2019 අගෝස්තු 10 වන සෙනසුරාදා

දේශපාලන අ යන්න

 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 118

නිදහස ලැබී දශක කීපයක් යනතුරු මෙරට ජන නායකයන් බොහෝදෙනකු ක්‍රියා කරන ලද්දේ ජාති හිතෛෂීන් වශයෙනි. ඔවුන් තුළ එබඳු ජාති මාමකත්වයක් ඇති වූයේ මෙරට නිදහස් සටනෙහි පුරෝගාමී නායකයන්ගෙන් ලද ආභාෂය හේතුවෙනි. 1947 නිදහස දිනාගත් ශ්‍රී ලංකාව 1977දී විවෘත ආර්ථිකයට අවතීර්ණ වීමත් සමඟ මෙරට විවිධ ක්ෂේත්‍ර තුළ ශීඝ්‍ර ප්‍රගතියක් ඇති වුවත්, විශේෂයෙන් ශ්‍රී ලාංකික දේශපාලන ක්ෂේත්‍රයේ අල්ලස දූෂණය, වංචාව, හොරකම වැනි අකටයුතු ක්‍රියාවන් බොහෝ දුරට වර්ධනයක් සිදු විය.

මෙබඳු දේශපාලන පසුබිමක් තුළ ප්‍රවීණ පුවත්පත් කලාවේදී සෝමසිරි වික්‍රමසිංහ විසින් රචනා කර ඇති දේශපාලන අ යන්න I නැමැති ග්‍රන්ථය මගින් සමීපාතීතයේ දේශපාලන ක්ෂේත්‍රයේ යටපත් වී ගිය ජාත්‍යානුරාගී හැඟීම් සහ චමත්කාරජනක රසමුසු තැන්, හෙළි කිරීමට උත්සාහයක් ගෙන ඇත.  කතුවරයා එබඳු උත්සාහයක් ගෙන ඇත්තේ යහපත් රටක් සහ යහපත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය වනු දැකීමේ අභිලාෂයෙනි.

මෙම ග්‍රන්ථය  වර්තමාන  දේශපාලනයේ යෙදී සිටින තරැණ දේශපාලනඥයන්ට තම දේශපාලන දිවිය හැඩගසා ගැනීමට සහ මෙරට දේශපාලනය ගැන උනන්දුවක් දක්වන සාමාන්‍ය ජනයාට ආදර්ශයක් වනවා මෙන්ම අත්පොතක් ද වනු ඇත. නිදහසින් පසු ලාංකික මැතිවරණ ඉතිහාසයේ වැදගත් සිදුවීම් සහ පවත්වන ලද ඇතැම් සුවිශේෂී මැතිවරණයන් පිළිබඳ විස්තර කතුවරයා මෙම ග්‍රන්ථය තුළ සාකච්ඡාවට භාජනය කර ඇත. එය මෙරට මැතිවරණ ඉතිහාසය පිළිබඳව පර්ෙය්ෂණ පවත්වන විද්‍යාර්ථීන්ට ද ප්‍රබල අත්වැලක් සපයනු ඇත.

ලංකා පාර්ලිමේන්තුවේ ඇතැම් දක්ෂිණාංගික සහ වාමාංශික දේශපාලන නායකයන් පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත සිදු කළ දේශපාලන භූමිකාවන්  කතුවරයා විසින් මනාව විග්‍රහ කර තිබීම පැසසුමට ලක්කළ යුත්තකි. නිදහසෙන් පසු ශ්‍රී ලාංකික දේශපාලන වංශ කතාවේ වාමාංශික දේශපාලන පක්ෂවල ආරම්භයත් සමඟ එම පක්ෂ බලයට පත් නිදහස් ශ්‍රී ලාංකික රජයක් නිර්මාණය කිරීමට සැපයූ දායකත්වය හේතුවෙන් මෙරට පාලන ක්‍රමයේ සිදු වූ සුවිශේෂී  වෙනස්කම් පිළිබඳව කතුවරයා විසින් කරනු ලබන විස්තරය ඉතා ඉහළ මට්ටමක පවතී. ලාංකික අතීත දේශපාලන භූමිකාවෙහි භාවිත කළ සුවිශේෂී භාරිභාෂික වචන කතුවරයා විසින් ඉස්මතු කර දැක්වීමට ගන්නා ලද උත්සාහය දේශපාලනඥයාට මෙන්ම සාමාන්‍ය පාඨකයාට ද දේශපාලනයේ හොඳ නරක දෙක පිළිබඳව පෘථුල අවබෝධයක් හා ආශ්වාදයක් ගෙන දෙන්නක් හැටියට හඳුන්වා දිය හැකිය.

මෙම ග්‍රන්ථයේ කතුවරයා වන සෝමසිරි වික්‍රමසිංහයන්ට විසිවැනි සියවසේ ලෝක දේශපාලනය පිළිබඳ ඇති දැනුම් සම්භාරයත්, මෙරට කීර්තිමත් ජන  නායකයන් වෙතින් ලද ඇසුර ද මාධ්‍යවේදියකු ලෙස ලැබූ අත්දැකීම්  ද මෙවැන්නක් සම්පාදනය කිරීමේ ලා බෙහෙවින් උපකාරී වූ බව මගේ විශ්වාසයයි. නිදහසින් පසු ලාංකික දේශපාලන ක්ෂේත්‍රයේ ආදර්ශවත් සහ රසවත් සිදුවීම් ඉස්මතු කරමින් මෙබඳු ග්‍රන්ථයක් රචනා කිරීම කාලෝචිත ක්‍රියාවක් ලෙස සැලකිය හැක.

මහාචාර්ය නන්ද ධර්මරත්න
ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයන අංශය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය