2019 අගෝස්තු 03 වන සෙනසුරාදා

ජපන් ජබරවලින් බෑග් මහන ගල්ගමුවේ දිරිය කත

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 460

“අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී”

සමාජයක් හෝ රටක් දියුණු වීමට නම් පෙර සටහන් තැබූ සිතුවිල්ලෙන් ජනතාව කටයුතු කළ යුතුය. එසේ කටයුතු කළ සෑම තැනකම සාධනීය දියුණුවක් ඇතිව තිබේ. පුද්ගල චින්තනයට ද මෙය පොදුය. අප මේ සටහන තබන්නට යන්නේ අලුත් දෙයක් නිර්මාණය කොට ලෝකය දිනන්නට වෙර දරන දිරිය කතක පිළිබඳවය.

“ජපන් ජබර” නමින් හඳුන්වන ජලජ ශාකය අපේ රටට විශේෂයෙන්ම අපේ රටේ වාරි පද්ධතියට අද පිළිලයක් බවට පත්ව ඇත. මෙය ආක්‍රමණශීලී පැළෑටියක් ලෙසටද හඳුනාගෙන තිබේ. දෙවැනි ලෝක යුද සමයේදී ජපනුන් විසින් මේ පැළෑටිය අපේ වැව් පද්ධතියට ගෙනැවිත් දැමූ බවටද විශ්වාසයක් පවතී. කෙසේ නමුත් මේ වනවිට ලංකාවේ කුඩා වැව්, ඇළ දොළ මේ ශාකයෙන් වැසීගොස් ඇති බවද දකින්නට ලැබෙයි.

වඳ කිරීමට නොහැකි ශාකයක් බවට පත්ව තිබෙන මේ ‘ජපන් ජබර’ පැළෑටිය මූලික අමුද්‍රව්‍යයක් බවට පත්කොට ගෙන මේ දිරිය කත අපූරු කර්මාන්තයක් ආරම්භ කොට තිබේ. ඒ බෑග්, හිස්වැසුම්, පසුම්බි ආදිය නිර්මාණය කිරීමයි.

ඇය පදිංචි වී සිටින්නේ ගල්ගමුව, ඇහැටුවැව ගල්කඩවල ප්‍රදේශයේය. ඩබ්ලිව්. නිලූකා ජයන්ති ඇගේ නමය. අපි දැන් නිලූකා ජයන්ති මහත්මියගේ හඬට සවන් දෙමු.

“මං මුලින් කළේ රෙදිවලින් හා ලෙදර් හම්වලින් බෑග් මැසීම. අවුරුදු පහක් ඒක කළා. නමුත් දැන් හැමතැනම බෑග් මැසීම කරනවා. ඒ නිසා හරි අමාරුයි වෙළෙඳපොළ හා තරග කිරීම. මේවා හිතලා තමයි ජපන් ජබරවලින් බෑග් මැසීමට පටන් ගත්තේ. මේ අදහස මට ආවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තිබ්බ අත්කම් භාණ්ඩ නිෂ්පාදනය කිරීම ගැන දවසක පුහුණු වැඩසටහනක්. ඒකෙදි තොප්පි හා පර්ස් මහන හැටි කියලා දුන්නා. ඒ ජපන් ජබරවලින්. ඒ පුහුණුව ලබන විට මට හිතුණා ජපන් ජබරවලින් බෑග් මහන්නත් පුළුවන් කියලා.”


“ගෙදර ඇවිත් මං මේක අත්හදා බැලුවා. වැඩේ සාර්ථකයි. ඊට පස්සේ දිගටම ජපන් ජබර යොදාගෙන බෑග්, පර්ස්, තොප්පි මහන එක කරනවා.”

ජපන් ජබර යොදාගෙන කරන මේ නිෂ්පාදන ක්‍රියාවලිය ගැන පුංචි විස්තරයක් කරමුද?

අපි ඇයට යෝජනා කෙළෙමු.
“වැව්වලට ගිහින් ජපන් ජබර ගලවාගෙන එනවා. ඒවා තද අව්වේ දාලා වේලා ගන්නවා. ජපන් ජබර පැළෑටියේ කඳ තමයි ගන්නේ. කොළයි, මුලයි කපලා ඉවත් කරලා කඳ අරන් ඒක මැදගන්ඩ ඕන. පන් මදින්න දැන් මැෂින් තියෙනවා. ඒත් මට මැෂින් නෑ. ඒ නිසා ලෑල්ලක් අරන් ඒ ලෑල්ලේ වේලාගත් ජපන් ජබර කඳ එහාට මෙහාට තදින් ඇදලා මැද ගන්නවා.”

“බෑග්වල, පසුම්බිවල, තොප්පිවල වියන්න කොටසකුත් තියෙනවා. පන්වලින් පැදුරු, වට්ටි, පෙට්ටි වියනවා වගේ මේවාවලත් වියන්න කොටසක් තියෙනවා. ඒ වාගේම මහන්න කොටසකුත් තියෙනවා. මහන කොටස කරන්න ටිකක් අමාරැයි. හම් බෑග් මහන කොට නම් එහා මෙහාට හරවමින්, කරකවමින් මහන්න පුළුවන්. ජපන් ජබරවලින් එහෙම කරන්න බෑ. සමහර කෑලි තියෙනවා අතින්ම මූට්ටු කරන්න වෙන. ඒ නිසා ඒවා කරන්න වැඩි වෙලාවක් ගත වෙනවා.”

“මේ ජපන් ජබර පැළෑටිවලින් ගන්න කඳ කොටස්වලට අමතරව පොප්ලින් රෙදි හා සිපර් යොදා ගන්නවා. පොප්ලින් රෙදි ඉක්මනට දිරාපත් වෙනවානේ. බෑගය හරි කැප් එක හරි පාවිච්චි කරලා ඉවර වුණාට පස්සේ වීසි කරලා දැම්මත් පරිසරයට ඒ නිසා හානියක් වෙන්නේ නෑ.

ජපන් ජබරවලින් ෆෝන් කවර, මුදල් පසුම්බි, වෙඩින් කේක් ආවරණ, ආහාර ද්‍රව්‍ය ඇසුරැම් වාගේ දේවල් කරන්න පුළුවන්. දැනට නම් මං කරන්නේ කාන්තා හා පිරිමි අත්බෑග්. හිස් වැසුම්, පෑන් පැන්සල් දමන පසුම්බි හදන එක විතරයි. විදේශීය සංචාරකයන් ඉලක්ක කරගෙන කරන නිර්මාණවලට කෘත්‍රිම දේවල් පාවිච්චි කරන්නේ නෑ. බෑග්, තොප්පි වගේ නිර්මාණ අලංකාර කරන්න වාර්නිෂ් ආලේපයවත් යොදන්නේ නෑ. ඒ අය ඒවාට කැමති නෑ. ස්වභාවික ද්‍රව්‍යවලින් කරන නිෂ්පාදනවලට තමයි විදේශිකයන්ගේ ඉල්ලුම වැඩි.”


මේ කර්මාන්තයේදී ඔබ මුහුණ දෙන දුෂ්කරතා ගැටලු එහෙමත් තියෙනවාද?

“ප්‍රධාන ගැටලුව තමයි වෙළෙඳපොළක් නැතිකම. අපි ජීවත්වෙන්නේ ගම්බදනේ. ඉතින් ගමේ මේවාගේ නිෂ්පාදවලට තියෙන ඉල්ලුම අඩුයි. නගරයේ තමයි වෙළෙඳපොළ තියෙන්නේ. කාන්තාවන් වන අපට නගරයට යන්න අමාරුයි. ඒ නිසා වෙළෙඳපොළ සොයායාම දුෂ්කරයි. මේ මෑතකදී සර්වෝදය මගින් සංවිධානය කළ අත්කම් ප්‍රදර්ශනයක් කොළඹ පැවැත්වුණා. අපි ඒකට මේ නිෂ්පාදනය අරන් ගියා. හොඳ ඉල්ලුමක් මේවාට තිබුණා. ඇත්තටම මේක දියුණු කරගන්න පහසුකම් තියෙනවා නම් ජාත්‍යන්තර වෙළෙඳපොළක් ජයගන්න පුළුවන්.

