ආරෝග්‍යා පරමා ලාභා නිරෝගිකම උතුම්ම ලාභයයි. එහෙත් නොසිතූ විටෙක කොතැනකදී කෙලෙසක රෝගයකට ගොදුරු වේද යන්න අනුමාන කළ නොහැක. අනතුරක් සිදු වූ වහාම හෝ රෝගයක් වැළඳුණු සැණින් ප්‍රතිකාර කෙරේ යොමුවීම ඉතාම වැදගත් වේ.
දහ නවයයි අනූව (1990) යන දුරකතන අංකය දැන් රට පුරාම ප්‍රචලිතය. එය කවුරුත් දන්නා දුරකතන අංකයක් බවට පත්වී ඇත්තේ ජනප්‍රිය පුද්ගලයකු නිසා හෝ ජනප්‍රිය ආයතනයක් නිසා නොවේ. එම අංකය ප්‍රචලිත වී ඇත්තේ ජනප්‍රිය සේවාවක් නිසාය. එය සුවසැරිය ගිලන් රථ සේවය ලෙස හැඳින්වේ. 2016 වසරේදී සුවසැරිය ගිලන් රථ සේවය ආරම්භ වූ අතර එවකට එහි සේවය බස්නාහිර පළාතට හා දකුණු පළාතට පමණක් සීමා විය. එහෙත් අද වන විට මෙම ගිලන් රථ සේවය රට පුරාම ක්‍රියාත්මකය. නොමිලයේ දවසේ පැය විසි හතර පුරාම මහජනයාට මෙබඳු සේවයක් ලබාදීමට හැකිවීම ගැන ආණ්ඩුව මෙන්ම මහජනයා ද සතුටු විය යුතුය.
ලෝකයේ දියුණු රටවල් බොහෝමයක් නිදහස් සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යන්නේ නැත. එම රටවල ජනතාව ප්‍රතිකාර සඳහා මුදල් ගෙවිය යුතුය. තවත් රටවල් රක්ෂණ ක්‍රමවේද පාවිච්චි කරයි. ඒ අනුව සෑම පුරවැසියකුම රක්ෂණයට දායක විය යුතුය. ඉන් අදහස් කෙරෙන්නේ රක්ෂණ කාඩ්පත් හෝ මුදල් හෝ නැති අයට ප්‍රතිකාර ලබාගත හැකි ක්‍රමයක් නැති බවය. එහෙත් ශ්‍රී ලංකාවේ තත්ත්වය ඊට ඉඳුරාම වෙනස්ය. මෙරට පවතින නිදහස් සෞඛ්‍ය සේවාවට අනුව ඕනෑම රෝගයකට නොමිලේ ප්‍රතිකාර ලබාගත හැකිය. මේ සේවාවෙහි ද පැවති අඩුවක් වූයේ දීපව්‍යාප්ත ගිලන් රථ සේවාවක් නොතිබීමය. එහෙත් අද වන විට එය සුවසැරියෙන් සම්පූර්ණ වී ඇත.
අසාධ්‍ය රෝගියකු ප්‍රවේශම්සහගතව රෝහලක් වෙත රුගෙන යාම අපේ දුප්පත් ජනතාව මුහුණ දුන් ගැටලුවක් සේ සැලකිය හැකිය. හෘද රෝගියකු, හදිසි අනතුරකට ලක් වූ තැනැත්තකු හෝ දරැ ප්‍රසූතියට ආසන්න ගර්භණී මාතාවක් අසාධ්‍ය රෝගියකු ලෙස සැලකිය හැකිය. බොහෝ අවස්ථාවල මෙබඳු අය රෝහල වෙත රුගෙන යන්නේ ත්‍රිරෝද රථයක් හෝ වෙනත් වාහනයකිනි. නමුත් මෙම අවස්ථාවන්හිදී රෝගීන් මරණයට පත්වූ අවස්ථා ඕනෑ තරම් වාර්තා වී ඇත. මේ තත්ත්වය ඉතාමත් ශෝචනීය විය.
රෝගියකු ත්‍රිරෝද රථයකින් හෝ වෙනත් වාහනයකින් හෝ රෝහල වෙත රැගෙන යාම රෝගියාගේ රෝගී තත්ත්වය උත්සන්න කිරීමක් ලෙස ද සැලකිය හැකිය. මෙබඳු අවස්ථාවකට ගැලපෙන උපකරණ වාහනය තුළ නැත. එලෙසම ප්‍රථමාධාර ලබාදිය හැකි කෙනකු ද වාහනය තුළ නැත. එවන් අවස්ථාවක රෝගියකු ගිලන් රථයකින් රෝහල වෙත රුගෙන යාමට හැකි නම් එහි වාසි ගණනාවක් පවතී. එහි එක් වාසියක් වන්නේ රෝගියාට අවශ්‍ය ප්‍රථමාධාර ලබාදීමට හැකි වීමය. තවත් වාසියක් වන්නේ ඉතා කෙටි කලකින් රෝගියා වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු කිරීමට හැකි වීමය. තවත් වාසියක් නම් රෝගියා සුරක්ෂිත ලෙස ද, විශ්වාසවන්ත ලෙස ද රෝහල වෙත රුගෙන යාමට හැකි වීමය. සුවසැරිය ගිලන් රථ තුළ පූර්ව වෛද්‍ය ප්‍රතිකාර සේවයක් ද ඇති බැවින් රෝගියාගේ ජීවිත වඩාත් සුරක්ෂිතය.
