2019 අගෝස්තු 03 වන සෙනසුරාදා

ඇවිදින බාබර්

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 170

පැරැණ්නන්ගේ මතක මාවත ඔස්සේ අතීතයට රිංගා ගත් විට අපූරු සිදුවීම් මෙන්ම අපූරු මිනිසුන් පිළිබඳ කතාන්දර අපට හමුවේ. ඔහු අදින් වසර විසි පහකට තිහකට පෙර ගමට ආ අපූරු මිනිසෙකි. ඔහු ගැන මතකය බොහෝ දෙනකු තුළ තවමත් ශේෂව තිබේ. අතීතයට යන ගමනේ මගහැර යා නොහැකි මේ චරිතය වනාහි දුවන බාබර්ගේ චරිතයයි. මේ ඔහු පිළිබඳ මතකයයි. රජුගේ පටන් සකලවිධ ජනී ජනයාගේ හිත මත අත තබා හීන් සීරුවට කොණ්ඩය කැපීමේ ශිල්පය ප්‍රගුණ කළ කරණවෑමි පරපුරට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. අතීතයේ දී රාජකාරි ක්‍රම ගුරු කොටගත් ලාංකීය සමාජය මෙම රැකියාව එක්තරා කුලයක උරැමයක් බවට පෙරළා තිබිණි. ඇස් පනාපිට වෙනස් වූ මේ රැකියාවේ අපූර්වත්වය අකුරු කරන්නට අපට සිත් විය.

ඔහු සරමක් කමිසයක් ඇඳ පන් මල්ලක් හෝ පෙට්ටියක් රැගෙන කලින් කලට ගමට එන මිනිසෙකි. මේ ගමන කවදා ඇරඹුණේදැයි කිසිවකුට මතක නැත. අත්තා මුත්තා කාලේ පටන් පරපුරේ මිනිසුන් ගමට පැමිණ තිබේ. නගරවල බාබර් සාප්පු ඉදිවන්නට පෙර සිටම දුරාතීතයේ පටන් මේ මිනිසා ගම්බිම්වල සංචාරය කර ඇතැයි කියැවේ. නගරයේ බාබර් සාප්පු ඉදිවූ මුල් කාලයේ ද මේ අපූරු මිනිසා ගමට ආ බව බොහෝ දෙනාට මතකය. අපේ මතක ගලා යන්නේ එවන් කාලයක් ඇසුරේය. එකල වෙළහෙළඳාමකට හෝ විශේෂ කටයුත්තකට ටවුමට යන ගමන ද ගම්මුන්ට පහසු නොවීය. තම තම හැකි පමණින් සරලව සිය වුවමනා එපාකම් ඉටුකර ගැනීමට ගම්මුන් හුරු වූයේ එබැවිනි. දුවන බාබර් ගමට ආවේ ද ඒ නිසාය.

කල් යල් බලා ගමට පැමිණීමට ඔහු දැන සිටියේය. වැඩි වැඩියෙන් ඔහුගේ පැමිණීම කවුරුත් අපේක්ෂා කළේ සිංහල අවුරුද්දට පෙර සහ පාසල් නිවාඩු කාලයටය. බාසුන්නැහේ ගමට ආ පුවත ඇසිල්ලකින් ගම පුරා පැතිර යයි. නිවෙසකට ගොඩවූ විට කවුරුත් ඔහුව හැඳින්වූයේ බාසුන්නැහේ නමිනි. “බාසුන්නැහෙ.. කොල්ලගේ කොණ්ඩේ කොටටම කපන්න” එය හැම ගෙදරදීම පාහේ ඔහුට අසන්නට ලැබුණු වදනකි. කොල්ලන් පමණක් නොව කෙල්ලන්ගේ කොණ්ඩය කැපීම ද ඇතැම්විට බාසුන්නැහේට පැවරුණු රාජකාරියක් විය. වැඩිහිටි පිරිමින්ගේ කොණ්ඩය පමණක් නොව රැවුල කැපීම ද ඔහු සිදු කළේය. පොඩ්ඩන් කෙසේ වෙතත් වැඩිහිටියන් සහ තරැණයන් ඉදිරියේ ඔහු ශිල්ප දක්වන්නට වූ බව අද ද බොහෝ දෙනකුට මතකය.

