2019 අගෝස්තු 03 වන සෙනසුරාදා

කොළඹ සරසවි සිසුන්ට වෙඩි තැබූ දවස

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 249

ඇත්තෙන්ම ශිෂ්‍ය දේශපාලනය මෙරට බාහිර සමාජය තුළ පවතින දේශපාලනයට වඩා අව්‍යාජය. පටු ලාභ ප්‍රයෝජන ගැනීමේ චේතනාවක් ඒ තුළ නැත. ශිෂ්‍යයා අරගල කරන්නේ තමන්ට අසාධාරණයක්යැයි අවංකව දැනෙන දේට එරෙහිවය. සමාජ යුක්තිය කලින් කලට වෙනස් වෙයි. ගැටලුව වන්නේ සිසු කණ්ඩායම් මෙහෙයවන බලවේග තුළය. තමන් දකින සීමාව තුළ ලෝකයේ සාධාරණත්වය මේ යයි දකින්නට එකී බලවේග ශිෂ්‍යයාට බලකරයි. එකී සීමාවට ඔබ්බෙන් දකින ශිෂ්‍යයා රැළෙන් පන්නා දැමිය යුතුයයි ඉහත කී බලවේග පොදු ශිෂ්‍යයාට සන් කරයි.“ඉගෙන ගන්න, අරගල කරන්න, අරගල කරන්න ඉගෙන ගන්න.” යනු ඒකාලේ ශිෂ්‍ය ව්‍යාපාරයේ සුපුරැදු සටන් පාඨයක් විය. දළ ජාතික ආදායමෙන් සියයට හයක් අධ්‍යාපනයට වෙන්කර ගන්නට ශිෂ්‍යයා කරන අරගලය කිසිම අයුරකින් අසාධාරණ නොවේ. සිසු ජීවිතයක් යනු රටට ඕනෑකරන මානව සම්පතකි. එම සම්පත රැකියාවක් දියයුතු හිසරදයක් නොවේ. රටේ සංවර්ධනයට ඉක්මනින්ම දායක කරගත හැකි නිපුණතාවයකින් ශිෂ්‍යයා සන්නද්ධ කිරීම අධ්‍යාපනයේ වගකීම වෙයි. 

අපේ කාලයේත් පුස්තකාල පහසුකම්, නේවාසික පහසුකම් ශිෂ්‍ය සුබ සාධක ආදී සියල්ල තිබුණේ තිබිය යුතු මට්ටමට වඩා ඉතා පහත් මට්ටමිණි. උදාහරණයක් ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ පුස්තකාලය පවත්වාගෙන ගියේ ශිෂ්‍යයන්ගේ හිස මතට කොයිවෙලේ කඩාපාත් වේදෝයි සැත හිතෙන “කන්ඩෙම් කළ” ගොඩනැගිල්ලකය. එය 60 ගණන්වල කර්මාන්ත ප්‍රදර්ශනයට ඉදිකළ එකක් මිස පුස්තකාලයකට සුදුසු වූවත් නොවේ. දිවා කාලයේ එය හොඳ හැටි රත්වෙයි. එය පොත් එකතුවකට වඩා දූවිලි එකතුවකි. ඒ තුළ කරන ඉගෙනීම අරගලයක්ම වූයේය. 

