2019 අගෝස්තු 03 වන සෙනසුරාදා

තිතටම හිඳුණු පුත්තලමේ වැව් 550!

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 212

කුඩා වැව් රාශියක් සිඳී යාම කෘෂිකර්මාන්ත කටයුතු සඳහා ජලය ලබාගැනීමට දුෂ්කරතා මතුවීමට මූලික හේතු සාධකය වී ඇත. අතීතයේ දී වැව් බැඳි රාජ්‍යයක් වූ රජරට ප්‍රදේශය මේ වන විට නියඟය නිසා වියළෙමින් පවතී. එදා හෙළ රජවරුන් ඉදිකළ වැව් අමුණු නිසියාකාරයෙන් ප්‍රතිසංස්කරණය නොකිරීම කෙටි කාලයක් තුළ වැව් අමුණු වියැළී නියං තත්ත්වයක් හට ගැනීමට හේතු වී ඇත.

වයඹට මෙන්ම උතුරුමැද පළාත්වලට ද ජල අර්බුදය පවතී. අනුරාධපුර නුවර වැව ඇතුළු වැව් රාශියක පවතින්නේ ඉතාමත් අඩු ජල මට්ටමකි. පුත්තලම දිස්ත්‍රික්කයේ විශාලතම ජලාශය වන තබ්බෝව වැවෙහි ජල පරිමාව අක්කර අඩි 2000කින් පමණ පහත බැස තිබේ. අක්කර අඩි 15400ක ජල ධාරිතාවක් රඳවන තබ්බෝව ජලාශයේ ජල මට්ටම පහත වැටීමත් සමඟ වැව යටතේ ක්‍රියාත්මක වන ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටද අපහසුතා පැන නැගී ඇත.

කරුවලගස්වැව, ආණමඩුව, වනාතවිල්ලුව, පුත්තලම, මුන්දලම, නාත්තණ්ඩිය, වෙන්නප්පුව, මහකුඹුක්කඩවල, පල්ලම ඇතුළු පුත්තලම දිස්ත්‍රික්කයේ විශාල ප්‍රදේශයක් පුරා පානීය ජල හිඟතාවය ව්‍යාප්තව පවතී. ප්‍රදේශ කිහිපයක කළ සංචාරයක දී සිඳී ගිය වැව් සහ සිඳී යමින් පවතින වැව් අමුණු දැකගැනීමට අපට හැකි විය.


තබ්බෝව ගොවි ජනපදයට අයත් වගා කළ කුඹුරු ප්‍රමාණය ඉතා සීමිත ප්‍රමාණයකි. ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ පවතින වැව්වල ජලයෙන් කුඹුරු වගා කළ ගොවීන්ට සිදුවී ඇත්තේ මෝටර් යොදා ජලය පොම්ප කර ගොවිබිම් රුක ගැනීමටය. පහරිය වැව යටතේ වෙල්පහු ජලයෙන් ගොවිතැන් කරන තබ්බෝව පන්සල්ගල වෙල්යාය අක්කර අසූවක් පමණ මෙවර වගා කළ ද මේ වන විට ජලය නොමැතිකමින් අක්කර විස්සක පමණ ගොයම විනාශ වී ඇත. තබ්බෝව අභයභූමිය තුළ වැව් රාශියක් තිබුණද එම වැව්වල ජලය නොමැතිකමින් කුඩා වන සතුන් ජලය සොයා ගම්වලට පැමිණීමත් සමඟ මෙම සතුන් මස් වැද්දන්ගේ ගොදුරු බවට පත් වී තිබේ.

මේ දිනවල ජලය සොයා ගමට පැමිණෙන වන අලි නිසා මහජනතාව දැඩි ලෙස පීඩාවට පත් වී සිටිති. මෙම නියං ස්වරෑපය වසර ගණනාවක පටන් පවතින නියං තත්ත්වයකට සමානය. කඩින් කඩ ඇදහැලෙන සුළු වැසි නිසා ගහකොළ කොළ පැහැ ගැන්වුණද ඒවා මහ පොළොව මතුපිට රැඳී පවතින්නට තරම් ප්‍රමාණවත් වී නැත. කෘෂිකර්මාන්තය සඳහා භාවිත නොකරන වැව්වල ජලය සුළු ප්‍රමාණයක් අඩුවී තිබුණද මහජනතාවට දෛනික කටයුතු සඳහා එය ප්‍රමාණවත්ය.

