2019 අගෝස්තු 03 වන සෙනසුරාදා

බැංකු පොලිය අඩුවීමෙන් ලක්ෂ ගණන් විශ්‍රාමිකයෝ අමාරුවේ

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 416

වාණිජ බැංකු සහ ලියාපදිංචි මූල්‍ය සමාගම් මගින් ස්ථාවර තැන්පතු සහ ඉතිරිකිරීමේ ගිණුම් වෙනුවෙන් ගෙවන පොලී අනුපාත ඉදිරි දින දෙක තුන තුළදී තවදුරටත් අඩු කිරීමට නියමිත බව අග්‍රාමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කර සිටියේය. මෑතකදී අප්‍රේල් 30 හා ජූලි මස 01 යන දිනවල ද පොලිය සියට 2 – 3 අතර ප්‍රමාණයකින් පහළ හෙලීය. එසේ තිබියදී පොලිය තවදුරටත් පහළ දැමීමට යන්නේ කුමක් නිසාදැයි බැංකු ක්ෂේත්‍රයේ විවිධ අය අතර සාකච්ඡාවට බඳුන් වී තිබේ.

මෙලෙස පොලී මට්ටම පහත දැමීම නිසා වයස 60 දක්වා වූ තැන්පත්රුවන්ගේ ස්ථාවර තැන්පතු පොලිය මේ වනවිට 9.33% දක්වා අඩු වී ඇත. එසේම වයස 60ට වැඩි අයට ගෙවන පොලිය ද 11.5 – 12 අතර ප්‍රතිශතයකට පහළ වැටී තිබේ. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ගෙවන සියයට 15 සුවිශේෂ ස්ථාවර තැන්පතු පොලිය ද අනාගතයේදී පහළ යාමේ අවදානමකට ලක්වීමෙන් ඔවුහු අසහනයට පත්ව සිටිති.

බැංකු ක්ෂේත්‍රයේ විශ්ලේෂකයන් පවසන්නේ බැංකු තැන්පතු පොලී පහළ හෙලීමට සමානුපාතිකව ණය පොලිය ද අඩුවන බවය. එවිට ආයෝජන සඳහා ණය ලබාගැනීමේ වේගය ඉහළ යාවි යැයි අදහස් කර ඇති නමුත් මෑතකාලීන පොලී වෙළෙඳපොළේ හැසිරීම සලකා බලනවිට අඩු පොලියට ණය ගෙන  ආයෝජනය කරන්නන්ගේ සංගමය ඉහළ ගොස් නැති බව පෙනෙන්නට තිබේ. එසේම ගෘහ නිර්මාණ සහ ගොඩනැගිලි ඉදිකිරීම් හැරුණුවිට සෙසු ආයෝජනවලට ඉදිරිපත් වන සංඛ්‍යාව අඩුව තිබේ. බැංකු එම ව්‍යාපෘතිවලට ණය නිකුත් කිරීමේදී ද ගොඩනැගිලිවලට තරම් උනන්දුවක් දක්වන බවක් නොපෙනේ. එයට හේතුව සුරුකුම් ලබා ගැනීමේ දුෂ්කරතාවයයි.

ඇතැමුන්ගේ අදහස වන්නේ රජය මෙලෙස අසීමාන්තිකව පොලී අඩු කිරීමට යන්නේ “එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ලබාදෙන ණයවලට රජයෙන් ගෙවිය යුතු විශාල පොලියෙන් යම් පමණක සහනයක් ලබාගැනීමට බවය.“එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා” ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාපාර ආරම්භ කිරීමට මේ දක්වා ගත් ණය සඳහා රුපියල් මිලියන 6500ක පොලී සහනාධාරයක් ගෙවීමට රජයට සිදුව තිබේ. මේ වනවිට ව්‍යාපාරිකයන් දසලක්ෂයක් බිහිකිරීමේ වැඩසටහන යටතේ ව්‍යවසායකයන් 55000කට රුපියල් කෝටි 8800ක් ණය දී ඇත. මේ මුදල් රජයේ මුදල් නොව රාජ්‍ය වාණිජ බැංකුවල මුදල්ය. මෙම ණය මුදල් පැකිලීමකින් තොරව ගෙවන ලෙස බලධරයන් බැංකුවලට තරයේ උපදෙස් දී ඇත. මේ ණය වැඩසටහන යටතේ බැංකුවලින් නිකුත් කරන ණයවලට පොලියෙන් සියයට 50 – 75 රජය ගෙවන බව ප්‍රකාශයට පත්කර ඇත. පොලිය අඩු වුවහොත් රජයට ගෙවන්නට සිදුවන පොලිය ද අඩුවෙයි.

