ප්‍රවීණ ලේඛක දිලීප ජයකොඩි
පරිවර්තකයකු වශයෙන් පාඨක ලෝකය දිනාගත් දිලීප ජයකොඩි ස්වතන්ත්‍ර නවකතා රචකයකු ද වේ. ඔහු මේ වනවිට නිල්දිය යහන, වාසනා දිනේකි මේක ඇතුළු නවකතා ලියා තිබෙන අතර අලුත්ම නවකතාව වන %ආර්යා^ අගෝස්තු 17දා සවස 2.30ට කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී නිකුත් කෙරේ. ආර්යා මියුසස් ප්‍රකාශනයකි.
ඔබේ නවතම නවකතාව දේශපාලන අවුලක් මුල්කරගත් එකක් නේද?
ඔව්. මේ නවකතාව වන ආර්යා පොලිටිකල් ත්‍රිලර් එකක් හැටියට හඳුන්වන්න පුළුවන්. දේශපාලන බල අරගලයක් තුළින් ගමන් ගන්නා කාන්තාවක් තමයි මෙහි ප්‍රධාන චරිතය. ඒ වගේම මම කැමතියි මේ ත්‍රිලර් කියන වචනෙ ගැනත් පුංචි පැහැදිලි කිරීමක් කරන්න. මෙහිදී ත්‍රිලර් යන්න ත්‍රාසය දනවන යන්නට වඩා උද්දාමයට පත් කරවන යන්න වඩාත් ගැලපෙනවා. ඒ අනුව බැලුවොත් මේ නවකතාව දේශපාලන උදම්කරණය ගැන ලියවුණු පොතක් හැටියට හඳුන්වන්න පුළුවන්.
ඔබේ වාසනා දිනේකි මේක නවකතාවත් ත්‍රිලර් ශානරයට අයිතියි. ඒත් එය ජනතාව අතරට ගියා මදි නේද?
ඔව්. ඇත්තටම එය පාඨක අවධානයට යොමු වුණා මදි කියලා මටත් හිතෙනවා. එය අවාසනාවන්ත තත්ත්වයක්. ඒ ගැන මීට වඩා කතාබහක් සිදුවිය යුතුව තිබූ බවයි මගේ හැඟීම. එය මගේ මුල් අවදියේ ලියවුණු කෘතියක් වීම ඊට හේතුවක් වෙන්නටත් පුළුවන්.
මෙහි සිටින ආර්යාව පවත්නා දේශපාලන ලෝකයට සම්බන්ධද?
නැහැ. ඇත්තටම ඇය මනඃකල්පිත චරිතයක්. නමුත් ඇය වැන්නියන් මේ සමාජය තුළින් බිහිවිය හැකියි. මොකද, ඇය අභව්‍ය චරිතයක් නොවෙන නිසා. ලෝක දේශපාලන ඉතිහාසයේ දී මෙවැනි ආර්යාවන් හමුවනවා. තවත් දෙයක්.. ආර්යා යන වචනය මෑත කාලයේ දී ආන්දෝලනයට තුඩු දුන්නක්. නමුත් මෙයට මා ආර්යා යන නම තැබූයේ එසේ වීමට බොහෝ කලින්. ඔබ ඔය ප්‍රශ්නය මගෙන් අහන්නට ඇත්තෙත් ඒ නිසා විය යුතුයි.
ඔබ ජනප්‍රිය රැල්ලේ පරිවර්තකයෙක්. ස්වතන්ත්‍ර නවකතාවක් ලිවීමට විශේෂ හේතුවක් බලපෑවාද?
ස්වතන්ත්‍ර කෘතියක් කරනවාට වඩා පරිවර්තන කිරීම පහසුයි. මා දිගින් දිගටම පරිවර්තනවලට සීමා වීමට එයද හේතුවක්. නමුත් මගේම නිර්මාණයක් කළ යුතු යැයි යන හැඟීම කාලයක සිට සිත තුළ මෝදුවෙමින් තිබුණා. ඒ අතරේදීම මගේ පොත් රසවිඳින පාඨකයන් දිගින් දිගටම ස්වතන්ත්‍ර කෘතියක් කරන හැටියට ඉල්ලීම් කරමින් පැවතුණා. එයින් මා දිරිමත් වූ බව කිව යුතුයි. ඔය කරුණු සියල්ල මධ්‍යයේ මෙහි කතා සාරය නිසි ලෙස ගැලපී මෝරා වැඩුණා.
ඔබේ නවකතාව පිටවීමට පෙරම සමාජ මාධ්‍යවල කතාබහක් යනවා. පාඨකයා මේ ආරංචියට ඔබට දක්වන ප්‍රතිචාරය කෙබඳුද?
ඉතාම ඉහළයි. උණුසුම් ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. මම කලින් කී ලෙසටම මෙය පාඨක ඉල්ලීමක් ඉටුකිරීමක්. එවිට ඔවුන් සතුටට පත්වීම සහ ඉහළ ප්‍රතිචාර ලබාදීම ස්වභාවිකයි. විශේෂයෙන්ම මුහුණුපොත තුළින් ඍජුව ලැබෙන සුබ පැතුම් සහ ප්‍රතිචාර හරිම ධනාත්මකයි. මා තව තවත් දිරිගන්වන සුලුයි. අනෙක් අතට මටත් දැන් දිගින් දිගටම ස්වතන්ත්‍රයන්හි නියැලීමට ආශාවක් ඇති වී තිබෙනවා.
