ශ්‍රී ලංකාවේ වසරකට 360,000ක් පමණ වූ කාන්තාවන් ගර්භණීභාවයට පත්වන බව ලියාපදිංචි වේ. නමුත් ලියාපදිංචි නොවූ ගර්භණීභාවයන් ද සමඟ මෙම සංඛ්‍යාව බොහෝ වැඩිවීමක් විය හැක. බොහෝ විට තම කැමැත්තෙන් ගර්භණී වන අය ලියාපදිංචි වුවද අනවශ්‍ය ගැබ් ගැනීම් ඇතිවන ඇතැම් කාන්තාවෝ මෙලෙස ලියාපදිංචි වීමක් සිදු නොකරති. මෙලෙස වසරකට ලියාපදිංචි වන 360,000ක් ගර්භණී කාන්තාවන්ගෙන් තුනෙන් එකක ප්‍රමාණයක් සැලසුම් නොකළ පිළිසිඳ ගැනීම් බවට ඇස්තමේන්තු කර ඇත. ඒ අනුව අනවශ්‍ය ගැබ් ගැනීම් ලියාපදිංචි වුවත් ඒ අතරින් සාමාන්‍යයෙන් කාන්තාවන් 120,000ක් පමණ සිටින බව නිගමනය කළ හැක.
2017 වසරේ දී ගර්භණී වූ කාන්තාවන්ගෙන් 326,000ක් සජීවී දරුවන් බිහිකළ අතර මෙම කාලය තුළ 48,000ක් ස්වභාවික ගබ්සාවීම් සිදුව තිබේ. එමෙන්ම මේ අතර ගබ්සා කර ගැනීම්ද සිදුවේ. දිනකට ගබ්සා කර ගැනීම් හයසිය පනහක් පමණ ශ්‍රී ලංකාවේ සිදුවන බව මීට වසර ගණනාවකට පෙර කළ සමීක්ෂණයකට අනුව වාර්තා වේ.
“අනවශ්‍ය ගැබ් ගැනීමක් සිදු වූ විට සිදුවන භයානක ප්‍රතිඵලය වන්නේ ශ්‍රී ලංකාවේ නීතියට අනුව ගබ්සා කර ගැනීම තහනම් වීම හේතුවෙන් බොහෝ අය නීති විරෝධී ගබ්සා කර ගැනීම්වලට පෙළඹීමයි. මෙලෙස විරෝධී ගබ්සා කර ගැනීමට විවිධ ක්‍රම තියෙනවා. මේ නිසා මෙවැනි නීති විරෝධී ගබ්සා කර ගැනීමට යාමෙන් බොහෝ විට ජීවිතයෙන් වන්දි ගෙවීමට පවා සිදුවෙනවා.” යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ලේකම් හා ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න සඳහන් කරයි.
අනවශ්‍ය ගැබ් ගැනීම්වලින් බහුතරයක් අවුරුදු තිස් පහට වැඩි කාන්තාවන් බව සොයාගෙන ඇත. ඇතැමුන්ගේ මතය වන්නේ තරැණ අයගේ අනවශ්‍ය ලිංගික හැසිරීම් හේතුවෙන් අනවශ්‍ය ගැබ්ගැනීම් සිදුවන බවය. නමුත් ඒ මතය බිඳ දමමින් වයස අවුරුදු තිස් පහට වැඩි කාන්තාවෝ අනවශ්‍ය ගැබ් ගැනීම්වලට මුහුණ පාති. තරුණ පිරිස අද වන විට මේ සම්බන්ධව යම් දැනුම්වත්භාවයක් ලබා සිටිති. බොහෝ විට ඔවුහු යම් ලිංගික ක්‍රියාවලියක යෙදේනම් ගැබ්ගැනීම් වැළැක්වීමේ ක්‍රමවේදයක් භාවිත කරති. ඒ සම්බන්ධව ඔවුන් දැනුම්වත්ය. අද වන විට රට පුරාම නීති විරෝධී ලෙස ගැබ්ගැනීම් වැළැක්වීමේ පෙති විකිණීමට ඇත. එසේත් නොමැති නම් සමහරු මෙය අන්තර්ජාලය ඔස්සේ මුදල් ගෙවා ගෙන්වා ගනිති. එමෙන්ම මෙම පෙති ෆාමසිවලින්ද මිලදී ගත හැක. මේ නිසා බොහෝ තරුණ පිරිස මෙම ක්‍රමවේදයන් භාවිතයෙන් අනවශ්‍ය ගැබ්ගැනීම් වළක්වා ගනිති.
