18 දා අගමැතිවරයා නියෝග කර තිබේ. ජීවන වියදම් කමිටුවට අමතරව පාරිභෝගික සේවා අධිකාරිය ද මෙයට වගකිව යුතු යැයි සොයන ලෙසද අගමැති උපදෙස් දී ඇතැයි පළවිය.
පාරිභෝගික සේවා අධිකාරිය පවසන්නේ රජයේ අනුමැතියකින් තොරව කරන ලද මිල වැඩි කිරීම නීත්‍යානුකූල නොවන බවය. වැඩි මිලට තිරිඟු පිටි අලෙවි කරන වෙළෙඳසල් සොයා පසුගිය 17 දින පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ විමර්ශන ඒකකය වැටලීම් ආරම්භ කළ අතර, ගම්පහ සහ මිනුවන්ගොඩ ස්ථාන අටක් වටලා අත්අඩංගුවට ගැනීම් සිදුකළ බව ගම්පහ දිස්ත්‍රික් විමර්ශන අංශයේ ප්‍රධානියා වන ප්‍රදීප් කළුආරච්චි පවසයි. එම වෙළෙඳසල්වල රුපියල් 95 සිට 100 දක්වා වැඩි මිලට තිරිඟු පිටි අලෙවි කර ඇති අතර ඒ අයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති ලලිත් එන්. සෙනෙවිරත්න පවසයි.
“කොරේ පිටට මරේ” කියන්නාක් මෙන් පිටි මිල ඉහළ යාමට සාපේක්ෂව ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල ද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් පහකින් ඉහළ නංවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන 17 දා නිවේදනය කර තිබුණි. එසේ වුවද තිරිඟු පිටි මිල යළිත් කිලෝව රුපියල් 67 දක්වා අඩු කළ නිසා තමන් කළ මිල ඉහළ නැංවීම අවලංගු කළ බව පසුව ඔහු ප්‍රකාශ කර තිබිණ. එසේ වුවද පිටි මිල ඉහළ නැංවීමක් යළි සිදු වුවහොත් එයට සාපේක්ෂව පාන් මිලද ඉහළ දැමීමට සිදුවන බව පවසන ඔහු අවධාරණය කරන්නේ ආණ්ඩුව මැදිහත් වී පිටි මිල ඉහළ නැංවීම වැළැක්වීමට පියවර ගත යුතු බවය.
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පවසන්නේ තිරිඟු පිටි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩයක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති නිසා එහි උපරිම සිල්ලර මිල වන කිලෝවකට රුපියල් 87 මිලට වඩා විකිණීම නීති විරෝධී බවය. එහෙත් පිටි ආනයන සමාගම් කටයුතු කරන්නේ මෙම ගැසට් නිවේදනය තුට්ටුවකටවත් මායිම් නොකර බව ඔහු කියයි. ආණ්ඩුව මෙය නොදන්නා ලෙසින් සිටින්නේ ඇයිද යන්න ගැටලුවක් බව ඔහු අවධාරණය කරයි.
කෙසේ වුවද තිරිඟු පිටි මිල අන්තිම වරට ඉහළ ගියේ 2018 සැප්තැම්බර් 01 දිනය. සැප්තැම්බර් දින සිට බලපැවැත්වෙන පරිදි කිලෝවක මිල රුපියල් 5කින් වැඩිකර අතර එම මිල වැඩි කිරීමට ආණ්ඩුවේ අවසරය ද ලැබී තිබේ.
කෙසේ වුවද ආණ්ඩුව බදු වැඩි කිරීම නිසා මෙයට පෙර සමාගම් මිල වැඩි කළද මෙවර කිසිදු බදු ඉහළ නැංවීමකින් තොරව මිල ඉහළ දැමීම ගැටලුවක් බවට පත්ව තිබේ. රුපියල අවප්‍රමාණ වීමද මේ වනවිට පාලනය වී ඇති අතර ජාත්‍යන්තර තිරිඟු ඇට මිල පහළ යාම මිස ඉහළ ගොස් නැති බවද දැනගන්නට තිබේ. ඒ නිසා මෙවර මිල වැඩි කිරීමට සමාගම් දැක්වූ හේතු පිළිගත නොහැකි වනවා ඇත.
ලියුම්කරු විසින් කරන ලද සොයාබැලීමකදී අනාවරණය වූයේ තිරිඟු පිටි මිල තවදුරටත් රජයේ පාලනය යටතේ පවතින බවය. එහෙත් සමාගම් එම තත්ත්වය පිළිනොගැනීම ගැටලු සහගත වී තිබේ. වර්ෂ 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පනතේ 18 (2) වගන්තිය සමඟ කියැවෙන 60 (4) ‘අ’ වගන්තියේ මෙසේ දැක්වේ.