1982/83 ශිෂ්‍ය සභා නිලවරණයෙන් අනතුරුව එවැනි නිලවරණයක් අපේ සරසවි ජීවිත තුළ ඉස්මතුව පැවැත් වුණේ නැත. ශිෂ්‍ය සභාවට වෙන්කරන මුදල් හෙමින් සීරුවේ දේශපාලනය නොගෑවුණු සාහිත්‍ය සංගම්, කලා සංගම්, සංගීත සංගම්, භූගෝල විද්‍යා සංගම් වැනි සංගම්වලට දී කර අරින්නට පරිපාලනය උත්සුක වූයේය. ශිෂ්‍ය සභා නිලවරණ නොපැවැත්වුවද ශිෂ්‍ය දේශපාලන කණ්ඩායම්වල ක්‍රියාකාරිත්වයන් තම තමන්ගේ මත වාද අනුව ක්‍රියාකාරී වීම නැවතුණේ නැත. 82/83 නිලවරණයෙන් පසුවත් සමාජවාදී ශිෂ්‍ය සංගමය, ජවිපෙට සම්බන්ධ වෙමිනුත්, ප්‍රගතිශීලී ශිෂ්‍ය පෙරමුණ, ශ්‍රීලනිපයට සම්බන්ධ වෙමිනුත් ක්‍රියාකාරී වූ අතර, එජාපයට සම්බන්ධ සමවාදී ශිෂ්‍ය ව්‍යාපාරය මදක් පසුබසිනු නිරීක්ෂණය කළ හැකි විය.
1983 ජූලි මාසයේ රටේ පැතිර ගිය රැල්ලත් ඒ වනවිට උතුරේ හටගෙන තිබුණු කැරැල්ලත් නිසා ශිෂ්‍ය දේශපාලනයට ඒ ගැන අවධානය යොමුනොකර ඉන්නට නොහැකි වූයේය. ද්‍රවිඩ ශිෂ්‍යයන් රාශියක් ඒ වනවිට කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූහ. ඉන් බොහෝ අය උතුරේ ශිෂ්‍යයන් වූ අතර ඉගෙනුම ලැබුවේ නීති පීඨයෙනි. එවකට කොළඹ විශ්වවිද්‍යාලයේ පැවැති ශිෂ්‍ය සංගම්වලින් ජාතිවාදයට එරෙහිව විවෘතව කතා කරමින් ද්‍රවිඩ ශිෂ්‍යයන් ආරක්ෂා කළේ ස්වාධීන ශිෂ්‍ය සංගමයයි. එකල කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ඉගෙනුම ලැබූ ද්‍රවිඩ ශිෂ්‍යයන් අතර පසු කාලයේ යාපනයේ සහ ත්‍රිකුණාමලයේ මහාධිකරණ විනිසුරු ධුරය ඉසුලු ඉලන්චේලියන් ශිෂ්‍යයා ද උන්නේය. ඔහු එදත් අදත් අප සැමගේ ආදරණීය මිත්‍රයෙකි.

1983 ජාතිවාදී කෝලහාලවලින් අනතුරුව උතුරේ අරගලයට දියයුතු විසඳුම ගැන විශ්වවිද්‍යාලයේ කැන්ටින්වල ශිෂ්‍ය කේන්ද්‍රස්ථානයේ මේසවල අවිධිමත් වාදවිවාද හට ගැනුණේය. ශිෂ්‍යයා පතපොත කියවමින් විෂයට පරිබාහිර ලෙස (විශේෂයෙන් දේශපාලනයට උනන්දු අය) ඒ ගැන හදාරන්නට ගත්තේය. ශ්‍රී ලංකාවේ ජාතිකත්ව ගැටලුව අරමුණු ආකාරය ගැන පතපොත සොයමින් ඒ ගැන උනන්දු ශිෂ්‍යයෝ කියවන්නට ගත්හ. මාක්ස්වාදය ඇසුරින් විවිධ ජාතීන් අතර හටගත් ජාතිවාදී අරගලවලදී ගත් තීරණයක් පිළිබඳව ශිෂ්‍යයන් පතපොත කියවූහ. “දයා පතිරණ” ශිෂ්‍යයා ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකත්වයට පත් වන්නේත් ඉහත කී අවිධිමත් වාදවිවාදවලදී කැපීපෙනෙන්නට ගත්තේත් මේ අවධියේය. “ඊළාම් අරගලයට විසඳුම කුමක්ද?” යනුවෙන් රෝහණ විජේවීර ලියූ පොතක් ඒ දිනවල සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සිසුහු විසින් සරසවිය තුළට රැගෙන ආහ. රෝනියෝ කොළවල මුද්‍රණයකොට තිබුණු එම පොත කලක් සරසවියේ කැන්ටිමේද විකුණන්නට තිබුණේය. එම පොතේ කියා දුන් විසඳුම්වලට පිටින් උතුරේ අරගලයට ඇති විසඳුම් ගැන කතා කරන්නට සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෝ මැළිවූවෝය.

මේ වනවිට (1983-84) ස්වාධීන ශිෂ්‍ය සංගමය සහ සමාජ වාදී ශිෂ්‍ය සංගමය අතර ගැටුම් බොහෝ දුරට අඩුවී තිබිණි. කලා කටයුතුවලදී ඔවුහු එකිනෙකා සමඟ සහෝදරත්වයෙන් බැඳී වැඩකළහ. කලාවේ අරමුණු සම්බන්ධයෙන් ස්වාධීන ශිෂ්‍ය සංගමයක්, සමාජවාදී ශිෂ්‍ය සංගමයන් අතර මතවාදී වශයෙන් ලොකු පරස්පරයක් තිබුණේ නැත.

දේශපාලන කරුණු ගැන මේස වටා සිසුන් රුස්වී කරන වාද විවාද ඒ වනවිට සුලභව පැවතියේය. වාද කරන්නේ දෙදෙනකු වුවද එම මේස වටා සිසුහු රොක්වී ඒවාට සවන් දුන්හ. එම වාදවල කියවෙන ඇතැම් දේ වටහා ගන්නට පතපොත කියවීම අත්‍යවශ්‍යය.