සැබැවින්ම ජල කළමනාකරණයකින් යුතුව ජලය ගබඩා කර ගැනීමට අවශ්‍ය ආකාරයට වැව් පිළිසකර නොකිරීම වැසි වැටී කෙටි කාලයක් තුළ නියං තත්ත්වයක ස්වරූපයක් ගැනීමට හේතු වී ඇත. රජයෙන් ලැබෙන ප්‍රතිපාදන වාරි කර්මාන්තය නිසි පරිදි සකස් කිරීමට ප්‍රමාණවත් නොවුවද මේ වන විට රජයේ මුදල් නොමැතිව වැව් හාරා එම පස්වලින් වැලි නිෂ්පාදනය කර ආදායම් උපයා ගන්නා ක්‍රමවේදයකට යොමුවීමට ව්‍යාපාරිකයෝ ඉදිරිපත් වී සිටිති.

මේ ආකාරයට ව්‍යාපාරිකයන් වැව්වල රොන්මඩ ඉවත් කර ගොඩවී ඇති පස් ඉවත් කිරීමට සූදානම් වුවද රටේ සිටින ඇතැම් දේශපාලුවන් එයට මැදිහත් වී ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ඉල්ලීම නිසා වැව් කිහිපයක පස් ඉවත් කර ගැනීමට නොහැකිව තිබේ. මහජන ඡන්දය ලබාගෙන දේශපාලනයට පිවිසෙන මහජන නියෝජිතයන් මහජනතාවට සේවය කරනවා වෙනුවට රටේ ගමේ වැවේ ඇළේ දොළේ අයිතිකාරයෝ බවට පත්ව සිටිති. එවන් තත්ත්වයක් තුළ තමන් ගොවිතැන් කරන්නට ජලය ලබාගන්නා ගොඩවී ඇති වැව සකස් කර ගැනීමට නොහැකිව ගොවි ජනතාව අසීරුතාවයට පත්ව සිටිති.


රටේ ජනතාවගේ ඡන්දය ගෙන ජනතාවට සේවය කිරීමට යන දේශපාලුවන් බොහෝ දෙනකු තමන්ගේ නිවටකම හේතුවෙන් ජනතාවගේ අයිතිකාරයන් බවට පත් වී සිටින තාක් ගොවියාගේ වැව සකස් කර ගන්නට හැකියාවක් නොපවතී. පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ පවතින වැව් 550 සිඳී ගොස් ඇත්තේද ඉතිරි වැව්වල ජලය 75% දක්වා අඩුවී ඇත්තේද වැව් ගොඩවීම නිසා බව ගොවීහු කියති.

පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා දේශයට අදහස් දක්වමින් මෙසේ පැවසීය.

“ප්‍රාදේ‍්ශීය ලේකම් කොට්ඨාස හතක පවුල් දහදාස් පන්සිය තිස් හතක (10537)ක පුද්ගලයන් තිස්හතර දහස් හාරසිය හැටක (34460)කට පානීය ජලය ලබාදීම සිදු කරනවා. ඉදිරියේදී වැසි පතිත නොවුවහොත් මෙම ප්‍රමාණය ඉහළ යෑමට ඉඩ තිබෙනවා. දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විදිහට අපි ජනතාවට උපරිම පහසුකම් සලසන්න කටයුතු කරලා තිබෙනවා.”

පුත්තලම දිස්ත්‍රික් ගොවිජන සේවා සහකාර කොමසාරිස් එස්.පී. පාලිත සේනාධීර මහතා:-

“ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ වැව් 1207ක් තිබෙනවා. 550ක් සම්පූර්ණයෙන් සිඳිලා ඉතිරි වැව්වලත් ජලය සියයට විසි පහක් තමයි තිබෙන්නේ. කුඹුරු අක්කර පනස් දාහක් විතර ගොවිජන සේවා එක යටතේ පවතිනවා. කුඹුරු අක්කර විසිදාහක් පමණ තමයි වගා කරලා තිබෙන්නේ. ඒ වගා කරපුවත් ගොඩක් හානි වෙලා. ඒවාට වන්දි ලබා දෙන්න තොරතුරු ඒකරාශි කරමින් සිටිනවා.” 

► රෝවන් පෙරේරා
පුත්තලම

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00