“යම් භාණ්ඩයක හෝ සේවාවක් ප්‍රජාවගේ හෝ ඉන් කොටසකගේ හෝ ජීවිතවල අත්‍යවශ්‍ය වන බවට ඇමැතිවරයාගේ මතය වන අවස්ථාවක මිල අධිකාරියේ පූර්ව අනුමැතියකින් තොරව එම භාණ්ඩවල හෝ සේවාවල තොග හා සිල්ලර මිල වැඩි කළ නොහැකි අතර එසේ කිරීම අධිකරණයකින් දඬුවම් ලැබිය හැකි වරදකි.”
තිරිඟු පිටි නිෂ්පාදනය අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස 2004 මැයි මස 26 වැනිදා ශ්‍රී ලංකා ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කර තිබේ. අප දන්නා පරිදි මේ ගැසට් නිවේදනය අවලංගු කිරීමක් මෙතෙක් සිදුව නැත. ඒ නිසා තිරිඟු පිටි අද දක්වාම මිල පාලනය කළ අත්‍යවශ්‍ය භාණ්ඩ ගණයට වැටේ. ඒ නිසා විදේශ සමාගම්වලට හිතූ හිතූ පරිදි මිල ඉහළ නැංවීමට නොහැක.
අපේ රටේ පාන් පිටි ඒකාධිකාරිය අත්පත් කරගෙන ඇති ප්‍රීමා සහ සෙරන්ඩිබ් නැමැති සමාගම් දෙක අද පමණක් නොව විටින් විට හිතුවක්කාර ලෙස මිල ඉහළ දමා ඇති බවට අතීතය සාක්ෂි දරයි. 2007 මැයි මාසයේ ද පාරිභෝගික සේවා අධිකාරියේ අනුමැතියකින් තොරව තිරිඟු පිටි කිලෝවක් රුපියල් 3කින් වැඩි කළ අතර පෙබරවාරි 20දා පාරිභෝගික සේවා අධිකාරිය අධිකරණයට ගොස් ඇත. එවකට වාණිජ හා පාරිභෝගික කටයුතු අමාත්‍යවරයාව සිටි බන්දුල ගුණවර්ධන සමාගමට එරෙහිව නඩු දැමීමෙන් පමණක් නොනැවතී පිටි ඒකාධිකාරිය නවත්වන බවට ප්‍රකාශ නිකුත් කළද එවැන්නක් සිදුවූයේ නැත.
සමාගමේ පිටි ඒකාධිකාරිය බිඳීම සඳහා රජය ලෝක වෙළෙඳපොළෙන් සෘජුව ආනයනය කර බෙදාහැරීමට කටයුතු කළද කුමක් හෝ අදෘශ්‍යමාන බලවේගයක් නිසා එය ප්‍රතිඵලදායී නොවීය. එසේම මෙම සමාගම් ආනයනය කරන පිටි උසස් ප්‍රමිතියෙන් යුක්ත නොවන බවට ද චෝදනා එල්ල වී ඇති නමුත් ඒ ගැන සොයා බලා නැත.
රජය ඇතැම් අවස්ථාවල ප්‍රක්‍රාශ කළේ විදේශ සමාගම්වල පිටි ඒකාධිකාරිය බිඳීම සඳහා රජය මගින් පිටි ආනයනය කර බෙදාහරින බවය. එසේම මෙම සමාගම් දෙක හැර වෙනත් සමාගම්වලට ද පිටි ආනයනය කිරීමට රජය අවසර දුන්නද ඔවුන් ඒ සඳහා ඉදිරිපත් නොවන්නේ මෙම ව්‍යාපාරයෙන් එතරම් ලාභයක් ලැබිය නොහැකි නිසාය. එයට හේතුව පිටිවල විකුණුම් මිල රජය නියම කරන නිසා ආනයනකරුවන්ට අත දිගහැර මිල ඉහළ නැංවීමට අවස්ථාවක් ලැබී නොමැති වීමය.
පිටි මිල ඉහළ නැංවීමට රජය ඉඩ නුදුන් අවස්ථාවල මෙයට පෙර සමාගම් කළේ අවශ්‍ය පිටි ප්‍රමාණය ආනයනය නොකර රට තුළ පිටි හිඟයක් ඇති කිරීමය. වර්තමානයේද ඒ කූපක්‍රට උපක්‍රමය ඔවුන් භාවිත නොකරනු ඇතැයි සිතිය නොහැකිය. එලෙස පිටි හිඟයක් ඇති වූ විට වඩාත් බැට කන්නේ ධනපතියන් නොව අන්ත දුගී ජනතාවය. වතුකරයේ අඩු ආදායම්ලාභී දිළිඳු ජනතාව බොහෝ අවස්ථාවල දවසේ තුන්වේලම පාහේ පිරිමසා ගන්නේ තිරිඟු පිටිවලින් හදාගන්නා රොටි ආදිය බුක්ති විඳීමෙනි. ඔවුන්ගේ ප්‍රධාන ආහාරය තිරිඟු පිටි වී ඇති අතර මිල ඉහළ ගියහොත් ඔවුන්ගේ ජීවන බර තවත් ඉහළ යන අතර සෞඛ්‍ය තත්ත්වය ද පහළ බසිනවා ඇත.