ත්‍රිලර් පරිවර්තන දැන් රුල්ලක් වගේ පළවෙනවා. ඒ නිසාද ඔබත් ස්වතන්ත්‍ර ත්‍රිලර් නවකතාවක් ලිවීමට පෙළඹුණේ?
නැහැ. ඒ නිසා නෙවෙයි. මම කොහොමටත් විවිධත්වයට කැමතියි. මගේ පරිවර්තන කෘතීන් ගැන බැලුවත් ඒවා වෙන වෙන ශානරයන්ට අයත්. මේ මගේ හයවැනි ස්වතන්ත්‍ර කෘතියයි. පළමුවැන්න ගලන ගඟකි ජීවිතේ. එය චරිතයක් පාදක කොටගත් විත්ති කතාවක්. දෙවැන්න වූ නිල්දිය යහන ආදර කතාවක්. තෙවැන්න වූ මීයෙක් ඇවිත් කෙටිකතා පොතක්. ඇමිටිවිලා හා බ්ලෙයාර් විච් ත්‍රාසජනක හොල්මන් කතා. වාසනා දිනේකි මේක සමාජයීය ත්‍රිලර් එකක්. ආර්යා පොලිටිකල් ත්‍රිලර් එකක්. මෙහෙම බැලුවහම මගේ ස්වතන්ත්‍ර කෘති එකකට එකක් වෙනස් බව පේනවා ඇති. මගේ ඊළඟ ස්වතන්ත්‍ර කෘතිය වෙනත්ම ශානරයකට අයත් එකක් වේවි. මෙකල ත්‍රිලර් රුල්ලක් තිබීම, මම එවැන්නක් ලිවීමට හේතුවක් නම් නෙවෙයි.
ඩිජිටල් ලෝකයේ අතරමංව සිටින තරැණ පරපුර නවකතාවට ඇදගැනීමද මෙවැනි කෘති ලිවීමේ අරමුණ?
එහෙම ඍජු අරමුණක් නැහැ. නමුත් සමහර විට සාර්ථක නවකතා බිහිවෙනවා නම් ඔවුන් ඒවාට ආකර්ශනය වීමට ඉඩක් තිබෙනවා. නමුත් මම විශ්වාස කරන්නේ නම් මුද්‍රිත මාධ්‍යයට පෙම් බැඳීම කුඩා අවදියේ සිට වඩවාගත යුත්තක්. කියවීම යන ගුණාංගය කෙමෙන් ඇබ්බැහි කරගත යුත්තක්. එයට යම් හික්මීමක් තිබිය යුතුයි. එක තැනක වැඩිවෙලා, කාලය වැය කරමින් කියවීමට ඔය කියන තරැණ පරපුර පෙළඹේවිද යන්න ප්‍රශ්නයක්. නමුත් ඩිජිටල් මාධ්‍ය හරහා දිගින් දිගටම යමක් හොඳයි කියනවා නම්, ඔවුන් ඒ ගැන සොයා බලන්නට පෙළඹීමේ ඉඩක් තියෙනවා.
අපේ පාඨකයන් ගැන ඔබට හිතෙන්නේ කුමක්ද?
ඔවුන් ඉතා බුද්ධිමත් බවයි මා සිතන්නේ. ඔවුන්ව රවට්ටන්න බැහැ. ඔවුන්ට පැච්වර්ක් හරියන්නේ නැහැ. මා එයට කැමතියි. මන්ද, එවිට ලේඛකයා පරෙස්සම් වෙනවා හැම අතින්ම. උදාහරණයක් හැටියට මේ ආර්යා කෘතියේ කාල වකවානු, සිද්ධි ගැලපීම් ගැන මා අතිශය සැලකිලිමත් වුණා. ඒ මගේ පාඨකයන්ගේ බුද්ධිමත් බව දන්නා නිසයි. ඔවුන්ව අවතක්සේරු කරන්න මා කිසිසේත් කැමති නැහැ. කොටින්ම කීවොත් සමහර කෘතිවල සඳහන් කෙරෙන දිනය, එහි සඳහන් වන අන්දමට ඉරිදා, සඳුදා ද යන්න පැරණි දින දර්ශනවලින් පරීක්ෂා කරන පාඨකයන් පවා සිටිනවා. මා සිතන්නේ එය හොඳ දෙයක් බවයි.
පාඨකයා ත්‍රිලර්වලින් මුදවා සම්භාව්‍ය සාහිත්‍යය පැත්තට ගැනීමට අදහසක් නැද්ද?
මට හිතෙන්නේ එහෙම දෙයක් අනවශ්‍ය බවයි. පාඨකයාට විවිධ රස විඳීමට ඉඩහළ යුතුයි. එය ත්‍රිලර්, හාස්‍ය, බිහිසුණු, ශෝකී ආදී විවිධ රසයන් විය හැකියි. එමෙන්ම ඔවුන්ට කිසිදු ගැඹුරක් නැති නිසරැ දෑ දීම නොකළ යුතුයි. සම්භාව්‍ය පරිවර්තනයන්ට ඔවුන් යොමුකළ යුත්තේ ක්‍රමක්‍රමයෙන් බවයි මා සිතන්නේ. උදාහරණයක් ගතහොත් චේතන්ගේ සිට කෙලින්ම තස්ලිමා නස්රින්ට යනවාට වඩා, චේතන්ගේ සිට ආර්.කේ. නාරයන්, කුෂ්වාන්ත් සිං, කමලා දාස් හරහා තස්ලිමාට යාමට මා කැමතියි. සමහර විට ඉදිරියේදී මා අතින් එවැන්නක් සිදුවේවි.
කුසුම්සිරි