2019 ජුලි 27 වන සෙනසුරාදා

එළිපිට සිදුවෙන අනුරාධපුර ඉඩම් කොල්ලය

 2019 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 372

පූජනීය මෙන්ම සංස්කෘතික අගනගරයක් වශයෙන් ද අනුරාධපුරය ලෝකය පුරාම සම්භාවනාවට පත්වී ඇත. වර්ෂ 1982 දී යුනෙස්කෝ සංවිධානය විසින් මේ නගරය ලෝක උරුම නගරයක් ලෙස ප්‍රකාශයට පත්කළේ එහෙයිනි. එපමණක් නොව එය උතුරේ සිට පැමිණෙන වෙළෙඳ භාණ්ඩ හුවමාරුවට පත්වන සහ විශාල ජන සංඛ්‍යාවක් ගැවසෙන කෘෂි අලෙවි මධ්‍යස්ථානයක් වශයෙන් ද වැදගත්ය. වත්මන් අනුරාධපුර නගරය කී.මී. 42.18ක භූමි ප්‍රමාණයක පැතිර තිබෙන අතර නගරය මැදින් ගලායන්නේ මල්වතු ඔයයි. මල්වතු ඔයෙන් බටහිර කොටස පූජනීය නගරය වශයෙන් ද නැගෙනහිර කොටස නව නගරය ලෙසද හැඳින්වේ.

මෙම නාගරික කලාප දෙක ග්‍රාම සේවා වසම් 22කින් සමන්විත අතර අනුරාධපුර මහා නගර සභා බලප්‍රදේශයට අයත් වේ. පූජනීය නගරයේ ජනාවාස ඉදිකිරීමෙන් සිදුවන අයහපත් ක්‍රියා මැඩ පැවැත්වීමටත් එහි සංරක්ෂණය සඳහා මුල් තැන දීමටත් අනුරාධපුර ප්‍රථම නගර සංවර්ධන සැලැස්ම සකස් කළේ 1949 තරම් ඈත කාලයකදීය. එහිදී පූජනීය නගරයේ ජනතාව නව නගරය තුළ පදිංචි කිරීමට සැලසුම් කෙරිණි. නැවතත් 2007 දී නාගරික සංවර්ධන අධිකාරිය මගින් විවිධ භාවිතයන් සඳහා ඉඩම් වෙන්කිරීම් කලාප 11ක් යටතේ වර්ගීකරණය කර “කලාපීයකරණය සැලැස්ම” සකස් කළේය.

ඉහත පරිදි නගරයේ ආරක්ෂාව සඳහා විධිවිධාන සකස් කළ තිබුණ ද එය නමට පමණක් සීමාවී තිබෙන බව පසුගියදා රජයේ විගණන කොමිසම නිකුත් කළ විශේෂ විගණන වාර්තාව කියවන විට පැහැදිලි වේ. මේ වාර්තාව කියවන අතර මා කතා කළේ අනුරාධපුර රුවන්වැලි සෑ රජමහා විහාරාධිපති පල්ලේගම හේමරතන නායක හිමියන්ටයි.

“පුරාවිද්‍යා රක්ෂිත, වාරි රක්ෂිත, මහාමාර්ග රක්ෂිත වශයෙන් නගරයේ භූමිය බෙදන්න පුළුවන් මේවා ඉතාම සංවේදී තැන්. විශේෂයෙන්ම අනුරාධපුරය තරම් සංවේදී පෞරාණික නගරයක් ලංකාවේ තබා ලෝකේමත් වෙන නැහැ. මම දන්නා පරිදි. ඒ නිසයි නගරය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම ඉහළ යන්නේ මෙබඳු ඓතිහාසික වටිනාකමක් තිබෙන තැනක ඉඩම කියන සාධකය භාවිතා කළ යුත්තේ මහජනතාවගේ ගෙවල් දොරවල් තැනීමට, ව්‍යාපාරික ස්ථාන තැනීමට වගේ නිර්ණායක තුළ නොවෙයි. ඒකට වෙනම ලෝකය හා ලංකාව පිළිගත් නිර්ණායක නීතිරීති තිබෙනවා. ඒ නීති යටතේ තමයි මේ නගරය ගැන කටයුතු කළ යුත්තේ. ජනතාවට පහසුකම් සැලසීමේදී පෞරාණිකත්වයට කිසි හානියක් වීමට බැහැ.” උන්වහන්සේ පැවසූහ.

වාර්ෂිකව ලක්ෂ ගණනක් දෙස්විදෙස් වන්දනාකරුවන් පැමිණෙන අනුරාධපුරය මතුපිටින් පෙනෙන නිසංසලත්වය යටින් විශාල හානියකට මුහුණදී සිටින බව විගණන කොමිසම හෙළිදරව් කර සිටී. ඒත් බලධාරීන් එම වාර්තාව ගණනකට ගත් බවත් පෙනෙන්නට නැත. ආචාර්ය ශිරාන් දැරණියගල විසින් කරන ලද කැණීම්වලදී ක්‍රි.පු. 800 වනවිට ඇතුළුනුවර හෙක්ටයාර 10ක ජනාවාස පැතිර තිබූ බව හෙළිවිය. ක්‍රි.පු. 700 – 600 වනවිට එය හෙක්ටයාර් 50ක් විය. පසුව ඓතිහාසික යුගයට එළඹෙන අනුරාධපුරය පණ්ඬුකාභය (ක්‍රි.පූ. 370 - 307) රජු විසින් නගරයක් ලෙස සංවර්ධනය කළ බව මහාවංශය සඳහන් කරයි.

විජය කුමරුගේ ඇමැති හා භද්‍රකච්ඡායනා කුමරියගේ සොහොයුරු වූ අනුරාධයන් දෙදෙනාගේ වාසය හෙයින් ද “අනුර” නැකතින් ආරම්භ කළ බැවින් ද නගරය “අනුරධපුරය” නම් විය. පණ්ඩුකාභය රජුගෙන් අනතුරුව සියවස් 13ක් රටේ අගනුවර වශයෙන් විශාල සිහිවටන සංඛ්‍යාවක් සඟවාගත් සංස්කෘතික උරුමයකි මේ නගරය.

පුරාවිද්‍යාත්මක, සංස්කෘතික, ආගමික හා ඓතිහාසික වටිනාකමකින් සමන්විත වූ ලෝක උරුමයක් ලෙස හඳුනාගෙන ඇති අනුරාධපුර නගර සීමාව තුළ මෑත අතීතය තුළ අවිධිමත් ඉඩම් අත්පත් කර ගැනීම් සහ ඉදිකිරීම් සිඝ්‍රයෙන් ඉහළ ගියේය. නගරයේ ඉඩම්වල වටිනාකම වැඩිවීම නිසා රජයේ ඉඩම් විවිධ දේශපාලනඥයන්ගේ ආශිර්වාදය යටතේ අත්පත් කරගැනීම සුලබ සිදුවීමක් වී තිබේ.

නගරයේ ඉඩම් පිළිබඳව බලපත්වන නීති කිහිපයකි. පුරාවිද්‍යා රක්ෂිත සඳහා පුරාවිද්‍යා ආඥාපනත බලපවත්වන අතර අනවසර ගොඩකිරීම් සහ සංවර්ධන ආඥාපනත (2011 අංක 46 දරන පනතින් සංශෝධිත) බලපායි. ආරක්ෂිත ඇළ රක්ෂිත හා වැව් රක්ෂිතවල සිදුකරන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ බලය වාරිමාර්ග දෙපාර්තමේන්තුවට හා පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත්ය. දුම්රිය රක්ෂිතවල අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් කාර්යයකි. නාගරික කලාපයේ සිදුකරන සංවර්ධන කටයුතු සඳහා 1982 අංක 4 දරන නාගරික සංවර්ධන අධිකාරී පනත බලපායි. වැඩිදුරටත් අප සමඟ විස්තර කළ පල්ලේගම නාහිමියෝ මෙසේ ද කීවෝය.