තිරිඟු පිටි ආනයනය කිරීම විදේශ විනිමය පිටරටවලට ඇදී යන ප්‍රධාන මාර්ගයක් වෙයි. එසේම තිරිඟු පිටි ආනයනය වසරෙන් වසර ඉහළ යාම නිසා මෙන්ම රුපියලේ අගය අවප්‍රමාණය වීම නිසාද විශාල විදේශ විනිමයක් මේ සඳහා වැය කරන්නට සිදුව තිබේ. 2018 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව අනුව 2016 පාන් පිටි ආනයනය සඳහා රුපියල් මිලියන 255ක් වැයවී ඇති අතර එම මුදල 2017දී මිලියන 300ක් සහ 2018දී මිලියන 494 දක්වා ඉහළ නැග ඇත. ආණ්ඩුව ආනයන සීමා කිරීමේ සැලසුමක සිටිමින්ම මෙලෙස වසරින් වසර ඉහළ යන පිටි පාරිභෝජනය අවම කිරීම සඳහා පියවර ගන්නා බවක් නොපෙනේ.
මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ බන්දුල ගුණවර්ධන වෙළෙඳ ඇමැතිව සිටියදී සහල් පිටි ජනප්‍රිය කිරීමේ වැඩසටහනක් ආරම්භ කළා අපට මතකය. කොළඹ වොක්ෂෝල් වීදියේ සතොස ආනයනය ඉදිරිපිට සහල් පිටිවලින් තැනූ පාන් සහ බේකරි නිෂ්පාදන අලෙවියට තබා තිබුණු අතර සහල් පිටි පාරිභෝජනය ප්‍රචලිත කිරීමේ වැඩසටන් ද ක්‍රියාත්මක විය. එහෙත් සිතූ පරිදි සහල් පිටිවලින් තැනූ පාන් ඇතුළු බේකරි නිෂ්පාදන ජනතාව අතර ජනප්‍රිය වූයේ නැත. එයට හේතුව පෝෂ්‍ය ගුණය වැඩිවුවද සහල් පිටිවලින් තනන නිෂ්පාදනවල ප්‍රමිතිය උසස් නොවීමය. ඒ නිසා ජනතාව පරණ පුරුදු තිරිඟු පිටිවලටම යොමු වූ බව පෙනෙන්නට තිබිණ. කෙසේ වුවද දුර්වලතා මගහරවාගෙන සහල් පිටි නිෂ්පාදන ජනතාව අතරට ගන යන වැඩපිළිවෙළක් කිසිදු රජයක් මගින් සාර්ථකව ක්‍රියාත්මක කිරීමට මෙතෙක් උනන්දුවක් දක්වා නැත.
මේ නිසා අපට සිදුව ඇත්තේ තවදුරටත් විජාතික සමාගම් මගින් ගෙන්වන තිරිඟු පිටි මත යැපීමටය. තිරිඟු පිටි මිල වැඩිවන විටම බේකරි නිෂ්පාදන වැඩිවීම නොවැළැක්විය හැකිය. මෙවරද පිටි මිල වැඩි කළ ඇසිල්ලේම බේකරි හිමියන් පාන් ගෙඩියක මිල රුපියල් පහකින් ද බනිස් ඇතුළු සෙසු නිෂ්පාදනවල මිල රුපියල් පහකට වැඩියෙන් ද ඉහළ නංවා තිබිණ. පිටි මිල පහළ දැමීම නිසා මෙම තත්ත්වය තාවකාලිකව යටපත් වුවද අළු යට සැඟවුණු ගිනි පුළිඟු මෙන් සිට නුදුරේදී පිටි මිල ඉහළ නැංවූවිට යළිත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යනු නියතය. රජය පාන් ගෙඩියේ බර සහ මිල පාලනය කළ බව පැවසුව ද අද අලෙවි වන පාන් සහ බනිස් ආදී නිෂ්පාදන නියමිත බරෙන් සහ ප්‍රමිතියෙන් යුක්ත නොවන බව දක්නට ලැබේ. රජයේ බලධරයන් පිටි මිල පාලනය කිරීමට මෙන්ම පිටි නිෂ්පාදන මිල හා බර නියමිත ලෙස තබා ගැනීමට අපොහොසත් වීමෙන් ජනතාව පීඩාවට පත්ව සිටින බව පැවසිය යුතුය.
► යසවර්ධන රුද්රිගු