2019 අගෝස්තු 03 වන සෙනසුරාදා

රක්වාන කඳුවැටියේ අක්කර අටේ ගින්න

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 145

සිංහරාජ වනාන්තරය හා යාබද පරිවාර වනාන්තර රාශියක් එම වනපෙත වටා පැතිර තිබේ. මෑත අතීතයේ සිට මේ වනපෙත්වලට අත්ව ඇත්තේ කනගාටුදායක ඉරණමකි. මේ නිසා එම වනාන්තර මෙන්ම පෞද්ගලික වනාන්තර ඉඩම් ද වාණිජ අරමුණු උදෙසා විනාශ කරමින් පවතින බව නිතර අසන්නට ලැබේ.

සිංහරාජ වැසි වනාන්තරයේ හඳපාන් ඇල්ල සංරක්ෂණ වනාන්තරය පාමුල කුඩා වනාන්තරය කුට්ටි රාශියක් පැතිර තිබේ. පසුගියදා වාර්තා වූයේ ඒ ප්‍රදේශයට අයත් රක්වාන නැගෙනහිර කඳුවැටියේ මානික්කාවත්ත, බෝටියතැන්න ප්‍රදේශයේ අක්කර අටක ඉඩමක් ගිනි තබා අනවසරයෙන් එළිකිරීමක් ගැනයි. එහි ජල බෝතල් කර්මාන්ත ශාලාවක් ඉදිරිකිරීමට නියමිත බව පරිසරවේදීහු පවසති.

සිංහරාජයේ ජීවත්වන අලි දෙදෙනා වසරේ වැඩි කාලයක් වාසය කරන දෙල්වල වලංකන්ද රක්ෂිතයටත්, පන්විල දෙසටත් සංක්‍රමණය වන අලිමංකඩක් වශයෙන් භාවිත වන්නේ බෝටියතැන්න ප්‍රදේශයයි. අලින්ගේ සංක්‍රමණ මාර්ගයට බාධාවක් එල්ලවීමට ද මෙවැනි ක්‍රියාමාර්ග හේතු වේ.


“මේක පෞද්ගලික වනාන්තර ඉඩමක්. ‍යෝජිත රක්ෂිතයට මායිම් වෙලා තියෙන්නේ. පෞද්ගලික කැලෑ ඉඩමක් වුණත් සංවේදී ප්‍රදේශයක එළිකරනවානම් හෝ ව්‍යාපෘතියක් ආරම්භ කරනවානම් මධ්‍යම පරිසර අධිකාරියෙන් අවසර ගත යුතුයි. මේ ස්ථානයට එවැනි අවසරයක් අරගෙන නැහැ” වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානයේ කැඳවුම්කරු ජයන්ත අමරසිංහ අපට පැවසුවේය. පෞද්ගලික ඉඩමක් වුවද හෙක්ටයාර් එකකට වැඩි විශාලත්වයකින් යුක්ත නම් ඒ සඳහා පරිසර තක්සේරු බලපෑම් වාර්තාවක් අත්‍යවශ්‍ය වේ. ඒ 1980 අංක 47 දරන සංශෝධිත ජාතික පාරිසරික පනතේ 23 වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/ 22 දරන ගැසට් නිවේදනයට අනුවය.

හඳපාන්ඇල්ල තැනිතලාව පිහිටා ඇති කඳුවැටිය ඇදී යන්නේ මෙම ඉඩම් ප්‍රදේශය අසලිනි.

මෙම භූමියේ ගල් පර්වත බහුලය. පතන් බිම් වැනි ස්වභාවයක් ද පවතී. කඳුවැටියෙන් ගලා එන දොළ පහර කීපයක් ද අවටින් ගලා බසී. ඉඩමට නුදුරින් රක්වාන - කලවාන මාර්ගය විහිදී යයි. “මෙය සුවිශේෂී ජෛව විවිධත්වයක් තිබෙන ප්‍රදේශයක්. ජල පෝෂක පාංශු සංරක්ෂණ කලාපයක් ද වෙනවා. එවැනි ප්‍රදේශයක බැකෝ යන්ත්‍ර යොදාගෙන ස්වභාවික පරිසරයේ ගස් ගල් ඉවත් කිරීමට කිසිදු වගකිවයුතු ආයතනයකින් අවසර අරගෙන නැහැ” ජයන්ත අමරසිංහ වැඩිදුරටත් කීවේය.