ඒ කාලයේ දැන් කාලයේ මෙන් පොත් සුදර්ශන සුලභ නොවූයේය. සෝවියට් පතපොත සහන මිලට ලබා ගතහැකි පොත් ප්‍රදර්ශනයක් ස්වාධීන ශිෂ්‍ය සංගමය විසින් කිහිපවාරයක් පැවැත් වූයේය. සෝවියට් සාහිත්‍ය කෘති පමණක් නොව, පරිනාමවාදය, මාක්ස්වාදයේ මූලධර්ම, විද්‍යාව, දර්ශනය ආදිය ගැන උනන්දුවෙන් කියවන කුඩා කියවීමේ රැල්ලක් ඒ නිසා හට ගැනුණේය.

විවෘත ආර්ථිකය උපයෝගී කරගෙන රට ගෝලීය වශයෙන් ප්‍රබල වාණිජ කේන්ද්‍රස්ථානයක් කරනු අභිප්‍රාය පසෙක තබා මේ වනවිට ප්‍රබල ව්‍යාපාරිකයෝ මෙරට ජනයා උග්‍ර පරිභෝජන වාදයකට හුරැ කරගෙන ඉන් වාසි ලබන්නට පෙළඹුණෝය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගොඩනැගිලි රජයට ගෙන ඒවයේ සුපිර් මාර්කට් පවත්වන්නට යන යෝජනාව කණින් කොණින් ඇසෙන්නට ගත්තේ ඒ අවධියේය. ඒ අදහස රටේ ශ්‍රාත්ත්‍රාලයට ලැදි කාගේ වුව සිතට කම්පනයක් ඇති කළ අදහසක් විය. සුන්දර පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළින් ඒ වනවිට උගත් පරම්පරා කිහිපයක්ම බිහිවී තිබේ. පේරාදෙණිය සරසවිය තුළ පොලිසියක් පිහිටුවන්නේ එම කාලය තුළයි. එම අමන තීරණයේ ප්‍රතිඵලය වූයේ පොලිසිය සමඟ සිසු ගැටුම් උග්‍රවී පද්මසිරි ශිෂ්‍යයා පොලිසියේ වෙඩි පහරකින් මිය යාමයි. ඊට එරෙහිව කොළඹ ඇක්වයිනාස් ශිෂ්‍ය නේවාසිකාගාරයේ පසුදා පාන්දර පැවති ශිෂ්‍ය අරගලයේදී රෝහණ රත්නායක සිසුවාට පොලිසියේ වෙඩි පහර එල්ල වූයේය. 

එකිනෙකා සමඟ නිතර වාද කරගත් ජවිපෙ - ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සිසුවෝ මෙම අරගලයේදී දේශපාලන විරසක අමතක කළහ. රෝහණ රත්නායක රථයක නංවාගෙන ගිය සිසුන් 10-12 දෙනෙක් වැඩිදුර යන්නට පෙර තුම්මුල්ල හන්දියේදීම අත්අඩංගුවට ගනු ලැබූහ. එම සිසුන් අතර ශිෂ්‍ය සංගම දෙකේම සිසුවෝ උන්හ. පොලිසියෙන් තුම්මුල්ල හන්දියේ දී සියල්ලන්ටම සංග්‍රහය ලැබුණේය. වෙඩි වැදී උන් රෝහණ රත්නායකද පහර කෑමට ලක්විය. විටින් විට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් ඇක්වයිනාස් ශිෂ්‍ය නේවාසිකාගාරය රෑබෝ වන තුරුම පොලිසියෙන් වටකරගෙන තිබුණේය. මෙකී සිසු  අරගලය වටා බැඳුණු සිද්ධි රාශියක් තිබුණත් ඒවා ලියා ලියා දීර්ඝ කිරීමට සුදුසු නොවේ.

මෙම සිසු අරගලයෙන් පසුව පැමිණි කාලය තුළ එකී අරගලයේ කම්පනයක් සමඟ නැවත දේශපාලන වශයෙන් තැන්පත්ව සිතන්න පොදු ශිෂ්‍යයා පෙළඹුණේය. 