බැංකු පොලී අවම කිරීමට යාම පිළිබඳ විවිධ පාර්ශවවල අදහස් මෙසේ සංක්ෂිප්තයෙන් දක්වමු.

පොලිය අඩුකළාම ප්‍රතිලාභ රටටයිි
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්. ඒ. විජේවර්ධන

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්. ඒ. විජේවර්ධන පවසන්නේ බැංකු පොලී අනුපාත පහත හෙලීමෙන් යහපත් ප්‍රතිලාභ ලැබෙන අතර එය ධනාත්මක අරමුණකින් ක්‍රියාත්මක කිරීම වැදගත් බවය.

බැංකු පොලී අනුපාත පහළ හෙලීමේදී අවශ්‍ය වන්නේ මූර්ත පොලිය පහළ යාමයි. දැනට අඩුකර ඇත්තේ නාමික පොලියයි. මූර්ත පොලිය ලැබෙන්නේ නාමික පොලියෙන් උද්ධමන වේගය අඩුකිරීමෙන්. රටේ ආර්ථිකයට බලපාන්නේ මූර්ත පොලියයි. උද්ධමනය ඉහළ ගියවිට මූර්ත පොලිය අඩුවෙනවා.

උදාහරණ ලෙස පැවසුවොත් අද වනවිට ශ්‍රී ලංකා මහ බැංකුව නාමික පොලිය සියයට 9.8 විය යුතු බවට උපදෙස් දී තියෙනවා. වර්තමානයේ උද්ධමන වේගය සියයට 9ක් නිසා මේ වනවිට මූර්ත පොලිය සියයට 5.8ක් වෙලා තියෙනවා. එය හොඳම පොලී අනුපාතය ලෙස දැක්විය හැකියි. ඒ පිළිබඳ විවාදයක් නැහැ.

අපේ රටේ වාණිජ බැංකු ණයවලට සියයට 16 වගේ අධික පොලියක් අයකරනවා. එහි මූර්ත පොලිය 12යි. එහෙත් එය අධික මට්ටමක්. ඒ නිසයි ආයෝජන අඩුවෙලා ඇත්තේ. වාණිජ බැංකු සියයට 9.8ට මුදල් ගෙන සියයට 16 වගේ වැඩි පොලියකට දීම අසාධාරණයි. මෙයින් වෙන්නේ රටේ සියලුම මුදල් පාහේ වාණිජ බැංකුවලට යොමුවීමයි. සෙසු ව්‍යාපාර කරන මූර්ත ආයතනවල ලාභ මට්ටම අඩුවෙලා තියෙනවා. උදාහරණ ලෙස ජොන් කීල්ස්, හේලීස් වැනි ආයතන ගත හැකියි. ඒවායින් අහිතකර ලෙස බලපානවා.

වාණිජ බැංකුවලින් සිදුකළ යුත්තේ මෙම නිෂ්පාදන ආයතනවලට මූල්‍ය පහසුකම් සැලැස්ම පමණයි. එහෙත් අද පවතින තත්ත්වය අනුව භාණ්ඩ නිෂ්පාදන සමාගම්වලට විශාල ලෙස ලාභ ලැබෙන්නේ නැහැ. බැංකුවලට තමා එම ලාභය ගලාගෙන යන්නේ. වාණිජ බැංකු බිලියන 10 – 12 පමණ ලාභ ලබන බව පැවසෙනවා.

රටේ ආර්ථිකයට ප්‍රයෝජනවත් වෙන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන මූර්ත ආයතනයි. එහෙම නැතුව ණය දීලා ලාභ ලබන ආයතන නෙවෙයි. එම ආයතන විශාල ලෙස පිම්බීම නිසා බුබුළු (Bubble) බවට පත්වෙලා තියෙනවා. ඒ බුබුළු බිඳ වැටුණොත් බැංකු ද බිඳ වැටීමේ අවදානමට ලක්වෙනවා. එහෙත් මේ දෙඅංශයට සමසමව යාමයි වැදගත් වෙන්නේ.

මහ බැංකුව පොලී අනුපාතය අඩු කරලා වාණිජ බැංකුවලට උපදෙස් දෙනවා ඒ අනුව ණය පොලිය අඩු කරන්න කියලා. බොහෝ වෙලාවට වාණිජ බැංකු කරන්නේ එහෙම නොකර අධික පොලියට ණය දීමයි. මහ බැංකුව පොලිය අඩු කිරීම යහපත් අපේක්ෂාවෙන් කරන දෙයක් වුණත් වාණිජ බැංකුවල ක්‍රියා කලාපය නිසා ජනතාවට එම සහනය ලැබෙන්නේ නැහැ.

එසේම මේ අනුව බැංකු තැන්පතුවල පොලිය ද අඩුවෙනවා. රටේ උද්ධමනය අඩුව තිබෙන නිසා තැන්පතු පොලිය අඩුකිරීම ජනතාවට එකවරම දැනෙන්නේ නැහැ. අද රටේ ආහාර ද්‍රව්‍යවල මිල එතරම් වැඩි නොවුණ ද ආහාර නොවන දේවල මිල එතරම් අඩු වී නැහැ. ඒ නිසා ජනතාවට යම් පමණක අසාධාරණයක් වෙනවා. ඒ නිසා මේ දෙපාර්ශ්වයෙන්ම සහනයක් ලැබෙනවා නම් බැංකු තැන්පතු පොලිය අඩු වුණායැයි ජනතාවට එතරම් අසාධාරණයක් වෙන්නේ නැහැ. කෙසේ වුණත් වාණිජ බැංකුවල ණය පොලී හා තැන්පතු පොලී අතර වෙනස සියයට දෙකක මට්ටමක තිබුණහොත් සැම පාර්ශ්වයකටම යහපතක් සිදුවෙයි.

පොලිය මත යැපෙන්න එපා 
ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ මහ ලේකම් - බන්දුල දසනායක 

බැංකු පොලී අනුපාතිකය පහළ දැමීමේ ප්‍රතිඵල දෙපැත්තකින් ගෙන සාකච්ඡා කරන්නට පුළුවන්. මෙහිදී සිදුවන්නේ ජනතාව බැංකු පොලිය මතම යැපෙන්නේ නැතිව වෙනත් ආයෝජනවලට පෙළඹීමයි. බැංකු පොලිය අඩු නිසා එයට වැඩිය ආදායම් ලැබිය හැකි ව්‍යාපෘතිවලට පෙළඹීමට ඇති ප්‍රවණතාව යහපත් වෙනවා.

මෙහිදී වන අයහපත් තත්ත්වය නම් බැංකුවල මුදල් ආයෝජනය කරලා ඒ ආදායමෙන් ජීවත් වන අයගේ ආදායම පහළ යාමෙන් ඒ අයට අසාධාරණයක් ඇතිවීමයි. බොහෝ අය බැංකුවල මුදල් තැන්පත් කරන්නේ එය අවදානම අඩු වෙහෙසක් නොමැතිව ආදායම ලබාගත හැකි මාර්ගයක් නිසයි. එහෙත් මෙහිදී ඒ අයගේ ජීවන මට්ටම පහළ යනවා. මෙහිදී පාරිභෝගිකයන් මුදල් තැන්පත් කිරීම අඩු වූ විට බැංකුවල ආදායම ද අඩු වෙනවා. එවිට ණය දීමට අඩුවෙනවා.

උද්ධමනය වැඩිවෙනවා. එයට හේතුව ජනතාව පහළ පොලියට දෙන මුදල් ලබාගෙන විවිධ අනවශ්‍ය පාරිභෝජනයට නැඹුරු වීමයි. අනිත් අතට බැංකු පොලිය අඩු වුණායැයි ජනතාව ක්ෂණිකවම ආයෝජනවලට නැඹුරු වේයැයි සිතන්න බැහැ. ව්‍යාපාරවලට සුදුසු පරිසරයක් ද තිබිය යුතුයි. ආයෝජනවලදී සුරක්ෂිතතාව වැදගත්. ආර්ථික ප්‍රතිපත්තිවල තිරසාර භාවයක් තිබිය යුතු වෙනවා. ආයෝජකයන් ව්‍යාපාරවලට ඇදගැනීමට නම් ඒ පිළිබඳ විශ්වාසයක් ඇතිවිය යුතුයි.

අනිත් අතට ජනතාවට විධිමත් මූල්‍ය ආයතනවලින් තැන්පතුවලට ලැබෙන පොලිය අඩුවනවිට ඒ අය අවිධිමත් අංශවලට යොමු වෙනවා. ඒවායේ වැඩි පොලියට මුදල් තැන්පත් කරලා ඔවුන් අමාරුවේ වැටෙනවා. දැනටමත් එවැනි සිද්ධි ගණනාවක් වාර්තා වෙලා තිබෙනවා. බැංකු පොලිය තීරණය කිරීමේදී මේ සෑම පැත්තක් ගැනම බැලිය යුතු වෙනවා.

ණය ෙපාලිය බැස්සුවාට අාෙයා්ජන නගින්ෙන් නැහැ
කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමි:

ලොව පුරා විවිධ රටවල නොයෙක් මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙනවා. මූල්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීමේදී බැංකු පොලිය වැදගත්. දියුණු රටවල බැංකු පොලී අනුපාත නොයෙක් අවස්ථාවල උස් පහත් කරනවා. රටේ ආර්ථික වෘද්ධීය පහළ බසින විට බැංකු පොලිය අඩු කරනවා. එවිට ආයෝජනය වැඩිවෙලා ආර්ථිකය ප්‍රසාරණය වෙනවා.

අපේ රටේ බොහෝ කාලයක් තිස්සේ තිබූ ප්‍රධාන ගැටලුවක් වූයේ පොලිය ඉහළ මට්ටමක තිබීමයි. මේ නිසා ආයෝජන වියදම් වැඩි වෙනවා. නොයෙක් අවස්ථාවල විවිධ ආණ්ඩු  සාකච්ඡා කළා පොලිය තීරණය කිරීම පිළිබඳව. අපේ මෑත ඉතිහාසය දෙස බලනවිට බැංකු පොලිය පහළ බැස්සුවාය කියලා රටේ ආයෝජන වැඩිවෙලා නැහැ.

මෙහිදී සිදුවන්නේ ආයෝජනය කෙසේ වෙතත් කල් පවතින පාරිභෝගික භාණ්ඩවල ඉල්ලුම ඉහළ යාමයි. ගෘහ භාණ්ඩ, ඉලෙක්ට්‍රොනික උපකරණ, විදුලි භාණ්ඩ, වාහන, සුඛෝපභෝගී භාණ්ඩ ආදිය වැඩියෙන් ඉල්ලුම් කරනවා. නිවාස හා ඉදිකිරීම් ඉහළ යාම ද සිදුවෙනවා. එසේ නැතුව වෙනත් ආයෝජන ඉහළ යාමක් සිදුවන්නේ නැහැ. වැඩිපුර රැකියා උප්පාදනය වූයේ නැහැ. විරැකියාව අඩුව තිබුණත් අද උගත් අය අතර විරැකියාව ප්‍රශ්නයක් වෙලා. එම ගැටලුවට පොලියෙන් සහනයක් ලැබී නැහැ. ශ්‍රමිකයන් නිර්මාණය කරන ආයතන වෙනස් විය යුතුයි. වෘත්තිය අධ්‍යාපනය නගා සිටුවිය යුතු වෙනවා. ග්‍රාමීය ප්‍රදේශවල කෘෂි ව්‍යවසායකත්වය හා කර්මාන්ත ව්‍යවසායකත්වය ඉහළ නැංවිය යුතුවෙනවා. විශ්ව විද්‍යාල අධ්‍යාපනය රටට ගැලපෙන ලෙස සංශෝධනය කළයුතු වෙනවා. පොලිය අඩුවීමේ වාසිය මෙම අවශ්‍යතාවලට ගලපාගත යුතුයි.