මෙම විනාශය පිළිබඳව පරිසර අමාත්‍යංශය ප්‍රමුඛ වගකිවයුතු ආයතන ගණනාවකට වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානය ලිඛිතව දැනුම්වත් කර තිබේ. “සිංහරාජය ඇතුළු සංවේදී වනාන්තර පද්ධති දිගින් දිගටම මේ අයුරින් විනාශ කරමින් තිබෙනවා. එවැනි පරිසර පද්ධති සංවේදී කලාප ලෙස නම් කිරීමට පියවර ගන්නා ලෙසත්, එම පරිසර පද්ධති විනාශ කරන්නන්ට විරැද්ධව නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙසත් අප දැනුම්වත් කර තිබෙනවා. ප්‍රදේශවාසීන් මෙම පරිසර විනාශයට තදින්ම විරුද්ධයි” ජයන්ත අමරසිංහ වැඩිදුරටත් කීවේය. රක්වාන පොලීසිය පවසන්නේ ඔවුන් එම ඉඩම නිරීක්ෂණය කර ඇති බවත් මේ වනවිට එහි වැඩ නතර කර ඇති බවත්ය. අලි සංක්‍රමණ භූමියක්යැයි සඳහන් දැන්වීම් පුවරු සවිකර ඇති මේ අවට කලාපය නිතර නිතර විවිධ කටයුතු සඳහා හෙළිකිරීම වාර්තා වේ. මෙම ප්‍රදේශයට නුදුරු බීරිඇල්ල ප්‍රදේශයේ ද එවැනි වන විනාශයක් ගැන අසන්නට ලැබේ.


රක්වාන කඳුවැටි කලාපයේ පැතිර තිබෙන සිංහරාජ වනාන්තරය විශාලත්වයෙන් හෙක්ටයාර් 11187කි. එම වනාන්තර භූමියට ආරක්ෂාව සැපයීම සඳහා 2004 දී සිංහරාජය වටා පිහිටි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් වනාන්තර එයට ඈඳීමට සැලසුම් සකස් කෙරිණි. එහෙත් අප රටේ පරිසරයේ අවාසනාවට එම සැලසුම ද නිසි පරිදි ක්‍රියාත්මක නොවේ.

2004 ජූලි 22 දින අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව සිංහරාජ ජාතික උරුම වන භූමියට යාව හෝ ඉන් කිලෝමීටර් භාගයක දුර ප්‍රමාණය ඇතුළත හෝ පිහිටි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් සියලුම ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ගැනීමට නිර්දේශ ලැබී තිබුණි. එම කැබිනට් පත්‍රිකාවට අනුව හෙක්ටයාර් 2508.4ක වනාන්තර ඉඩම් ප්‍රමාණයක් සිංහරාජ වනාන්තරයට එක් කිරීමට නියමිත විය. මෙම යෝජනාව ක්‍රියාත්මක වූයේ නම් සිංහරාජය තවත් ශක්තිමත් වන අතර ඒ අවට ඉඩම් විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා යැයි පවසමින් එළි කිරීම් ද වැළැක්වෙනු ඇත. ඒ අතරම යෝජිත රක්ෂිතවලට යාබදව පිහිටි විශාල පෞද්ගලික ඉඩම් හිමියෝ ද දැනුවත් කර එම ඉඩම්වල අනවසර කටයුතු වැළැක්වීමට පියවර ගතයුතුය.

මෙම කුඩා වනාන්තරවලද ඉහළ ජෛව විවිධත්වයක් පවතින අතර ඒවායේ පාරිසරික අගය ද ඉහළ මට්ටමක පවතී.

කුසුම්සිරි

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00