නිවෙස ඉදිරිපිට මිදුලේ මේ කටයුත්ත සිදුවේ. ගෙතුළින් පුටුවක් ගෙන මිදුලේ තබයි. කොණ්ඩය කපන විට කර වටා බැඳ ආවරණය කරන්නට රෙද්ද ඉල්ලා ගන්නේ  එම ගෙදරිනි. ඇතැම් විට ගසක කුඩා කණ්නාඩි කැබැල්ලක් ද සවිකරන්නේ මේ කටයුත් වෙනුවෙණි. ඔහු රැගෙන එන මල්ල හෝ ‍ෙපට්ටිය විවර කරයි. කතුර, පනාව, දැලිපිහිය කොණ්ඩය කැපීමට භාවිත කරන අතින් ක්‍රියා කරන මැෂිමක් බඳු උපකරණ, විස අදින ගල, හම් පටිය ආදී උපකරණ එහි වෙයි. කොණ්ඩය කැපීමේ දීද අද මෙන් විලාසිතා රැසක් නැත. ළමා ළපටින්ගේ කොණ්ඩය කොට වෙන්න කපා දමයි. ගැටයන්ගේ කොණ්ඩය යාන්තම් පීරීමට ඉදිරිපසින් ටිකක් ඉතුරු කරයි. යම් විශේෂත්වයක් කළහොත් ඒ තරුණයන්ට සහ සිය රූපකාය සම්බන්ධ විශේෂ සැලකිල්ලක් දක්වන වැඩිහිටි පිරිමින්ටය.

මෙම කොණ්ඩය කැපීම සිදුවන්නේ පෙර කී කුඩා උපකරණ සහ කතුර, පනාව ආධාරයෙනි. රැවුල කපන්නේ තනි තලයේ දැලි පිහියෙනි. එය ඇතිල්ලීමට හම් පටිය තිබේ. රැවුල කපා අවසානයේ සුදු පැහැති විස අදින ගල මූණේ අතුල්ලයි. ඒ රැවුල කැපූ විට දැනෙන විස සහිත ගතිය නැතිවෙනු පිණිසය. කලක් යන විට සමාජ රෝග ආදිය හේතුවෙන් දැලි පිහියේ එකම තලයක් භාවිත කිරීම මෙන්ම විස අදින ගල මුහුණේ ඇතිල්ලීම සුදුසු නොවන බවට බොහෝ දෙනා දැනුවත් වූහ. එහෙත් අප කතාබහ කරන අතීතය තුළ මේ දේවල් කිසිවක් පිළිබඳව ගම්මුන්ගේ සැලකිල්ලක් නොවුණි.

දුවන බාබර්ට පොඩ්ඩන්ගේ කොණ්ඩයක් කැපීමට ගත වන්නේ මිනිත්තු දහයකටත් අඩු කාලයකි. ඒ මතක අවදි කරන්නේ එදා පොඩ්ඩන් වූ අද වැඩිහිටියෝය. කොණ්ඩය කපා අවසානයේ ජෙල් වර්ගයක් වැනි ඝණ ද්‍රවයක් දුවන බාබර් උන්නැහේ හිසේ ගල්වයි. එයින් අධික සුවඳක් වහනය වෙයි. මෙය ගමේ කොල්ලන්ට අපූරු අත්දැකීමකි. සුවඳ විලවුන් ආදිය නොවූ එම කාලේ මෙම ද්‍රාවණය ගල්වා හිස පීරූ විට තමාට පුදුමාකාර සතුටක් දැනුණු සැටි අතීතයේ මතක කවුළු අතරින් එබී බලන විට බොහෝ දෙනා සිහි කරති. එම නිසාම නිවාඩු කාලයේ දුවන බාබර්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් ගමේ කොල්ලෝ කුරුට්ටෝ මග බලා සිටියහ.