මෙහිදී බැංකු තැන්පතුකරුවන්ට සිදුවන අසාධාරණය ගැන ද කතා කළ යුතුවෙනවා. දැනට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලක්ෂ 10ක් සඳහා ගෙවන සියයට 15ක පොලිය ද දිගටම මෙම තත්ත්වය මත ගෙවිය හැකි වේයැයි සිතන්න බැහැ. දැනටමත් මෙම වැඩි පොලියේ වෙනස අදාළ වාණිජ බැංකුවලට දරාගන්නට  සිදුව ඇති නිසා පොලී ප්‍රතිශතය අඩුකිරීම කෙරෙහි අවධානය යොමුවෙලා තියෙනවා. එහෙත් අරිථසාධක අරමුදලට දායක වූ අය මේ මුදල බැංකුවල තැන්පත් කරලා පොලියෙන් තමා ජීවත් වෙන්නේ. මෙහිදී ලක්ෂ 10ට වඩා වැඩි මුදල් තැන්පත් කරලා තියෙන අයට ලැබෙන පොලිය අඩුවීම නිසා විශාල ගැටලුවකට පත්වෙනවා. ඔවුන්ගේ ඖෂධවලට, ආරෝග්‍යශාලා බිල් ගෙවීම ආදියට අපහසුතා මතුවෙනවා.

එසේම විදේශ ගතවූ අය මෙරටට එවන මුදල් ප්‍රමාණය අඩු වෙනවා. ලැබෙන පොලියෙන් උද්ධමනයට අයින් කළවිට අතට ලැබෙන වාසිය අඩුයි. එසේම මෙය උද්ධමනය වැඩිවීමට ද හේතුවෙනවා. රුපියලේ විදේශ අගය අඩුවන අතර පිටරටින් ආනයනය කරන බඩුවලට ද වැඩියෙන් ගෙවිය යුතු වෙනවා. දැනට වෙළෙඳ ගිණුමේ ඇති හිඟය වූ අමෙරිකානු ඩොලර් බිලියන 10 මුදල ද ඉහළ යන්නට හේතු වෙනවා.

මේ තත්ත්වය අවම කිරීම සඳහා  පොලිය එකම මට්ටමකින් ක්‍රියාත්මක නොකර වර්ණනාත්මක භාණ්ඩවලට ඉහළ පොලී අනුපාතයක් ද ආයෝජනවලට පහළ අනුපාතයක්ද දිය යුතුයි. එසේ නැතුව සමස්ත පොලිය අවිචාරාත්මක ලෙස අඩු කිරීමෙන් අසාර්ථක ප්‍රතිඵල ලැබෙනවා. මෙය දෙපැත්ත කැපෙන ආයුධයක් බව සිතා කටයුතු කළ යුතුයි.

 

 

පොලියට වඩා බදුයි අඩුකරන්න ඕනෑ
මෝටර් වාහන වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති - ගිහාන් පිලපිටිය 

බැංකු පොලිය අඩුවීම යහපත් ප්‍රවණතාවක්. නමුත් එහි ප්‍රතිඵල ශ්‍රී ලංකාවේ වාහන ක්ෂේත්‍රයට තවමත් එතරම් බලපෑමක් වී නැහැ. එයින් සිදුවන දේ කියන්නට තවමත් කල් වැඩිය කියන එකයි මගේ අදහස. දියුණු රටවල බැංකු පොලිය අඩුයි. ජපානය වගේ රටවල සියයට එකටත් අඩු තරම්. ඒත් අපේ රටේ ඒ මට්ටමට පොලිය අඩු කළ නොහැකියි.

කෙසේ වුණත් මේ වනවිට වාහන ණයවලට සිදු කරන ආපසු ගෙවීම් ඉතාම පහළ මට්ටමකයි තියෙන්නේ. පසුගිය සමයේ රටේ ඇති වූ අයහපත් වාතාවරණය නිසා වාහන මිලට ගත් අයට ලීසිං වාරික ගෙවීමට ඉතාම අපහසු වුණා. ඒ තත්ත්වය තවම වෙනස් වී නැහැ. ඒ නිසා වාහන ව්‍යාපාරිකයන්ට ලැබෙන ආදායම අඩු වෙලා. ආදායම අඩුවෙලා තිබීම නිසා ඔවුන්ට නියමිත වාරික ගෙවාගත නොහැකිව මාස ගණනක් හිඟ තබන්න වෙලයි තියෙන්නේ. පවතින තත්ත්වයේ හැටියට මේ අයට එරෙහිව යම් පියවරක් ගැනීමට ද අපහසුයි. ඒත් දිගටම සහන දෙන්න බැහැ.

ලෝකයේ වාහන ආනයනයේදී අය කරන ඉහළම බදු ප්‍රතිශතය තිබෙන්නේ අපේ රටේ. එය ඇතැම් වාහනවලට සියයට 200ට ද ඉහළයි. මෙම බදු මට්ටම පහළ දමනතුරු මෙම ව්‍යාපාර ක්ෂේත්‍රය පුළුල් කිරීමට අපහසුයි. ඒ නිසා වාහන මිලද යම් පමණකට අඩු වී බැංකු ණය පොලිය ද අඩුවන්නේ නම් එවිට අපේ ව්‍යාපාරයට මෙන්ම වාහන ගැනුම්කරුවන්ට ද යහපතක් සිදුවෙයි. එහෙත් එම තත්ත්වය කවදා ඇති වේදැයි කියන්න බැහැ. වාහන ණය පොලියෙන් ජනතාවට සහනයක් සැලසෙන්න නම් වාහන මිල ද සාධාරණ ලෙස පහළ තිබිය යුතුය යන්න පැවසිය යුතුයි

ණය වැඩි වුෙණාත් උද්ධමනය නගීවි​.
ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් - රංජන් සේනානායක

රටක බැංකු පොලී අනුපාත තීරණය කළ යුත්තේ සමස්ත ආර්ථික තත්ත්වය ගැන සලකා බලලයි. එසේ නොවී දේශපාලන වුවමනා එපාකම් මත හෝ වෙනත් පටු අවශ්‍යතා ගැන පමණක් සලකලා කෙටි කාලීන වශයෙන් පොලී අනුපාත තීරණය කිරීම නොකළ යුත්තක්. එසේ කෘතිමව පොලී අනුපාත වෙනස් කළහොත් දීර්ඝ කාලීනව රටට වෙන්නේ අයහපතක්.

පොලී අනුපාත අඩු වූ විට ජනතාව වැඩිපුර ණය ගන්නට යාමෙන් උද්ධමනය ඉහළ යාමට ද ඉඩ තිබෙනවා. කෙසේ වුණත් මේ අවස්ථාවේ පොලී අනුපාත පහළ දැමීම ව්‍යාපාරිකයන්ට සහ පාරිභෝගික ජනතාවට යහපත් විය හැකියි. පසුගිය දිනවල ඇති වූ අයහපත් සිද්ධි නිසා රටේ ව්‍යාපාර ක්ෂේත්‍රය කඩාවැටිලයි තියෙන්නේ. එවැනි අවස්ථාවක ව්‍යාපාරිකයන්ට අඩු පොලියට ණය ගන්නට අවස්ථාව ලැබීම හොඳයි. එවිට ඔවුන්ට තම ව්‍යාපාර දියුණු කිරීමට අවශ්‍ය ප්‍රාග්ධනය අඩු පොලියට ලබාගත හැකිවෙනවා. එසේ ලබාගන්නා ණය ව්‍යාපාර සංවර්ධනයට යොදවා රටේ මෙන්ම ඒ අයගේ ද ආර්ථිකය යහපත් කළ හැකිවෙනවා. මෙතෙක් කල් ව්‍යවසායකයන්ට වැඩි පොලියන් ගෙවීමට සිදුවීම නිසා බැංකුවලින් ණය ගැනීමට උනන්දුවක් නැතිවයි සිටියේ. දැන් මෙහිදී ණය ප්‍රසාරණය වීම එක් අතකට යහපත් යැයි කිව හැකිය.

රටක් සංවර්ධනය වනවිට පොලී අනුපාත පහළ යා යුතුයි. එහෙත් මෙහිදී කෘත්‍රිම ලෙස පොලී අනුපාත ගණනය කිරීම නිසා එම යහපත සිදුවන්නේ නැහැ. එසේ වුවද කෙටි කාලීන වශයෙන් යම් යහපතක් තාවකාලිකව හෝ සිදු නොවනවායැයි කිය නොහැකිය. එහෙත් එය ක්‍රියාත්මක වන ආකාරය අනුවයි ප්‍රතිඵල කිව හැකි වන්නේ.

 යසවර්ධන රුද්රිගු