2019 අගෝස්තු 03 වන සෙනසුරාදා

යුද අපරාධ කළේ අපි නොවේ, සුද්දෝ

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 193

ප්‍රවීණ පරිවර්තක  රත්නායක තිලකරත්න

උගතුන් අතර විශාල කතාබහකට ලක්වුණු මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද ලියූ The Great Rebellion 1818 කෘතිය පසුගියදා උඩරට මහ කැරල්ල නමින් පරිවර්තනය කෙරිණි. මරදාන සූරිය ප්‍රකාශනයක් වශයෙන් එළිදුටු එහි පරිවර්තකයා කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි ඉගෙනුම් අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රත්නායක තිලකරත්නය. මේ රත්නායක තිලකරත්න තම පරිවර්තන කාර්ය ගැන අප සමඟ අදහස් දැක්වූ අන්දමයි.

ඔබේ නවතම කෘතිය සමාජයේ කතාබහකට ලක්වූ සිද්ධියක් ඇතුළත් පොතක පරිවර්තනයක්?

ඔව්.. අපට සිටි විශිෂ්ට බුද්ධිමතෙක් වූ මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද ලංකා ඉතිහාසයේ බ්‍රිතාන්‍ය පාලන යුගය පිළිබඳව පර්යේෂණ කරමින් ශාස්ත්‍රීය ග්‍රන්ථ රාශියක් බිහි කළා. 1818 උඩරට මහ කැරල්ල ඉතා දීර්ඝ පර්යෙෂණයක් කරමින් ඉංග්‍රීසියෙන් ලියූ කෘතියක්. අවුරැදු පනහකට ආසන්න කාලයක් පාඨකයගෙන් සැඟවී පැවති උඩරට කැරැල්ල කෘතිය සිංහල කියවන පාඨකයන්ට ලබාදීමට මා එය පරිවර්තනය කළේ.

මෙහි අනතර්ගතය ගැන විස්තර කළොත්?

වර්ෂ 1815දී ඉංග්‍රීසින් ශ්‍රී ලංකාව යටත් කරගත් පසු සුද්දන්ට එරෙහිව සිංහල විරෝධයක් පැන නැගුණා. 1818 වනවිට එම විරෝධය උත්සන්න වූයේ විශාල කැරැල්ලක් හටගැනීමෙන්. එයට උඩරට ප්‍රභූවරු, භික්ෂූන් වහන්සේ, සාමාන්‍ය ජනතාවගේ සහාය ලැබුණා. කැරැල්ල පැවති කාලයේදී රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා ජෝන් ඩොයිලි වගේ නිලධාරින් හුවමාරු කරගත් ලියුම්, සම්මුඛ සාකච්ඡා, නඩු විභාග ආදී දුර්ලභ තොරතුරු රාශියක් මේ පොතේ අඩංගුයි. පොතට තෙන්නකෝන් විමලානන්ද මහතා ලියූ දීර්ඝ ප්‍රත්තාවනාවක් ද අඩංගු වෙනවා. කැරැල්ල පිළිබඳ පසුබිම එහි මනාව විස්තර වෙනවා. දැන් ලෝකයේ බටහිර රටවල්වල, අපේ රටේ කතාවක් යනවනේ අපි යුද්ධ අපරාධකාරයෝ කියලා. මේ පොත බැලුවම පේනවා යුද්ධ අපරාධකාරයෝ අපි නොවෙයි සුද්දෝ කියලා.

මෙම කෘතිය මෙයට පෙර සිංහලට පරිවර්තනය කර තිබෙනවාද?

නෑ.. නමුත් මෙහි දෙවැනි කොටසේ ඇතුළත් ලියුම් තෙන්නකෝන් විමලානන්ද විසින්ම 1960 දශකයේ සිංහලට පරිවර්තනය කර තිබුණා. දැන් ඒ කෘතියත් සොයාගැනීමට අපහසුයි. ඔහුගේ අනෙක් පොත්වල සඳහන් කර තිබෙනවා උඩරට මහ කැරැල්ල I ලියාගෙන යන බව. නමුත් එම කෘතිය ඉංග්‍රීසියෙන් ලිව්වා මිසක් සිංහලෙන් පළවුණේ නෑ. මෙයට පෙර තෙන්නකෝන් විමලානන්ද කළ පරිවර්තනවල කතාසාරය අරගෙන තමයි සිංහලට දමා තිබෙන්නේ. මම වාක්‍යයෙන් වාක්‍යය තමයි මේ පොත පරිවර්තනය කළේ.

ඔබේ පරිවර්තනයට ලැබෙන ප්‍රතිචාර කෙසේද?