දුවන බාබර් ගමට එන අවසාන කාලයේ නෑඹිලි කට්, රජිනි කාන්ත් කට් වගේම, හෙඩ් මසාජ් වගේ දේවල් ද සිදුකළ බව සමහරකුට මතකය. මුල් කාලේ ශත ගණන්වල සිට අවසානයේ රුපියලක් දෙකක් වැනි මුදලක් දක්වා මෙම රාජකාරිය වෙනුවෙන් ගම්මු ඔහුට ගෙවූහ. නගරයේ සැලුන් ඇරෙන විට ගම්මු ටික ටික ඒවාට ඇදෙන්නට පටන් ගත්හ. එහෙත් ඒ ඇති හැකි අයයි. එම නිසාවෙන්ම හැත්තෑව දශකයේ ද ටවුමේ සැලුන් තිබුණු නමුත් ගමේ මේ කරණවෑමියාට  වැඩ තිබිණි. මුල් කාලයේ ගමේ උස් මිටි කාටත් ඔහුගේ කතුරේ පහස ලැබීමට හැකි විය. එහෙත් කුල ක්‍රමය මත ගොඩනැගුණු නොයෙකුත් මතිමතාන්තර කරගල ගගා පැමිණි කරණවෑමි පරපුර නොතිබුණා නොවේ. එහෙත් කාලය විසින් ඒ සියල්ල අද වෙනස් කොට තිබේ.

දුවන බාබර්ගේ දිවිල්ලේ වේගය බාල වූයේ හැත්තෑ හතේ විවෘත ආර්ථිකයෙන් පසුවය. ක්‍රමයෙන් ගමේ හන්දිවල බාබර් සාප්පු බිහි වන්නට විය. ඇතැම්හු ඒවාට හුරු වූහ. දුවන බාබර්ලා ඇතැමෙක් ද බාබර් සාප්පුවලම නැවතුණහ. ගමට එන දුවන බාබර් එනතුරා බලා සිටින්නෝ ද වූහ. එවන් කිහිප දෙනකු වෙනුවෙන් වුවද මේ අපූරු මිනිසා ගමට පැමිණියේය. එම පැමිණීම තුළ වූයේ ඓතිහාසික ලෙංගතුකමක් බැව් අතීතයේ මතක අතර සැරිසරන විට අපට දැනුණි. කාලය සෙමින් ගතවන විට අසූව දශකයේ අග භාගය වන විට රටේ බොහෝ දුවන බාබර්ලාගේ රාජකාරි නිම විය. රාජකාරි ක්‍රමයේ එන රාජකාරි ප්‍රවේණි උරුමයේ නිමාව එය විය.

අද දුවන බාබර්ලා නැත. එහෙත් ධන බල මානයෙන් අධික අතීතකාමී ඇතැම්හු සිය නිවෙසේදීම කොණ්ඩය කපා ගන්නට පරණ තලතුණා බාබර් කෙනකු ගෙන්වා ගනිති. ප්‍රකට නොවූවත් රටේ තැන තැන ඉතා අතළොස්සක් අතරේ මේ ක්‍රමය තවම තිබේ. මිනිසුන් විසින් ගොඩනගා ගත් සංස්කෘතිය, සම්ප්‍රදාය සහමුලින්ම වියැකී යන්නේ පරම්පරා කිහිපයක් අවසානයේ බැව් ඒ තුළින් අපට අවබෝධ වෙයි. සැලෝන් සංස්කෘතිය දැන් ගමන් ගන්නේ නවමු මාවතකය. එය වනාහී පරිච්ඡේද ගණනාවකින් ලියා තැබිය යුතු වෙනස්ම කතාවකි. එහෙත් අතීතයේ කරණවෑමියාගේ මතකය ඊට ඉඳුරා වෙනස් විය. මතකය සොඳුරු මුත් එම ජීවන වෘතාන්ත සොඳුරු නොවන්නට ඇත. 

කරගල ගගා ඉන්න//
කරණවෑමි සොයුරාණනේ
කරදර තැවුල් බරින් මා හිස මුදාලන්න
කරණවෑමි සොයුරාණනේ...//

නමනා සිරස ඔබට ඉසුරින් පිරුණු දණත
ඔබ හිස රැගෙන යතැයි බිය සැක නැතුවා
පාමින් ඔබට නෙතට ඔච්චම් කළ එවුන්ට 
අහිතක් නැත ඔබ සිතුවා...

සටහන - චමිඳු නිසල් ද සිල්වා 

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00