“1949 අනුරාධපුර පූජා නගරය පිහිටවුවා. පූජා නගරයට නොගැලපෙන ඉදිකිරීම් ගෙනගියා. දැන් ඒ සැලැස්ම ක්‍රියාත්මක වී අවුරුදු 70ක් ගිහින්. නමුත් මෙවන් නගරයට සිදුවන අකටයුතුකම්වල අඩුවක් නැහැ. නිශ්ශංක විජේරත්න මහතා අනුරාධපුර දිසාපති වශයෙන් සිටි කාලයේ එය වැළැක්වීමට විශාල ක්‍රියාමාර්ගයක් ගත්හ. ඔහු අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම කඩිනම් කළා. නමුත් ඊට පසු පත්වූ නිලධාරින් රාශියක් එම තත්ත්වය දිගටම පවත්වාගෙන යාමට අසමත් වෙලා තිබෙනවා. ඒකට ප්‍රධාන හේතුව දේශපාලනඥයන් තම බලපුළුවන්කාරකම පාවිච්චි කරමින් නිලධාරින්ගේ වැඩවලට ඇඟිලි ගැසීමයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවලට නිසි ක්‍රියාමාර්ග ගැනීමට අපහසු වී තිබෙන්නේ මේ දේශපාලනඥයන්ගේ ආශිර්වාදය ලබන පිරිස නිසයි.

මම යෝජනා කරන්නේ මේ නගරයේ විනාශය වැළැක්වීමට දැන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවලට තනියම පියවර ගැනීමට බැහැ. ඒ නිසා රජය ඉහළින් තීරණයක් අරන් එය බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතුයි. නැත්නම් අනුරාධපුර නගරය අනාගතයේදී ජාතියට අහිමිවන තැනට වැඩ සිදුවේවී.”

නගරයේ වඩාත් සංවේදී ඉඩම් පුරාවිද්‍යා සංරක්ෂණ කලාපයටත්, ජලාශ සහ ජල රක්ෂිතවලටත් අයත්වේ. පුරාවිද්‍යා රක්ෂිත කලාපයේ ඉඩම් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ගේ ලිඛිත අනුමැතියකින් තොරව කිසිම කාර්යට යොදාගත නොහැක. ජලාශ සහ ජල රක්ෂිත ජල සම්පාදනයට සහ වාරිමාර්ග කටයුතුවලට හැර වෙනත් කිසිදු ව්‍යුහයක් සම්බන්ධ ඉදිකිරීම්වලට අවසර නැත. පුරාවිද්‍යා රක්ෂිත කලාපවලට නගරයේ ඉඩම්වලින් හෙක්ටයාර් 1050 (සියයට 24.89)ක්ද ජල රක්ෂිතවලට හෙක්ටයාර් 469ක් ද (සියට 11.11)ක්ද අයත් වේ.

පුරාවිද්‍යා රක්ෂිත අවභාවිතය
ඉතා සංවේදී භූමි කලාප ලෙස සැලකෙන පුරාවිද්‍යා රක්ෂිතයට අයත් ඇතුළු නුවර කලාපයට අයත් ඉඩම් රාශියක් අනවසර පදිංචිකරුවෝ අත්පත් කරගෙන පාවිච්චි කරති. මේ නිසා පුරාවිද්‍යාත්මක වටිනාකම්වලට හානි සිදුව තිබේ. ඇතුළුනුවර අනවසර පදිංචිකරුවන් 265කගේ නාම ලේඛනයන් ද විගණන වාර්තාවට අමුණා ඇත. මේ අතර සිල්මාතාවෝ ද සිටිති. විශ්‍රාමශාලා මෙන්ම අනවසර ආරාමද ඉදිකර ඇති බව හෙළිව ඇත.

අභයගිරිය පුරාවිද්‍යා රක්ෂිතයට අයත් ලංකාරාමය, සඳකඩ පහණ, සමාධි පිළිමය, කුට්ටම් පොකුණ හා අභයගිරිය ස්තූපය ඉදිරිපිට අනවසර ඉදිකිරීම් 267ක් නිරීක්ෂණය වී තිබේ. වෙස්සගිරිය නටබුන් භූමිය අවට අනවසර වෙළෙඳසල් 25-30 අතර ප්‍රමාණයක් ඉදිකර ක්‍රියාත්මක වන අතර එය එම ස්ථාන අපවිත්‍රවීමට හේතුවකි.