පොත විශාල වෙහෙසක් දරා පරිවර්තනය කළ එකක්. වර්ෂයකටත් වැඩි කාලයක් ගතවුණා. පොත පිටවූ පසු කිහිපදෙනෙක්ම එම කාර්යය අගය කළා. රත්නපුර හංගමුවේ උඩහවලව්වේ ජේ.එච්.බී. බණ්ඩාර මහතා ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන කෙනෙක්. ඔහු කෑලිගම විජිතනන්ද නායක හාමුදුරුවන්ගේ පුස්තකාලයේ තිබී මෙහි ඉංග්‍රීසි පිටපත සොයාගෙන එය පරිවර්තනය කිරීමට මා උනන්දු කළා.

ඔබ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් වශයෙන් තරුණ පරපුර සමඟ ගනුදෙනු කරනවා. අද තරුණ පෙළ ඉතිහාස කරුණු ගැන දැනගන්න උනන්දුවක් දක්වනවාද?

මම නම් හිතන්නේ බහුතරයක් ඒ ගැන උනන්දුවක් දක්වන්නේ නැහැ. සාමාන්‍ය දැනුම සොයා යන පිරිසකුත් දැකගත හැක්කේ ඉතා කලාතුරකින්. හුඟදෙනෙක් ඉන්ටර්නෙට් තුළ අතරමං වෙලා. 

එවකට බ්‍රිතාන්‍යයෙන් රටට කළ විනාශය මෙහි අඩංගු වෙනවා නේද?

ඔව්.. පෘතුගීසින්ගේ පටන් විදේශීය ආක්‍රමණිකයන් අපේ රටට කළේ විනාශයක්. 1818 කැරුල්ල මැඩපැවැත්වීමට ගම්බිම් විනාශ කරමින් හරකාබාන, දේපල කුඹුරැ ගිනි තියමින් විශාල සංහාරයක් කළ බව බ්‍රවුන්රිගේ ආණ්ඩුකාරයාම පිළිගෙන තිබෙනවා. බ්‍රවුන්රිග්ම ඒ ගැන ලියපු ලිපිලේඛන මෙහි තිබෙනවා. මේ පොතේ විෂ්ලේෂණයේ තමයි තෙන්නකෝන් විමලානන්දගේ අදහස් තිබෙන්නේ. අනෙක් කොටස්වල තිබෙන බ්‍රිතාන්‍ය නිලධාරින්ගේ ලිපිවලින් ඔවුන්ගේ මර්දනකාරී පිළිවෙත හෙළිවෙනවා.

මහාචාර්ය විමලානන්ද, ආචාර්ය ඇම්.බී. ආරියපොල, මහාචාර්ය පරණවිතාන වගේ බුද්ධිමතුන් රාශියක් කලකට පෙර හිටියා. නමුත් එවැනි විශිෂ්ට විශ්වවිද්‍යාල බුද්ධිමතුන් පසුකාලීනව බිහිවන බවක් පේන්නේ නැහැ නේද?

ඒක හරි. අද වැඩිදෙනකුට විශාල පර් ෙය්ෂණවලට යාමට උනන්දුවක් නෑ. නමුත් කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ අංශයේ විශ්‍රාමික ආචාර්ය එම්.කේ. ජයසේන සිංහලේ අන්තිම රජු සම්බන්ධ දුර්මත විග්‍රහ කරලා හොඳ පොතක් පළකළා. ඒක හොඳ පර් ෙය්ෂණයක්. ඒ හැරෙන්නට ඉතිහාසය ගැන ගැඹුරැ පර් ෙය්ෂණ කිරීමක් නම් මෑතකදී දැකගත හැකි වුණේ නෑ. 

අද ඉතිහාස පුරාවිද්‍යා ආචාර්ය මහාචාර්යවරැ රාශියක් විශ්වවිද්‍යාලවල ඉන්නවානේ. එසේ නම් ඇයි පර් යේෂණ කෘති බිහි නොවන්නේ?

ඒකට නම් සමාජයෙන් ඉල්ලුමක් නැතිකමද ඔවුන්ගේ තිබෙන උදාසීනත්වය ද කියලා තේරුම් ගැනීමට අපහසුයි. විශාල පර්යේෂණ සිදුනොවන බව තමයි පේන්නේ.

උඩරට මහ කැරැල්ල පසුව පරාජයට පත්වෙනවා?

