2019 අගෝස්තු 03 වන සෙනසුරාදා

වෙළෙඳ ව්‍යාපාර දියුණුවට

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 256

තමාට සතුරු රාශි භවනක් වූ කටක රාශියෙහි වක්‍ර ගමනක යෙදී සිටින බුධ වක්‍රයෙන්ම බුධට අයත් මිථුන රාශියට 2019 ජූලි 30 වැනි කුජ දින දවල් 1.41ට පිවිසේ. යළි නැවත සුපුරුදු ගමන් අරඹන බුධ අගෝස්තු 3 වැනි ශනි දින පාන්දර 5.51ට කටක රාශිගත වී අගෝස්තු 26 වැනි සඳු දින දහවල් 2 පසුවී විනාඩි 7 දක්වාම කටක රාශියෙහි ගමන් කරනු ඇත.

අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී යම් යම් කටයුතු වෙනුවෙන් මහජනයා තුළ පැවැති උදාසීන ගති පහව ගොස් උනන්දුව ඇතිවන අතර වෙළෙඳ කටයුතු, ව්‍යාපාරික කටයුතු ආදියේ දියුණුවක් ද අත්වන කාලසීමාවක් වනු ඇත.

වැඩ කරන ජනතාව වෙනුවෙන් වරප්‍රසාද අත්වන අතර ඔවුන්ගේ සේවය ද වෙනදාට වඩා කැපවීමෙන් ඉටු කරන කාලයක් වේ. රෝහල්වල සේවකයන්ට රාජකාරි බහුල වන අතර රට තුළ වසංගත රෝග පැතිර යාම හේතුවෙන් රෝගීන්ගෙන් රෝහල් පිරී යන්නා වූ කාලසීමාවක් ද වේ. ව්‍යාපාරික ස්ථාන ආශ්‍රිතව සතුරු උපද්‍රව ඇතිවන බැවින් එහි ආරක්ෂාව වෙනුවෙන් ව්‍යාපාරිකයන් කටයුතු කළ යුතු වේ. යම් යම් පාර්ශව වෙත මුද්‍රිත ජනමාධ්‍ය ආයතන විසින් ප්‍රසිද්ධියේ විවේචන ද දෝෂාරෝපණ ද එල්ල කරනු ලබන කාලයක් ද වේ. කුඩා දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ද දැඩි අවධානයක් යොමු කළ යුතු බව පැවසිය යුතුය.

මේෂ - නිවසේ නවකම්

ඔබගේ කටයුතුවලට බලපෑමක් ඇති නොවන අතර නිවසේ අලුත්වැඩියාවකට හෝ අලුත් ගෘහභාණ්ඩ මිලදී ගැනීමට මුදලක් වියදම් කරනු ඇත. සේවා ස්ථානයේ පැවති ප්‍රශ්න ද මඟහැරී යන කාලයකි.

වෘෂභ - මාධ්‍යකරුවන්ට හොඳයි

තරඟ විභාග ආදියට ඉදිරිපත් වන අයට ජය අත්කරගත හැකි කාලයක් වන අතර සිතේ සහනය ඇතිවනු ඇත. සන්නිවේදන කටයුතුවල, මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලි අයට ද ශුභ ඵල ගෙන දෙන කාලයකි.

මිථුන - වැය වැඩියි

තම උත්සාහයෙන් කටයුතු සාර්ථක කර ගැනීමට යහපත් කාලයක් වන මුත් තම කටයුතුවලට විවිධ පාර්ශවවලින් බාධා කිරීම් ඇති කරනු ලබන බව කිව යුතුය. තැන්පත් ධනය වියදම් වී යන කාලසීමාවක් ද වනු ඇත.

කටක - මුදල් පාඩු

අන් අය සමඟ හොඳ හිත වර්ධනය කරගත හැකිවනු ඇත. නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. විශාල අන්දමෙන් මුදල් වියදම් කිරීමෙන් වැළකී සිටීම යහපත් වන අතර මුදල් පාඩු ඇතිවිය හැකි කාලයක් ද වේ.

සිංහ - මිතුරන් වැඩි වේ

ඔබගේ කටයුතුවලට විවිධ බාධා මතුවන කාලයකි. නොයෙක් තරාතිරම්වල පුද්ගලයන් තමා සමඟ මිතුරු වන කාලයකි. දුර ගමන් අපේක්ෂා කළ අයට බාධා ඇතිවනු ඇත. වෛරස් රෝග පීඩාවක් ඇතිවන කාලයක් බැවින් පරිස්සම් වන්න.

කන්‍යා - සිතේ සතුට

දේශපාලන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල අත්වන අතර නිතර සතුටින් සිටීමට කාලය යොදවයි. හිතමිතුරන්ගෙන් උදව් උපකාර අත්වන අතර සමාජ සේවා කටයුතුවලට වැඩි වශයෙන් යොමු වේ.

තුලා - මැණික් මතු වේ

පතල්වලින් වටිනා මුතු මැණික් ලබාගත හැකිවන කාලයක් වේ. ඔබගේ රුකියාවේ පැවති ප්‍රශ්න මඟහැරී යනු ඇත. තම නිවසට අලුතෙන් ගෘහභාණ්ඩ මිලදී ගැනීමක් ද කරන කාලයක් වේ.

වෘශ්චික - කෙටි ගමන්

උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල අත්වන අතර කෙටි ගමන් ද අධිකව යෙදෙන කාලයක් වේ. ලේඛන කටයුතුවල මාධ්‍ය කටයුතුවල නිරත වී සිටින අයට ද ශුභ වනු ඇත.

ධනු - ආර්ථික අපහසුතා

ඔබගේ කටයුතුවලට විවිධ වූ බාධා මතුවන කාලසීමාවක් වේ. ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයට ද ප්‍රශ්න ඇතිවන කාලසීමාවක් වේ. ආර්ථික අපහසුතා ඇතිවීමක් ද ශරීර පීඩාවක් මත වියදමක් දැරීමට ද සිදුවනු ඇත

මකර - උදර රෝග

පවුල් දිවියේ සමගියට බාධා ඇතිවන අතර මුදල් යෙදවීම් කිරීමේදී පරිස්සම් විය යුතුය. හදිසි මුදල් පාඩු ඇතිවන කාලයක් වේ. උදරගත රෝග පීඩා මතුවනු ඇත.

කුම්භ - සතුරු උපද්‍රව

වෛරස් රෝග පීඩාවක් ඇතිවිය හැකි බැවින් ප්‍රවේසම් විය යුතු අතර තමාගේ කටයුතුවලට විවිධ බාධා ද සතුරැ උපද්‍රව ද එල්ලවන බැවින් අවධානයෙන් කටයුතු කළ යුතු කාලසීමාවකි.

මීන - සමාජ සේවා

ආදර බැඳීම් වර්ධනය වන කාලයක් වන අතර අධ්‍යාපන කටයුතුවල නිරත අයට ශුභ ඵල ද අත්වනු ඇත. සමාජ සේවා කටයුතුවල නිරතවීම් වැඩිපුර යෙදෙන වකවානුවක් ද වේ.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00