මගේ විශ්වවිද්‍යාල ජීවිතය තුළ විචාර බුද්ධිය සහ දැනුම වර්ධනය කළ විධිමත් වැඩසටහන් රාශියක් පැවැත්වෙන්නේ 1984/85 කාලය තුළය. ගුණදාස අරමසේකර විසින් රචිත අනගාරික ධර්මපාල මාක්ස්වාදී ද හා ගමනක මුල ග්‍රන්ථ ඇසුරින් ඵලදායි සම්මන්ත්‍රණ කිහිපයක් විශ්වවිද්‍යාල කේන්ද්‍රස්ථානයේ පැවැත් වුණි. එම සම්මන්ත්‍රණවලදී මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය නලින්ද සිල්වා, මහාචාර්ය පියසීලී විජේගුණසිංහ එකිනෙකා සමඟ ගැටෙද්දී ධන හා ඍණ ආරෝපිත වැහිවළාකුළු එකට ගැටී අකුණු සැර විහිදෙන්නා සේ බුද්ධිය අවුළුවාගෙන විදුලි සැර සිසුන්ගේ විචාර බුද්ධිය වෙත එල්ල වූයේය.

ගුණදාස කපුගේ “මගේ බිසවුනේ අසාපන්” ගීතය රැගත් කැසට් පටයත්, නන්දා මාලිනියගේ හේමන්තයේ කැසට් පටයත් එළිදකින්නේ ඒ කාලයේදීය. ඒ හැම එකක් පාසාම විචාරය කෙරෙන සම්මන්ත්‍රණ විශ්වවිද්‍යාලයේ පැවැත් වූයේය. හේමන්තයේ කැසට් පටයට අදාළ සම්මන්ත්‍රණ පැවැත් වූයේ ස්වාධීන ශිෂ්‍ය සංගමය විසිනි. මීට අමතරව “මකරාක්ෂයා” නාට්‍යයට අදාළව ද සාර්ථක සම්මන්ත්‍රණය ශිෂ්‍ය කේන්ද්‍රස්ථානයේ පැවැත්විණි. බොහෝ සෙයින් දේශපාලන වාදවිවාදවලට පැටලුණු පියසීලී විජේගුණසිංහ ආචාර්යවරිය කලාව රසවින්දේ අතිශය සංවේදී ලෙසයි. හේමන්තයේ කැසට් පටයේ එන ගීත අතුරින් අද ඉතා අභිරුචියෙන් වර්ණනා කළේ “මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න” ගීතය ගැනය. කපුගේ ගේ කැසට් පටයේ ගීත අතුරින් ඈ අගය කළේ “විදුලි මිණි පහන්” ගීතයයි. එම ගීතවලින් ඇගේ විග්‍රහය තුළත් “අමු දේශපාලනය” ගෑවිලාවත් තිබුණේ නැත.

රෝහණ රත්නායක ඝාතනයට වසරක් පිරෙන්නේ මේ කාලයේය. නිතර නිතර ගැටුම, වාද විවාදයේ පැටලුණු ස්වාධීන ශිෂ්‍ය සංගමයේත් සමාජවාදී ශිෂ්‍ය සංගමයේත් ක්‍රියාකාරී දෙපිරිසම ටොන් 5ක් පමණ බර රෝහණ රත්නායක සමරු පිළිමය කිරුළපණයේ සිට ට්‍රක් රථයක පටවාගෙන කොළඹ විශ්වවිද්‍යාලයේ ගරා වැටෙන්නට ඔන්න මෙන්න තිබූ ඉහත කී පුස්තකාලය ඉදිරිපිට ස්ථාපනය කරන්නේ මේ කාලයේ දීය. එදා NATහි පැවැති වැඩසටහනේදී නන්දා මාලිනිය “හන්තාන අඩිවියේ” ගීතය ගායනා කළේ තනි සර්පිනාවක් සමඟයි. පරස්පර දේශපාලන මත දැරූ සිසුවෙක් වාදභේද සියල්ල අමතක කොට ඇගේ ගීතයන් සමඟ අරගලවලදී මිය ගිය සොයුරන් සිහිකරමින් එදා නෙතින් කඳුළු හෙලුවෝය. කඳුළු ගෑස් පහරින් ඉවතට නොපැමිණි කඳුළු නන්දා මාලිනියගේ ගීතයත් සමඟ සිසුන්ගේ නෙතින් ගලා ආයේය.

සමාජවාදී ශිෂ්‍ය සංගමය හා ස්වාධීන ශිෂ්‍ය සංගමය අතර ගැටුම් උත්සන්න වීමෙන් අනතුරුව දයා පතිරණ ඝාතනය සිදුවන්නේ 1986 දෙසැම්බරයේය. ඒ කතාවේ මුලත් මැදත් අගත් මීට වඩා දීර්ඝය. ඒවා සුව වූ පරණ තුවාල පාරණ කතාය.  

 සමන් පුෂ්ප ලියනගේ   

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00