ඔව්. විශාල ජනතා බලයක් රොක්වූ කැරැල්ල පසුව විවිධ හේතු නිසා දුර්වල වෙනවා. තවමත් අපේ රටේ ගැති මානසිකත්වය පේනවා. එදා සෑහෙන්න තිබුණා. කැප්පෙටිපොළ දිසාව වුණත් මහකැරැල්ලට සම්බන්ධ වන්නේ කැරුල්ලේ මැදදී. මුලින්ම කැරුල්ල පටන් ගන්නේ පොදු ජනතාව. ඒක මේ පොතේ ඉස්මතු වෙන කාරණයක්. පසුව පොදු ජනතාව පැත්තකට ගිහින් කැප්පෙටිපොළ වීරයා වෙනවා. ඊට පසු ක්‍රමයෙන් පොදු ජනතා කැපවීම අඩුවෙනවා. සමහර ප්‍රභූන්ගේ පාවාදීම නිසා කැරුල්ල පරාජය වෙනවා.

ඒ කාලේ බ්‍රිතාන්‍යයන්ට තම ආධිපතයය පැතිරවීමට එල්ල වූ බාධා ගැන සඳහන් වෙනවාද?

ඔව්.. අපේ හාමුදුරැවරැ රාශියක් ක්‍රිස්තියානිය පැතිරවීමට එරෙහිව නැගී සිට තිබෙනවා. ඒක බ්‍රිතාන්‍යයට ලොකු බාධාවක් වුණා. ඒක අපි විශේෂයෙන් සඳහන් කළ යුතුයි. අපේ භික්ෂූන් වහන්සේගේ කැපවීම. 

ඔබ නිර්මාණශීලී ලේඛකයෙක් වශයෙන් ද නමක් දිනාගත් කෙනෙක්?

ඔව්.. නවකතා හයක් ලියා තිබෙනවා. නමුත් මම ඒවායේ ප්‍රචාරයට ලොකු උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒක පාඩුවක් වුණා. 1994 දී රෝගීන් මැද නිරෝගීව නවකතාවට රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබුණා. ඊට පසු සිතුමිණි අඩවිය, සහසු අවතාර, වර්ණ අන්ධයෝ, දෝංකාර මායිම්, මම නොවෙමි මම කියන නවකතා ලිව්වා. මේ දිනවලත් නවකතාවක් ලියාගෙන යනවා. ඩී.එච්. ලෝරන්ස්ගේ නවකතා දෙකක් පරිවර්තනය කර තිබෙනවා. පුත්තු සහ පෙම්වත්තු සහ පෙමින් බැඳි ළඳුන් නමින්.

අපේ සමාජය සාහිත්‍යය අත්හරිමින් ඩිජිටල් මාධ්‍යයට මුලාවී ඇති බව පේනවා?

බටහිර රටවල්වලත් ඩිජිටල් මාධ්‍ය පැතිරිලා තිබෙනවා. නමුත් ඔවුන් එය සමබරව පවත්වාගෙන යනවා. මුද්‍රිත මාධ්‍ය පොතපත විශාල පිටපත් සංඛ්‍යාවලින් අලෙවිවෙනවා. උඩරට මහකැරැල්ල දොරට වැඩුමේ උත්සවයේදී මහාචාර්ය රාජ සෝමදේව කිව්වේ අපේ දියුණුව පොමනේරියන් බල්ලෙක් අධිවේගී මාර්ගෙකට දැම්මා වගේ කියලා. එතකොට කිසිම නිනව්වක් නෑ. ඔහේ මිනිස්සු යනවා. අතරමං වෙනවා. අන්තර්ජාල, සමාජ මාධ්‍යවලින් කොතරම් ප්‍රයෝජන ගත හැකිද? නමුත් අපේ වැඩිදෙනෙක් ඒවායේ නරක පැත්ත පමණයි බදාගන්නේ. හරවත් දේකට යන්නේ නෑ.

මේ අයාලේ යන ස්වභාවයෙන් තරැණ පරපුර මුදා ගැනීමට කළ යුත්තේ කුමක්ද?

ඒකට නම් අධ්‍යාපනයේ සිට තරුණ පරපුරට රසවින්දනය ලබාදිය යුතුයි. පාසල්වලින්ම කියවීමේ අගය වර්ධනය කළ යුතුයි. වෛද්‍ය විද්‍යාලයේ වුණත් විද්‍යා විෂයන්වලට අමතරව සාහිත්‍ය හා සෞන්දර්ය වගේ දේවල් උගන්වනවා නම් එම ශිෂ්‍යයන්ගේ මානසික ආතතිය දුරැවී හොඳ ඉගෙනුම් වටපිටාවක් ඇති වෙනවා. නිර්මාණ හැකියාව ඇතිවෙනවා. මේ රටේ සංස්කෘතිය ඔවුන් හඳුනාගන්නවා.

 කුසුම්සිරි    

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00