යම් ලෙසකින් ගැබ් ගැනීමක් සිදුවන ලෙස සංසර්ගයක් සිදුවූවා නම් හදිසි ගැබ්ගැනීම් වළක්වාලන පෙති වර්ග පිළිබඳව ද මේ තරුණ පිරිස දැනුම්වත්ය. ඒවා නිත්‍යනුකූලය. තරුණ අය මේ සම්බන්ධව දැනුම්වත් වුවද වයස තිස් පහට වැඩි ඇතැම් කාන්තාවෝ ද මේ සම්බන්ධව නොදැනුවත්කම නිසාවෙන් ගබ්සා කර ගැනීම්වලට ලක්වෙති. ඔවුන් ඉතා අන්ත අසරණ දුප්පත් කාණ්ඩය වේ. 2017 වසරේ දී මාතෘ මරණ එකසිය විසි හතක් වාර්තා වී ඇති අතර එයින් කාන්තාවන් විසි අටක්ම අනවශ්‍ය ගැබ් ගැනීම් හේතුවෙන් මරණයට පත් වූ අය වූහ. එමෙන්ම දරුවන් එක්දහස් හත්සිය හැත්තෑවක් තුස තුළම මිය ගියහ.
“මෙලෙස මියගිය කාන්තාවන් විසිඅට දෙනාම සමාජයේ ඉහළ තලවල අය නෙමේ. ග්‍රාමීය පරිසරයේ ජීවත් වුණු කාන්තාවන්. අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වන්නට නම් පවුල් සැලසුම් කළ යුතු වෙනවා. මෙහි මූලික පරමාර්ථය වන්නේ කුස තුළ සිටින දරුවා, ඉපදෙන දරුවා සහ පවුල නිරෝගීමත්ව සිටීම හා ආරක්ෂා කර ගැනීමයි. වෛද්‍යවරුන් විදිහට අපි පවුල් සැලසුම ගැන කතා කරද්දී ජනගහන පාලනයක් ගැන කියන්නේ නැහැ. දරුවන් කියන්නේ සම්පතක්. නමුත් ඒ දරුවන් සහ අම්මා නිරෝගීව සිටිය යුතුයි. ඒ සඳහා වෛද්‍ය විද්‍යාවේ විවිධ ක්‍රමවේද තියෙනවා. ඒ සම්බන්ධව අපි පීඩනයක් කරන්නේ නැහැ. එය ඔවුන්ගේ කැමැත්තයි.” යැයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න වැඩිදුරටත් දේශයට පැවසීය.
වෛද්‍යවරයා පවසන පරිදි අද වනවිට කාන්තාව සම්බන්ධව වැඩි තීරණය ගනු ලබන්නේ ඇය නොව පිරිමියා විසිනි. කාන්තාවට තීරණය ගැනීමේ අයිතිය ඇහිරී ගොස් ඇත.
වසර 2016 ජනවිකාශ සහ සෞඛ්‍ය සමීක්ෂණයකට අනුව ශ්‍රී ලංකාවේ විවාහක කාන්තාවන්ගේ 35%ක් පවුල් සැලසුම් ක්‍රම භාවිත කරන්නේ නැත. පවුල් සෞඛ්‍ය කාර්යංශයේ මෑත කාලයේදී හෙළිදරව් කර සංඛ්‍යාලේඛනවලට අනුව මාතෘ මරණ වැඩිවෙමින් තිබේ. සජීවී දරු උපත් ලක්ෂයකට මව්වරු හතළිහක් පමණ මියයති.
“පවුල් සැලසුම පිළිබඳ දුර්මත රැසක් තිබෙනවා. එය ජනගහන පාලනය පිළිබඳ නොවන බව අපි තේරැම් ගතයුතුයි. පවුල් සැලසුම යනු කාන්තාවන්ට තමන්ගේ ලිංගික සහ ප්‍රජනන සෞඛ්‍ය පාලනය කිරීම තෝරා ගැනීමට ලබාදෙන සවිබල ගැන්වීමක්”
යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි වෛද්‍ය අනුලා විජේසුන්දර සඳහන් කරයි.
බොහෝ කාන්තාවන් ගබ්සා කිරීම්වලට පෙළඹීමට බොහෝ හේතු බලපායි. එමෙන්ම ස්වභාවික ගබ්සා වීමට ද බොහෝ හේතු තිබේ. මෙහිදී ප්‍රධානතම හේතුවක් වන්නේ දිළිඳුකමය.
ශ්‍රී ලංකාවේ මාතෘ හා ළමා සෞඛ්‍යය පිළිබඳ ජාතික ක්‍රමවේද සැලැස්මට අනුව සෑම ගර්භණීභාවයක්ම සැලසුම් කළ හා අවශ්‍ය ගැබ් ගැනීම් බවට පත් කර ගැනීමටත්, සෑම ප්‍රසූතියක්ම සැමරිය හැකි දරු උපතක් ලබා ගැනීමටත් ඉලක්ක කර තිබේ. එයට විධිමත් පවුල් සැලසුම ක්‍රියාවට නැංවීම අත්‍යවශ්‍ය සාධකයක් වේ.
► දිශානි ජයමාලි කරුණාරත්න