“මම මුලින් කීවා වගේ පැළෑටියේ කඳ මැදගන්න මැෂින් නැති එකත් පාඩුවක්. පන් මැදීමට යොදාගන්න මැෂිමක් රැපියල් 20,000ක් විතර වෙනවා. “පයිපින්” මහන්න පුළුවන් මැෂිමට හයි කරන්න පුළුවන් අමතර කොටස් තියෙනවා. මේවා මිලදී ගන්ඩ තියෙනවා නම් කාර්යක්ෂමතාව වැඩි කරගන්ඩ පුළුවන්. ඊටත් වඩා නිමාව ලස්සනට කරන්න පුළුවන්. දැන් අපි අතින්ම කරන නිසා කොලිටිය ටිකක් මදි වගේ. කඳ මදින එක අතින්ම කරන නිසා බර කරලා මදින්න ඕන නිසා අත්වල දියපට්ට දානවා. එක එක ගහ මදින්නත් ඕනනේ.”

“මම සමෘද්ධිලාභිනියක්. මේ මැෂින් ගත්තෙත් මගේ කනකර උගස් තියලා. සමෘද්ධිලාභී පවුල්වල කාන්තාවන්ට මහන මැෂින් දුන්නා. එහෙම උදව්වක්වත් අපට නෑ. දැනට මං මේක කරන්නේ මගේ මිතුරියන් හතර දෙනකු සම්බන්ධ කරගෙන. අපට වැඩ කරන්න තවම ස්ථීර තැනක් නෑ. ගෙදර විවෘත කොටසේ තමයි වැඩ කරන්නේ. වහින කාලයට මෙතැන වැඩ කරන්න බැරිවෙයි. මේවා තමයි දැනට තියෙන ගැටලු.”

ජපන් ජබර උපයෝගී කොටගෙන කෙරෙන මෙය පරිසර හිතකාමී කර්මාන්තයකි. එමෙන්ම වාරි පද්ධතිය වනසන මේ ආක්‍රමණශීලී ජලජ පැළෑටිය මර්දනය කිරීමට යෝග්‍ය කර්මාන්තයකි. මෙවැනි පරිසර හිතකාමී නිමැවුම්වලට වර්තමානයේ පවතින ඉල්ලුමද වැඩිවෙමින් පවතී. කර්මාන්තය දියුණු වුවහොත් හා ව්‍යාප්ත කළහොත් ග්‍රාමීය රැකියා වියුක්තියට ද පිළියමක් සැපයිය හැකිය.

ඒ සම්බන්ධයෙන් නිලූකා ජයන්ති මහත්මිය කීවේ මෙවැන්නකි.

“දැනටත් මගේ ළඟ හතර දෙනෙක් වැඩ කරනවා. තව මැෂින් හතරක් - පහක් තියෙනවා නම් දහයකට පහළොවකට රැකියා දෙන්න පුළුවන්. ශ්‍රමය බෙදාගෙන කරන්න පුළුවන් කර්මාන්තයක්. වයස අවුරුදු හතළිහක පනහක ඉන්න අයටත් කරන්න පුළුවන්. කර්මාන්තය දියුණු වෙනවිට ජපන් ජබර ගලවාගෙන ඇවිත් සැපයීමට පිරිස් බිහිවෙන්න පුළුවන්. අනික අපි ඉවතලන ශාඛ කැබලි කාබනික පොහොර නිෂ්පාදනයට යොදාගන්නත් පුළුවන්. කොයි පැත්තෙන් බැලුවත් යහපතක් තමයි මේ කර්මාන්තය නිසා වෙන්නේ. ඒත් මේවා දියුණු කරගන්න ලබාදෙන සහයෝගය නම් බොහොම අඩුයි.”

වෙනස්වන ලෝකය පිළිබඳ දැක්මක් ඇතිව, පරිසරය දූෂිත කරවන සංරචකයක් පරිසරයට හිතකරව පරිවර්තනය කොට කෙරෙන මේ කර්මාන්තය ව්‍යාප්ත කිරීමට හා එහි නිරත වන්නන්ට උදව් උපකාර කොට ඔවුන්ව දිරි ගැන්වීම වගකිවයුත්තන්ගේ වගකීමකි.

සටහන හා සේයාරූ: ගල්ගමුව නිහාල් ජයවීර