ගෙවී ගිය කාලය තුළ සුවසැරිය ගිලන් රථ සේවය සඳහා ලැබුණු හදිසි ඇමතුම් ප්‍රමාණය එකොළොස් ලක්ෂය ඉක්මවා ගොස් ඇති බව කියයි. එයින් රෝගීන් දෙලක්ෂ ගණනකට ක්ෂණික සේවාව ද ලබා දී ඇත. ගිලන් රථ තුළ දරු ප්‍රසූති 89ක් සිදුවී තිබෙන බවද කියවෙයි. එම මව්වරු ද දරැවෝ ද සුවයෙන් සිටිති. දිනකට මෙම ගිලන් රථ සේවය සඳහා ඇමතුම් 2000කට වැඩි ප්‍රමාණයක් ලැබෙන අතර එයින් පෙනී යන්නේ මෙම සේවාවෙහි ඇති අවශ්‍යතාවය යැයි කිව හැකිය.
මේ වන විට 1990 සුවසැරිය ගිලන් රථ සේවය බස්නාහිර පළාත් රෝගියකු වෙත පැමිණීමට විනාඩි 08යි තත්පර 23ක සාමාන්‍ය කාලයක් ගන්නා අතර අනෙකුත් පළාතක රෝගියකු වෙත පැමිණීමට විනාඩි 11යි තත්පර 25ක කාලයක් වැය වන බව අනාවරණය වී තිබේ. මේ කාලය බොහෝ දියුණු රටවල මෙවැනි සේවා ලබාගන්නා කාලයට සමාන හෝ එයටත් වඩා හොඳ මට්ටමක පවතින බව පෙනේ. මෙමගින් රෝගීන් වෙත ළඟාවීමේ වේගය මිනිත්තුවකින් වැඩිකර ගැනීමෙන් රෝගීන්ගේ ජීවිත බේරාගැනීම 10%කින් වැඩිකර ගත හැකි බව සමීක්ෂණයකින් අනාවරණය වී තිබීම හෝ, නම් කරනුයේ මෙහි ඇති අමිල වටිනාකමයි.
ලංකාවේ පළාත් 09යෙහිම සුවසැරිය ගිලන් රථ සේවය මේ වන විට ක්‍රියාත්මක වේ. ගිලන් රථ 300ක් පමණ දිවා රූ නොතකා සුවසැරිය සේවය සමඟ සම්බන්ධ වී ඇත.
මෙම සේවාව ආරම්භ කළේ ඉන්දීය රජය විසින් ලංකාවට ලබාදුන් යළි නොගෙවිය යුතු ප්‍රදානයක් භාවිත කරලයි. පළවැනි අදියරේ ඉන්දීය රජය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 7.5ක් දුන්නා. ඒ මුදලින් සුවසැරිය ගිලන් රථ සේවය පටන් ගත්තා. මේ මුදල් මහජනතාව වෙනුවෙන් සේවාවක් ආරම්භ කරලා එම සේවාව කාර්යක්ෂමව හා අඛණ්ඩව ඉදිරියට රැගෙන යන බවට අපි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට ප්‍රතිඥාවක් දුන්නා. මොකද, විදේශ ආධාරවලින් ලංකාවේ පටන් ගන්න බොහෝ දේවල් කාලයක් යන විට ඉබේම නවතිනවනේ. මෙය එහෙම වෙන්න දෙන්නේ නැහැ කියලා මම තරයේ සිතට ගත්තා. දකුණු පළාතෙන් ආරම්භ කරපු සුවසැරිය ගිලන් රථ සේවාව අපි ඉතා සාර්ථකව කරගෙන ආවා. මහජනතාවට නොමිලයේ සපයන මේ සේවාව බොහෝ දෙනාගේ විශ්වාසය දිනාගත්තා. ඒ වගේම කාර්යක්ෂම සේවාවක් ලබා දුන්නා. ඒ නිසාම ඉන්දියානු රජයෙන් අමෙරිකන් ඩොලර් මිලියන 15ක් දෙවැනි අදියර ලෙස ලබා දුන්නා. මේ මුදල් නැවත නොගෙවන පරිත්‍යාගයි. අපි එම මුදලින් 1990 සුවසැරිය ගිලන් රථ සේවාව පුළුල් කළා. ඒ විතරක් නෙවෙයි මෙය ඉදිරියට පවත්වාගෙන යාමේ අරමුණින් 2018 වර්ෂයේ පාර්ලිමේන්තු පනතක් මගින් සුවසැරිය පදනම ආරම්භ කරලා මේ සේවාවේ මෙහෙයුම් කටයුතු සුවසැරිය පදනමට පවරලා මෙය රජයට පූර්ණ අනුබද්ධ සේවාවක් ලෙස ක්‍රියාත්මක වීමට කටයුතු යෙදුවා.* යනුවෙන් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා සුවසැරිය පදනම පිළිබඳ අදහස් පළ කළේය.
2016 දී සුවසැරිය ගිලන් රථ සේවය ආරම්භ කරන විට ඊට දේශපාලන විරෝධතාවක් ද තිබිණි. එහෙත් අද වන විට මෙම සුවසැරිය ගිලන් රථ සේවාව නැතිවම බැරි සේවාවක් වී හමාරය. දිනෙකට මෙයට ලැබෙන ඇමතුම්වලින් පෙනී යන්නේ මහජනයා ඒ කෙරෙහි තබා ඇති විශ්වාසයයි. සුවසැරිය ගිලන් රථ සේවය අපගේ නිදහස් සෞඛ්‍ය සේවාව පරිපූර්ණ කර ඇති බවද කිව යුතුය.
හසිත් අංජන