වැව් රක්ෂිත හා වැව් තාවුළු
පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් පොන්නාරම්කුලම වැව හා රක්ෂිතය තුළ පෞද්ගලික හෝටලයක්, බෞද්ධ මධ්‍යස්ථානයක ඉදිකිරීම් නිසා ජල පෝෂක ප්‍රදේශය අහිමි වී ඇති බව නිරික්ෂණය වී ඇත. එයට අමතරව කුම්බිච්චන්කුලම වැව හා රක්ෂිතය, වන්නියන්කුලම වැව හා රක්ෂිතය, ඇත්තිකුලම වැව සහ රක්ෂිතය පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අතර එම වැව් ආශ්‍රිත අනවසර ඉදිකිරීම් පිළිබඳව අදාළ බලධාරීන් තොරතුරු රැස්කිරීමක් හෝ ලේඛන ගත කිරීමක් හෝ කර නැත.

නගරයට බීමට ජලය සැපයෙන නුවර වැව හා තිසා වැව වන්දනාකරුවන් ස්නානයට ද පැමිණෙන ස්ථානයකි. මෙලෙස සෙනඟ ගැවසෙන නිසා එහි වෙළෙඳසල් රැසක් ද පවතී. නුවර වැව ආශ්‍රිතව අනවසර ඉදිකිරීම් ස්ථාන 275ක් සහ තිසා වැව ආශ්‍රිතව එවැනි ඉදිකිරීම් 130ක් පවතී. එය ජලය දූෂණය වීමට මෙන්ම පාරිසරික ගැටලු නිර්මාණයට ද හේතුවකි.

කුම්බිච්චන්කුලම වැව් තාවුල්ල අනවසර ලෙස පරිහරණය කරන පුද්ගලයන් ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථාන ජලයෙන් යටවීම වැළැක්වීමට වැවේ පැරණි පිටවාන ඉවත් කර අලුතෙන් ඉදිකර ඇත්තේ බලධාරින් නින්දේ සිටියදීය.

මල්වතු ඔය රක්ෂිතය
නගරය අලංකාර කරන අතරම නගරයේ ප්‍රධාන ජල මූලාශ්‍රය ද වන මල්වතු ඔය ප්‍රසිද්ධ හෝටල් සහ ලැඟුම්හල් හිමියෝ භාවිත කරති. සමහර හෝටල් විසින් සංචාරකයන් සඳහා නගර සභාවෙන් හෝ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව බෝට්ටු සවාරි සංවිධානය කර තිබුණි. මෙම බෝට්ටු සවාරි සඳහා නගර සභාවෙන් වෙළෙඳ බලපත්‍ර ද ලබාගෙන තිබුණේ නැත.

මල්වතු ඔය අසල භූමිය නගර සභාව විසින් පෞද්ගලික ලැඟුම්හල් සඳහා බදුදී ඇත්තේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ විධිමත් අනුමැතියකින් තොරවය.

මෙලෙස අනුරාධපුර නගරයේ ඉඩම් අයාලේ ගොස් ඇත්තේ නාගරික බල ප්‍රදේශය තුළ සිදුකරනු ලබන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට හෝ තහනම් කිරීමට නාගරික සංවර්ධන අධිකාරි පනතින් හෝ නගර සභා පනතින් ඍජුවම එම ආයතන වෙත බලතල ලබාදී තිබියදීය. නමුත් රාජ්‍ය ආයතන අනවසර ඉදිකිරීම් පිළිබඳව තොරතුරු රැස්කර ලේඛන නිසි පරිදි නඩත්තු කිරීමක්වත් කරනැති බව විගණන කොමිසමට පෙනී ගොස් තිබේ.

තම වාර්තාව අවසානයේ විගණකාධිපතිවරයා යෝජනා කරන්නේ ලෝක උරුම අනුරාධපුරය ආරක්ෂා කරගැනීම උදෙසා. “අනවසර ඉදිකිරීම් ක්ෂණිකව හඳුනාගැනීම ඒවා ඉවත් කිරීම හා නැවත ඉදිකිරීම් වැළැක්වීම සඳහා මහනගර සභාව සහ අනෙකුත් බලධාරී ආයතන විසින් විධිමත් යාන්ත්‍රණයක් සකස් කළ යුතු බවයි.” එහෙත් පල්ලේගම හේමරතන නාහිමියන් පැවසූ පරිදි එය නම් කීයටවත් සිදුවන බවක් අපට නොපෙනේ. ඒ ඉහළ දේශපාලන අතපෙවීම් නිසාය.

කුසුම්සිරි විජයවර්ධන

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00