2019 ජුලි 27 වන සෙනසුරාදා

අරුවක්කාඩු යන කොළඹ කුණු

 2019 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 88

“එපා! එපා! අපට එපා! කොළඹ කුණු අපට එපා..... යෙපා.. යෙපා... අපට යෙපා.... කොළඹ කුණු අපට යෙපා...........................!”

පසුගිය කාලය පුරා නිරන්තරයෙන් අසන්නට ලැබුණු සටන් පාථ තවමත් බොහෝ දෙනකුගේ මතකයේ පවතී. අරුවක්කාඩුවට කසළ රැගෙන ඒමට විරුද්ධව වීදි බසිමින් සටන් පාථ කියමින් උද්ගෝෂණ ව්‍යාපාර පවත්වමින් කොතෙක් කෑ ගැසුවත් ව්‍යාපෘතිය ඉදිරියටම කරගෙන යාමට බස්නාහිර හා නගර සංවර්ධන අමාත්‍යංශය එක හෙලා තීරණය කර ඇත.

කෑ ගැසූවන් සියලුදෙනා නිහඬ කිරීමට අදාළ අමාත්‍යංශයට හැකිවී ඇති බව නිහඬතාවයෙන් පෙනී යන්නකි. කුමක් කීවත් කළත් පලක් නොවන බව වටහා ගැනීම නිහඬවීමට හේතුවන්නට ඇතැයි සිතිය හැකිය. පසුගිය රජය සමයේ කැබිනට් අනුමැතියකින් එළුවන්කුලම, අරුවක්කාඩුවට කසළ රැගෙන ඒමට ගත් තීරණය වර්තමාන යහපාලන රජය විසින්  ක්‍රියාවට නැංවීය. කුමන අභියෝග හමුවේ වුවද මෙම ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීමට බස්නාහිර හා නාගරීක සංවර්ධන අමාත්‍යංශය තීරණය කර ඇත.

පසුගිය රජය සමයේ ගත් තින්දුව වර්තමාන රජයෙන් ක්‍රියාත්මක වෙත්දී පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් මෙය නොකළ යුත්තක් බව කියමින් ජනතාව ඉදිරියේ ප්‍රකාශ කළාද කාලයක පටන් ඉහළ පෙළේ දේශපාලනඥයෝ නිහඬවී සිටිති. නිහඬ වූවාද නිහඬ කළාද යන්න ප්‍රශ්නාර්ථයක. කෑගැසූවන්ගේ නිහඬභාවයෙන් පැහැදිලි වන්නේ හොඳින් හෝ නරකින් කසළ ව්‍යපෘතිය ක්‍රියාත්මක වන බවයි.

අරුවක්කාඩුව සේරක්කුලියට කොළඹ කැළි කසළ රැගෙන ඒම නිසා වනාතවිල්ලුව ප්‍රදේශයේ ජනතාවගේ යටිතල පහසුකම් වෙනුවෙන් රුපියල් මිලියන ගණනක් ලබාදීමට බස්නාහිර හා නගර සංවර්ධන අමාත්‍යංශය කටයුතු කර ඇත.

මෙම කසළ අංගනය නිර්මාණය කිරීමේදී කසළ බහාලුම් 05ක් ඉදිකිරීමට යෝජනා වී ඇති අතර ඉන් දෙකක් නිමවී තිබේ. ඉදිකර අවසන්වූ දෙවැනි බහාලූම් මධ්‍යස්ථානයේ මේ වනවිට පරීක්ෂණ මට්ටමේ පවතින කසළ ගබඩා කර ඇත. දින කිහිපයකට පෙර ටිපර් රථ දහයකින් රැගෙන පැමිණි කුණු කසළ අංගනයට රැගෙන යාමට නොදී හයේ කණුව ස්මයිල්පුර ප්‍රාදේශීය සභා භූමියක දින දෙකක් රඳවා තබා ගැනීමට වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කටයුතු කර තිබුණි.

කසළ රැගෙන ඒමේදී එහි ඇති විෂබීජ පාලනය කිරීම සඳහා බැක්ටීරියා නාශකයක් මැෂිමක් ආධාරයෙන් ඉසීමෙන් පසුව කසළ අංගනයට රැගෙන යෑම සිදුකර ඇත. මූලික පරීක්ෂණය සඳහා තැන්පත් කරන ලද කසළවලට සිදුවන ක්‍රියාකාරීත්වයෙන් පසුව ඉදිරි කටයුතු සිදුවන්නේ කෙසේද යන්න තීරණයකට එළඹීමට නියමිත වී ඇත.

රැගෙන එන ලද කසළවල ප්ලාස්ටීක්, පොලිතින්, කාඩ්බෝඩ් හැරෙන්නට රසායනික අපද්‍රව්‍ය හෝ පිටරටින් රැගෙන එන ලද බව කියන කසළ කිසිවක් නොමැති බව බස්නාහිර නගර සංවර්ධන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. කවුරුන් නිහඬ වුවද සභාපතිවරයා නිහඬ වී නැත. ජනතා සේවකයකු වූ ඔහු මේ වනවිට කොළඹ කුණු රැගෙන ඒම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක්ද පවරා ඇත. වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපති සමන්ත මුණසිංහ මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා මෙසේ පැවසීය.

“පසුගිය කාලය පුරා ජනතාව පාරට බැහැලා මේ ව්‍යාපෘතිය එපා කියලා කෑ ගැහුවා. ජනතාව ඡන්දය දීලා අපිව යැව්වේ වැඩක් කර ගන්න බලාගෙන. එහෙම තිබෙන කොට අපට බලන් ඉන්න බැහැ. ජනතාවගේ පැත්ත ගන්න වෙනවා. ඒ නිසා මම කොළඹ අධිකරණයට ගියා. මේ කුණු අපේ රටේ ප්‍රශ්නයක්. ඒක කොතනින් හරි විසඳෙන්නත් ඕනා. අපි කියන්නේ කුණු ගෙනාවට කමක් නැහැ පරිසරයට ජනතාවට හිරිහැර කරදර වන විදිහට කරන්න බැහැ. එහෙම වුණොත් අපි පාරට බැහැලා නැතිනම් අධිකරණයට ගිහින් ඒකට විරුද්ධව කටයුතු කරනවා.”

“මම කොළඹ නගරාධිපති රෝසි සේනානායක, බස්නාහිර හා නගර සංවර්ධන අමාත්‍ය පාථලී චම්පික රණවක ඇතුළු රාජ්‍ය නිලධාරීන් එක්ක කතා කළා. වනාතවිල්ලුව සංවර්ධනය කරන්න ඕනා. රැකියා ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන්න ඕනා. ප්‍රදේශයේ සංවර්ධනය සඳහා යටිතල පහසුකම් දියුණු කරලා දෙන්න ඕනා. දුප්පත් ප්‍රාදේශීය සභාව දියුණු කරලා දෙන්න ඕනා කියලා මම ඉල්ලීම් කළා. මගේ මට්ටමින් කළ හැකි සියල්ල කරලා තිබෙනවා. ඊට එහා දෙයක් කරන්න බැහැ. හරි විදිහට කරනවා නම් අපි උදවු කරනවා. නැතිනම් ඉතින් අපිටත් විරුද්ධ වෙන්න වෙනවා.”

රෝවන් පෙරේරා
      පුත්තලම